
“අද දවස මොකක්ද කොල්ලො...” නපුරු සිහින වැලකින් පසු අවදි වූ ස්කෲජ්ගේ පළමු ප්රශ්නය එය විය. “ඇයි සර්, අද නත්තල් දවසනෙ...” කොල්ලා, ටයිනි ටිම් පිළිතුරු දුන්නේ මේ මනුෂ්‍යයාට නම් නත්තල ගැන කිසි හැඟීමක් නැතැයි වැනි හැඟීමකින් විය යුතු ය. ස්කෲප් හා ටයිනි ටිම් අපට හමුවන්නේ ‘චාල්ස් ඩිකන්ස්ගේ ‘අ ක්‍රිස්මස් කැරොල්’ කෘතියෙනි. එම දෙබස් ඛණ්ඩ දෙකෙන් පමණක් වුව ද කතාවේ ප්‍රධාන චරිත දෙකේ සම්පූර්ණ චරිත ලක්ෂණ මතු කිරීමට ඩිකන්ස් සමත් වේ.
නත්තල් සාහිත්‍ය ගැන විමසන විට මුලින් ම සිහිපත් වන සාහිත්‍යධරයන් අතර චාල්ස් ඩිකන්ස් ද ඒ කෘති අතර ‘අ ක්‍රිස්මස් කැරොල් ද’ තිබේ. මේ කෘතිය හැරුණු විට ‘ද ක්‍රිකට් ඔන් ද හර්ත්’, ‘ද හෝන්ටඩ් මෑන් ඇන්ඩ් ද ගෝස්ට්ස් බාර්ගේන්’ ද නත්තල් සාහිත්‍ය යටතට ගැනෙන ඩිකන්ස්’ ගේ නවකතා ය. නත්තල ආශ්රිත ව ලියැවුණු ලෝ පතළ කෘති අතරට ද ගැනෙන ‘අ ක්‍රිස්මස් කැරොල්’ ඩිකන්ස්ගේ නිර්මාණ අතරින් විශිෂ්ටතම නවකතාවක් ලෙස ද පිළිගැනේ. එය තල කිහිපයක් ඔස්සේ කියැවිය හැකි කතාවක් බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි. ඒ; නත්තල් කතාවක්; හොල්මන් අවතාර ගැන කතාවක්, මෝක්ෂය පිළිබඳ කතාවක්. පවුලේ වෘත්තාන්තයත්; උපදේශ කතාවක්, සමාජ දේශපාලන ආගමනයක් සහ සමාජ ඉතිහාසයෙන් බිඳක් ආදී වශයෙනි. මානව බුද්ධියේ තියුණු පැතිකඩක්. එය ඔස්සේ පිළිබිඹු කෙරෙන බව ද ඇතැම් විචාරකයෝ පවසති.
අගතා ක්‍රිස්ටිගේ ‘හර්කියුල් පොයිරට්ස් ක්‍රිස්මස්’ ද නත්තල් සාහිත්‍ය යටතේ එන තවත් විශිෂ්ට ප්රබන්ධයකි. මේ කෘතිය වර්ගීකරණය කර ඇත්තේ රහස් පරීක්ෂක කතාවක් වශයෙනි. එංගලන්තයේ දී එය ප්‍රකාශයට පත් වූයේ 1938 දෙසැම්බර් 19 වැනිදා ය. එනම් නත්තලට සතියක් තිබියදී ය. 1939 දී එයම ඇමෙරිකාවේදී ප්‍රකාශයට පත්වූයේ ‘මර්ඩර් ෆෝ ක්‍රිස්මස්’ යනුවෙනි. 1947 දී යළිත් වරක් වෙනත් ප්‍රකාශන ආයතනයක් යටතේ ඇමෙරිකාවේදී ම එය පළවූයේ ‘අ හොලිඩේ ෆෝ මර්ඩර්’ යනුවෙනි.
