ගම්වැව් දිය ගුණාගුණ | සිළුමිණ

ගම්වැව් දිය ගුණාගුණ

 ජලයේ ගුණාත්මක බව කෙරෙහි වැඩි වශයෙන්ම බලපානුයේ එහි ඇති භෞතික තත්ත්වය, රසායනික තත්ත්වය සහ ජලයේ ක්ෂුද්‍ර ජීවී පැවැත්මය. මෙහි රසායනික තත්ත්වය සහ ජලයේ ක්ෂුද්‍ර ජීවී පැවැත්ම ගැන අධ්‍යයනය කිරීම මෙන්ම ඒ පිළිබඳව විද්‍යාත්මක අවබෝධය ලැබ ඒ අවබෝධය ආර්ථික මෙන්ම සමාජයීය අභිවෘධිය සඳහා යොදාගත යුතු ආකාරය අපට පෙන්වාදිය යුත්තේ විද්‍යාඥයින් විසිනි. ඒ වගකීම් දැරීමට තරම්වන අවබෝධයක් සාමාන්‍ය ගැමියන්ගෙන් බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් ජලයේ භෞතික තත්ත්වය ගැන සාමාන්‍ය ගැමියන්ට අවබෝධකර දීම අසීරු විය නොහැකිය. ඇත්ත වශයෙන්ම ප්‍රජාමූල දැනුම ලබාදීමෙන් සහ කිසියම් දුරකට පුහුණු කටයුතු කිරීම් මඟින් සාමාන්‍ය ජනතාවට ජලයේ භෞතික ස්වභාවයන් පිළිබඳව අවබෝධයක් දිය හැකිය. එම අනුසාරයෙන් ජලයේ භෞතික තත්ත්වයනට හානි නොවන අයුරින් එය පවත්වාගෙන යමින් එයම මිනිසාගේ යහපතට යොදාගැනීමට මං සැළකිය හැකිය.

මෙහිදී මුලින්ම ජලයේ භෞතික තත්ත්වය ඉතා සරලව සාමාන්‍ය ගැමියාට කියා දෙමු. මෙහිදී ජලයේ භෞතික තත්ත්ව ගැන එහි ගතිලක්ෂණ ගැන ගැමියන් සමග සංවාදයක යෙදෙමු. ජලයේ වර්ණය, ගන්ධය, රසය, ජලයෙහි ආම්ලතාවය නැතහොත් කාඩි බොර බව සහ ජලයේ උෂ්ණත්වය ගැන පමණක් ගැමියන් සමග සාකච්ඡා කරමු. ඒ සාකච්ඡා නිසාම අඩුම වශයෙන් ගැමියන් බීමට මෙන්ම එදිනෙදා ගෙදර දොර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජලය මැනැවින් භාවිතා කිරීම ගැන උනන්දුවෙනු ඇත.

ජලයේ වර්ණය

පිරිසුදු ජලයේ වර්ණයක් නොමැති බවත් ජලය වර්ණවත් වනුයේ එය අපිරිසුදු වූ විට බැව් පහදා දුන්විට ගැමියන් විසින් ජලය අපිරිසුදු නොකිරීමට සිතනු ඇත. අපිරිසුදු ජලයෙහි අඩංගු අපද්‍රව්‍ය ජලයට එක් කෙරෙනුයේ ශාකවල ඇති කාබනික ද්‍රව්‍ය සහ එහි "ඇල්ගි" වර්ග හටගැනීම නිසා බැව් කියා දෙමු. මෙහිදී කාබනික සහ ඇල්ගී යනු මොනවාදැයි පහදා දිය යුතුය. වතුර පෙරාගැනීමෙන් ඇල්ගි වර්ග බොහෝදුරට ඉවත් කරගතහැකි බැව් දැන්වූ විට බොනවතුර පෙරාගැනීමට ඔවුන් විසින් උත්සාහ දරණු ඇත; පෙළඹෙනු ඇත. තවද දිරාගිය ශාක කොටස්වල ඇති දියවී යන ඝන ද්‍රව්‍ය කොටස් නිසා අපිරිසුදු ජලයෙහි "සෙවල" නැතිනම් "ලාටු" ගතියක් පැවතිය හැකි බැව් සාකච්ඡා කරමු. එනිසාම ජලයෙන් වර්ණයක් ඇතිවීම සහ එවන් වර්ණවත් ජලය පානය කිරීම නුසුදුසු වීම ගැනද අවධාරණය යොමු කළ යුතුව ඇත. එවන් ජලය පානය කිරීම ලෙඩ රෝගවලට අතවැනීමක් බැව් පැවසිය යුතුය. එසේම ජලය බොර වර්ණ වීමේ මූලාශ්‍රය එනම් දීර්ඝ නියං කාල නිමාකරමින් කඩාහැලෙන වැසි හේතුකොටගෙන ගලා එන වතුර එක්කෝ ජලයේ දිය කොට හෝ ජලය මගින් ඔසවාගෙන හෝ ජලය මඟින් ඇදගෙන හෝ එන කොල රොඩු, දිරාගිය කඳන් කොටන්වල ශේෂ දියවී වැව්වල බොරදිය වශයෙන් පැවතීම ගැමියන්ගේ අවධාරණයට ලක්කල යුතුය. මෙහිදී ජල පෝෂකවල ඛාදනය අවම කිරීමට ගැමියන් උනන්දු කළ හැකිවනු ඇත.

