
කොළඔ වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය
රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ළමා අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුමුදු නිමාලි සෙනෙවිරත්න
ස්ථුලතාවය යනු ශරීර සෞඛයට අහිතකර ලෙස ශරීරයේ තෙල් තැම්පත් වී තිබීම ය.සෑම පුද්ගලයෙකුටම ශරීරයේ පැවැත්ම සඳහා යම් ප්‍රමාණයක් තෙල් අවශ්‍ය වේ. එහෙත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ශරීරයේ තෙල් තැම්පත් වීම අහිතකර ය. ළමයින්ට ද එය එලෙසම බලපායි. කෙනෙකුගේ ශරීරයේ තිබෙන තෙල් ප්‍රමාණය මැනීමට විශේෂ උපකරණ අවශ්‍යය වේ. නමුත් යම් කෙනෙකු ස්ථුල භාවයෙන් පෙළෙන්නේ ද යන්න පිළිබඳව නිර්ණය කිරීම සඳහා වඩාත් පහසු දර්ශකයක් ඇත.. එය ශරීර ස්කන්ධ දර්ශකය( BMI) නම් වේ. කෙනෙකුගේ බර (කිලෝග්රෑම් වලින්) මැන (මීටර්වලින්) උසෙහි වර්ගයෙන් බෙදීමෙන් ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කල හැක. ළමා කාලයේ දී දරුවගේ වර්ධනය තවමත් සිදු වන නිසා, ස්ථුලතාවය හා සබැඳි දර්ශකය වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වේ. දරුවාගේ ළමා වර්ධන සටහනේ පිටිපස ඇති ශරීර ස්කන්ධ දර්ශකය වගුව භාවිත කරමින් අවුරුදු 5-18 අතර ඇති ළමුන් ස්ථුල භාවයෙන් පෙළෙන්නේ දයන්න දැන ගත හැක.
දරුවකු මවගේ කුස තුළ කළල අවස්ථාවේ සිටින විට දී ස්ථුලතාවයට ලක් වීමට පුළුවන් ද?
දරුවා පිළිසිඳ ගත් දවසේ සිට වයස අවුරුදු දෙක සම්පුර්ණ වන තෙක් කාලය තුල ( එනම් ජීවිතයේ මුල් දවස් 1000 ) දරුවාට බෝ නොවන රෝග වැළදීමේ අවදානමක් තිබෙන බව වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීමක් වශයෙන් හඳුනා ගෙන ඇත. ගැබිණි මවක් අධිපෝෂණ තත්ත්වයට හෝ දියවැඩියා තත්ත්වයට ලක් වී ඇත් නම් දරුවා අනාගතයේ යම් දිනක ස්ථුලතාවයට හෝ දියවැඩියාවට ගොදුරු වීමට සිදුවේ.
නිරෝගී ළදරුවෙකුට පැවතිය යුතු නිසි බර ප්‍රමාණය තීරණය කරන්නේ කෙසේ ද?
සාමාන්‍යෙයන් ලංකාවේ දරුවකුගේ උපත් බර කිලෝ ග්රෑම් 2.8 ක් පමණ වේ. නමුත් උපත් බර අඩු නම්(කිලෝ ග්රෑම් 2.5 ට අඩු) නම් එම දරුවාගේ බර ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මව්පියන් කලබල නොවිය යුතු ය. උපත් බර අඩු දරුවන්ගේ බර ප්‍රමාණය ඉක්මනින් ඉහළ නැංවීමෙන් දරුවා වයසින් වැඩෙත්ම එම දරුවාට ස්ථුලතාවයට පත්විය හැක. ස්ථුලතාවයට ගොදුරු නොවී නිරෝගී දරුවකු වීමට නම් දරුවාගේ ශරිර වර්ධන සටහනේ දම් පාට සීමාවට යන්නට නොදී කොළ පාට සීමාවෙහි තබා ගැනීමට මතක තබා ගත යුතු ය.
නිරෝගී ළදරුවකුගේ චර්යා වර්ධන සටහන කෙසේ විය යුතු ද?