දානපතියකු වන සිමියොන් ලී, නත්තල වෙනුවෙන් අනපේක්ෂිතව සිය පවුලේ උදවියට නිවෙසට ආරාධනා කරයි. මේ පිරිස අතර සැක මතු කළ හැකි අය ද නොසිටියා නොවේ. පවුලේ සාමාජිකයන් එකිනෙකා අතර සෑමවිටම යහපත් සබඳතා පැවැති බවක් ද කිව නොහැකි ය. එක් ‘කළු බැටළුවකු’ ද ඔවුන් අතර සිටියේ ය. ඒ සිමියොන්ගේ පුතු හැරී ය. සිමියොන් ගේ ස්පාඤ්ඤ සම්භවයක් සහිත මිනිපිරිය පිලර් ද ඔවුන් අතර වූවා ය. සිය පවුලේ හැඟීම් සමඟ සිමියොන් ලී කිසියම් පරපීඩාකාමී ක්‍රීඩාවක නියැළෙන බවක් මින් පළවේ. සාදයට අනාරාධිත අමුත්තකු ගේ පැමිණීම ද සිදු වේ. ඔහු සිමියොන්ගේ කලින් සහකාරියගේ පුතු වන ස්ටෙෆන් ෆර් ය. අන්තිමේ මේ ක්‍රීඩාව නිමාවට පත්වන්නේ සිමියොන් ලී ලේ විලක් මැද මැරී වැටීමෙනි.
හොවාර්ඩ් බහර්ගේ ‘පෙලිකන් රෝම්’ ද නත්තල් සාහිත්‍ය යටතේ එන 2008 දී පළමු නවකතාවකි. 1940 නත්තල් දා සන්ධ්‍යාවේ අර්ටෙමුස් කේන්’ දක්ෂිණ දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වන දුම්රියක පළමු පන්තියේ මගියකු ලෙස පිටත් වන්නේ නිව් ඔර්ලියන්ස්හි සිටින සිය පෙම්වතිය හමුවීමට ය. අර්ටෙමුස් දුම්රිය සේවකයෙකි. දුම්රිය සේවකයන් අතර මේ දුම්රිය මාර්ගය ප්‍රචලිතව ඇත්තේ ‘පෙලිකන් රෝඩ්’ යනුවෙනි. සැතපුම් 180 ක් දිගු මේ දුම්රිය ගමනේදී ෆ්රෑක් ස්මිත් සහ කේන්ද එක් වේ. ස්මිත් සහ කේන් පළමු ලෝක සංග්‍රාමයේදී යුද බිමේ එකට සිටි සගයන් ය. පෙලිකන් රෝඩ් නවකතාව ජීවිතයේ යම් බොළඳ පැතිකඩක් ගෙන හැර දක්වන්නේ ය. හොවාර්ඩ් බහර් දුම්රිය සේවකයකු ලෙස ලැබූ අත්දැකීම් ද මේ ප්‍රබන්ධයට පාදක වන්නට ඇත.
නත්තල් සමය පසුබිම් කරගනිමින් හෝ නත්තල හා සබැඳි ව ලියැවුණු නවකතා අතර අයිරිෂ් ලේඛිකා සිසිලියා අහර්න් ගේ ‘ද ගිෆ්ට්’ ද තිබේ. අහර්න්ගේ කෘති රටවල් 50 ක ප්‍රකාශයට පත්ව ඇති අතර ඇයගේ නවකතා පිටපත් මිලියන 25 කට වැඩියෙන් අලෙවි වී තිබේ. අතිශයින් සාර්ථක විධායක නිලධාරියකු වන දූ සෆර්න් නිරන්තයෙන් දූරදර්ශීව ක්‍රියාකරන්නකු විය. එළැඹ ඇති නත්තල් නිවාඩු සමය තමා වටා සිටින සමීපතමයන් කවුරුත් සතුටින් තැබීමට යොදා ගැනීම ඔහුගේ අභිප්‍රාය වූයේ ය. ඔහුට ම ගැළපෙන ආදරණීය බිරියත් ඔහුට සිටි අතර ඔහු ආදරණීය සැමියකු මෙන් ම තාත්තා කෙනෙක් ද විය.
මේ හැරුණු විට කිංග්ස්ලි අමිස්ගේ එන්සින් අප් ඈන් හොල්ට් ගේ ෆියර් නොට් ක්‍රිස්ටෝපර් මුවර්ගේ ‘ද ස්ටුපිඩස්ට් ඒන්ජල්: අ හාර්ට්වෝමින් ටේල්ඔෆ් ක්‍රිස්මස් ටෙරර්’ වැනි නවකතා ද දැක්විය හැකි ය.
