
අද මේ අවුරුද්දේ අන්තිම දවස. හෙට ඉඳන් අලුත් දින දර්ශන වසරක්, 2018 ලබනවා. පසුගිය දින තුන්සිය හැට හතරම ගෙවුණු විදිහ මතක නැති වුණත් අපි හැමෝටම විශේෂයෙන් මතක හිටින දින කීපයක් හෝ තිබෙන්නට ඇති. එය සමහර විට මංගල උත්සවයක්, පවුලට අලුත් සාමාජිකයෙක්, විභාග ජයක්, උසස්වීමක්, විදෙස් සංචාරයක් වැනි කුමක් හෝ විශේෂ සතුටුදායක සිදුවීමක් වන්න පුළුවන්. ඒ වගේම අපේ නෑදෑ හිතවතෙකුගේ වියෝවක්, බැඳීම්වල බිඳී යෑමක්, ලබිය යුතු දෙයක් නොලැබී යෑම වැනි දුක්ඛදායක දෙයක් වන්නත් පුළුවන්. මේ කුමන ආකාරයේ මතකයක් වුණත් එය උසුලාගෙන හෙට දවසේ ලබන වසරට පිය තබන්නම වෙනවා. ජීවිතයට මුහුණ දෙන අපට එය වළක්වන්න බෑ. හැබැයි එක දෙයක් අපට කරන්න පුළුවන්. ඒ තමයි ගිය වසරට වඩා වෙනස් විදිහකට මේ වසර ගෙවන්න අපේ සිතට ගන්න එක. ඒ දේ කරන්න නම් අප ගිය වසරේ අපට හරි ගිය - වැරැදුණු දේ පිළිබඳ යම් අවබෝධයක් ලබාගත යුතු වෙනවා. ඒ වගේම මේ වසරේ වෙනස් දෙයක් කරන්න නම් ගිය වසරට වඩා වෙනස් විදිහට හිතන්නත් වෙනවා.
සමහර පුංචි පුංචි සිතිවිලි තමයි මහා විශාල ව්‍යාපෘති වෙලා ලෝකයම වෙනස් කරන්නේ. හරියට අපි පොඩි කාලේ ගයපු ‘බින්දු බින්දු එක් වෙලා ගඟක් හැදෙනවා’ ගීතයේ වගේ. ඒ නිසා අප හැමෝටමත් පුළුවන් එක් පුංචි සිතිවිල්ලක වෙනසකින් ලෝකයක් වෙනස් කරන්න. එහෙම කීවාම සමහරුන්ට හිනා යයි. ‘අපි කොහොමද ලොකේ වෙනස් කරන්නේ?’ කියලා. හරි එහෙම නම් පොඩි තැනින් පටන් ගනිමු. ලෝකය කෙසේ වෙතත් අපේ ගේ-දොර වටපිටාව වෙනස් කරන්න. සමාජය අප ගැන සිතන විදිහ, සමාජය යම් කරුණක් ගැන සිතන විදිහ වගේම සමාජය කරන වැරැද්දක් නිවැරැදි කරන්නත් අපට පුළුවන්. එය ටික දිනකින් රටේම යහපත වෙනුවෙන් ගත් පුරෝගාමී පියවරක් වන්නත් ඉඩ තිබෙනවා. ඒත් මේ දේ සඳහා අපේ හිතේ තිබෙන චකිතය වගේම අන් අය අපට මොනවා කියයිද කියන බියගුලු සිතිවිල්ලෙන් මිදෙන්න වෙනවා. අප කරන්නේ පවතින සමාජ සම්මතයට එකඟ නිවැරැදි ආදර්ශයක් ලැබෙන දෙයක් නම්, එයින් සමාජයට සිදු වන්නේ යහපතක් නම් ඒ ගැන බිය නැතිව පෙනී සිටින්න අපට හැකියාව තිබිය යුතුයි. අප වැරැද්දක් කරනවා නම් තමයි අප හැංගෙන්න ඕනේ. ඒ නිසා ඒ ශක්තිය සිතේ රඳවාගෙන යමක් කරන්න මේ නව වසරේ සිතට ගමු.
මේ කියන දේවල් සමහර විට ඔබට අලුත් දේවල් නොවන්න පුළුවන්. ඒත් ගෙවුණු දින තුන්සිය හැටපහක් පුරා ඔබ ඒ වෙනුවෙන් සුළු හෝ වෙහෙසක් දැරුවාද? කැපවීමක් කළාද? යන්න අවංකව දෙවරක් කල්පනා කර බලන්න.