නිරෝගී දරුවෙකුට වයසට සරිලන උසක්,සහ උසට සරිලන බරක් තිබිය යුතු ය. නිරෝගී ළදරුවකුගේ ශරීර වර්ධන සටහන ( - 2 sd + 1 sd ) ලෙස තිබිය යුතු ය.එසේ නොමැති නම් වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගත යුතු ය.දරුවාට රෝහලෙන් ලබා දෙන ශරීර වර්ධන සටහනෙහි මෙම අගය පැහැදිලි ලෙස පෙන්වා දී තිබේ.
මවට වැළදී තිබෙන රෝගාබාධ ළදරුවියේ දී දරුවා ස්ථුලතාවයට ලක් වීම සඳහා බලපානවා ද?
මවට දියවැඩියා රෝගය වැළදී ඇත්නම් මවගේ ශරීරයේ සීනී පාලනය ක්‍රමවත්ව සිදු නොවුණහොත් දරුවාට ද එය බලපායි.මෙම තත්ත්වය යටතේ දරුවාගේ ආහාර රුචිය පාලනය කරන ස්ථානවලට බලපෑමක් සිදු වේ. එම නිසා තරුණ වියෙහි සිටින කාන්තාවන් තමන්ගේ ආහාර රටාව සහ ජීවන රටාව යහපත්ව පවත්වා ගැනීමෙන් තම දරුවන් ස්ථුලතාවයට පත් වීමේ අවදානමෙන් මුදවා ගත හැකි ය.
ළදරු වියේ දී මව් කිරි දීම පසෙකලා පිටි කිරි දීම මඟින් දරුවා ස්ථුලතාවයට ලක් වීමට පුළුවන් ද?
දරුවාට මුල් අවුරුදු 02 තුළ දී මව් කිරි පමණක් දිය යුතු ය . මව් කිරි මගින් දරුවාගේ කායික සහ මානසික අවශ්‍යතා ස්වභාවික වශයෙන් ම සම්පුර්ණ වේ. පිටි කිරි දීමේ දී එයට එකතු කරන සීනී ප්‍රමාණය පිළිබඳව සැළකිලිමත් විය යුතු ය. එමෙන් ම පිටි කිරිවල යොදය සහිත ( Full Cream ) හි සැළකිය යුතු මේද ප්‍රමාණයක් ඇත .එම නිසා සීමාව ඉක්මවා අපරික්ෂාකාරී ලෙස පිටි කිරි දරුවාට ලබා දීමෙන් ස්ථුලතාවයට ලක් වීමට පුළුවන.
දරුවෙකු ස්ථුලතාවයට පත් වීමට බලපාන හේතු සාධක කවරේද?
මීට දශක 03 කට ඉහතදී ලෝකයේ ළමයින් අතර ස්ථුලතාවය දක්නට නොතිබුණි. එහෙත් වර්තමානයේ පවතින තරඟකාරී සමාජ රටාව තුළදී ගනු ලබන ආහාරත්, එක් ස්ථානයක සිටිමින් ශරිරය වෙහෙස නොකිරීමත් හේතුවෙන් දරුවන් ස්ථුලතාවයට ලක් වී තිබේ. එමෙන් ම තාක්ෂණික දියුණුවීමත් සමඟ දරුවන් කම්පියුටර්, ටැබ් අධාර කර ගනිමින් ගේම් ක්‍රීඩා කිරීමට යොමු වී තිබීම නිසා ශාරීර වෙහෙස නොකිරීම නිසා ත් වර්තමානයේ දී වෙළෙඳ දැන්වීම් මඟින් සෞඛයට අහිතකර ආහාර පාන ප්‍රචාරණය කිරීම නිසා ත් දරුවන් අසීමිත ලෙස එම ආහාරපානවලට ඇබ්බැහි වීම හේතුවෙන් ස්ථුලතාවයට ලක් වේ. පරම්පරාවෙන් පැවතගෙන එන ජානමය සාධක සහ ගැබිණි සමයේ මවගෙන් දරුවාට ඇති වන අහිතකර පෝෂණ තත්ත්වයන් ද දරුවෙකු ස්ථුලතාවයට පත් වීමට හේතු වේ.
