
ලංකාවට එන අපේ ගමන අපිට හීනයක්ම වුණා. ගෙදරින් ලැබෙන මුදල් අපි එකතු කර ගත්තා. අපි මේ අයට ගොඩාත් තෑගි භෝග ගෙනාවා. ටොෆි චොකලට් ගොඩාක් ගත්තා. අද අපිට හරිම ආසයි. මේ ගම්මානයේ ඉන්නේ අපි වගේම යාළුවෝ. ඒ අය තෑගි දැක්කහම ගොඩාක් සතුටු වුණා. නව වසරේ ඒ අයට මෙය අමතක නොවන දෙයක් වෙයි. අපි අපේ රටට යන්නේ අලුත් අවුරුද්දේ අපේ සිතුත් සතුටු කරගෙන. අපි ලංකාවට හරිම ආසයි. ආයිත් එනවා ලංකාවේ යාළුවෝ බලන්න....
වසරක් ගෙවී නව වසරක් උදාවීමට ඇත්තේ තව හෝරා කිහිපයක් පමණි. එපමණක් නොව නව පාසල් වාරයක්ද එළඹීමට ඇත්තේ තවත් එක් දිනක කාලයකි. එළඹෙන නව වසර දෝතින් දායාද කරගෙන නව බලාපොරොත්තු ගොන්නක් ඉටු කර ගැනීමට බොහෝ දෙනෙක් සිහින දකින්නේ බොහෝ කාලයක සිටය. උදාවන නව වසරේ නව අරුණලු පූදින්නට පෙර ඔවුහු මෙසේ දුරුකතර ගෙවා පැමිණියේ තෑගී බෝග පමණක්ම රැගෙන නොව කිසිදා ආදරය සෙනෙහසක් නොලද්දවුන්ට ඒ උතුම් ආදරය සෙනෙහසද රැගෙනය. ජීවිතයේ මහා බලාපොරොත්තු ඔවුන් තුළ නොවූවත් නව බලාපොරොත්තු ගොන්නක් මේ පුංචි සිත්සතන් තුළ ජනිත කරවන්නට ඔවුනගේ පැමිණීම හේතුවක් විය.
ඔවුහු තවමත් චීන දේශයේ පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් ය. වීනයේ ශැංහයි ප්‍රාන්තයේ කැංචෝ (Kang Chco) නමින් හැදින්වෙන් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන මේ දරු දැරියන් ගෙවීගෙන යන වසරේ සිය ජීවිතයට අලුත් යමක් එකතු කර ගැනීමේ අඳිටනින් මෙලෙස සත්කාර්යකට මූලාරම්භයක් සැපයූවේ දෙරට අතර පවතින මිතුදමට නව අරුතක්ද ගෙන දෙමිනි. චීනය හා ශ්‍රි ලංකාව අතර පවතින දිගුකාලීන මිතුදම තවත් ශක්තිමත් කරන්නට මෙන්ම මානව දයාවෙන් පිරිපුන් හදවත් එකතු කරන්නටද මේ පොඩිත්තන්ගේ ආගමනය දෙරටටම සුවිශේෂි ආරම්භයක් සපයන්නට විය.
වසරක් ගෙවි නව වසරක් එළඹීමට තව ඇත්තේ සුළු මොහොතකි. මේ මොහොත වන විට මේ පුංචි යහළුවන් දරු රටක සිට අපේ දරුවන්ට නව වසරක් සෙනෙහසින් සතුටින් ගත කරන්නට පොදිබැඳ ගෙනා තෑගී බෝගද දී සිත් සතුටින් ශ්‍රි ලංකාවේ ශ්‍රී විභූතිය දැක බලාගෙන නැවතත් සිය මව්රටට ගොස් හමාරය. දෙමවුපිය රැකවරණය අහිමි, දෙමවුපිය ආදරය අහිමි දරුවන්ට ආදරයක් ලබා දෙන පිළයන්දල පිහිටි SOS ළමා ගම්මානයේ තවත් කුඩා දරුදැරියන් මේ චීන රටේ යහළුවන්ගේ ආදරය මුසුකරමින් ලැබූ සත්කාරයෙන් හෙට නව වසරකට පිවිසෙති.
