
මැයි මාසය පුරාවට මල් දරණ වෙසක් මල පිපෙන්න පටන් අරගෙන. උඩවැඩියා අතර සුවිශේෂයක් ලෙස මේ මල හැඳින්වුවත් අතීතයේ ගැමියන් මේ මලට වෙසක් මල කීවේ වෙසක් මහේ පිපෙන නිසා. කලක් මේ රට පාලනය කළ මැකාර්ති නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා සිහිපත් වනු පිණිස මේ මලට Dendrobiium Maccarthiae යන නාමය තැබීය. වසර කීපයක සිට වෙසක් මල පිළිබඳ තොරතුරු සෙවිීමේ නිරීක්ෂණයක නිරත වීමට සිදුවිය. මෙහිදී ගැමියන් කියූ රසවත් කතා ඇත. වෙසක් මහ පැමිණෙන විට වෙසක් මල් පිපීම සුලබ විය. ගෙවතුවල පමණක් නොව රබර් වතුවල පවා මේ මලේ අසිරි දැක ගත හැකිය. වෙසක් සමය ඇරැඹෙත්ම රත්නපුර විහාර දේවාලවල පුදසුනවල් අබියසට වෙසක් මල් වට්ටි පිටින් යෑම සාමාන්‍ය සිරිතය.
වෙසක් මලේ සුවිශේෂය වන්නේ වෙසක් මල පිපී මසක් වෙන තෙක්ම පර නොවී තිබීමයි. මල් පිපීම ආරම්භවන්නේ අප්‍රෙල් මාසයේ වුවත් වෙසක් මාසය තෙක්ම මේ මලේ සුගන්ධය අපට දැනේ. පරිසර තත්ත්වයේ සුවදායී තත්ත්වය මත පෙබරවාරි, මාර්තු ,ජුනි අගෝස්තු සැප්තැම්බර් යන මාසවලද මේ මල් පිපිම සිදුවේ.
උඩවැඩියා ගණයේ Dendrobuim වර්ගයකට අයත් වෙසක් මලට සමාන කළ නොහැකි අන් මලකක් නොමැත. වර්ණයෙන් හැඩයෙන් වෙනස් වූ වෙසක් මල අන් මල් අතර සුවිශේෂයකි.
කුඩා කෘමීන් මේ මල්වල පරාගණය කරන අතර කනෙයි මැස්සන් මඟින් මලේ පෙතිවලට හානි සිදුවේ. මේ මලේ කරල් හටගැනීම ඉතාමත් දුර්වල තත්ත්වයේ නිසා ව්‍යාප්තය අඩුය.
තෙත් කලාපයේ කළුතර, රත්නපුර කෑගල්ල, ගාල්ල යන ප්‍රදේශවල වෙසක් මලේ අසිරිය දැක ගත හැකි අතර බොහෝ දෙනා වෙසක් මල ලෙස වෙනත් උඩවැඩියා පටලවා ගැනීම කනගාටුවට කරුණකි.
1937 අනුමත වූ වන සත්තව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ආරක්ෂිත ශාක විශේෂයන් අතරට වෙසක් ශාකය ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මෙයින් පැහැදිලි වන්නේ යටත් විජිත සමයේ පවා මේ ශාකය පිළිබඳ අවබෝධයෙන් සිටි බවයි.
මේ මලේ වටිනාකම සහ අසිරිය දුටු යටත් විජිත පාලකයන් පවා මේ ශාකය ආරක්ෂා කර ඇති බවට සාක්ෂි තිබේ. 2009 අංක 22 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා ආඥාපනතේ නව සංශෝධනයේ 42 වගන්තිය අනුව වෙසක් ශාකය ඇතුළු ශ්‍රී ලංකාවේ හමුවන සියලුම ආවේණික සහ ආවේණික නොවන ස්වදේශීය උඩවැඩියා ශාක ද ආරක්ෂිත ශාක ලෙස නම් කොට ඇත. වෙසක් මල් ශාකය විනාශ කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම, විකිණීම සම්පූර්ණයෙන් තහනම් වේ. මේ මලට ආධාරක වන ශාකයන් ද සීමා සහිත වන බැවින් ඒවා ද ආරක්ෂා කිරීම ජනතා වගකීමකි.
මේ මලේ ඇති සුන්දරත්වය නිසා මුද්දර කාර්යාංශය මේ වන විට මුද්දර දෙකක් නිකුත් කර තිබේ.
වඳ වී යෑමේ තර්ජණයකට මුහුණ පා ඇති ශාක මේ වන 2007 දී රතු දත්ත ලේඛනයට ඇතුළත් වී ඇති අතර මෙය 2012 දී රතු දත්ත ලේඛණයට ඇතුළත් කර තිබීම විශේෂයකි. මෙය පිළිබඳ කොතෙක් නීති රීති පනවා තිබුණත් එය රැක ගැනීමට ජනතා සහයෝගයක් තිබිය යුතුය.