ළමා වියෙහි ඇතිවෙන ස්ථුලතාවය හේතුවෙන් පසුකාලීනව එම දරුවාට ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවා ද?
ළමා වියෙහි ඇතිවෙන ස්ථුලතාවය හේතුවෙන් පසුකාලීනව දරුවාට බෝ නොවන රෝග වැළදීමේ අවදානමකට ලක් වේ. විශේෂයෙන් ම Type 2 දියවැඩියාව,අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඉහළ නැගීම, අක්මාවේ තෙල් තැම්පත් වීම, ඇතැම් පිළිකා වර්ග හට ගැනීම, සහ හෘදයාබාධ ඇති වීම දක්නට ලැබේ. ඒ වාගේ ම මානසික වශයෙන් දරුවන් අසහනයට පත් වේ.
තම දරුවා ස්ථුලතාවයට ලක් වී තිබේ ද යන්න පිළිබඳ හඳුනා ගන්නේ කෙසේ ද?
BMI අගය + 25 D ඉක්මවු විට දරුවෙකු ස්ථුලතාවයට ගොදුරු වේ. තව ද දරුවා ස්ථුලතාවයට පත් වී ඇත්නම් ශරීරයෙහි අසීමිත ලෙස තැන්පත් වී ඇති මේදය මගින් දරුවාගේ බෙල්ල පිටුපස සහ ඉකිලි, කිහිලි ආශ්‍රීත ප්‍රදේශ කළු පැහැ වීමට පුළුවන. සමහර මව්වරුන් කුණු රැඳී තිබීම හේතුවෙන් බෙල්ල කළු පැහැ වී තිබෙන බව සිතයි.එහෙත් ඇතිල්ලු විට නොයන්නේ නම් සහ කළු පැහැය ඝන ස්තරයක් ලෙස පිහිටා තිබේ නම් වෛද්‍යවරයෙකු හට තම දරුවා පෙන්විය යුතු ය.ඉන් පසු දරුවා නිසියාකාරව තම BMI අගය යථා තත්ත්වයට පවත්වා ගත යුතු ය.
ළමා කාලයෙහි ඇතිවන ස්ථුලතාවය මාරාන්තික විය හැකි ද?
ළමා කාලයෙහි ඇති වන ස්ථුලතාවය නිසා සෘජුවම මාරාන්තික තත්ත්වයට පත් වන්නේ නැත. නමුත් මෑතකදී සිදු කළ පර්යේෂණයක් මඟින් ළමා කාලයේ ස්ථුලතාවයට පත් වු පුද්ගලයින් අනෙකුත් පුද්ගලයින්ට වඩා කලින් මිය යන බව සොයා ගෙන තිබේ. ළමා කාලයෙහි ඇතිවන ස්ථුලතාවය හේතුවෙන් තරුණ වියේ දී අධිකරුධර පීඩනය ,හෘදයාබාධ,දියවැඩියාව,සහ අංශභාගය වැනි රෝගාබාධවලට ගොදුරු වේ.
ස්ථුලතාවයට ගොදුරු වු දරුවකුට නින්දේදී ගැටලු ඇති වීමට පුළුවන් ද?
ස්ථුලතාවය තිබෙන විට දී දරුවාගේ බෙල්ල ප්‍රදේශයේ ඉදිරිපස වැඩිපුර තෙල් තිබීම නිසා නින්දේ දී ස්වසන මාර්ගයේ අවහිරතා ඇති වීමත් එවැනි දරුවන් නින්දේදී භය වී නැගිටීම,ගෙරවීමත් ඇති වේ. නිද්දේදී හුස්ම ගැනීමේ අපහසුතා,(Obstnictive Sleep apnea ) ඇති විය හැකි ය. එම දරුවාට නිසි ලෙස රාත්‍රියට නින්ද නොයෑම නිසා දහවල් කාලයෙහි නිදිමත ඇති වීමට පුළුවන. මෙම තත්ත්වය දරුවාට ඇත්නම් උගුර, කන්, නාස් සම්බන්ධ ( ENT) වෛද්‍යවරයෙකුට දරුවාව පෙන්වා උපදෙස් ලබා ගත යුතු ය.