නත්තල් සමය හෝ නත්තල තේමා කොටගත්, ලෝ පතළ ලේඛකයන්ගේ කෙටිකතා ද ගණනාවකි. ඒ අතර හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ ද ෆර්ට්රී, අගනා ක්‍රිස්ටි ගේ ‘ද ඇඩ්වෙන්චර් ඔෆ් ද ක්‍රිස්මස් පුඩින්’ හා ‘අ ක්‍රිස්මස් ට්‍රැජඩි’, නිකොලායි ගොගොල් ගේ ‘ක්‍රිස්මස් එවි’, ඕ හෙන්රිගේ ‘ද ගිෆ්ට් ඔෆ් ද මැගී’, ආතර් කොනන් ඩොයිල්ගේ ‘ද බ්ලූ තාර්බන්කල්’, ඩිලන් තෝමස් ගේ ‘අ චයිල්ඩ්ස් ක්‍රිස්මස් ඉන් වේල්ස්’, තියදෝර් දොස්තයෙව්ස්කිගේ ‘ද බෙගර් බෝයි ඇට් ක්රිස්ට්ස් ක්‍රිස්මස් ට්‍රී’, නීල් ගයිමන්ගේ ‘නිකොලාස් වෝස්’ ටෲමන් කැපොට්ගේ ‘අ ක්‍රිස්මස් මෙමරි’ සහ කර්ට් වොන්ගර්ට්ගේ ‘වයිල් මෝටර්ස් ස්ලීප්’ (කෙටිකතා සංග්‍රහයකි) ප්රමුඛ ය. ගොගොල්ගේ ‘ක්‍රිස්මස් එවි’ ඇරැඹෙන්නේ යුක්රේන්යේ ඩිකන්තා පෙදෙසේ ශීත ඍතුවට අයත් රාත්‍රී අහසක විස්තරයකිනි. එය නත්තල් දිනට පෙර රාත්‍රියයි. මායාකාර මැහැල්ලක රාත්‍රි අහස පුරා සරමින් සඳුද සොරකම් කර සිය මල්ලේ සඟවාගත් රැයකි ඒ; ගම්මු මේ කිසිත් නොදත්හ. යක්ෂයා තමන්ට ගොදුරු කර ගත හැක්කේ කවුරුන් දැයි මාන බලමින් පසු විය. පල්ලියේ ආගමික සිතුවමක් කළ ගමේ කම්මල්කරුවා වූ වකුලා දෙසට යක්ෂයාගේ බැල්ම වැටී තිබිණි. ගමේ සිටි ඔක්සනා නම් සුරූපී තරුණියට තරුණයෝ කවුරුත් ආදරය කළහ. වකුලාගේ ස්නේහය බැඳී තිබුණේ ද ඔක්සනා කෙරෙහි ය. ඔක්සනාගේ ප්‍රේමය දිනා ගැනීමට වකුලා වෑයම් කරන්නේ අහසෙන් සඳු ගිලි හී තිබූ රාත්රියේදී ය. එහෙත් එය පහසුවන්නේ නැත. ඔක්සනාගේ අතුරුදන්වූ සෙරෙප්පු ජෝඩුව සොයා දීමේ අභියෝගය ඔහුට පැවරෙන්නේ ය. පහසුවෙන් එය ඉටු කිරීමට යක්ෂයා ඔහුට ඉඩ නොතැබුව ද අවසානයේදී ඔක්සනාගේ ප්‍රේමය දිනාගැනීමට ඔහු සමත් වේ. වකුලා සිය දිවි ගත් බවට ඊට පෙර පැතිරුණු ප්‍රචාරය ඔක්සනා ප්‍රතික්ෂේප කරන්නේ ඔහු යහපත් කිතුනුවකු බව ඇය දැන සිටි බැවිනි. කෙසේ වුව ද මේ සිද්ධියෙන් ඔහු තුළ තමන් පිළිබඳ ඇති සෙනෙහස අවබෝධ කරගන්නා ඇය ගැඹුරින් ම සිය සෙනෙහස ඔහු වෙත පුදන්නී ය. කතාව නිමවන්නේ ඔවුන්ගේ විවාහයෙන් හා මනාව පින්තාරු කළ ඔවුන්ගේ නිවස පසුකර ගමන් කරන බිෂොප්වරයකුගේ දර්ශනයකිනි.
