
ඉන්ද්‍රජිත් අයියා, ඔයා ලංකාවට එන්න. මගේ නරේන් මාමත් ඔයා හඳුනගන්න ආශාවෙන් ඉන්නෙ. බෑ කියන්න එපා. ඔය කළු කණ්ණාඩි දෙක ගලවලා පැත්තකට දාලා සත්‍යයට මුහුණ දෙන්න.”
මනෝහාරී අදහා ගත නොහැකි නිහඬතාවක ගිලී තමාට සවන් දී සිටීම ඉන්ද්‍රජිත්ට සතුටක් මෙන් ම නිදහසේ තා කිරීමට නිදහස ලැබීමේ අස්වැසිල්ලක් ද විය.
ඔහු රට හැර ගියා නොවේ. කටුක හා දුෂ්ට ත්‍රස්තවාදී ක්‍රියා විසින් පරාජිත මිනිසුන් කරනු ලැබූ නිසා, නිදහස අහිමි කරනු ලැබූ නිසා රට හැර ගිය ජනතාව අතර ඔහු සහ ඔහු අයත් කුටුමබය පමණක් නොව පරම්පරානුබද්ධ ඥාතීන් ද බොහෝ වූහ.
“ඉන්ද්‍රජිත් අයියා”
ඇය ඔහුට කතා කළේ බෙහෙවින් දැමුණු ඇමතුමකට නතු වෙමිනි.
“මනෝ, මොකක්ද ඔයා කියන්න හැදුවෙ?”
“ඔයා කතා කරන්නෙ තරහෙන්ද? දුකෙන්ද? පුංචි දවස්වලත් වෙලාවකට ඔයා හුඟක් කේන්ති ගන්නවා.”
මනෝහාරිගේ අවදිවන මතකයට සංවේදී වුණ ඉන්ද්‍රජිත් වෙතින් දීර්ඝ සුසුමක් උපන්නේය.
“නංගී ඔයා මුණ ගැහෙන්න ඇවිත් මං මේ කියවන්නෙ මොනවද කියලා ඔයා හිතනවා ඇති. මං ඉවර කරන්නම් මගෙ කතාව. ඔයාට කරදරයක් වුණාද මං?”
“නංගී මට සතුටුයි ඔයා ගැන.”
“ඔයා මුණ ගැහීම මටත් ලොකු සතුටක්. මං ආසයි මගේ පුංචි යාළුවා කොහොම කෙනෙක්ද කියලා බලාගන්න සන්ග්ලාස් නැතිව.”
“ඒ පුංචි යාළුවා මැරිලා හුඟක් කල්”
“ඉන්ද්‍රජිත් අයියා?”
“ඔව් නංගී, ඒ පුංචි යාළුවා ලොකු මිනිහෙක් වෙලා රතු රෝස මලක් අතේ ඇතිව ඔයාව විවාහ කර ගන්න කැමතියි කියන්න ආපු ගමනක් නෙමේ මේ. නංගී ඔයාට දුක හිතුණා නේද? මං කිව්වනෙ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යාපනේ අහිංසක දරුවන්ගෙ ඇස් අන්ධ කළා කියලා. බලන්න මගෙ ඇස් දෙක දිහා.”
ඉන්ද්‍රජිත් ඉතා සෙමෙන් තම අඳුරු උපැස් යුවළ ගලවා ඇය වෙතට ළං වූයේ ඇය ගැල්වූ සුවඳ ඔස්සේය. මනෝහාරි වෙව්ලන්නට වූවාය. මේ කුමන අභාග්‍යයක් ද? මෙසේ සිදුව ඇත්තේ කුමන හේතුවක් නිසාද?
දකුණු ඇස නහර, මාංස පේශි එකට කැටිවුණ මාංශ ගුලියක් පමණි. වම් ඇසෙහි උඩු පිල්ල යටි පිල්ලෙහි ගෑවී නොගෑවී මෙන් ළංව ඇත.
“මේ මගෙ දකුණු ඇහේ හැටි ඔයාට පේනවනෙ? වම් ඇහේ චූටි හිදැසක් තියෙනවා. පේනවා නේද? ඒ හිදැසින් තමා මං ලෝකය දිහා බලන්නෙ. උතුරේ ත්‍රස්තවාදය අපේ ජීවිත අන්ධ කළා නංගී.”