ස්ථුලතාවයට ගොදුරු වු දරුවෙකු සිටින මව්පියන් අනිවාර්යයෙන් ම මතක තබා ගත යුතු කරුණු කාරණා කවරේ ද?
ස්ථුලතාවය අඩු කිරීම පහසු කාර්යයක් වන්නේ නැත. ඊට දරුවාගේ සහයෝගය වඩාත් වැදගත් වේ. ස්ථුලතාවය වළක්වා ගැනීමට කළ යුත්තේ මොනවා ද? යන්න පිළිබඳව දරුවාට ආදරණීයව සහ අවදානයෙන් තේරුම් කළ දිය යුතු ය. දරුවන්ගේ හැගීම් නිසි ලෙස තේරුම් ගැනීමට මව්පියන් ම මතක තබා ගත යුතු ය. ස්ථුලතාවයෙන් පෙළෙන දරුවන් සමාජයේ දී විහිලු තහළුවලට ලක් වේ. එම නිසා බොහෝ දරුවන් මානසිකව පීඩාවට පත් වී සිටී.
ස්ථුලතාවයට ලක් වු සමහර දරුවන් එම නිසා සමාජයෙන් වසන් වීමට උත්සාහ කරති. ඒ හේතුවෙන් ඔවුන්ගේ පෞරුෂයට මහත් බලපෑමක් සිදු වේ. තව ද ඔවුට ඔවුන් කැමති ඇඳුම් ඇඳීමට පවා නොහැකි වේ.මේ සියලු දෑ දෙස මව්පියන් අවබෝධයෙන් බැලිය යුතු ය. ඉන් පසු මව්පියන් ආදරයෙන් සහ කරුණාවෙන් දරුවාට තමන්ගේ බර අඩු කර ගැනීමට උදව් දිය යුතු වේ. ළමා ස්ථුලතාවය පාලනය කිරීම සඳහා දරුවා ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම සහ ව්‍යායාම වැඩි කිරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු වේ.
නිරන්තරයෙන්ම ස්ථුලතාවයෙන් යුක්ත දරුවන් සිටින මව්වරුන් තම දරුවාගේ ආත්ම ශක්තිය වඩවාලිය යුතු ය. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අන්දමට දරුවකු දවසකට විනාඩි 60 ක් ශරීරයට දහඩිය දමන කාර්යයක් කළ යුතු වේ.අධික ස්ථුල දරුවෙකුට එක දිගට විනාඩි 60 ක් ශාරීරික ක්‍රියාකාරකමක් කළ නොහැකි වේ. එම නිසා එවැනි දරුවන් විනාඩි 20 බැගින් දෙවරක් විටින් විට ශාරීරික ක්‍රියාකාරකම් කළ යුතු වේ. දරුවාට සෙල්ලම් කිරීමට පරිස්සම් ස්ථානයක් සකසා දීමට ද මව්පියන් මතක තබා ගත යුතු ය. නිවසේ දී දරුවාට දරුවා කැමති ගීතයක් දමා නර්තනයෙහි යෙදීමට ද අවස්ථාව ලබා දිය හැකි ය.
දරුවාට තෙල්,සීනී සහ ලුණු අධික ආහාර සීමා කර හැකි තරම් නැවුම් එළවළු,පළතුරු ආහාරයට ගැනීමට පුරුදු කළ යුතු ය.බත් සහ වෙනත් පිෂ්ඨය අධික ආහාර ද හැකි තාක් සීමා කළ යුතු ය.එමෙන් ම දරුවාට කුඩා කාලයේ සිට ම සීනි අධික පාන වර්ග ලබා දීමේන් වැළකී පිරිසිදු ජලය වැඩි වශයෙන් පානය කිරීමට පුරුදු කළ කිරීම වඩාත් වැදගත් වේ.