දොස්තයෙව්ස්කිගේ ‘ද බෙගර් බෝයි ඇට් ක්රිස්ටිස් ක්‍රිස්මස් ට්‍රී’ වර්ෂ 1876 දී ලියැවුණු කෙටිකතාවකි. එය ඇරැඹෙන්නේ මෙය තමන්ගේ නිර්මාණයක් බවට දොස්තයෙව්ස්කි කර ඇති ප්රකාශයකිනි. එහෙත් එය සත්‍ය වශයෙන් ම සිදුවූවක් බවට ඔහුට විශ්වාසයක් තිබේ. එය මහා නගරයක නත්තල් දා සන්ධ්‍යාවේ සිදුවූවක් බව සැලකේ. තමා ජීවත්වූ ප්රහසන්ත ග්‍රාමයෙන් පිටත්ව නත්තල් දා රාත්‍රියේ අසිරිය විඳින්නට යන කොලුවකුගෙන් කතාව ඇරැඹේ. මේ කතාවේ කතා නායකයා ඔහු ය. උත්සව සමයක දුහුවිල්ලෙන් වැසී ගිය එහෙත් රාත්‍රියේ සුන්දරව දිස්වන නගරයේ අත්දැකීම ඔහු ලැබූ පළමු අවස්ථාව ද එයයි. නත්තල් සාදයක් පැවැත්වෙන තැනක මඳක් නතර වන ඔහු ළමයි නර්තනයේ යෙදෙන අයුරු බලා සිටී. ඉන් ඔහුගේ වැඩි ආකර්ෂණයට ලක්වන්නේ තරුණ ගැහැනු ළමයින් ය. ඔවුන් කොපමණ ආදරණීය දැයි ඔහු කල්පනා කරයි. එතැනින් නික්මෙන ඔහු තවත් විශාල සාදයක් අසල යළි නතර වේ. මෙවර ඔහු ඔවුන් අතරට ගමන් කරයි. ඔහු දුටු එහි සිටි අය කෑකෝ ගසන්නට පටන් ගනී. ඉන් නොනැවතී ඔහු එතැනින් තල්ලු කර දමන්නට ක්‍රියා කරයි. එහි සිටි කාන්තාවක ඔහු අත කොපෙක් එකක් තබා දොරටුව වෙත කැඳවාගෙන යන්නී ය. කාසිය අත්ලේ රැඳුණු විගස ඔහුට සීතලක් දැනේ. ඔහු එය එතැනම අත්හරියි. මේ අන්දමේ අත්දැකීම් ගණනාවක් ලබන ඔහු නගරයෙන් පලා යන සෙයක් දිස්වේ. ඔහුට ඈතින් සිය මවගේ ගීතිකා හඬ ඇසෙන්නට පටන්ගනී. ඒ හඬ ඔස්සේ යන කොලුවාට නත්තල් ගස නරඹන්න එන්නැයි සිහින් හඬකින් කරන ඇරියුමක් ඇසේ. එහි යන ඔහුට එතැන ද සාදයක් පවත්වනු පෙනේ. එහෙත්; එහි සිය මව ද සිටිනු ඔහු දකී. සෙසු ළමයින්ගේ මවුවරුන් ද එහි දකින ඔහු ඔවුන් අතරට එක් වේ. මේ තමයි ක්‍රිස්තුස්ගේ නත්තල් ගස. ඔහු කල්පනා කරයි.
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ ‘ද ෆර් ට්‍රී’ ප්‍රකාශයට පත්වූයේ වර්ෂ 1844 දෙසැම්බර් 21 වැනිදා ය. එනම් නත්තලට දින 3 කට කලිනි.
