සිරිපතුල දැක ඇති පින් කළ දෑස් බෝ වෙති | සිළුමිණ

සිරිපතුල දැක ඇති පින් කළ දෑස් බෝ වෙති

බෙත්මේ වලව්වෙන් සමනොළ ගිරගට 05

මෙතෙක් කතාව...

බෙත්මේ වලව්වේ දෙටුපුත් 'අප්පුහාමි' 1693දී පැවිදිබිමට ඇතුළත් වූයේ 'වේහැල්ලේ ධම්මදින්න' සාමණේර නමිනි. වැලිවිට සරණංකර හිමියන් ඇසුරට පත් උන් වහන්සේගේ දක්ෂතාවන්ට පැසසුමක් ලෙස කීර්ති ශ්‍රී රාජසිංහ රජු තඹ සන්නසකින් සමනොළගිර විහාරය බාරදුන්නේය. ධම්මදින්න හිමියන්ගේ සොහෙ‍ායුරුට ලැබුණු 'මුලමොර' ගම්වරය නිසා මොලමුරේ පෙළපත පැවතෙයි. පසුව පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජු සුදුසු දූත පිරිසක්, තාර්කා නැවෙන්, රාජකීය පුද පඬුරුද සහිතව අයෝධ්‍යාවට පිටත් කර, 1753 ඇසළ පුර පසළොස්වක සියම් දේශයේ සිට වැඩි උපාලි මහ ස්ථවිරයන්ගේ උපාධ්‍යායත්වය අධිශීල ශික්ෂා සංඛ්‍යාත පිරිසුදු උපසම්පදා කර්මය සිදු කරන ලදී. ඉන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සංඝරාජ පදවිය වැලිවිට සරණංකර හිමියන් වෙතද වේහැල්ලේ ධම්මදින්න හිමියන් සසුනට කළ සේවය අගයා සිරි සමනොළ ගල විහාර පදවිය ද පූජා කරන ලදි. 1792 දක්වාම ශ්‍රී පාදස්ථානය භුක්ති විඳි ආඬි පකීර්වරුන් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට තෑගි කරන ලද අඩි හතකුත් අඟල් තුනක් දිගැති දැවැන්ත ඇත්දළ යුගලද වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ට බාර කරන ලදි. කරතොට හිමියන් අල්ලාගෙන යෑමට පැමිණි දොඩම්වෙල නිලමේ මෙය සතුරු දේපළක් ලෙස නම් කළේය. 

සතුරු දේපළක් ලෙස නම් කොට රාජාධිරාජසිංහ රජුට බාර දෙන ලද මේ විශාල ඇත්දළ යුවළ මල්වතු විහාරයේ තැන්පත් කිරීමට කටයුතු සැලැස්විණි. වේහැල්ලේ හිමියන් අපවත් වී වසර ගණනක් ගෙවී ගියේය. ගාල්ලේ ශ්‍රී මේධංකර හිමියන් ශ්‍රීපාදස්ථාන නායක පදවියට පත් වූ 1826දී යළි මේ ඇත්දළ යුගලද ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ශ්‍රීපාදස්ථානයට පූජා කෙරිණි. කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් විසින් රචිත ‘වේහැල්ලේ ධම්මදින්න ශාසන ඉතිහාසය’ ග්‍රන්ථයට අනුව, මේධංකර නාහිමියන්ගේ සිසුවකු වන ගලගම අත්ථදස්සි හිමායන් ශ්‍රීපාදස්ථානයේ නායක පදවියට පත් වූ පසු උන් වහන්සේ වැඩ-විසූ හම්බන්තොට ගලගම පුස්සල පුරාණ විහාරයට වඩින අතර ගල්පොත්තාවල පන්සලේ මැදගෙයි බිත්තියකට තබා මැටි ගසා ආරක්ෂා කර ඇත. එහෙත් ටික දිනකින් ඒ අසල පන්සලක වැඩ-විසූ මහලු නාහිමිනමක් ඒ බිත්තිය කඩා ඇත්දළ යුගල සොරකරම් කළා පමණක් නොව, ශ්‍රීපාද ලාංඡනය සහිත පූජා ලිපියද මකා-දමා කොළඹ යම් ස්ථානයකට විකුණූ බවත්, ඒ සඳහා විශාල මුදලක් ලැබුණු බවත් සඳහන් වේ. අද ඊයේ පමණක් නොව, බොහෝ කලක පටන්ම ඇත්දළ සඳහා ඉල්ලුම මෙන්ම සැපයුම විවිධ තරාතිරම්වලින් සිදු වන බවට මෙය හොඳම සාධකයකි.