ස්ථුලතාවයෙන් මිදීම සඳහා ළමා කාලයෙහි දරුවන්ට ලබා දිය යුතු ශාරීරික ක්‍රියාකාරකම් කවරේද?
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අන්දමට දරුවකු දවසකට විනාඩි 60 ක් ශරීරයට දහඩිය දමන, පපුව ගැහෙන තරමට ශාරිරික ක්‍රියාකාරකම් කළ යුතු වේ.අධික ස්ථුලතාවයෙන් යුක්ත දරුවෙකුට එක දිගට විනාඩි 60 ක් ශාරීරික ක්‍රියාකාරකමක් කිරීමට අපහසු වීමට පුළුවන. එම නිසා එවැනි දරුවන්ට විනාඩි 20 බැගින් තුන් වරක් විටින් විට ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත විමට පුළුවන.දරුවාට ඇවිදීම, දිවීම ,බට්ටා පැනීම,නර්තනයෙහි යෙදීම, අමතරව ස්කිපින් රෝප් එක භාවිතා කර පැනීම යනා දී ශාරීරික ක්‍රියාකාරකම් කිරීමට හුරු කළ හැකි ය. ශාරීරික ක්‍රියාකාරකම්වලට දරුවා හුරු කිරීමෙන් දරුවාගේ කායික සහ මානසික සෞඛ්‍ය මනාව පවත්වා ගෙන යාමට හැකි වේ.මව්පියන් තම දරුවාව කුමන හෝ ශාරීරික ක්‍රියාකාරකමකට යොමු කිරීම දෛනික ජීවන රටාවේ කොටසක් බවට පත් කිරීමට උනන්දු විය යුතු ය.
ළමා වියෙහි ඇතිවෙන ස්ථුලතාවය වළක්වා ගැනීම සඳහා දරුවාගේ ආහාර රටාව කෙසේ විය යුතු ද?
ඈත අතීතයේ සිට ම ශ්‍රී ලාංකික ජනයා බත් කෑමට පුරුදු විය. ඒ හේතුවෙන් වර්තමාන සමාජයේ ජනයාත් තුන් වේලටම බත් කෑමට හුරු වී තිබේ.තව ද රූපවාහිනියේ පෙන්වන ප්‍රචාරක දැන්වීම් මඟින් ද දරුවන් විවිධ ආහාරපානවලට යොමු වී ඇත. ආහාරපාන ප්‍රචාරණ දැන්වීම්වලට නොරැවටී සිහි බුද්ධියෙන් යුක්තව දරුවාගේ පෝෂණයට අවශ්‍ය ආහාරපාන ලබා දීමට දරුවාව පුරුදු කිරීම මව්පියන්ගේ වගකීම වේ.
ස්ථුලතාවයෙන් යුක්ත දරුවකු තම බත් පිඟානෙහි බත් අඩක් පමණක් ගැනීමෙන් ගන්නා බත් ප්‍රමාණය සීමා කළ යුතු ය. දරුවා වැඩි වශයෙන් ආහාරයට ගැනීමට කැමති එළවළු වර්ග දෙකක් හෝ තුනක් තිබිය යුතු ය.ස්ථුලතාවයෙන් යුක්ත දරුවන් කොස් දෙල්, බතල වැනි පිෂ්ඨමය ආහාර සීමාව ඉක්මවා නොගත යුතු ය.තව ද තෙල්,ලුණු අඩුවෙන් යොදාගත් ව්‍යංජන ආහාරයට ගැනීම වඩාත් වැදගත් ය. මිටි කිරි භාවිතා කිරිමට වඩා දිය කිරිවලින් හෝ ජලයෙන් සකසන ලද ව්‍යංජන අහාරයට ගැනීමෙන් ශරිරයේ මේදය තැන්පත් වන ප්‍රමාණය අවම කර ගැනිමට පුළුවන.බොහෝ මව්පියන් තමන්ගේ දරුවා බත් කැවේ නැහැ කියා සිත් වේදනාවෙන් පසුවේ. දරුවා ආහාර ගන්නේ නැහැ කියා මව්පියන් කිසි විටකවත් කලබල විය යුතු නැත.නමුත් දරුවාට තුන් වේලම වේලාවට ගැනීමට හුරු කළ යුතු ය. කිසිවිටකවත් දරුවාට බලෙන් ආහාර දිම නොකළ යුතු ය.
