ධන සිතිවිල්ලෙන් දිවි දිනූ නදීකා | සිළුමිණ

ධන සිතිවිල්ලෙන් දිවි දිනූ නදීකා

"මම අවුරුදු 5 ක් තුළදී සාර්ථක කාන්තාවක් වෙමි" යන ධනාත්මක සිතුවිල්ල බෝඩ් එකක ලියාගෙන මට පෙනෙන ස්ථානයක එය එල්ලා අදටත් එය නිතරම එය කියවලා මහන්සි වෙලා වැඩ කරනවා. ඒකෙන් ම‍ම කොච්චර මහන්සි වුණත් මහන්සි දැනෙන්නේ නැහැ"

එලෙස ප්‍රකාශ කළේ සම්ප්‍රදායික ස්වයං රැකියාවන්ගෙන් මිඳී සේදුම්කාරක ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කොළඔ අලුත්කඩේ පදිංචි තිස්පස් හැවිරිදි නදීකා සුභාෂිණී ය. ලෝකයේ බහුජාතික සමාගම්වල මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන නිපයුම් කුඩා පරිමාණයෙන් ශ්‍රී ලංකා වෙළෙඳපළට හඳුන්වා දීම සැබවින්ම ලෙහෙසි පහසු කර්තව්‍යක් නොවන්නේ ය. එහෙත් ඇය ඒ අභියෝගය භාර ගෙන තිබෙන්නේ දිරිය කාන්තාවක් මෙනි.

අවස්ථා කීපයක් අසාර්ථක කර ගත් ඇයට අවසානයේ දී යා යුතු නිවැරදි මඟ විවර කර ගැනීමට ලැබුණේ අසාර්ථක කර ගැනීමට හේතු පාදක වු කාරණාවන් දෙස අවබෝධයෙන් බැලීමෙනි. කිහිප වරක් අසාර්ථක වුවද ඇය තම අරමුණ කිසි දිනක අමතක නොකළා ය. කවදා හෝ දිනක ස්වෝත්සාහයෙන් දියුණු වු ව්‍යාපාරික කාන්තාවක් වීමේ අරමුණ ඇය ඇගේ ජීවිතයේ එක් කොටසක් කර ගත්තා ය.

"මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ නැත්තේ පෞද්ගලික කරුණු කාරණා සහ ආර්ථික අපහසුතාවන් නිසයි.මම හිතුවා නිකරුණේ නිවසට වෙලා කාලය ගත කරනවට වඩා මොනවහරි දෙයක් කළොත් හොඳයි කියලා. මම මුලින්ම ඇඳුම් මහන්න පටන් ගත්තා. ඒක අවුරුදු ගණනාවක්ම කරා. ඊට පස්සේ කේක් හැඳුවා,රෙදි පින්තාරු කළා,ඊට පස්සේ මම රූපලාවන්‍ය පාඨමාලාවක් කළා. ස්වයං රැකියා 17 ක් 18ක් පටන් ගත් මම 18 වතාවම අසාර්ථක වුණා. ඒ වුණත් මම සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වෙනවා යන සිතුවිල්ල අත් හැරියේ නැහැ. මම අසාර්ථක වන සෑම වෙලාවකදීම මගේ ස්වාමි පුරුෂයා මාව දිරිමත් කළා"

"මම පටන් ගන්න හැම ස්වයං රැකියවක්ම අතරමඟදී නතර වුණා. එහෙම ඉන්න අතරේ මට අපේ ගෙවල් පැත්තේ ඉන්න මහත්මිය මාව කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සම්බන්ධ කළා. ඊට පස්සේ නිරෝධා මහත්මියගේ ස්වයං රැකියා පුහුණුවකට සහභාගී වුණා.කාන්තා සමිතියට සම්බන්ධ වු මට විවිධ පාඨමාලාවන් හැදැරීමට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මම විදාතා සංසදයේ සමාජිකත්වය ලබා ගත්තා. එහි දී විද‍්‍යා හා තාක්ෂණ නිලධාරී චමිලා මහත්මිය යටතේ සේදුම්කාරක ද්‍රව්‍ය සෑදීම,සබන් සැඳීම පිළිබඳව ඉගෙන ගත්තා.

රූපවාහිනී සාකච්ජාවලට ව්‍යාපාරික කාන්තාවන් පැමිණ කතා කරද්දී මමත් කවදා හෝ එවැනි කාන්තාවක් වෙන්න ඕනේ කියලා හිතුවා. ඒ වුණත් මම සිතේ අධිෂ්ඨානය තියාගෙන නිකරුණේ කාලය ගත කළේ නැහැ. කාන්තා සමිතියට සම්බන්ධ වීම නිසා නිවසේ කාලය ගත කළාට වඩා බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබුණා.