ඩෙන් ඩී ක්වෑං, ෂැංලිං, ඩෙංයිසුඈං, වෙයිහොරං, ඉෂුවෑං, ජියෑං යුෂේ, ජිංටාඩ්, ලූයිං, වෑංසියායු, වෑංඉසුඈං සියල්ලෝම ෂැංහයි ප්‍රාන්තයේ කැංචෝ පාසලේ ඉගෙනුම ලබන අවුරුදු 12 සිට 15 වයසේ පසුවන දරු දරුරියෝ ය. බොහෝ කලක සිට ඔවුනගේ ශ්‍රි ලංකාව දැක ගැනිමට මෙන්ම ලංකාවේ SOS ළමා ගම්මානයේ වෙසෙන තමන් වැනිවූ කුඩා දරු පිරිසකගේ හදවතට ජීවය දෙන්නට ඔවුන් දැක බලා ගන්නට පෙරුම් පිරූහ. එපමණක් නොව තමන්ගේ අතට දිනපතා දෙමවුපියන්ගෙන් ලැබෙන්නාවූ සොච්චම් මුදල ඔවුන් එකතු කළේ ලංකාවට යන දිනක මේ දරුවන්ට යමක් ගෙනයන්නට මුදලක්ද ඉතිරි කරමිනි.
“ලංකාවට එන අපේ ගමන අපිට හීනයක්ම වුණා. අපිට හරිම ආසාවක් තිබුණා අපි වගේම ලංකාවේ ඉන්න අහිංසක දරුවන්ට තෑගි බෝග අරගෙන යන්න. මේ නිසා අපිට ගෙදරින්ලැබෙන මේ මුදල අපි එකතු කර ගත්තා. අපි ලංකාවට යන්න කලින් මේ අයට ගොඩාත් තෑගි භෝග ගෙනාවා. ටොෆි චොකලට් ගොඩාක් ගත්තා. අද අපිට හරිම ආසයි. මේ ගම්මානයේ ඉන්නේ අපි වගේම යාළුවෝ. ඒ අය මේවා දැක්කහම ගොඩාක් සතුටු වුණා. නව වසරේ ඒ අයට මෙය අමතක නොවන දෙයක් වෙයි. අපි අද අපේ රටට යන්නේ අලුත් අවුරුද්දේ අපේ සිතුත් සතුටු කරගෙන. අපි ලංකාවට හරිම ආසයි. ආයිත් එනවා ලංකාවේ යාළුවෝ බලන්න....“ ඒ ඉෂුවෑං ය. ඉෂුවෑං පමණක් නොව සිය දෙමවුපියන් සමඟ පැමිණි මේ දරුවන්ගේ එකම අරමුණ වී තිබුණේ ලස්සන ශ්‍රි ලංකාවක් දැක ගැනීම පමණක් නොව තවත් ලස්සන හදවත් කිහිපයක් දැක ගැනීමත් ය. සෙව්වන්දි, සිතාරා, දීපාල්, අනුත්තර පමණක් නොව මේ ගම්මානයේ දරුවන්ට අලුත් දවසක් උදාකළ ඒ මොහොත ඔවුනගේ ජීවිතයද මොහොතකට දෙනෙතට කදුලක් එක්කරන්නට විය.
චීන දරුවන්ගේ මේ ගමන සංවිධානය කළේ ලංකා ස්පෝර්ට්ස් රයිසන්ස් සංචාරක ආයතනයයි. ලංකා ස්පෝර්ට්ස් රයිසන්ස් ආයතනය ලංකාවට චීන ඇතුළු බොහෝමයටක් රටවල සංචාරකයින් ගෙන්වන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයටය. ඔවුන් ගෙන්වන චීන සංචාරකයින් බොහෝමයක් අප රටේ අති දුෂ්කර පාසල් වලට ශක්තියක් සපයන්නේ එම පාසල්වල පවතින දුෂ්කරතා වලට යම් ආධාරයක් ඔවුනතින් ලබාදෙමිණි. ලංකා ස්පෝර්ට්ස් රයිසන්ස් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා මෙන්ම එම ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි ධර්මපාල මහතා මෙන්ම චීන සංචාරක අංශය භාර චාමික දිසානායක යන මහත්වරු මේ දරුවන් ගෙන්වීමේ කර්කව්‍යයට පුරෝගාමි මෙහෙවරක් ගෙන දුන්නේ එමඟින් අපේ දරුවන්ට ශක්තියක් ගෙන දෙන්නටය.
ෂැංහයි සිට පැමිණි මේ දරුවන්ට මඟ පෙන්වන්නා වූයේ සමන් පෙරේරා මහතාය. මේ පැමිණි දරුවන් බහුතරයකට සිය චීන භාෂාවෙන් අපේ දරුවන් හා සම්බන්ධ වූයේ ඔහු හරහා ය.