“ඉන්ද්‍රජිත් අයියා ඔයා මාව තනියම මුණ ගැහෙන්න ඕනම කියලා කිව්වෙ මේ ටික කියන්නද අයියේ”
“ඔව් නංගී මං රතුරෝස මලක් අරන් ආවෙ නැතිවට සමාවෙන්න මට. මේ මගේ දෛවය. ඔයා හිතුවෙ නෑ නේද මගෙ ඉරණම මේ තරම් දරුණු දුකක් මට දීලා තියෙනවා කියලා.”
යාපනේ විදුලි පහන් කණුවකට කොන්ක්‍රිට් ඇණයක් ගැසූ මිතුරු පිරිසක් ඉන්ද්‍රජිත් නම් මිතුරෙකු සොයමින් සිටින බව ඔහුට කීවේ චන්දිරම්ය. චන්දිරම්ට රෝජා සඳපාණි තරුණිය හා මිතුරු වන්නැයි ඉන්ද්‍රජිත් කීවේය.
ඉන්ද්‍රජිත්ට සවන් දෙමින් සිටි මනෝහාරිගේ සඟවා ගත් ඉකිබිඳුම තවත් සැඟවී සිටිය නොහැකි යැයි පවසන්නාසේ හඬ දෙන්නට විය.
“මනෝ ඔයා අඬනවා නේද? අඬන්න එපා. මං ඔයාට අඬන්න එපා කියන්නෙ ඔයාගෙ කඳුළුවලට උත්තර දෙන්න මගෙ ඇස්වල කඳුළු නැති නිසා. දැන් ඉතින් මේ සේරම කතා නතර කරන්න ඕන. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඒත් මට කනගාටුයි මගෙ පොරොන්දුව ඉෂ්ඨ කරන්න බැරි වුණාට.”
“පොරොන්දුව කිව්වෙ?”
මනෝහාරි උත්සාහයෙන් ඇසුවාය.
“ලොකු මිනිහෙක් වෙලා රතු රෝසමලක් අරන් ඔයා බලන්න එන්න බැරි වුණාට. නංගී කතා කරන්න චන්දිරම්ට.”
මනෝහාරි රෝජා සඳපානිට දුරකථන ඇමතුමක් දී චන්දිරම් කැඳවූවාය. ඇය කාමරයට එන විට මනෝහාරිගේ ඉකිබිඳුම වේගවත් විය.
“චන්දි කෝ මං මනෝට ගෙනාපු පුංචි තෑග්ග? කෝ ඒක දෙන්න මට.”
චන්දිරම් සොහොයුරාගේ ඉල්ලීම වහා ඉටු කළාය.
“මනෝ එන් මං ළඟට.”
ඔහු කීවේ අයැදුමක ස්වරයෙනි. චන්දිරම් මනෝහාරීගේ අත ගෙන ඔහු සමීපයට රැගෙන ගියේ ඔහු නිසා උපන් දුකෙන් දැවෙමිනි. ඉන්ද්‍රජිත් රන් අභරණ සතපවා තබන රතුවන් අලංකාර පෙට්ටියක් දෑඟිලි තුඩින් විවෘත කළේ පරිස්සමෙනි.
පෙට්ටිය තුළ වූ රන් ආභරණයට මනෝහාරිගේ දෙනෙත් යොමු විය. එය ගෙල පලඳින තැල්ලකි. රන් රෝස මලකි. මල මැද වූ නිල් පැහැති මැණික් ගල කඳුළු බිඳුවක හැඩය ගෙන ඇත.
චන්දිරම් වෙතට හැරුණු මනෝහාරි ඇය බදා ගත්තේ දැඩි ග්‍රහණයකට නතුවය. ඇගේ කඳුළු චන්දිරම්ගේ උරහිස තෙත් කරන්නට විය. ඉන්ද්‍රජිත් රන්දම්වැලක් අග එල්ලුණ රන් රෝස මල අතට ගෙන හිස් පෙට්ටිය චන්දිරම්ට දුන්නේ මනෝහාරි අමතමිනි.
“මනෝ අයියට අත දෙන්න.”
ඇය ඔහුට කීකරු නොවූවාය.
“මනෝ අයියට අත දෙන්න.’
එසේ කියමින්ම චන්දිරම් මනෝහාරිගේ දකුණත ගෙන සොහොයුරාගේ අත යන්තමින් ස්පර්ශ වන ලෙස ඉදිරියට දිගු කළාය ඉන්ද්‍රජිත් ඒ අත අල්ලා ගත්තේය.