වනාන්තරයේ ඇති කුඩා ගසකි. “ඔයා තමයි මේ වනයේ ඉන්න පුංචි ළමයා” යනුවෙන් දිනක් කාන්තාවක තමාට පවසනු ඇසී ගස අපහසුවට පත් වේ. ගසෙහි වසාගත් කොකකු අනතුරුව කියන්නේ මේ වර්ගයේ විසල් ගස් නැව්වල කුඹගස තැනීමට ගන්නා අතර කුඩා ගස් කරන්නේ මහ ගස්වලට ඊර්ෂ්‍යා කිරීම බව ය. ගස යළිත් අපහසුවට පත්ව සිටින අතර ගේ කුරුල්ලකු ගසට කියන්නේ ඔබ වැනි කුඩා ගස් නත්තල් සමයේදී නිවෙස් සරසනු දැක ඇති බවයි. තවමත් තරුණ වියේ සිටි ගස නත්තල් සැරැසිල්ලකට බිම හෙළීම එක් දිනක සිදු විය. කිසිවකු විසින් එය මිලට ගන්නා ලද අතර නිවසට රැගෙන ගොස් නත්තල් ගස ලෙස අලංකාර කෙරිණි. නත්තල් දා රාත්‍රියේ එය විවිධ වර්ණයෙන් දිස් විය. වර්ණවත් ඇපල් ගෙඩි, තෑගි පාර්සල්, අත්වැසුම්, ඉටිපන්දම් එහි එල්ලා තිබිණි. ගස මුදුනේ රත් පැහැති තාරකාවක් දිලිසෙමින් තිබුණේ ය. ගස යටට පැමිණි පුංචි මහත මිනිසකු කුඩා ළමුන්ට හම්ප්ටි ඩම්ප්ටි කතාව කියා දෙනු ගස ද අසා සිටියේ ය. නත්තල් දාට පසුදා ද මේ අත්දැකීම මෙලෙසම වේ යැයි ගස කල්පනා කළේ ය. එහෙත්; නිවසේ මෙහෙකරුවෝ ගස පිටතට විසිකර දැමුවෝ ය. ගසට හුදෙකලා බවක් දැනිණි. තමා වටා දුව පැන යන්නට වූ මීයන්ට හම්ප්ටි ඩම්ප්ටි කතාව කියා දෙමින් ගස පාළුව මකාගත්තේ ය. එහෙත් එය මහ ලොකු කතාවක් නොවේ. එය යළි අසන්නට ඊට පසු දා මීයන් පැමිණියේ නැත. වසන්ත සමය එළැඹෙන විට ගස වියැළී ගොසිනි. එහි මුදුනේ වූ රත් පැහැ තරුව කොලුවකු විසින් රැගෙන ගොස් තිබුණේ ය. ගස කුට්ටි කර උදුනේ භාවිතය සඳහා යැවීම සිදුවිය.
නත්තල් සාහිත්‍ය යටතේ දැක්විය හැකි තවත් සිත්ගන්නාසුලු කාරණා ගණනාවක් තිබේ. පළමු නත්තල් සුබ පැතුම්පත යවා ඇත්තේ වර්ෂ 1843 දී ය. චාල්ස් ඩිකන්ස්ගේ ‘අ ක්‍රිස්මස් කැරොල්’ කෘතිය ප්‍රකාශයට පත්වූයේ ද එම වර්ෂයේ දී ම ය. සුබපැතුම්පත් 1000 ක් පළමු මුද්‍රණය යටතේ නිකුත් කෙරිණි. ඉන් මේ වනවිට දක්නට හැක්කේ 12 ක් පමණි. කාඩ්පත සැලසුම් කර තිබුණේ ලන්ඩනයේ සිටි විත්රශිල්පියකු වන ජෝන් කැල්කොට් හෝස්ලි ය.
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ දැක්වෙන පරිදි ‘Christmas card’ යන යෙදුම මුලින් ම භාවිත කර ඇත්තේ වර්ෂ 1883 දීය. ඒ; කලා විචාරකයකු වන ජෝන් රස්කින් විසිනි. බ්‍රිතාන්‍ය කම්කරුවන් අමතමින් ඔහු ලියූ ලිපි එකතුවක එය සඳහන්ව තිබිණි. ටී.එස්. එලියට්ගේ ‘ජර්නි ඔෆ් ද මාගි’ කවිය මුලින් ප්‍රකාශයට පත්වූයේ නත්තල් සුබපැතුම් පතක ය. ජේසු බිලිඳු දැකීම උදෙසා යන මාගිගේ චාරිකාව එහි දැක්වේ. සිය ප්‍රකාශකයා වූ ෆේබර් ඇන්ඩ් ෆේබර් ගේ ඉල්ලීම පරිදි ඔහු මේ කවිය ලීවේ ඉතා ඉක්මනිනි. “මං ඒ ගැන සිතන්න පටන් ගත්තෙ පල්ලියෙදි. ගෙදර ගිහින් ජින් වීදුරුවක් පුරවාගෙන මං ලියන්න ගත්තා. දවල් කෑම වෙලාව එද්දී මං ලියලත් ඉවරයි. ජින් කාලකුත් ඉවර වෙලා තිබුණා...” යනුවෙන් ඔහු එහි උපත පිළිබඳ සිය දෙවැනි බිරිය වන වැලරිට පවසා තිබේ.
