
රොකට් හදලා ලෝක වාර්තාවක් තියන්න රෝයල් එකේ ළමයි සමත් වෙලා. මේක අපිට කොච්චර ලොකු දෙයක්ද? ඒක ලෝක වාර්තාවක් පමණක් නොවෙයි ගිනස් පොතටත් යන වාර්තාවක් බවයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ.
හැබැයි ඉතින් මේ හදලා තිබෙන්නේ මහ රොකට්ටු නෙවේ. ජල රොකට්ටු. ඒත් එකක් නොවෙයි 2000 ක්. ඒ 2000 ම තත්පර 5 ක් ඇතුළත ගුවන් ගත කරලත් තිබෙනවා. ඒ අනුව තමයි කොළඹ රාජකීය විද්‍යාලයේ අජටාකාශ හා තාරකා විද්‍යා සංගමය ගිනස් වාර්තාව තිබ්බේ.
2013 වසරේ දී චීනයේ (Kung Yik She Secondary School (China) in Tin Shui Wai. Hong Kong, China) කුන් යින් ශී ද්විතීයික පාසලේ සිසුන් විසින් තත්පර පහක් තුළ ජල රොකට් 1056 ක් ගුවන්ගත කිරීමෙන් තැබූ ගිනස් වාර්තාව බිඳ හෙළමින් රාජකීය විද්‍යාලයේ සිසුන් විසින් පසුගියදා එම වාර්තාව අලුත්කොට තිබෙනවා.
මෙම ගිනස් වාර්තාවට අදාළ සහතිකය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත පිළිගන්වනු ලැබුවා. ඒ, අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති තෛපොංගල් දින සමරු උත්සවයෙන් අනතුරුවයි.
විද්‍යාලයීය අජටාකාශ හා තාරකා විද්‍යා සංගමයේ 50 වැනි සංවත්සරය හා ලෝක විද්‍යා දිනය සැමරීමට සමගාමීව මෙම ජල රොකට් ගුවන්ගත කිරීම සිදුකොට ඇති අතර, ජල රොකට් ගුවන්ගත කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් ගිනස් වාර්තාවක් බිහි වන ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.
විද්‍යාවේ සහ තාක්ෂණයේ නව අත්හදා බැලීම් වෙත යොමුවෙමින්, ජයග්‍රහණ අත්පත් කරගන්නා නිර්මාණශීලී දරුවන් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ හඳුන්වාදීම සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ක්‍රියාත්මකව පවතින බවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා. එමෙන් ම රටේ නම ජාත්‍යන්තරයට ගෙන යන, නව දැනුම සමඟ පිටරට යන විශිෂ්ට දරුවන් රටකට සම්පතක් බව සඳහන් කළ අමාත්‍යවරයා, ගිනස් වාර්තා තැබූ රාජකීය දරුවන්ට ඔවුන් දැක්වූ දක්ෂතා වෙනුවෙන් සිය ප්‍රශංසාව ද පළ කළා.
ගිනස් වාර්තාව ලබන්නට මූලික අදහස් ඉදිරිපත් කර ඇත්තේ රාජකීය විද්‍යාලයීය අජටාකාශ හා තාරකා විද්‍යා සංගමය යි. එහි ලේකම් යුනෙත් සී. විජේනායක පවසන පරිදි ඔහුට මේ පිළිබඳව මුල් ම අදහස පැමිණ ඇත්තේ මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පැවැති ජල රොකට් පිළිබඳව වැඩමුළුවක් අවසානයේදීයි.
“2005 ලෝකයට ආපු එකක් තමයි මේ ජල රොකට්ටු. මේකේ තාක්ෂණය පිළිබඳව මෙරට ප්‍රථම අන්තර් විද්‍යාලීය සම්මන්ත්‍රණය පැවැත්වූවේ මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ. ඒකෙදි තමයි මට මේ පිළිබඳව දැනුම ලැබුණේ.
2015 දී ආසියා ශාන්තිකර කලාපයේ ජල රොකට් තරගාවලියක්. ඉන්දුනීසියාවේදී පැවැත්වුණා. ඒකෙන් දෙවැනි ස්ථානය ලබා ගැනීමට මට හැකි වුණා. විජේනායක කියයි.
ඊට පස්සේ මම ලංකාවට ඇවිත් අපේ රාජකීය විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයට මේ ජල රොකට් නිපදවීම පිළිබඳව කරුණු පැවසුවා. පසුව අපේ සංගමයේ 50 වැනි සමරුව හා ජගත් විද්‍යා දිනය වෙනුවෙන් 2017 නොවැම්බර් මාසයේ අපි ජල රොකට් 2000 ක් හදලා ගිනස් වාර්තාවක් තියන්න සූදානම් වුණා. නමුත් ඒක ලේසි පහසු දෙයක් වුණේ නැහැ...
මොකක්ද මේ ජල රොකට් කියන්නේ. කොළඹ රාජකීය විද්‍යාලයේ අජටාකාශ හා තාරකා විද්‍යා සංගමය බාර ආචාර්ය බී.පී. රුවන් චන්දික මහතා පවසන පරිදි ජල රොකට් යනු මෙගා ප්ලාස්ටික් බෝතලයකින් අඩක් ජලයත් අඩක් අධිපීඩනය සහිත වායුවක් පිරවූ උපකරණයකි. එය ජල රොකට්ටුවක් වන්නේ එහි ඇති වායුවට ප්‍රබල පීඩනයක් ඇතිව ඉහළට යාමට හැකියාවක් ඇති බැවිනි.