ජලයේ ගන්ධය

මින් පසු අපි ගැමියන් සමග කතා බස් කළයුත්තේ ජලයේ ගන්ධය ගැනය. ජලයේ දියවී ඇති ඇමෝනියා සහ සල්ෆයිඩ් වායු මෙන්ම දිරාගිය කාබනික ද්‍රව්‍ය නිසාද ගඳක් ඇතිවන බවත් එවැනි වතුරක් බීම සෞඛ්‍යයට අහිතකර බැව් පෙන්වාදීම වැදගත්ය.

ජලයේ රසය

ඇතැම් වැව්වල වතුර කිවුල් රස බවත් ඇතැම් ළිංවල වතුර ලුණු රස බවත් ගැමියෝ නිතර පවසන බැව් ඔබ අසා ඇත.

යකඩ සහ මැංගනීස් වැනි මූලද්‍රව්‍ය ජලයෙහි දියවී තිබීම නිසා සමහරවිට ජලයෙහි මද තිත්ත රසයක්ද ඇතිවිය හැක. කිසියම් වතුරක රෙදි සේදූවිට රෙදිවල පැල්ලම් සහිත අවපැහැයක් ඇති වුවහොත් එයින් දැක්වෙන්නේ එම වතුරෙහි යකඩ සහ මැන්ගනීස් මූල ද්‍රව්‍ය බහුලවම දියවී ඇති බැව්ය. ගැමියෝ විද්‍යාඥයන් නොවුවත් වතුරෙහි කිවුල හෝ ලුණු ගතිය ඇතිවෙන්නේ ඇයි දැයි ඔවුන් විසින් අසා දැන ගැනීමට උනන්දු වෙනු ඇත. මේ උනන්දුවම ඔවුන් තුල ඇති සාමාන්‍ය දැනුම මෙන්ම විද්‍යාඥයින්ගෙන් අසා ලබා ගත් දැනුමද ආශ්‍රිතව ඔවුන්ගේ භෞතික පරිසර දැනුම වැඩි කර ගැනීමට නිරන්තර කුතුහලයක් ඇති කර ගනු ලැබේ.

මේ කුතුහලයම ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරවන සම්පත් පාලකයිනට අවහිරයක් නොව නියත ආධාරකයක්ම වනු ඇත. විශේෂයෙන් වෙරළාශ්‍රිත වැලිතලා යට ඇති සීමිත මිරිදිය සීරාවන් ඕනෑවටත් වඩා පොළොව මතුපිටට ඇද ගැනීම හේතු කොට ගෙන ඒ දුර්වල මිරිදිය නිධිවලට යටින් කරදිය කාන්දුවීම නිසා ළිංවල කරදිය වැඩිවේ. මේ නියාමය දන්නා ගොවියෝ ළිංවල කරදිය අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට විරුද්ධ නොවනු ඇත. ඒ පහත සටහන් කළ පරිදි ඔවුන්ට ලැබුණු විද්‍යාත්මක දැනුම නිසාය.

ජලයේ ආම්ලිකතාව නැතහොත් කාඩි බොර බව (turbidity)

ජලයට එක්වන ශාක සහ සත්ත්ව කොටස් නිසාත් යකඩ සහ මැංගනීස් වැනි මූල ද්‍රව්‍ය දියවීම නිසාත් ජල පද්ධතියක් අපිරිසුදු විය හැකිය. එසේ අපිරිසුදුවු ඝන ද්‍රව්‍ය බහුල ජලය තුළින් ගැඹුරු ජලයට සූර්යාලෝකය අවශ්‍ය තරමට නොලැබීම ජලජ ජීවින්ට බෙහෙවින්ම අහිතකරය. එවන් කාඩි බොර දිය කඩිතිවලට මැදිවී සිටින ඇතැම් මත්ස්‍ය වර්ග ජලය මතු පිටට පැමිණ කට හැර හුස්ම ගැනීමට මහත් වෑයමක් දරන්නේ අභ්‍යන්තර ජලයේ ජීව වායුව හීනවීම නිසාය. වතුර ගැඹුරෙහි අති ජලජ පැළෑටි වලට ද අවශ්‍ය සූර්යාලෝකය නො ලැබීම නිසා ඒවා මැරී ගියවිට ඒ කොටස්ද ජලයෙහි දියවී ජලය දූෂණය වේ. මේවා කිසිවක්ම ගැන ගැමියනට දැණුමක් නොමැත.

