ලිපිනය හිරගෙදර | Page 2 | සිළුමිණ

ලිපිනය හිරගෙදර

28 ඉරිදා - කුණු කන්ද

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු අනූහය දෙනා තමන් සමග එකට හිටගන්නේ නම් හෙට වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊෙය් (27) රත්නපුරේ පැවැති ශ්‍රීල.නි.ප ජනහමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැති බව පැවසූ ජනාධිපතිවරයා “පසුගිය මහ මැතිවරණයෙන් පස්සේ අපි අලුත් ආණ්ඩුවක් හදන්න කතා කළා. ඒ අවස්ථාවේ අපේම කට්ටියක් ආණ්ඩුවේ ඉන්නෙ නැතුව විපක්ෂයට යන්න කතා කළා. ඒකට මම අවසර දුන්නා. ටික කලක් යනකොට මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා දන්නෙම නැතුව ඔහු ළඟ ඉන්න අය අලුත් දේශපාලන පක්ෂයක් හැදුවා. ඔය ජී.එල්. පීරිස්ගේ කුණු කන්ද, කුණු කාණුව අත ඇරලා ඔය හැමෝම හෙට ආවොත්, ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න මම ලෑස්තියි” කියාය.

'සයිටම්' සසුනට

මාලඹේ සයිටම් ආයතනය සතු ගොඩනැගිලි ඇතුළු සියලු දේපළ බුදු සසුනට පූජා කරන බව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශය තමන් බෙහෙවින් අගය කරන බව සයිටම් වෛද්‍ය විද්‍යාලීය ‍දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එමගින් සයිටම් විද්‍යාලයේ සිසුන් පිළිබඳ තීරණ ගැනීම රජය සතු වගනීමක් බවයි.

අනේ හැබෑටම මෙහෙමත් නාටක.

නීතියේ වෙනසක්

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට අදාළ නීති සම්පාදනය සහ පවතින අණ පනත්වල සංශෝධනවලට අදාළව අවශ්‍ය කෙටුම්පත සකස් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවත්, එය ඉදිරි සති කිහිපය ඇතුළත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී අනාවරණය විය.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා පනත 1994 සිට මේ දක්වා සංශෝධනය වී නොමැති අතර ඊට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින අතර එය ඉදිරි සති කිහිපය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද සඳහන් විය.

කෙසේ හෝ රට තුළ යහපාලනය ස්ථාපිත කිරීමට පියවර ගන්නේ නම්, එය වෙනසක් බලාපොරොත්තු සැමගේ සන්තුෂ්ඨියට හේතුවනු ඇත.

29-සඳුදා - හංගන්න දෙයක් නෑ

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට සැඟවීමට කිසිවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කෑගල්ල ප්‍රදේශයේ ඊයේ(28) පැවැති ජන හමුවකට එක් වෙමිනි. එමෙන්ම බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර කිනම් හෝ සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීම පිණිස කමිටුවක් පත් කොට ඇති අතර එහි වාර්තාව අනුව විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම පසුගියදා නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ වැරදි කිරීම සඳහා අවස්ථාවක් ලබා නොදෙන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි.

මෙම සිද්ධිය සම්බනධයෙන් අගමැතිවරයා ස්ථාවරය ඉතාම පැහැදිලිය.

හිමිකම

ත්‍රිරෝද රථයක් ඇති ඕනෑම අයෙකුට මගී ප්‍රවාහන සඳහා තිබූ ඉඩකඩ ලබන අප්‍රේල් මාසයේ සිට මුළු මනින්ම අහිමි වී යනු ඇතැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි.

ඔහු තවදුරටත් පවසා සිටියේ මේ නිසා වෘත්තීය ත්‍රිරෝද රථ හිමියන්ගේ වෘත්තීය හිමිකම් තහවුරු වන බවත්, එමගින් ඔවුන්ගේ සමාජ ආර්ථික මට්ටම ඉහළ යන බවත්ය.