“ඔයට, ඔව් මගේ පුංචි යාළු කෙල්ලට, මගෙන් පුංචි තෑග්ගක්. හින්දි චිත්‍රපටවල ශාරුක් ඛාන් කාජල්ට මේ වගේ තෑගි දෙනවා නේද? ශේක්ස්පියර් කියලා තියෙන විදිහට ඒ දෙන්නා විතරක් නෙමේ අපි සේරම එක්තරා විදිහක නළු නිළියො තමා. වේදිකාව අතහැරලා යනකන්ම චන්දිරම් වගේ ඔයත් මගෙ නංගි.”
තම සිත සන්සුන්ව තබා ගැනීමේ උත්සාහය තුළ ඉන්ද්‍රජිත් කම්පාවට පත්ව ඇති සැටි මනෝහාරි දුටුවාය. ඔහුට අවශ්‍ය සියල්ල සරලව පෙන්වා දීමටය. අසා සිටින දෙදෙනා සිනා ගැන්වීමටය.
“නංගී ඔයා මගෙ තෑක්කට කැමතිද? ඔයා මට ස්තුතියි කිව්වෙත් නැහැ. කැමති වුණත් අකැමැති වුණත්, බෙල්ලට දැම්මත් නැතත් ඔයාට මං දුන්නෙ තෑග්ගක්.”
ඉන්ද්‍රජිත්ගේ වදන්වලට සතුට හා සිනාව එක් වී මුසුවී ඇත. ජීවිතයට මුහුණ දීමේදී දුක්ඛ දෝමනස්සයන් විසින් කරනු ලබන පීඩාවන්ට ව්‍යාජ සිනාවෙන් හෝ මුහුණ දිය යුතුය. ඉන්ද්‍රජිත් සැබවින් ම මේ මොහොතේ ව්‍යාජය තුළ රැඳී සිටින්නේ තමා සතුටු කරන්නටය. මනෝහාරී චන්දිරම් දෙස බැලුවේ ඇගේ සොහොයුරාගේ ව්‍යාජයට තමා මුළා කළ නොහැකි බව පවසන්නට මෙනි.
“චන්දිරම් ගිහින් රෝජායි අනිත් අයවයි මෙහාට එක්ක එන්න.”
ඉන්ද්‍රජිත් නියෝග ස්වරයෙන් කීවෙන් චන්දිරම් වහා කාමරයෙන් බැහැර වූවාය.
“ඉන්ද්‍රජිත් අයියා. මට එක පොරොන්දුවක් වෙන්න.”
මනෝහාරි දැඩි ස්වරයකින් කීවාය. එයද නියෝගයක් මිස ඉල්ලීමක් වූයේ නැත.
“මොකක්ද පොරොන්දුව?”
“ඔයා ලංකාවට එන්න. පුළුවන් නම් මේ ගමන් ම නතර වෙන්න. දේශපාලනඥයින්ගෙ ත්‍රස්තවාදය යාපනේ තරුණ ළමයින්ගෙ ඇස් අන්ධ කරලා නම්, ඒ අයගෙ ඇස්වලට නෙමේ මොළයට හදවතට පෙනීම දෙන්න. ඔයාල වගේ අය මේ රටේ ඉන්න ඕන.”
පහත මාලයේ සිට පියගැට පෙළ නගිමින් සිටිනා පිරිසකගේ දෙපා පොළොවේ ගැටෙන හඬ ඇසෙන්නට විය.
“මනෝ මට පේන්නෙ රුක්නාද් ඔයාගෙ දේශපාලන වීරයෙක් වෙලා වගේ. මමත් එයාට කැමතියි. ත්‍රස්තවාදය මගෙ මේ ඇස් නැති කළා. රුක්නාද්ගෙ ජීවිතේ ම නැති කරලා.”
“ඇත්ත. ඒත් එයා ජීවිතේ හොයා ගෙන යනවා. එයා හොයන්නෙ නැතිවුණ එයාගේ ජීවිතේ නෙමේ. අනාගතයේදී හොඳට ම නැති වෙන්න ඉඩ ඇතියි කියලා හිතන රටේ ජීවිතේ. එයා කියනවා පුද්ගල වන්දනාව නෙමේ මාතෘභූමි වන්දනාවයි වැදගත් කියලා.”
“ඔය ඔය මං කිව්වෙ රුක්නාද් ඔයාගෙ වීරයා.”
ඉන්ද්‍රජිත් සාමාන්‍ය සරල නිදහස් තරුණයෙකු වීමට ගන්නා කෙළිලොල් උත්සාහය විටක කඩා වැටීම මනෝහාරි දුටුවද, ඉන් ඔහු සිත කලඹවන්නට ඇය නොසිතුවාය.
