කිම් ජොන් අන්ගෙන් නත්තලට තහනමක් | සිළුමිණ

කිම් ජොන් අන්ගෙන් නත්තලට තහනමක්

උතුරු කොරියානු රාජ්‍ය නායකයා වන කිම් ජොන් අන් මෙවරද නත්තලට තහනම් නි‍යෝග පනවා ඇතැයි වාර්තා වී තිබේ. මේ වාර්තා ඉදිරිපත් කර ඇත්තේ දකුණු කොරියානු මාධ්‍ය විසිනි. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා අනුව දකුණු කොරියානු බුද්ධි අංශය විසින් සොයා ගත් පරිදි ඉදිරි දිනවලදී 'එක්රැස් වී මත්පැන් පානය කිරීම හෝ ගීත ගායනය' උතුරු කොරියානු රජය විසින් තහනම් කර තිබේ. එහි අරමුණ වන්නේ එරට ජනතාව නත්තල සැමරීම තහනම් කිරීම බව දකුණු කොරියා‍නු මාධ්‍ය වාර්තා මගින් පැහැදිලි කිරීමට වෙර දරා තිබේ.

ඔවුන් මෙය හුවා දක්වන්නේ උතුරු කොරියානු රාජ්‍ය නායකයාගේ බටහිර විරෝධී පිළිවෙ‍ෙත් තවත් එක් අංගයක් වශයෙනි.

කෙසේ වුවද උතුරු කොරියාව පසුගිය වසරේ දීද නත්තල සැමරීම පදනම් කර ගනිමින් යම් යම් නීති පැනවීමක් සිදු කරනු දැක ගැනීමට හැකි විය. නත්තල උතුරු කොරියාවේ නිවාඩු දිනයක්ද නොවන නමුත් කතෝලික සහ ක්‍රිස්තියානි ආගම් අදහන වැසියන් උතුරු කොරියාවේ සිටින බවට වාර්තා තිබේ. නත්තල් සැරසිලි කිරීමටද උතුරු කොරියාවේ දක්නට ලැබෙන්නේ නැත.

සමාජවාදී පිළිවෙත් අනුගමනය කරන රටක් ලෙස මෙවැනි තීන්දු තීරණ උතුරු කොරියාවට අමුතු දෙයක් නොවූවද බටහිර ජනමාධ්‍ය මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසින්ද හුවා දැක්වීමට උත්සාහ ගන්නා බවක්ද මාධ්‍ය වාර්තා දෙස බැලූ විට පැහැදිලි විය.

කෙසේ වුවද දකුණු කොරියාව මෙයට එකට එක කිරීමක් ලෙස මීට වසර කිහිපයකට පෙර සිට අඩි තිහක් පමණ උසැති දැවැන්ත නත්තල් ගහක් උතුරු කොරියාවටද මැනැවින් දිස් වන සේ ඉදි කිරීම සිදු කරන අතර එය උතුරු කොරියානු ජනතාව වෙනුවෙන් බවද ප්‍රකාශයට පත් කර තිබේ.


සුරුට්ටු හැඩයේ අභ්‍යවකාශ වස්තුවේ ජීවය පැවති බවට සාක්ෂි?

මීට දින කිහිපයකට පෙර සෞර ග්‍රහ මණ්ඩලයට ඉතා ආසන්නයෙන් ගමන් ගත් අද්භූත ග්‍රහ වස්තුවක් සම්පූර්ණයෙන්ම අභ්‍යවකාශ විද්‍යාඥයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් විය. දැන් විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ මේ ග්‍රහ වස්තුවේ ජීව විද්‍යාත්මක සාක්ෂි පැවතීමට ඉතා විශාල ඉඩකඩක් ඇති බවයි.