“මේ දරුවන්ගේ ලොකූම ආසාවක් තිබුණා අපේ මේ SOS ගම්මානයේ දරුවන් දකින්න. ඒ අය එනකොට මේ දරුවන්ට ඒ රටේ ලස්සන ලස්සන තෑගි ගොඩාක් ගෙනාවා. මේ දරුවන් SOS ගම්මානයේ දරුවන් ගතකරන ජීවිතේ දැකලා හරීම සතුටු වුණා. ඒ වගේම මේ අය අපේ රටේ ගොඩාක් තැන් බලන්න ගියා. පින්නවල අලි අනාථාගාරය, සීගිරිය, නුවර, සිහරාජය, හික්කඩුව, කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය වගේ ගොඩාක් තැන් බලන්න ගියා. ඒ ගොල්ලන්ගේ අපේක්ෂාව නැවතත් ලංකාවට පැමිණීමයි....“ඒ මේ දරුවන්ට චීන බසින් සියල්ල තේරුම් කර දෙමින් මඟ පෙන්වන්නා වු සමන් මහතා ය. මහා බරින් හේ දරුවන් තෑගි බෝග නෙගෙනාවත් ආදරය සෙනෙහස පිරි ඔවුනගේ දායාදයන් මේ දරුවන්ට මහත් සත්කාරයක්විය. එපමණක් නොව තම ගම්මානයට මේ දරුවන් අතින් යම් මුදලක් පිරිනැමුවේද ඔවුනට හෙටක් උරුම කර දෙන්නටය.
“අද අපිට හරීම සතුටුයි. අපේ අම්මලා තාත්තලා නැහැ. ඒත් අපිට මේ ගම්මානයේ හොඳ අම්මලත් තාත්තෙකුත් ඉන්නවා. අපි හරිම සතුටින් ඉන්නේ. ගොඩාක් අය අපිට නිතරම තෑගි බෝග අරගෙන එනවා. ඒත් ඒ අතර මේ යාළුවෝ අපිට ගොඩාත් සුවිශේෂි වුණා. අපිට ඒ රටට ගියා වගේ හැඟීමක් ඇතිවුණා. ඒගොල්ලෝ අපිට රසකැවිලි වගේම අපිට අලුත් අවුරුද්දේ පාසල් යන්න පොත්පත් පැන්සල් වගේම පාට පෙට්ටි පැන්සල් පෙට්ටි අරගෙන ආවා.දැන් අපිට ගොඩා ක් සතුටුයි. අපි අලුත් අවුරුද්දේ ඉස්කෝලේ යන්නේ මේ චීන යාළුවෝ අපිට ගෙනාපු මේ ලස්සන පාසල් උපකරණත් අරගෙන. ඒ අය අපේ ගම්මානයට ගෙන්නපු ලංකා ස්පෝර්ට්ස් රයිසන්ස් ආයතනයට අපි ස්තූතිවන්න වෙනවා...........“මේ ගම්මානයේ දරුවන් එලෙස පවසන්නේ හදවතිනි.
“ මේ අයත් අපි වගේ. ඒ අයගේ පාසල් නිවාඩුව අවසන් වෙලා පාසල් පටන්ගන්න ළඟයි කිව්වා. අපි මේ යාළුවන්ට ගෙනාවේ ඒ අයගේ අලුත් පාසල් වාරයට ගෙනියන්න අලුත් බෑග්, පැන්සල්, පෑන් පාට පෙට්ටි වගේ ඒවා. ඒ අය ඒවා අරගෙන සතුටින් පාසල් යනවා දකින්න අපිට බැරි වුණත් අපි අපේ රටට ගිහින් ගොඩාක් සතුටුවෙනවා, ලංකාවේ ගමන ගැන හිතලා. අපිට ලංකාව හරීම සමීපයි. ඒ රටේ ආගන්තුක සත්කාර වගේම ලංකාවේ ලස්සනටත් අපි ගොඩාක් කැමැතියි. අපි නැවතත් ලංකාවට එනවා, මේ වගේම පාසල් තෑගි බෝග අරගෙන......“එ් ඩී ක්වෑං ය.
මේ චීන යාළුවෝ මේ වන විට සියරටට ගොස් හමාරය. ඒ ඔවුන්ගේ මතකයන් පමණක් රැගෙනය. නව වසර ඔවුනටද නව වසරක්ම වන්නේ මේ සුන්දර අතීතය නිසාය. එහෙත් අපේ දරුවන්ට හෙටින් අලුත් දවසක් උදාවන්නේ ය. නව වසරක් පමණක් නොව නව පාසල් වාරයක්ද ඔවුනට හෙට දින උදාවන්නේ ය. ආදරය සෙනෙහස අහිමි වුවත් ජීවිතයේ එල්ල වූ බාධාවන් නොතකා ඔවුහු බොහෝ දේ ජයගෙන ඇත්තේ ය. උදාවන නව වසර මේ දරුවන්ට පමණක් නොව සමස්ත දරුවන්ටත් නව වසරක්ම වේවා.!
(තොරතුරු ලබා දීමේදි සහය වූ ලංකා ස්පෝර්ට්ස් රයිසන්ස් ආයතනයේ චාමික දිසානායක මහතාට විශේෂ ස්තුතිය)
සේයාරු - විමල් කරුණාතිලක