එමෙන්ම ඒ අනුව ත්‍රිරෝද ගමනා ගමනය සඳහා මිල ප්‍රමිතියක් ද ඇතිවනු ඇතැයි ඔහු සඳහන් කළේය.

මඟමරුවකු ලෙස ඇතැමුන් ත්‍රීරෝද රථ රියදුරන් හැඳින්වීමට පෙළඹි සිටින්නේ කිසිදු වගකීමක් නොමැතිව මඟී ප්‍රවාහනයේ යෙදෙන ඇතැම් රියදුරන් නිසාය. එසේම මුදල් අයකිරීමේදීද විවිධ මිලගණන් අය කිරීම හේතුවෙන් මඟියා අසරණ වේ. මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම කාගෙ කාගෙත් යුතුකකි.

වෙනම ඒකකයක්

එළඹෙන පළාත් පාලන මැතිවරණය මුල්කොට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ කඩකිරීම් පිළිබඳ පැමිණිලි භාර ගැනීම සඳහා‍ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ වෙනම ඒකකයක් පිහිටුවා ඇත.

මෙවර මැතිවරණයේ දී අපේක්ෂක කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් කෙරෙහි මෙම ඒකකයේ විශේෂ අවධානය යොමුවනු ඇත.

පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙම ඒකකය සඳහා 0773088135 හෝ 0773762112 අංක යටතේ දුරකතනය මගින් හෝ 0112505574 අංකයට ෆැක්ස් මාර්ගයෙන්ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම කොමිසම දන්වා සිටී.

මෙය ඉතාමත් උචිත පියවරකි. මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා අවම කිරීමට හා එවැනි දේ සඳහා පෙළෙඹීම මෙමගින් වැලකීයනු ඇත.

30 අඟහරුවාදා වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (30) වරෙන්තු නිකුත් කළාය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටි කාලයේ ඔහු විසින් සිදු කරන ලද වාහන අවභාවිතාවක් මුල්කොට අල්ලස් දූෂණ චෝදනා යටතේ පවරා ඇති නඩු වලට පෙනී නොසිටීම නිසා මෙසේ වරෙන්තු නිකුත් කොට ඇත.

අවලංගුයි

වාහන සඳහා පසුගිය වසර පහක කාලසීමාව තුළ අඛණ්ඩව ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති නම් එම වාහන ධාවනයේ නොමැති වාහන ලෙස සලකා ඒවාට අදාළ ලිපිගොනු ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කමිටුවක අධීක්ෂණය යටතේ එම ලිපිගොනු ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

දැනට භාවිතයේ නොමැති මෝටර් රථවලට අදාළ සියලු ලිපිගොනු විධිමත් අයුරින් ඉවත් කොට, නව ලිපිගොනු ගබඩා කිරීම සඳහා ඉඩකඩ සලසා ගැනීමට මෙමගින් යෝජනා වී ඇත.

එමෙන්ම මතෛක් අවසන් නොවූ විවිධ නීතිමය කටයුතුවලට අදාළ වාහන ලිපිගොනු කිසිවක් මේ යටතේ බැහැර නොකළ යුතු බවටද මෙහිදී තීරණය කර තිබේ.

31 බදාදා - වැඩ වරදී

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ප්‍රදේශ කිහිපයක හැඳුනුම්පත් හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුදලට ගැනීමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

එක්තරා පක්ෂයක පුද්ගලයන් වෙනත් පක්ෂයක පුද්ගලයන්ට කතා කොට මුදලක් ලබාදී හැඳුනුම්පත් හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුදලට ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇති බවත්, මෙය දෙපාර්ෂවයේම කැමැත්ත මත සිදු කළද පළාත් පාලන ආඥා පනත අනුව වැරදි ක්‍රියාවක් බවද ඒ මහතා පැවසීය.

මේ පිළිබඳ මේ වන විට ‍පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවද, ‍පළාත් පාලන ආඥා පනත අනුව මෙය අයුතු බලපෑම් කිරීමක් ලෙසද සැලකේ.

