
සෑම වසරකම විභාග ප්‍රතිඵල නිකුත් වුවත් ඒ හැම අවස්ථාවකදීම මුල් තැනට ආවේ ගිහි සිසු සිසුවියන්ය. ගිහි පරිසරයක සිට සියලු පහසුකම් භුක්ති විඳිමින් ඉගෙන ගන්නා දරුවන් පරයමින් සිය උපන් හැකියාවෙන් රටම මවිත කරවන්නට මුනින්දවංස හිමියන්ට මෙවර නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵලත් සමඟින් හැකියාව ලැබිණි.
පරකඩුව පත්බේරිය ගමේ ඉපිද හැදුණු වැඩුණු ඉෂාර මධුශංකගේ සිත කුඩා කල සිටම පොත පතට වඩා ඇදී ගියේ කහ සිවුරටය. ගමේ වෙල් ඉපණැල්ලේ සොහොයුරන් දෙදෙනාත් සමඟ සෙල්ලම් කළත් කෙදිනක හෝ මහණදම් පිරීමේ ආසාව සිතේ මුල් බැස ගත්තෙන්, දෙමවුපියන්ට සිදුවූයේ වයස අවුරුදු දොළහේදීම අකමැත්තෙන් වුවද සිය පුතු පැවිදි කරවන්නටය. ඒ පත්බේරියේ මුනින්දවංස හිමි නමිනි. කුඩා කල සිටම පොතපතට පමණක් නොව ආගමික වශයෙන්ද සිය දක්ෂතා මොනවට පෙන්වූ පත්බේරියේ මුනින්දවංස හිමි ගැන පසුගියදා රටම කතාකරන්නට වූයේ විභාග ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ නිසාය. සෑම වසරකම විභාග ප්‍රතිඵල නිකුත් වුවත් ඒ හැම අවස්ථාවකදීම මුල් තැනට ආවේ ගිහි සිසු සිසුවියන්ය. එහෙත් ගිහි පරිසරයක සිට සියලු පහසුකම් භුක්ති විඳිමින් ඉගෙන ගන්නා දරුවන් පරයමින් සිය උපන් හැකියාවෙන් රටම මවිත කරවන්නට මේ මුනින්දවංස හිමියන්ට හැකියාව ලැබුණේ මෙවර නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵල නිසාය.
උන්වහන්සේ පසුගියදා මුළු රට පුරාම කතා බහට ලක් වූයේ කලා අංශයෙන් ලංකාවෙන්ම ප්‍රථමයා බවට පත්වෙමිනි. ස්වාමීන් වහන්සේ නමක් පිරිවෙනකින් අධ්‍යාපනය ලබා ලංකාවෙන්ම උසස් පෙළින් ප්‍රථමයා වූ පුවත් මින් පෙර අපට අසන්නට ලැබුණු බවක් අපේ මතකයේ නොවිණි.
“ මම ඉපදුණේ පරකඩුව පත්බේරිය කියන පුංචිම ගමක. මට මල්ලිලා දෙන්නෙක් සිටි නිසා අපි හරීම විනෝදයෙන් සිටියේ. මගේ තාත්තා රියදුරෙක්. අම්මා ගෘහණියක්. තාත්තා තමයි අපට කන්න බොන්න දීලා අපිව පෝෂණය කළේ. ඒ වගේම තාත්තාගේත් අම්මාගේත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා අපි තුන්දෙනා හොඳට ඉගෙන ගන්නවා බලන්න. අපි තුන්දෙනා ඉගෙන ගත්තේ රත්නපුර හංගමුව පාසලේ. මල්ලිලා දෙන්නට වැඩිය මම හරිම වෙනස්. මම ගොඩාක් ගමේ පන්සලක් එක්ක සම්බන්ධ වුණා. පාඩම් වැඩ ඉවර වුණාම මම දිව්වේ ගමේ පන්සලට. පොඩි පොඩි හාමුදුරුවෝ එක්ක හරීම එකතුයි. මට ශිෂ්‍යත්වය ලියන්නත් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ගොඩාක් උදවු කළා. මේ නිසා මට මහණ වෙන්න හිතුණේ වයස අවුරුදු 7 දී. ඒත් අම්මලා කැමැතිවුණේ නැහැ. කොහොම හරි මම අවුරුදු 12 ක් වෙනකොට අම්මලාගේ කැමැත්ත අරගෙන පරකඩුව ගමේ ශ්‍රි රත්නාරාම පන්සලේ මහණ වුණා. මම මහණ වුණත් මගේ අම්මලා තාත්තලා මගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලුවා වගේම ස්වාමීන් වහන්සේත් මගේ අධ්‍යාපන කටයුතුවලට නිතර උදවු කළා. මහණ වුණායින් පස්සේ මම ගිනිහිරිය සිද්ධාර්ථෝදය පිරිවෙනට ගියා අධ්‍යාපන කටයුතු කරන්න.
