සංර­ක්ෂිත කළ යුතු ආහාර වට්ටෝරු | Page 5 | සිළුමිණ

සංර­ක්ෂිත කළ යුතු ආහාර වට්ටෝරු

පානම සුවිශේෂ ආහාර සංස්කෘතියක් හිමි පාරම්පරික ගමකි. නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්ත්‍රික්කයේ දකුණු දෙසට වන්නට පානම පිහිටා ඇත.

එය කෘෂිකර්මාන්තය මූලික කොටගෙන ගොඩනැංවුණ ස්වයංපෝෂිත ආර්ථිකයකට උරුම කම් කියයි. කරදිය හා මිරිදිය මත්ස්‍ය සම්පතින්ද හේන් ගොවිතැන ආශ්‍රිත බව බෝගයෙන්ද වනය ආශ්‍රිත මී පැණි හා අනෙකුත් ඵලදාවන්ගෙන්ද පොහොසත් පෝෂ්‍යදායී ආහාර රටාවක් මෙහි ගැමියන්ට උරුමව ඇත.

සෑම ආහාරයක්ම රසකාරවලින් තොර රසවත් හා ගුණවත් බවින් යුතුය.

ලංකාවේ බොහෝ ප්‍රදේශයන්හී මෙන්ම පානම ජනයාගේද ප්‍රධාන ආහාරය බත් ය. එහෙත් එය සුවිශේෂීය මන්ද වෙනත් ප්‍රදේශයන්හී දක්නට නොලැබෙන ආහාර විවිධාංගීකරණයක් මෙහි දැක ගත හැකිය.

හාල්, බත් පිසීමට පමණක් නොව වෙනත් විශේෂ ආහාර පාන සෑදීම සඳහාද යොදා ගනු ලබයි.

 

කිරිබත්

සුබ කටයුත්තකදී කිරිබත් සෑදීම මෙරට කාගේත් පොදු සිරිතකි. පානම වැසියෝ මේ කිරි බත් සෑදීමේ උපන් හපන්නුය. සාමාන්‍යයෙන් කිරිබත් පිස ගනු ලබන්නේ පොල්කිරි භාවිතයෙනි.

එහෙත් පානමදී එය සුවිශේෂ වේ. ඒ සඳහා අල හෝ කිරි යොදා ගනු ලබයි. ඔවුහු එයට රස අනුව සීනිද එක් කර ගනිති. එය ඉතා රසවත් මෙන්ම ගුණවත් ආහාරයකි. අල කිරි බත් හා කිරි යෙදූ කිරි බත් දෙවර්ගය ඉතාමත් රසවත්. කිරි බතට කිරි යෙදීමේදී පානම වැසියෝ එළ කිරි යොදති.

මෙය ඉතා රසවත් අතර කුඩා දරුවන් අතර ජනප්‍රියය. හාල් ගරා ළිප තබන අතර එයටම කෑලි කැපූ මඤ්ඤෝක්කා එක් කර ගෙන තම්බා ගනියි. මඤ්ඤෝක්කා තැම්බුන පසු එයට එළකිරි ,සීනි සහ රස අනුව ලුණු ද එක් කරයි.

ඇඟිටි හාල් පිට්ටු

වෙනත් ප්‍රදේශයන්හී පිට්ටු, රොටී, ඉදි ආප්ප ආදිය සෑදීම සඳහා යොදා ගනු ලබන්නේ හාල් පිටිය. එහෙත් පානමදී පිටි භාවිත නොකරද පිට්ටු සහ රොටී පිළියෙළ කර ගනු ලැබේ.

මෙහිදී හාල් පිටි වෙනුවට බොල් වී කොටා ලබා ගන්නා “ඇඟිටි හාල්” යොදා ගනියි.ඇඟිටි හාල් හොඳින් සෝදා ගරා එය පිට්ටුවක් ලෙස තම්බා පිළියෙල කරයි.

මෙලෙස සෑදූ පිට්ටු පොල් හා සීනි සමඟ අනුභව කරන්නේ නම් එහි එහි රසය තවත් වැඩි වේ.

ඇහිටි රොටී

හුන්සාල්වලටද වඩා ඉතා කුඩා සහල් කැබලි “ඇහි” ලෙස හඳුන්වනු ලබයි. මේවා හොඳින් සෝදා ගරා ලුණු සුදුසු පදමට ලුණු එක් කර අනා ගනු ලබයි.

හොඳින් රත් වූ රොටී කබල මතට සැකසූ ඇහි මිශ්‍රණයෙන් හැන්දක් දමා එය රොටියක් ආකාරයට සකසා පුලුස්සා ගැනේ.මෙලෙස සාදා ගත් ඇහි රොටී ආහාරයට ගනු ලබන්නේ වංගෙඩියේ දමා එකට කොටා ඇනූ සීනි සහ පොල් සමඟය.

අග්ගලා

අග්ගලා සාදා ගනු ලබන්නේ බත් අව්වේ වේලා උණු කබලේ බැද කොටා පිටි හලා ගැනීමෙනි. මෙලෙස සෑදූ පිටි මී පැණියෙන් අනා අග්ගලා ගුළි සාදා ගනු ලැබේ.

පාන වර්ග

හාල් යොදා සකසා ගනු ලබන පාන වර්ග කිහිපයක්ම මෙම ප්‍රදේශයේ සුලබව දක්නට ඇත. හුනු සහල් කැඳ එයින් වඩා ප්‍රචලිතය.හුණු සහල් පොල් කිරෙන් තම්බා එයට සුදු ලුණු බික් කිහිපයක් සහ අවශ්‍ය පමණට ලුණු එක් කර ගනියි. පොල් කිරි වෙනුවට එළකිරි යොදා කැඳ පිළියෙල කරගන්නා අවස්ථාවන්ද ඇත. මෙය රසයෙන් සහ ගුණයෙන් යුත් කැඳ වර්ගයකි.

උමයංගනා පූජනී ගුණසේකර

රුහුණ විශ්වවිද්‍යාලය 

Comments