ෂෝන් පෝල් සාත්‍රෙගේ පළමු නාට්‍ය නැටිවිටි (nativity) නාට්‍යයකි. 1940 නත්තල් සමයේදී සෙසු යුද සිරකරු සගයන් සමඟ එක්ව ඔහු එය ඉදිරිපත් කළේ ය. 1970 ගණන්වලදී එය රූපවාහිනී නාට්‍යක් ලෙස ද නිෂ්පාදනය විය. ඒ; ‘රැඩොල්ෆ් ද රෙඩ් නෝස්ඩ් රෙයින්සියර්’ නමිනි.
වර්ෂ 1920 – 1942 අතර වකවානුවේදී ටොල්කීන් සිය දරුවන් අමතමින් ලිපි පෙළක් ලීවේ ය. ඒ “ෆාදර් ක්‍රිස්මස්’ යනුවෙනි. මේ ලිපි වර්ෂ 1976 දී ‘ද ෆාදර් ක්‍රිස්මස් ලෙටර්ස්’ යනුවෙන් එකතුවක් ලෙස ප්‍රකාශයට පත් විය.
‘ෆාදර් ක්‍රිස්මස්’ මුලින් ම සාහිත්‍ය ලෝකයේ පෙනී සිටින්නේ ශේක්ස්පියර්ගේ සමකාලීනයකු වන බෙන් ජොන්සන් ගේ (1572 – 1637) ‘ක්‍රිස්මස්, හිස් මාස්ක්’ නාට්‍යයේ ය. වර්ෂ 1616 දී ජේම්ස් රජු වෙනුවෙන් නත්තල් සමයේ එය මුල්වරට රඟ දැක්විණි.
සැන්ටා ක්ලවුස් හෙවත් නත්තල් සීයා යනුවෙන් නූතනයේ භාවිත වන සංකල්පය 1823 දී පළවූ ප්‍රකට කවියක් වන ‘අ විසිට් ෆ්‍රොම් සෙන්ට් නිකොලස්’ ඇසුරින් බිහිවූවකි. මේ කවියෙන් රැඩොල්ෆ් හැර නත්තල් සීයාගේ සෙසු පිරිවර ම දැක්වේ.
නත්තල් සීයා වාණිජකරණය වීම ඇරැඹී ඇත්තේ වර්ෂ 1915 පටන් ය. ශාන්ත නිකුලස් තුමන්ට රතු ඇඳුමක් ඇන්දවා මුලින් ම දැන්වීම්කරණයට යොදා ගත්තේ කොකා - කෝලා සමාගම විසිනි.
චාල්ස් ඩිකන්ස් වයස විසි ගණන්වල සිටියදී ප්‍රකාශයට පත්වූ ඔහුගේ මුල් ම ලේඛනය ඩිස්ක්රයිබින්ග් ද පර්ෆෙක්ට් ක්‍රිස්මස් ඩිනර් ලෙස සැලකේ.
ඩිකන්ස්ගේ ක්‍රිස්මස් කැරොල් නවකතාවේ එන වන්ස් ඉන් රෝයල් ඩේවිඩ් සිටි ‘පද පෙළ ලියා ඇත්තේ “ඕල් කින්ග්ස් බ්‍රයිට් ඇන්ඩ් බියුටිෆුල්’ ගීතිකාව ලියූ සිසිල් ඇලෙක්සැන්ඩර් විසිනි. වික්ටෝරියානු ලේඛිකාවක ලෙස ඇය එතරම් ප්‍රසිද්ධියට පත් වූයේ නැත.
ඔක්ස්ෆර්ඩ් ඉංගිරිසි ශබ්ද කෝෂයේ දැක්වෙන පරිදි, Christmas Pudding යන යෙදුම මුලින් ම භාවිත වී ඇත්තේ වර්ෂ 1858 දී ඇන්තනී ටෘලොප් ලියූ ‘ඩොක්ටර් ත්රෝන්’ නවකතාවේ ය.