ශාසනික වැඩවලට වගේම මගේ ජීවිතේ තවත් ආසාවක් තිබුණා, හොඳින් උසස් පෙළ සමත් වෙලා විශ්විද්‍යාලයට ගිහින් විශ්ව විද්‍යාලයට කථිකාචාර්යවරයෙක් වෙන්නට. නමුත් ලංකාවෙන්ම ඉහළම ලකුණු අරගෙන ජයගැනීම අරමුණු කරගෙන මම කවදාවත්ම පාඩම් කළේ නැහැ. උසස් පෙළට කලා විෂය තෝර ගත්තු මම රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ ඉඳගෙනයි උසස් පෙළ විෂය හැදෑරුවේ. මේ පිරිවෙනේ පැවිදි හිමිවරු හිටියේ හතර දෙනයි. අනිත් සියල්ලම ගිහි සිසුන්. සංස්කෘත, ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය විෂයන් විදියට මම තෝරා ගත්තා. විභාගය අරමුණු කරගෙන මම පාඩම් කරන්න ගත්තේ දින කිහිපයකට කලින්. මම පණගම මහින්දාරාම පන්සලට ගියා නිදහසේ පාඩම් කරන්න. අන්තිමදවස් වල කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා පාඩම් කළා. ඒත් කවදාවත්ම හිතුවෙත් හිතුණෙත් නැහැ මේ වගේ ඉහළ ජයක් ලබන්න. අද මගේ නායක හිමිවරුන් වගේම මගේ දෙමවුපියන් හරීයට සතුටු වෙනවා, මේ ජයග්‍රහණය ගැන.” මුනින්දවංස හිමියෝ පවසති.
යහපත් සමාජයක් ඇති කිරිම මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබීමේ අරමුණින් සිය ඉගෙනිම් කටයුතු කළත් අද උන්වහන්සේ නොසිතු ජයත් ලබා තිෙබ්.
“මේ පොඩි හාමුදුරුවෝ ගුරු සිසු සියලු දෙනාගේ ගෞරවය දිනා ගත්තා. ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිපදින ප්‍රතිපදා අනුගමනය කළ නිහතමානි හිමි නමක්. තරුණ වුණාට ඉගෙන ගන්න වගේම හොඳ ආගමික නැඹුරුවක් තිබුණා. මේ පිරිවෙනේ හැමෝගේම ආදරය දිනා ගනිමින් උන්වහන්සේ ඉහළ ජයග්‍රහණයක් ලැබුවා. එය පිරිවෙන් ක්ෂේත්‍රයටම ගෞරවයක්.” එසේ පවසන්නේ සද්ධර්මාලංකාර පිරිවෙනේ කෘත්‍යාධිකාරි ධර්මපාල සීලානන්ද ස්වාමීන් වහන්සේ ය.
පත්බේරියේ මුනින්දවංස හිමි වැඩ සිටින්නේ රඹුක්කන්ද විහාරස්ථානයේය. උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා උන්වහන්සේ සද්ධර්මාලංකාර පිරිවෙනට වැඩම කළහ. සද්ධර්මාලංකාර පරිවෙණාධිපති ලෙස වැඩ වසන්නේ මාවුදැල්ලේ සිරිසුමන හිමියෝය. උන්වහන්සේ ද මුනින්දවංස හිමි ගැන අදහස් පළ කළහ.
“මේ පිරිවෙනේ අනිකුත් සිසුන් අතර මේ ස්වාමීන් වහන්සේගේ කැපී පෙනුණු ලක්ෂණ ගොඩාක් තිබුණා. කවදාවත් නිදි මරාගෙන පාඩම් කළේ නැහැ. සක්මන් කරමින් තමයි පාඩම් කළේ. ඉගෙන ගන්නා සියලු දේ ධාරණය කර ගැනීමේ හොඳ මතක ශක්තියක් උන්වහන්සේට තිබුණා. අපේ ලොකු විශ්වාසයක් තිබුණා උන්වහන්සේ දිස්ත්‍රික්කයෙන් පළමු හතර ඇතුළට එයි කියලා. ඒත් උන්වහන්සේ අපේ පිරිවෙනටම ගෞරවයක් දෙමින් ලංකාවෙන්ම එක වුණා.”
මුනින්දවංස හිමි තමන් වහන්සේ මේ වන විට වැඩ වාසය කරන විහාරස්ථානයේ පරිවේණාධිපති වටාපොත ආරියවංශ හිමියන්ට මෙන්ම පුස්සැල්ලේ බුද්ධිවංශ හිමියන් ඇතුළු මේ සියලු ස්වාමීන් වහන්සේට සිය කෘතවේදිත්වය පළ කරන්නේ හදපිරි භක්තියෙන් යුතුවය. එපමණක් නොව ගිහි ජීවිතයේදී ආදරය දුන් සිය මවත් පියාත් සොහොයුරනුත් උන්වහන්සේ සිහිපත් කරන්නේ ගෞරවයෙනි.
තොරතුරු හා සේයාරූ
එන්.පී. රාජදොරෙයි (රත්නපුර විශේෂ)