අවධානය යොමු විය යුත්තේ එයට පමණක් නොව, අඩි හතකුත් අඟල් තුනක් තරම් විශාල දළ යුගලක් දරන්නට හැකි වූ ඇතා කොතරම් විශාල සතකු වන්නට ඇත්ද? යන්න කෙරෙහිය. ආඬි පකීර්ලා දළ කපාගෙන රජු තුටු-පහටු කර ශ්‍රී පාදස්ථානයේ අයිතිය තහවුරු කරගැනීමේ අරමුණින් මේ මහා සද්ධන්තයා මරා දමන්නට ඇත. එදා මෙදා තුර මිනිසුන්ගේ නොතිත් ආශාවන් වෙනුවෙන් දිවි පුදන්නට අලි-ඇතුන්ට සිදු වූ බවට තවත් සාක්කි අවශ්‍ය නොවනු ඇත.

ආඬි පකීර්ලා පමණක් නොව, තවත් බොහෝ අය ශ්‍රී පාදස්ථානය ඩැහැගැනීමට යෙදූ විවිධ කූට උපක්‍රම එමටය. මේ හේතුව නිසාමදෝ ශ්‍රීපාදස්ථානය වැඳ-පුදාගැනීමට පැමිණි දෙස්-විදෙස් විශේෂ සංචාරකයන් පිළිබඳ වැඩිදුර තොරතුරු අපේ ඉතිහාස පොත්වල සඳහන් නොවන බව අම්මඩුව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේවර උදය ඇමතියගොඩ මහතා කළ පර්යේෂණාත්මක ඉතිහාස සාහිත්‍ය ග්‍රන්ථයක් වන ‘සපරගමුවේ වංශකථා’ පොතේ සඳහන් වෙයි. ඔහු විවිධ ඓතිහාසික තොරතුරු හඹාගොස් කළ පර්යේෂණයට අනුව ‘මණිමේකලෛ’ නම් ද්‍රාවිඩ කාව්‍ය ග්‍රන්ථයේ ලොව නන්දෙසින් පැමිණ සිරිපා කරුණා කළ ප්‍රභූන් පිළිබඳ සඳහන් වන බව පැවසේ.

මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රිස්තු පූර්ව 323දී ඉන්දියාව යටත් කළ පසු හෙළ දීපයේද සංචාරයක නිරත විය. ඒ අතර සිරිපතුල දැකගැනීම සඳහා ගිරිහිස තරණයට සූදානම් වුවද එය මහත් දුෂ්කර ක්‍රියාවක් වූ බැවින් මහගිරි දඹේ ගල් පඩි කප්පවා දම්වැල් යොදා සිරිපා කරුණා කළ බවට සාක්ෂි සපයන්නේ පසු කාලීනව ඒ බව ලියූ පර්සියානු ජාතික අශ්රාෆ් නම් කවියාගේ පොතකය. ක්‍රි.ව. 20දී ශ්‍රී මේඝවර්ණ නම් කාශ්මීර නරපතියා සිරිපා වැඳ පුදාගත් බව කියැවෙන්නේ ‘රාජ තරංගනී’ නම් සංස්කෘත ග්‍රන්ථයේය. පස්වැනි ශත වර්ෂයේ හ්‍යුං ෂියෑං සහ අභයගිරියේ වැඩ-විසූ වජිර බෝධි නම් චීන ජාතික භික්ෂූන් වහන්සේ සිරිපා දුටු අයුරු තමන් වහන්සේගේ ග්‍රන්ථවල සටහන් තබා ඇත. ක්‍රි.ව. 412 යුගයේ පාහියන් භික්ෂුව සිරිපාදය පිළිබඳ ලියා ඇතත් කරුණා කළ බව එහි විශේෂයෙන් සඳහන් නොවේ. ක්‍රි.ව නව වැනි සියවසේ ටිෂින් හුවෝ, මුරාරි, ප්‍රහ්ලාදන, අනර්ඝරාඝව, මහානාමන්, ඉබන් බුර්දාබේ වැනි චීන, ඉන්දියානු සහ පර්සියානු ජාතිකයන් සිරිපතුල සියැසින් දැක ඇත.

අපේ වංශකතා රාජාවලියේ එන වළගම්බා රජුගෙන් පසු සිරිපා කරුණා කළ නරපතියකු පිළිබඳ සටහනක් දිගු කාලයකට දැක ගත හැකි නොවේ. ඉන් පසු හමු වන්නේ ශ්‍රී සංඝබෝධි විජයබාහු රජු සිරිපා වන්දනාවේ පැමිණ සැදැහැවතුන් වෙනුවෙන් ගිලීමලය සහ බඹරබටුව යන ගම්ද විහාරයට පුදා සිය ගමන පිළිබඳ ගිලීමලේදී සෙල් ලිපියක්ද කරවූ බවයි.

මතු සබැඳේ... 

Comments