ප්‍රසිද්ධ නත්තල් කැරොල් ගීතිකාවක් වන “ඉන් ද බ්ලීන් මිඩ්වින්ටර්...” රචනා කර ඇත්තේ ප්‍රකට වික්ටෝරියානු කිවිඳියක වන ක්‍රිස්ටිනා රොසෙට්ටි විසිනි. වර්ෂ 1872 ටත් පෙර එය රචනා වූයේ මාසික සඟරාවක ඉල්ලීමක් ලෙස නත්තල් කවියක් වශයෙනි. 1904 දී එය ප්‍රකාශයට පත්වන විට ක්‍රිස්ටිනා මියගොස් දස වසරකි.
ඩිකන්ස්ගේ ‘අ ක්‍රිස්මස් කැරොල්’ නවකතාවේ එන ‘ටයිනි ටිම්’ නම් කොලු පැටියාගේ මුල්නම එය නොවේ. ඩිකන්ස් මුලින් ම කල්පනා කර තිබුණේ ඔහු ‘ලිට්ල් ෆ්‍රෙඩ්’ නමින් හැඳින්වීමට ය. ඩිකන්ස්ගේ සොහොයුරන් දෙදෙනා ෆ්රෙඩ්රික් සහ ඇල්ෆ්රෙඩ් වීම ඊට බලපාන්නට ඇත. එහෙත් කෘතිය මුද්‍රණයට ගිය පසු ඔහු නම වෙනස් කළේ ය.
‘අ ක්‍රිස්මස් කැරොල්’ කෘතිය ලිවීමට ඩිකන්ස් ගත කර ඇත්තේ සති 6 කි. ‘ක්‍රිස්මස් එවි’ කෘතිය ප්‍රකාශයට පත්කර දින 5 ක් තුළ පිටපත් 6000 ක් ඒ වනවිට අලෙවි වී තිබිණි. ඩිකන්ස්ගේ ආර්ථික දුෂ්කරතා යම් දුරකට මඟහැර වීමට ද ‘ක්‍රිස්මස් කැරොල්’ නවකතාව උපකාරී විය. ‘ස්ලීපි හොලෝ’; ‘රිප් වෑන් පින්කල්’ වැනි සුරංගනා කතාවල රචකයා වූ වොෂින්ටන් අර්වින් නවීන අමෙරිකානු නත්තල් භාවිතාව හැඩ ගැස්වීමට උපකාරී විය. එංගලන්තයේ කාලයක් ගත කළ ඔහුට එහි නත්තල් උත්සවය පැවැත්වෙන අයුරු පිළිබඳ මනා අවබෝධයක් තිබිණි. මේ අංග ලක්ෂණ ඔහු ඇමෙරිකානු සංස්කෘතියට හඳුන්වා දුන්නේ ය.
සුප්‍රකට Grinch චරිතය මුලින් ම පෙනී සිටින්නේ දොස්තර සියුස්ගේ සම්භාව්‍ය නත්තල් කතා මාලාවේ නොවේ. 1957 දී ඔහු එලෙස මුලින් ම පෙනී සිටින බව බොහෝ මූලාශ්රවල දැක්වුණා ද සැබැවින් ම ඔහු පළමු වරට පෙනී සිට ඇත්තේ 1955 දී ‘ද හුබබ් ඇන්ඩ් ද ග්‍රින්ච්’ කවියේ බව පැහැදිලිවේ.
නොබෙල් සාහිත්‍යලාභී ලේඛක විලියම් ෆෝල්ක්නර් සිය පවුලේ උදවියගෙන් නත්තල් තෑගි වශයෙන් ලබා ගෙන ඇත්තේ පයිප්ප පිරිසුදු කරන උපකරණය පමණි. මේ නිසා ඔහුට තෑගි දීම අපහසු කාර්යයක් වූයේ නැත.
1956 දෙසැම්බරයක ලේඛිකා නෙලි හාපර්ලීට ඇයගේ මිතුරන් වූ මයිකල් බ්‍රවුන් සහ ජෝයි විලියම්ස් බ්‍රවුන්ගෙන් අගනා නත්තල් ත්‍යාගයක් ලැබිණි. එය පුංචි සටහනකි. එහි මෙලෙස සඳහන් විය.
You have one year off from your job to write whatever please. Merry Christmas.
ඒ සමඟ ඇයගේ වසරක වැටුප ද තිබිණි. කොන්දේසිය පිළිගත් ඇය රැකියාවෙන් වසරකට ඉවත් වී ලියූ නවකතාව, ‘ටු කිල් අ වොකිං බර්ඩ්’ ය.