“ඉන්ද්‍රජිත් අයියා ඔයා ලංකාවට එන්න. මගේ නරේන් මාමත් ඔයා හඳුනගන්න ආශාවෙන් ඉන්නෙ. බෑ කියන්න එපා. ඔය කළු කණ්ණාඩි දෙක ගලවලා පැත්තකට දාලා සත්‍යයට මුහුණ දෙන්න.”
රෝජා සඳපාණි සහ රවිහාරි පෙරටු කර ගෙන කාමරයට ආවාය.
රවිහාරි සොහොයුරියගේ මුහුණ බැලුවේ ඇයට රහසිනි. සොහොයුරියට කිසියම් දුකක් කරදරයක් දරා ගැනීමේ හැකියාව නැතුවා නොවේ. ඇය තදින් කඳුළු හෙළූ බව චන්දිරම් කීවේ රාජඍෂිටය. එතැන් පටන් රාජඍෂි සිටියේ කල්පනාවෙනි.
“රවි අක්කා දැන් මොකක් වෙයිද?”
ඔහු රවිහාරිගෙන් ඇසුවේ මනෝහාරි නිසා ඇතිවී ඇති සංතාපය දුරු කරන පිළිතුරක් අපේක්ෂාවෙනි.
“අනේ මන්දා මල්ලි, අද රෑම මේ දෙන්නා ආපහු යාවි. ඊට පස‍්‍ෙස වෙන දේ බලමු. ඉන්ද්‍රජිත් අයියාගෙ ඇස් පේන්නෙ නැති කතාව මනෝ දැනගෙන ඉන්න ඇති නේද? මෙයා අපිටවත් ඒ ගැන කිව්වෙ නැහැ. චන්දිරම් වුණත් දැනුයි ඒ ගැන කිව්වෙ. මොන දුකක්ද දෙයියනේ.”
ඔවුන් දෙදෙනාගේ මිමිනුම් කතා බහ නිසැක වශයෙන් ම ඉන්ද්‍රජිත් ගැන ඇසු පුවත ඇසුරු කරන්නකැයි සිතමින් චන්දිරම් ඔවුන් සොහොයුරා වෙත ගෙන ආවාය.
ඉන්ද්‍රජිත් සිටියේ කළු උපැස් යුවළ දෙනෙතින් ඉවත් කරය. ඔහු දුටු නේෂන් වෛද්‍යවරයාට තමා වෛද්‍යවරයෙකු බවද අමතක විය. මිනිසෙකු ලෙස තවත් මිනිසෙකුගේ දුක්ඛිත ඉරණම තම හදවතට කඳුළු ගෙන ගෙන එන්නේ යයි හැඟීමෙන් ඔහු සැලෙන්නට විය. උපැස් යුවළ පැලඳ සිටින විට ඔහු කඩවසම් තරුණයෙකි.
ඔහු මෙතෙක් දුටුවේ ඒ කඩවසම් තරුණයාය. උපැස් යුවළ ඉවත් කළ විට පෙනෙන මුහුණ සතට ගෙන එන්නේ බියක් තැති ගැන්මක් නොව ශෝකයකි.
ඉන්ද්‍රජිත්ගෙන් ඉවතට හැරුණ ඔහුගේ බැල්ම මනෝහාරිගේ මුහුණට යොමු විය. ඇය සිනාසෙන්නට ගත් උත්සාහය බිඳ වැටුණේය.
“ඩොක්ටර්, මේ ගෑනු ළමයා මට සැර දැම්මනෙ කළු කණ්ණාඩිය ගලවල පැත්තකට දාලා සත්‍යයට මුහුණ දෙන්න කියලා.”
පීඩාකාරී නිහඬ බවක් ඇතිවේ යයි බියෙන් ඉන්ද්‍රජිත් කීවේ සිනාවක් පාමිනි.
වෛද්‍යවරයා ද තරමක් හඩ නැංවෙන සිනාවක් පෑවේ සිතාමතාමය. සියලු දෙනා ම සසල සිත් සඟවා ගෙනය.
“සත්‍යයට මුහුණ දෙන්න කළු කණ්ණාඩිය ගැලෙව්වටම හරි යන්නෙ නැහැ. ඉන්ද්‍රජිත් ඕක දාගන්න. ඒත් ඉතින් ජීවත් වෙන්න කළු කණ්ණාඩියක් ඕනෙත් නැහැ. හැමදේ ම සාපේක්ෂයි. විවෘත කරවන්න ඕන බුද්ධියේ සහ ප්‍රඥාවේ ඇස්. යථාර්ථය දකින්න නම් ප්‍රඥාව අවදි වෙන්න ඕන.”
(නිමි)