
ආහාර භෝග යොදා භූමි අලංකරණයට යොමු වීම සඳහා සම්මත ගැඹුරු සිද්ධාන්ත අවශ්‍ය වන්නේ නැහැ. ඒත් වගා කටයුතුවලදී අවශ්‍ය වන මූලික කරුණු සිහි තබා ගැනීම වැදගත්.
වර්තමාන භූමි අලංකරණ ශිල්පීය ක්‍රමවල නව ප්‍රවණතාවක් වන්නේ ආහාරයට ගත හැකි බෝග වර්ග යොදා භූමිය අලංකාර කිරීමයි (Edible Landscaping). මේ සඳහා අවශ්‍ය වන්නේ නිවැසියන්ගේ උනන්දුව ,උත්සාහය සහ ඔවුන් සතු නිර්මාණශීලි හැකියාව පමණක්මයි. ආහාර බෝග යොදා භූමි අලංකරණය ලෙස මෙය හැඳින්වුවත් අලංකරණය සඳහා යොදා ගන්නා සියලුම ගස් වැල් ආහාර බෝගම විය යුතු වන්නේ නැහැ. මෙහිදී වැඩිම ප්‍රමුඛත්වයක් ආහාර භෝග සඳහා ලබාදෙන අතරතුර තමාට වැදගත් වන වෙනත් ප්‍රයෝජනවත් පැළත් සිටුවීමේ හැකියාව පවතිනවා.එහෙත් ගෙවත්තේ සිටුවන සෑම පැළයක්ම අලංකාරයට පමණක්ම සීමා නොවී වෙනත් වැදගත් ප්‍රයෝජන රැසක් ලබා දෙන්නේද යන්න මෙහිදී සැලකිලිමත් විය යුතුම කරුණක්. සීමිත ඉඩකඩක් පවතින නාගරික ගෙවත්තක් වුවත් එවිට වඩා ප්‍රයෝජනවත් ලෙසින් සකසා ගැනීමට අවකාශ ලැබෙනවා.
ආහාර භෝග යොදා භූමි අලංකරණයට යොමු වීම සඳහා සම්මත ගැඹුරු සිද්ධාන්ත අවශ්‍ය වන්නේ නැහැ. ඒත් වගා කටයුතු වලදී අවශ්‍ය වන මූලික කරුණු කාරණා සිහි තබා ගැනීම වැදගත්. උදාහරණයක් ලෙස බෝග වල ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය නියමාකාරයෙන් පවත්වා ගැනීමට අවම වශයෙන් දිනකට පැය හයක්වත් හොඳින් සූර්යාලෝකය ගෙවත්තට ලැබෙනවාද යන්න සලකා බැලිය යුතුයි. ඒ වගේම ශාකයකට අවශ්‍ය පෝෂක හා ජලය ප්‍රධාන වශයෙන් ලබා දෙන පස සාරවත්ද යන්නත් වැදගත්. නිසරු පස සරු කිරීමට පිළියමක් ලෙස නිවසේ දීම සකසා ගත් කොම්පෝස්ට් පස සාරවත් වීම සඳහා යොදා ගන්නට පුළුවන් . විශේෂයෙන්ම දිය සීරාව නොරදන හොදින් ජලය බැස යන පසක් සකසා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්.
තම ගෙවත්තේ අවකාශය පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයි. එහිදී අවකාශය උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගැනීම ඉතාමත්ම වැදගත්. බිම පමණක්ම නොව වායව අවකාශය වගාව සඳහා යොදා ගැනීමට පුළුවන්.උදාහරණයක් ලෙස එල්ලන බඳුන් තුළ වගාව ,ආරුක්කු සාදා ඒ වටා වැල් වර්ග යැවීම ආදිය පහසුවෙන් සිදු කළ හැකි පිළිවෙත්.
ඒ වගේමයි පැළයක් සිටුවිය යුත්තේ ගෙවත්තේ ඒ සඳහා සුදුසුම ස්ථානයෙයි. බොහෝමයක් පැළ සඳහා ආලෝකය අත්‍යාවශ්‍ය වුවත් නිවිති, ඉඟුරු වැනි භෝග සෙවණේ වගා කල හැකියි.එමනිසා සෙවන ඇති ස්ථානවල එවැනි සෙවන ප්‍රිය බෝග වගා කළ යුතුයි.
ගෙවත්තේ බෝග පැළ සිටුවීමේදී නෙතට ප්‍රිය උපදවන අයුරින් විවිධ රටා අනුව සිටුවීමෙන් සැබවින්ම මල් පැළ සිටුවීමෙන් ගෙවත්තට ලැබෙන අලංකාරයට වඩා වැඩි අලංකාරයක් ලබා ගන්නට පුළුවන් .හතරස් මල් පාත්ති වෙනුවට විවිධ හැඩයෙන් යුත් පාත්ති සැකසීම, එකම වර්ගයේ බෝග එක් පෙළට සිටුවීම , බෝග පත්‍ර වල හැඩය, බෝග වල උස හා වර්ණය අනුව විවිධ රටා මවමින් පැළ සිටුවීම කල හැකියි. මෙහිදී උසින් අඩු බෝග පාත්තියේ ඉදිරිපසින්ම සිටුවිය යුතු අතර පාත්තිය පිටුපසට වන්නට ක්‍රමානුකූලව උසින් වැඩි පැළ සිටුවීම වැදගත්.එමෙන්ම දාස් පෙතියා වැනි කෘමී පලිබෝධකයින් පළවා හරින ශාක මෙම බෝග පැළ අතර රටා මවමින් සිටුවිය හැකිය.පාත්ති වටා පොල් ලෙලි යොදා වැටි බැදීම මගින් ජල සංරක්ෂණය සහ තවත් අමතර වාසි රැසක් සැලසෙනවා . පස් රහිත වගා ක්‍රම යොදා ගනිමින් ගෙවත්ත තව දුරටත් අලංකාර කර ගැනීමට පුළුවන් .එළවළු බෝග කෙටි කාලින නිසා වසර පුරා විවිධ රටා මවමින් ගෙවත්ත විවිධ ආකාර වලට අලංකාර කර ගැනීමේ හැකියාව පවතිනවා.
මෙවන් ගෙවත්තකින් වසර පුරා අඛණ්ඩ ඵලදාවක් ලබා ගත හැකිය.එපමණක් නොව ඒ සියල්ල වස විසෙන් තොරව බොහෝ විශ්වාසයකින් පරිභෝජනය කිරීමට හැකිවේ.මෙවන් ගෙවත්තක් නිවසේ ආර්ථිකයට දිරි දෙනවා මෙන්ම නිවැසියන්ට මුදලට ගත නොහැකි මානසික සතුටත් සෞඛ්‍යමත් දිවියකුත් නිතැතින්ම ළගා කර දෙයි.
කෘෂිකර්ම පීඨය රුහුණ විශ්වවිද්‍යාලය