
නත්තල් උලෙළ සමරමින් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම ‘ලේක්හවුස් නත්තල් අරුමය’ තේමාවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් දෙසැම්බර් මස 22 වැනිදා සිට ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී එළිදැක්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබිණි.
එම විශේෂ වැඩසටහන 23 වැනිදා සහ 24 වැනිදාත් පැවැත්වෙන අතර, දින තුන පුරා සවස 6.30ට ආරම්භව රාත්‍රී 10.30 දක්වා ක්‍රියාවට නැංවේ.
ත්‍රිවිධ හමුදාවේ කැරොල් ගායනා හා වාද්‍ය ප්‍රසංගය මුල් කොට ලේක්හවුස් කතෝලික සහයෝගිතාවේ කැරොල් ගායනා කණ්ඩායමේ කැරොල් ගායනා සහ ජනප්‍රිය ගායක-ගායිකාවන් වන ලතා වල්පොල, අනිල් භාරතී, මාරියෝ ආනන්ද, සංජීවනී පෙරේරා ශිල්පීන්ගේ කිතු ගී ප්‍රසංගය මෙහි විශේෂිත වෙයි.
ජාතික-ආගමික සංහිඳියාව ප්‍රධාන කොට සලකන ලේක්හවුස් ආයතනය එහි ඉතිහාසයේ ප්‍රථම වරට නත්තල් උලෙළ වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ සියලු ජාතික මෙන්ම ආගමික විශේෂිත දිනයක් විශේෂිත අයුරින් සැමරීමට සැලසුම් කෙරෙන ව්‍යාපෘතියක මූලාරම්භය ලෙස බව ආයතන සභාපතිතුමන් ඇතුළු පාලනාධිකාරිය අවධාරණය කරයි. මේ උත්සව සැමරුම ප්‍රේක්ෂක ජනතාවට වඩාත් වර්ණවත් කරමින් තම මතකයේ කාලයක් රඳවා තබාගන්නට ඉඩ සලසමින් ෂැංග්‍රි-ලා හෝටලයේ අනුග්‍රාහකත්වයෙන් ‘ලේක්හවුස් නත්තල් අරුමය’ මධ්‍යයේ නොමිලේ තමන්ගේත් තම නෑ-හිත-මිතුරන්ගේත් සේයාරුවක් ලබාගන්නට අවස්ථාව උදා කර-දෙයි.
එසේම නත්තල් සාප්පු සවාරියට කොළඹ නත්තල් අසිරිය අත්විඳින්නත් කැරොල් සහ ජනප්‍රිය ගී ප්‍රසංගයේ රස විඳින්නත් ලේක්හවුස් ආයතන පරිශ්‍රයට රැස් වන ජනතාවට සිය විඩාව නිවාගන්නට පහසු මිලකට තරු පන්නයේ හෝටලයකින් ආහාර-පාන ලබාගන්නට හිල්ටන්, කිංස්බරි හෝටල් දායකත්වය සැපයීමද විශේෂයක් වන අතර, මේ සියලු විශේෂාංගයන්හි අපූරු වින්දනය අත්විඳින්නට ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර පාලනාධිකාරිය ඔබට ඇරියුම් කරයි.
සේයාරුව - විමල් කරුණාතිලක