කිසිදු පෙර දැන ගැනීමේ අවස්ථාවක් පෘථිවි වාසීන්ට ලබා නොදෙමින් මේ අද්භූත ග්‍රහ වස්තුව පසුගිය දා සෞර ග්‍රහ මණ්ඩලයට ප්‍රවිශ්ට විය. එහි පැමිණීමත් සමග පෘථිවි වාසීන් ඉතා පුදුමයට පත් වූයේ එය හැඩය හෝ අන් කිසිවකින් මෙයට පෙර අභ්‍යවකාශයේදී දැක හුරු පුරුදු වස්තුවක් නොවූ බැවිනි.

එය හැඩයෙන් සුරුට්ටුවකට අතිශයින් සමාන විය. එය ඉතා සිහින් වූ අතර දිගටි හැඩයෙන්ද යුක්ත විය. ක්ෂණිකව පැමිණි මේ ග්‍රහ වස්තුව කුමක්දැයි විද්‍යාඥයන් හදිසියේ පර්යේෂණ පවත්වන්නට වූ නමුත් එය කුමක්දැයි පැහැදිලි අදහසකට පැමිණීමට ඔවුන්ට තවමත් හැකියාවක් ලැබී නැත. එහෙත් මේ වන විට මේ ග්‍රහ වස්තුව සම්පූර්ණයෙන්ම ඉතා ඝන කාබන් තට්ටුවකින් වැසී ඇති බව තහවුරු කිරීමට විද්‍යාඥයන්ට හැකිවී තිබේ.

දැක ගැනීමට ලැබී දින කිහිපයකට පසුව සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ගමන් කළ බැවින් මේ අභ්‍යවකාශ වස්තුව සම්බන්ධව වඩා වැඩි තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව විද්‍යාඥයන්ට අහිමි විය. එහෙත් ඔවුන් මේ වන විට තහවුරු කර ඇත්තේ මේ කාබනික වස්තුවේ අභ්‍යන්තරය අයිස් මෙන් දැඩි ශීතලකින් යුක්ත වන බවයි.

විද්‍යාඥයන් මේ ග්‍රහ වස්තුව 'ඔව්මුවාමුවා' යනුවෙන් නම් කර තිබේ.

මේ වන විට සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටතට ගමන් කර ඇති මේ ග්‍රහ වස්තුව සම්බන්ධව යළි කවරදාක හෝ තොරතුරු සෙවීමේ, පර්යේෂණ පැවැත්වීමේ අවස්ථාව විද්‍යාඥයන්ට නොලැබෙනු ඇති වුවද ඔවුන් මේ දින කිහිපයේදී ලබා ගත් තොරතුරු අනුව කිසියම් නිගමන කිහිපයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මේ අද්භූත අභ්‍යවකාශ වස්තුව අභ්‍යන්තරයේ ඇති දැඩි ශීතල මධ්‍යයේ ජීව විද්‍යාත්මක සාක්ෂි වුවද පැවතීමට ඉඩ තිබිය හැකිය. මේ වස්තුව සම්පූර්ණයෙන්ම කාබන්වලින් නිර්මාණය වී පැවතීමට එසේ අනුමාන කිරීමට තවත් හේතුවක් වී තිබේ.

විද්‍යාඥයන් අනුමාන කර ඇත්තේ වසර මිලියන ගණනක් පුරා අභ්‍යවාකශයේ එක් රැස් වූ කාබන් අංශු, දීර්ඝ කාලයක් පුරා එකට බැඳීමෙන් මේ අභ්‍යවකාශ වස්තුව නිර්මාණය වී ඇති බවයි.

එසේ වුවද යළි කෙදිනක හෝ 'ඔව්මුවාමුවා' හෝ තවත් එවැනිම අභ්‍යවකාශ වස්තුවක් සෞර ගහ මණ්ඩලයට පැමිණෙන තුරු මේ කුමන අන්දමේ නිර්මාණයක්ද යන්න දැන ගැනීමට මිනිසාට අවස්ථාව නොලැබෙනු ඇත.

 

Comments