එවන් දැනුමක් ඇත්නම් ජලය, කාඩි බොර බවට පත්වීම නිසා ජීවින්ටත් මිනිසුන්ටත් ශාකවලටත් ඇති විය හැකි හානි අවම කරගැනීමට ගම්මු පෙළඹිය හැකිය. ඒ අත්‍යාවශ්‍ය දැනුම ඔවුනට ලබාදිය හැක්කේ ප්‍රජා සංවාද, දැණුම පුළුල් කිරීම මෙන්ම අවශ්‍ය පුහුණු කිරීම් මගිනි. සංවර්ධන කාර්ය බාරව සිටින නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් ගම් මට්ටමේදී හැසිරෙන්නේ "තොප නොදනී, අපිම දනී" යන ආකල්පය සහිතවය. මෙය, "අප දන්නා දේ තොපත් දැන ගතයුතුය" යැයි සිතා ක්‍රියා කරන්නේ නම් ජලයේ භෞතික ගුණාංග ගැන ගම්මුනගේ දැණුම වැඩි වනු ඇත. එනිසාම බිම් මට්ටමේ සංවර්ධන කටයුතුද පහසුවනු ඇත.

ජලයේ උෂ්ණත්වය

ජල පද්ධතියක උෂ්ණත්වය වඩාත් වැදගත් වන්නේ එහි ජීවත්වන ජලජ ජීවීන්ට මෙන්ම ජලජ ශාඛවලටය. ජල පද්ධතියක උෂ්ණත්වය මගින් ජලජ ජීවීන්ගේ ජීර්ණ ක්‍රියා, ප්‍රජනන ක්‍රියා සහ ජීවන චක්‍ර පාලනය කරනු ලබයි. කිසියම් ජල පද්ධතියක උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වැඩිවීම, අඩුවීම සහ නිරන්තර විචල්‍යතාවනට භාජනය වීම ජල ජීවීන්ගේ වැඩීමට සහ නිරන්තර විචල්‍යතාවනට භාජනයවීම, ජල ජීවීන්ගේ වැඩීමට හෝ අඩුවීමට හෝ මෙන්ම ඔවුන්ගේ ක්‍රමවත් ක්‍රියාත්මකවීමට හෝ නොවීමට හෝ එසේත් නැත්නම් සම්පූර්ණයෙන්ම වඳවී යෑමට හෝ හේතුකාරකවේ.

මේ සීමිතයන්ගැන කිසියම්ම දැනුමක් ගම්මුන්ට තිබේනම් ජලජ ජීවීන්ටත් ජලජ ශාඛවලටත් පැමිණෙන හාණි යම් ප්‍රමාණයකින්වත් අවම කිරීමට ගම්මුන් විසින් උරදෙනු ඇත. එහෙත් ඒ සඳහා අවශ්‍ය මූලික දැනුමවත් ඔවුනට නොමැත. ඒ මූලික දැනුම වත් ඔවුනට දීමේ කිසිම වැඩපිළිවෙලක් අප අධ්‍යාපන ක්‍රමයේවත් අප සංවර්ධන ක්‍රමෝපායකවත් නොමැත. මේ හිඩැස නිසා ගතානුගතික යැපුම් ගොවික්‍රමවල හිරවී සිටින අප ගොවීනට විද්‍යාත්මක කෘෂිකර්මයක එලිපත්තටවත් පැමිණීමට නොහැකිවී තිබේ.

නව විද්‍යාත්මක කෘෂිකර්ම රටාවකට සාර්ථකව යෑමටනම් විද්‍යාත්මක දැනුම කිසියම් ප්‍රමාණයකින්වත් ගොවීන්ට ලබාදීමේ වැදගත්කම අවබෝධ කරගත යුතුය. එය නොකෙරී පවතිනතාක්කල් අපේ කෘෂිකර්මය මඩේ ලගින හරකෙකුමෙන් එක තැනම පල්වී පැවතීම නොවැළැක්විය හැකිය.

ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන්

Comments