එසේම මෙය වැරැද්දක් ලෙසට තහවුරු වුවහොත් එම ක්‍රියාව කළ පුද්ගලයාගේ ඡන්ද ලියාපදිංචිය වසර 7 කට අතිහිටුවන බවත්, අපේක්ෂකයෙක් වැරදිකරුවෙක් වුවහොත් ඔහු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුවද ඔහුගේ ආසනය අහිමි වන බවත් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

01 බ්‍රහස්පතින්දා - අල්ලස්

වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණය ඉතා සාමකාමී මුහුණුවරක් ගත්තද, මෙවරද ඡන්ද දායකයන්ට මානසික හා භෞතික අල්ලස් දීම, ඉතා ඉහළ මට්ටමක පවතින බව පැෆරල් සංවිධානය අවධාරණය කරයි.

බුදුපිළිමයේ සිට මහන මැෂිම දක්වා භෞතික ද්‍රව්‍ය ඒ ඔස්සේ ඡන්ද දායකයන්ට බෙදාදීමට අපේක්ෂකයන් නොකඩවා කටයුතු කරමින් සිටින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ (31) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

විශේෂයෙන්ම මාත‍ලේ දිස්ත්‍රික්කයේ එක්තරා නියෝජ්‍ය ඇමැතිවරයෙකු නිරන්තරයෙන් ප්‍රදේශවාසීන්ට වන්දනා ගමන් සංවිධානය කරමින් සිටින බව ඒ මහතා පෙන්වා දුන්නේය. ඊට අමතරව දෛනිකව පිරිස් තම හෝටලයකට කැඳවා දිවා ආහාර ලබාදීමට ඔහු කටයුතු කරමින් සිටින බව කී හෙට්ටිආරච්චි මහතා වර්තමානයේ නීතිය උල්ලංඝනය කරන මහජන නියෝජිතයෙකු හෙට රටේ නීතියට අනුගත වේදැයි ඡන්දදායකයා මැනවින් කල්පනා කළ යුතු බවද සඳහන් කළේය.

සිල්රෙදි බෙදීම ගැන වේදිකා දෙවනත් කළ උදවිය මෙලෙස හැසිරීම නින්දිතය. ඡන්දදායකයා තම කතිරයට පෙර මේ පිළිබඳව සිතාබැලීම යහපත්ය.

ලිපිනය: හිරගෙදර

ගෝඨාභය රාජපක්‌ෂ අත්අඩංගුවට ගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, ඔහුට විරුද්ධව චෝදනා ඔප්පු වී ඇති බවත්, ඊයේ (31 දා) කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්‌වෙමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා රටේ ප්‍රධාන පෙළේ පුවත්පත් කතුවරයකු ප්‍රථම වරට ඝාතනය කළේ රාජපක්‌ෂ යුගයේ දීයි. ඒ ලසන්ත වික්‍රමතුංග මහතායි. හිටපු ආරක්‌ෂක ලේකම්වරයා විසින් සිදු කළ මිග් යානා ගනුදෙනුව පිළිබඳ මාධ්‍යයේ ලිපි පළකිරීම එම ඝාතනයට හේතු වී තිබෙනවා. එය රණවිරු ගැහිල්ලක්‌. අද මෙම රණවිරුවා රටෙත් නැහැ. ඇමරිකාවට පැනලා ඉන්නේ. පොහොට්‌ටුවේ අනාගත ජනාධිපති අපේක්‌ෂකයා ඔහුයි. රටේ නැති අනාගත ජනාධිපති අපේක්‌ෂකයා ලංකාවට එන්නේ දොළොස්‌වැනිදායි. ඒ මැතිවරණය අවසන් වූ පසුවයි. අත්අඩංගුවට ගනියි කියලා රටෙන් පැනලා ඉන්නේ. නමුත් එම රණවිරු ගෝඨාභය අත්අඩගුවට ගැනීමට සියල්ල සූදානම්. චෝදනා ඔප්පු වී තිබෙනවා. ඉදිරි කාලයේ දී හිරේ විලංගුවේ වැටෙනවා.