මම කොපමණ ‘ෂොපිං’ ගියාද? ඒ අවස්ථාවල මිල දී ගත්තේ අත්‍යවශ්‍ය දේවල්ද? අවශ්‍ය දේවල්ද? නැත් නම් දැක්ක නිසා ආශාවට ගත් දේවල්ද? ඒ අතරින් කීයක් පරිසර හිතකාමීද? කීයක් අපේ පරිසරයට අවම හානියක් සහිත දේවල්ද? අනවශ්‍ය දේවල් මිල දී ගැනීම නිසා මුදල් කළමනාකරණය අපහසු වීමෙන් යම් යම් ගැටලු ඇති වුණාද? ඒ මුදල ඉතිරි වී තිබුණා නම් ඊට වඩා වැදගත් යමක් වෙනුවෙන් වියදම් කරන්න තිබුණාද? මේ වැනි කරුණු පිළිබඳ ආපසු හැරී බැලුවොත් අපේ අල්මාරි, කබඩ් ආදියේ තවමත් එළි-පෙහෙළියට නොගත් දේ, මිල දී ගත් බව අමතක වුණු හෝ ප්‍රයෝජනයක් ගැනීමට අවස්ථාව නැතිව තැන්පත් වී ඇති එකක් හෝ සොයාගන්න හැකි වනු ඇත. මේ මිල දී ගැනුම් සඳහා ක්‍රෙඩිට් කාඩ් පත් භාවිත කළා නම් සමහර විට එය ලබන වසරේදීත් ගෙවීමට ඉතිරි වී තිබෙනවා විය හැකියි. මේ ණය බර නිසා අතට එන මුදල සිතැඟි පරිදි මෙහෙයවා ගන්නට බැරි වීම අප අසහනයට පත් කරයි. ගෙවුණු වසරට වඩා වෙනස් විදිහට හිතනවා නම් මේ වසරේ කළ යුත්තේ ඊට වඩා විධිමත් අයුරින් අපේ මුදල් මෙන්ම ක්‍රෙඩිට් කාඩ් පත් ආදිය භාවිත කළොත් අදට වඩා සහනදායී හෙටක් උදා වන බව අපිට විශ්වාසයෙන් කිව හැකිය.
දෙවැනුව අප කුඩා හෝ වත්තක් පිටියක් සහිත නිවෙසක වෙසෙන්නේ නම් එක පුංචි මිරිස් කරලක්, බටු ගෙඩියක්, කරපිංචා ඉත්තක් අපේම වත්තෙන් කඩාගෙන උයාගන්න හැකි අයුරින් කටයුතු කළාද? ලොකු ඉඩක් නැතත් කිලෝ පහේ හාල්ගෝනියක හෝ පස් ටිකක් පුරවා අමු මිරිස් කරල් දෙකතුනක් හදාගෙන හොද්ද රස කරගන්න බැලුවාද? තරමක් ලොකු ඉඩමක් කඩමක් තිබෙනවා නම් ලැබෙන හුස්ම ටික පිරිසුදු කරගැනීම වෙනුවෙන් හෝ පැළයක් සිටුවන්න පසුගිය කාලයේ අවස්ථාවක් ලැබුණාද?
ඒ සියල්ල පසෙක දාමු. අපි හැමෝටම මුළුතැන් ගෙයක් තිබෙනවා. හැමදාම එහි උයා පිහා ඉතිරි වන ඉඳුල්, තේ කොළ, සීනි, පිටි පැකට්, එළවළු මාළු ගෙනා මලු, පොල් කටු, යෝගට් කෝප්ප එකතු වෙනවා. මේ දේවල් එකම කුණු ගොඩටද අපි දාන්නේ? නැත් නම් වෙන වෙනමද එකතු කරන්නේ? පිල පැත්ත වැඩිපුර තිබෙන සමහර ගෙවල්වල නම් කෝටු වට කරලා ජීව කොටු හදාගෙන දිරන ද්‍රව්‍ය ඒකට දාලා කොම්පෝස්ට් හදාගන්න හැටි අපි දැකලා තිබෙනවා. ඒත් ඉඩ-කඩ මදි නිසා ‘බින්’ එකක් භාවිත කරලා කොම්පෝස්ට් හදාගන්න අයත් අප දැක තිබෙනවා. ඒ කොයිකටත් අකැමැති අය මලුවල දාලා කුණු ලොරියට බාර දෙනවා. ඒකත් දැන් හරි මෝස්තරයක් වෙලා. කුණු ලොරියට බාර දීම උසස් සමාජ පන්තියක ලක්ෂණයක් හැටියටයි සමහරු හිතන්නේ. ඒත් තමන් මේ තරම් කුණු පිරුණු නිවෙසකයි ඉන්නේ කියලා අන් අයට පෙන්වන එක උසස් ලක්ෂණයක් හැටියට තේරුම් ගන්නේ කොහොමද කියලා හිතනකොටත් විහිළුවක් වගේ. කොහොම වුණත් අඩුම ගානේ ඒ දෙන කුණු කසළ බෙදා වෙන් කර දෙන්න උනන්දු වනවා නම් ඒකත් ලොකු දෙයක්. මොකද පාරවල් දිගේ කුණුමලු ඇදලා දාලා ප්‍රදේශයම ගඳ ගහනකොට ලජ්ජාව කාටවත් නෙවේ පදිංචිකරුවන්ටම නිසා.