මේ ජල රොකට්ටුව රඳවා ගැනීමට අප මුලින්ම ආධාරකයක් සකස් කළ යුතුයි. එය අපි සාදාගත්තේ පී.වී.සී. බටයක් මඟින්. එය ‘එල් බෝ’ හා ‘ටී සොකට්’ ආධාරයෙන් පොළොවට සවිකර ගන්න පුළුවන්. එම ආධාරකයේ ඉහළ කෙළවර වන්නේ පී.වී.සී. බටයේ කෙළවරයි.
ඊට අමතරව මේ පී.වී.සී. බටයට බයිසිකල් සුළං පොම්පයකින් සුළං ගැසීමට බයිසිකල් වෑල්ව එකක් ද සවිකළ යුතුයි. පසුව අඩක් වතුර පිරවූ මෙගා ප්ලාස්ටික් බෝතලයක් මේ ආධාරකයේ සවි කරනවා. ලොක් එකක් දමනවා. ‘ලීක් වෙන් නැති විදියට එය කළ යුතුය. ඊට පසු අපි අර බයිසිකල් පොම්පය ආධාරයෙන් අර බෝතලයට සුළං ගසනවා. සුළං පීඩන පී.එස්.අයි. 40 පමණ වූ විට සුළං ගැසීම නතර කරනවා. දැන් කළ යුත්තේ මේක ගුවන් ගත කිරීමයි. ඒ සඳහා අර ලොක් එක ක්ෂණිකව ගැලවිය යුතුයි. ලොක් එක ගලවපු ගමන් මේ බෝතලෙ’ පහළට වතුර විදිමින් නිවුටන්ගේ තුන් වැනි නියමය අනුව ඉහළට ගමන් කරනවා. ඒ තමයි ජල රොකට්වල යාන්ත්‍රණය” රුවන් චන්දක මහතා පවසයි.
මේ පිළිබඳව අපට තවදුරටත් කරුණු දැක්වූ රාජකීය විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමයේ ලේකම් විජේනායක සිසුවා පැවසුවේ මේ ජල රොකට් ගිනස් වාර්තාව තැබීමේ කටයුත්ත ලොකු අභියෝගයක් වූ බවයි. මේ සඳහා මෙගා බෝතල් රඳවන 2000 ක් හදන්න සිදුවුණා. සිසුන් 2000 ක් මේකට එක් කරගන්න ඕනෑ වුණා. ඒ සඳහා අපේ විද්‍යාලයේ විදුහල්පති ජී.ඒ. අබේරත්න හා නියෝජ්‍ය විදුහල්පති ප්‍රමිදිත වික්‍රමසිංහ හා 12 ශ්‍රේණි බාර ආචාර්ය පටබැඳිගේ යන මහත්වරුත්, 13 ශ්‍රේණිය බාර ආචාර්ය කුමාරිහාමි මහත්මියත් පූර්ණ ලෙස උදව් කළා.
විශේෂයෙන් විදුහල්පති අබේරත්න මහත්මයා යුද හමුදාව සමඟ සාකච්ඡා කරලා අර ජල රොකට් රඳවන හැදීමට උදවු ලබා ගත්තා.
විද්‍යාලයේ සිසුන් 2000 ටම මේ සඳහා මූලික පුහුණුවක් ලබා දුන්නා. ඔවුන් සියලු දෙනා තත්පර 5 ක් ඇතුළත ජල රොකට් 2000 ම ලොක් එක එක වරම විවෘත කළ යුතුව තිබුණා. ලෝක වාර්තාව තත්පර 5 කදී පිහිටුවීමට ඒ අනුව අපි පෙර පුහුණු පෙර හුරු පුහුණු වැඩසටහන් පැවැත්වූවා.
කෙසේ හෝ අපි 2017 නොවැම්බර් මාසයේ විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා සියලු සිසුන්ගේ උදවු ඇතිව අපි ගිනස් වාර්තාව පිහිටවූවා. ජල රොකට් 1950 ක් උඩට යැව්වා. යුනික් විජේනායක අප සමඟ කීය.
රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා ද මේ පිළිබඳව සිය සතුට පළ කරයි.
ජල රොකට් වැනි නව නිර්මාණ කටයුතුවලින් අපේ රටේ දරුවන්ටත් ගිනස් වාර්තා තැබිය හැකි බව මේ සිදුවීමෙන් අපට පෙන්නුම් කරනවා.
මේක රාජකීය විද්‍යාලයේ සිසුන්ගේ ලොකු ජයග්‍රහණයක්. අපිත් මේකට උපරිම උදවු ලබා දුන්නා. විශේෂයෙන් මේකට අපේ විදුහලේ ශාරීරික අධ්‍යාපනය අදාළ ගුරු භවතුන් උදවු කළා. පොදුවේ ගිනස් වාර්තාව අපේ මුළු විදුහලේම ජයග්‍රහණයක්. රටටත් ලොකු අභිමානයක්. අපි මේ අවස්ථාවේ කියන්නේ අපේ මොන පාසලට වුණත් උත්සාහය හා කැපවීම තිබෙනවා නම් මෙවැනි ජයග්‍රහණ ලැබිය හැකි බවයි” විදුහල්පතිවරයා කියයි.
නිහාල් පී. අබේසිංහ