පසුගිය රජය සමයේ බලු වැඩ කරන්න කියනකොට බැහැ කියපු පොලිස්‌ නිලධාරීන් ද ඉන්නවා. මහර එක්‌සත් ජාතික පක්‌ෂ සංවිධායක ප්‍රිශාන්ත ජයකොඩි මහතා එවැනි නිලධාරියෙක්‌. බලු වැඩවලට විරුද්ධ වූ ඔහු නිල ඇඳුම ගලවා දමා පොලිස්‌ සේවාවෙන් ඉවත් වුණා.

2018 වසර පසුගිය රජයේ දූෂිතයන් සිරගෙට යන වසරයි. 2020 වනවිට ඔවුන්ගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩ හිරගෙදරයි. එහිදී රාජපක්‌ෂලා හමුවෙන්න පුළුවන්. මම රාජපක්‌ෂලාට විරුද්ධව කථා කරන නිසා ඔවුන් මා සමග විරුද්ධයැයි පැවසීය.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන්නේ නම් වරද කරුවන්ට දඬුවම් දීම අනිවාර්යයකි. දේශපාලන වේදිකාවල මොනදේ පැවසුවද එය යතාර්ථයක් වන තුරු ජනතව පිළිනොගනී.

2 සිකුරාදා පනතට වසර 23 යි: දඬුවම් 4යි

අල්ලස්‌ හෝ දූෂණ කොමිෂන් සභා පනත සම්මත කර වසර 23 ක වුණත් දඬුවම් ලබාදී තිබෙන්නේ හතර දෙනකුට පමණක්‌ යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

පසුගිය ආණ්‌ඩුවේ නායකයා අල්ලස්‌ හෝ දූෂණ සිදුකළ පුද්ගලයන්ට ඇප ලබා දුන්නා. තමුන්ට අවශ්‍ය අය හිරේ දැම්මා. අලුත්කඩේ උසාවියට දුරකථන ඇමැතුම් ලබාදී නඩු තීන්දු වෙනස්‌ කළා. අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට බලපෑම් කර එය දුර්වල කර දැම්මා යෑයිද ජනාධිපතිවරයා සඳහන් කළේය. මේවා කිය කිය සිටීමෙන් පමණක් පළක් නොවේ. අවශ්‍ය වන්නේ මේ තත්ත්වය නිවරදි කිරීමය.

3 සෙනසුරාදා ගසා කෑමට නිමාවක්

පෙබරවාරි 04 වෙනිදා සිට පෞද්ගලික රෝහල් නියමනය කරමින් එම රෝහල් මගින් රෝගීන් ගසා කෑමට තිබූ ඉඩකඩ මුළුමනින් අහුරාදමන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, පෞද්ගලික රෝහල් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ එවන් රෝගීන් තමන් වෙතද දුක්ගැනවිලි ඉදිරිපත් කොට ඇතැයි පැවසූවේය.

හෘද සැත්කමක් සඳහා‍ පෞද්ගලික රෝහලකට ඇතුල්වීමේ දී එම සැත්කම ලක්‍ෂ 07 කට තක්සේරු කොට සැත්කමෙන් පසු ලක්‍ෂ 12 ක් ඉල්ලා සිටි අවස්ථාවක් ගැනද තමන්ට දැනගන්නට ලැබී ඇතැයි ඒ මහතා කීය.

එහෙත් එම රෝගියා සුව නොවී, මේ වන විට රෝහල් බිල ලක්‍ෂ 18 වී ඇති බවත්, ඉදිරියේ ක්‍රියාත්මක වන පෞද්ගලික රෝහල් නියමනය තුළින් මේ ආකාරයේ සියළු අක්‍රිමිකතා පිටු දැකිය හැකි බවද හෙතෙම පැවසීය.

Comments