ඒ වගේම ඩෙංගු පැතිරෙනකොට බිය වෙන්නත්, අනෙක් කාලෙට බය නැතිව කුණු විසි කරන්නත් හිතුවොත් ප්‍රශ්නය කවදාවත් විසඳෙන්නේ නෑ. පොල්කටු යෝගට් කෝප්ප පාවිච්චි කළේ තමන් නිසා ඒවායේ අයිතිය මහපාරට හෝ රජයට පවරන්න බෑ. ඒවාට යොදන පිළියමත් තමන් සතු විය යුතුයි. සුපිරි වෙළෙඳසැල්වලින් තනි තනි මලු වල පුංචි දේත් ඔබා එය අඹරවා මිල අලවා දෙන විට ‘සෙලෝෆේන්’ එක මල්ලකට අල-ලූනු, දෙහි-මිරිස් දමා දෙන්න යැයි කියන්න අපට හිතේ හයියක් තිබෙන්න ඕනෑ.
නව ඉදිකිරීම් සඳහා යොමු වන අයටත් අලුත් විදිහට හිතන්න පුළුවන් නම් විශාල ලාභ වගේම පරිසර හිතකාමී ක්‍රම ඔස්සේ තම නිවෙස අන් අයට වඩා වෙනස් පෙනුමකින් ඉදි කරගන්න පුළුවන්. මේ මහ පොළොව මෙතරම් අපට එරෙහිව යන්නේ එයට දරන්න නොහැකි තරම් විෂ ද්‍රව්‍ය අප විසින් එකතු කරන නිසායි. ඒත් දිරාපත් වන ද්‍රව්‍ය, පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදාගෙන ගොඩනැඟිලි ඉදි කරනවා නම්, ඝර්ම කලාපීය රටක් නිසා ලැබෙන ආලෝකය වාතාශ්‍රය කළමනාකරණය කරමින්, වායූ සමීකරණ ආදියෙන් තොරව විදුලිය ඉතිරි කරන දේශීය ඥානයේ වටිනා රස රහස් අනුව ගේ-දොර නිම කරනවා නම් එය දිගු කාලීන ඉතිරියක් බවට පත් වේවි.
බොහෝ රටවල් ප්‍රශ්න කරන්නේ තමන් තමන්ගේ රටේ පාරිභෝගිකයකුද? පුරවැසියකුද? කියලායි. මොකද: පාරිභෝගිකයන් නොහිතන තරම් ආදරයකින් පුරවැසියන් තමන්ගේ රට ගැන සිතන නිසා; ඔවුන්ට ඒ සඳහා අයිතියක් තිබෙන නිසා.
මේ සියල්ල සිහිපත් කරන විට ඔබට දැනේවි පසුගිය වසරේ අපට අමතක වුණු දේ. අදින් ඒ මතකය අවදි කරගෙන ලබන නව වසරේ අපේ ජීවිතයෙන් පුංචි හෝ ආදර්ශයක් දෙන්න පුළුවන් වුණොත්, 2018දී තවත් මීතොටමුල්ලක් නාය යන්න, සිරිපාදේ කුණු කඳු කඩාවැටෙන්න, පොඩි වැස්සටත් කානු උතුරලා ගංවතුර එන්න මගෙන් දායකත්වයක් වුණේ නෑ කියන අභිමානය සිතට ඒවි. එහෙම අපි සියලු දෙනාම සිතුවොත් ඒ වගේ ව්‍යසන රටේ සිදු නොවේවි. එක් නිවැරැදි පුංචි සිතිවිල්ලකින් අපේ මුදල් නිවැරැදිව කළමනාකරණය කරගන්නත්, අතමිට හිඟ නැති වසරක් වන්නත්, සමාජයේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කෙනකු බව දැනෙන්නත් ගත් විට 2018 දෙසැම්බරයේ අද වගේ දවසට හිතට විශාල සතුටක් දැනේවි.