"මම ඉගෙන ගත් සේදුම්කාරක ද්‍රව්‍ය හොඳයි ද කියලා ඉස්සෙල්ලම පරීක්ෂා කරලා බලන්න මම මගේ නංගිලාට, නැදෑ හිතමිතුරන්ට දුන්නා. ඔවුන් මට කිව්වා ඒවා හොඳයි කියලා. ඊට පස්සේ මම 2015 වර්ෂයේ දී සුභාෂී ප්‍රඩක්ෂන්( කූල් ඇන්ඩ් කෙයා) නමින් මගේ ම සේදුම්කාරක නිෂ්පාදන ව්‍යාපාරය පටන් ගත්තා. සම්පත් බැංකුවේ මංජුල අබේසුන්දර මහතා මගේ ස්වයං ව්‍යාපාරයේ මුදල් ගණුදෙණුවලදී බොහෝ සෙයින් උපකාර කළා."

''මගේ ස්වයං ව්‍යාපාරයේ නිෂ්පාදන වසර දෙකක් ඇතුළත වර්ග 14ක් දක්වා වැඩි කරන්න ලැබුණා. මේ වසරේ දී තවත් සේදුම්කාරක ද්‍රව්‍ය දෙකක් පාරිභෝගිකයින්ට හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම මේ වගේ ස්වයං රැකියාවක් තෝරා ගත්තේ නරක් වෙන්නේ නැති ද්‍රව්‍ය භාවිතා කරන නිසයි. ඒ හින්දා පාඩුව අවම කර ගන්න පුළුවන් කියලා මම හිතුවා.මම හෑන්ඩ් වොෂ්,කා වොෂ්,ටයිල් ක්ලීනර්,ග්ලාස් ක්ලීනර්,එයා ෆෙෂ්නර් වැනි නිෂ්පාදන මම පාරිභෝගිකයින්ට අලෙවි කරනවා. මම මිලි ලීටර 500 යේ හෑන්ඩ් වොෂ් එකක් රුපියල් 180,එයා ෆෙෂ්නර් එකක් රුපියල් 300,පයිනෝල් එකක් රුපියල් 150,ටයිල් ක්ලීනර් එකක් රුපියල් 160 කට පාරිභෝගිකයින්ට ලබා දෙනවා. ඒ වාගේ ම ලීටර 4 සහ 10 සේදුම්කාරක ද්‍රව්‍ය රෙස්ටුරන්ට්වලට දෙනවා.

මම මදුරුවන් සහ මැස්සන් පළවා හරින කුරුඳු සහ පැඟිරි එයා ෆෙෂ්නර් එකක් පාරිභෝගිකයින්ට හඳුන්වා දුන්නා".

"අපි පවතින තරඟකාරී ලෝකය ජය ගැනීමට හැකි වන්නේ සිදු කරන ස්වයං රැකියාවේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය රැක ගතහොත් පමණයි.ඒ හින්දා මම විවිධ සේදුම්කාරක රසායනික ද්‍රව්‍ය පිළිබඳව මොරටුවේ කාර්මික විද්‍යාලයෙන් සහ විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යංශයෙන් ඉගෙන ගත්තා''.

ඉගෙනගත් දෑ කිසිදිනක අපතේ නොයන බව අවබෝධ කර ගත් ඇය තම ස්වං ව්‍යාපාරයේ ගුණාත්මක බව දිගු කාලීනව පවත්වා ගැනීම සඳහා නිරන්තරයෙන් විවිධ අධ්‍යනයන්හි නියෙළෙන්නී ය. නදීකාට තම ස්වයං රැකියාවේ සියලුම කාර්යයන්ය උදව් උපකාර කිරීමට ඇගේ සැමියා සහ පුතා දෙවරක් සිතන්නේ නැත. ඒ මන්ද යත් නදීකා තම සැමියාට ආදර්ශමත් බිරිඳක මෙන් ම පුතුට ආදර්ශමත් මවක වන නිසා ය.

''මට කොතරම් අඩු මිලට රසායනික ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන්කම ලැබුණත් මම නිතරම ඉහළ ප්‍රමිතියේ ගුණාත්මකභාවය වැඩි රසායනික ද්‍රව්‍ය තමයි මිලදී ගත්නේ. ගොඩාක් අය මි‍ල ගණන් අඩු රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා මිනිසුන්ට ප්‍රමිතියෙන් අඩු දෑ ලබා දෙනවා. ඒ වගේ අයට ඉදිරියට යන්න බෑ''.එලෙස ඇය තම ස්වයං රැකියාව කරන්නේ අවංක සිතිනි.

''මම කැමතියි මගේ නිෂ්පාදන හොඳයි කියලා මිනිස්සු කියනවනම්. මිනිස්සුන්ගේ විශ්වාසවන්තභාවය රැක ගත්තොත් තමයි අපේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. එහෙම නැතුව වාසියයි, ලාභයයි බලා ගෙන ව්‍යාපාර කරලා මිනිසුන්ව මුලා කරලා දිගු කාලීන සාර්ථක පුද්ගලයෙක් වෙන්න ලැබෙන්නේ නැහැ'' යනුවෙන් ඇය අවසානයේ ප්‍රකාශ කළේ ස්වයං රැකියාවන් අලුතින් පටන් ගැනීමට බලාපොරොත්තු වන බොහෝ දෙනෙක්ට අවංකකම නමැති අත්‍යවශ්‍ය මෙන් ම ප්‍රබලතම සාධකය හුවා දක්වමිනි. 

Comments