අද වන විට ළමා ස්ථුලතාවය එක්තරා අන්දමක ව්‍යසනයක් බවට පත් වී තිබෙනවා නේද?වර්තමානයේ දී ළමා ස්ථුලතාවය කෙබඳු ස්වරූපයක් ගෙන තිබේ ද?
ළමා ස්ථුලතාවය මේ වන විට මුළු ලෝකයටම බලපාන බරපතළ ගැටලුවක් බවට පත් වී තිබේ.එක් අතකින් මන්දපෝෂණය හේතුවෙන් දරුවන්බෝ වන රෝගවලට ගොදුරු වේ. අනෙක් අතින් අධිපෝෂණය හේතුවෙන් දරුවන් බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි වී තිබේලෝකයේ දරුවන් 10% ක් මේ වන විට අධිපෝෂණයට සහ ස්ථුලතාවයට ගොදුරු වී ඇත. ගැබිණි සමයේ දී මව නිරන්තරයෙන් ම නිසි බරක් පවත්වා ගෙන යාම,ආහාර සීමා සහිතව ආහාරයට ගැනීම, වෛද්‍ය උපදෙස් පිලිපැද ශාරීරික ව්‍යායාම සිදු කළ යුතු ය. වර්තමානයේ පවතින ජීවන රටාවත් සමග ළමා කාලයේ සිට ම සෞඛ්‍යමවත් ආහාර ගැනීමට පුරුදු වීම වඩාත් වැදගත් ය.
ශ්‍රී ලංකාවෙහි දැනට ළමා ස්ථුලතාවය අවම කිරීම සඳහා සඳහා ගෙන තිබෙන ක්‍රමෝපායන් මොනවා ද? ඉදිරියේ දී ළමා ස්ථුලතාවය තව දුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද?
ළමා ස්ථුලතාවය අවම කිරීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතී. ශ්‍රී ලංකා දියවැඩියා හා අන්තරාසර්ග රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ( SCDCI) සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එකඟව පාසැල්වල ප්‍රාථමික අංශයේ ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවමින් ස්ථුලතාවය පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබේ. .වර්තමානයේ ලංකාවේ සිසිල් බීම බෝතල්වල (colour codeing system ) දැක ගැනීමට පුළුවන. එහි දී රතු පැහැයෙන් සීනී බහුල බවත්, තැඹිලි පැහැයෙන් මධ්‍යම ප්‍රමාණයෙන් සීනී අන්තර්ගතව ඇති බවත්, කොළ පැහැයෙන් සීනී අවම වශයෙන් තිබෙන බවත් හඳුනා ගත හැකි ය.
දරුවන්ගේ සෞඛ්‍ය මට්ටම ඉහළ නංවාලීමේ පරමාර්ථයෙන් යුක්ත රූපවාහිනී වැඩසටහන් ,දැන්වීම් නිර්මාණය කිරීම වඩාත් සුදුසු වේ.ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙදසැල්වල සහ අවන්හල්වල ක්ෂණික පිෂ්ඨය අධික ශරීර සෞඛයට අහිතකර ආහාර සකස් කිරීම අවම කර ඒ වෙනුවට නැවුම් එළවළු පළතුරු වලින් සලාදයක් හෝ සෞඛ්‍යමවත්, පෝෂණයෙන් වැඩි ආහාර පිළියෙළ කිරීමට යොමු වනවා නම් ළමා ස්ථුලතාවය තරමක් දුරට අවම කර ගැනීමට පුළුවන. බීම වර්ග නිෂ්පාදනය කරන විටදී ස්වභාවිතක්වයට මුල් තැන දී අඩු සීනී ප්‍රමාණයක් භාවිතා කර බීම වර්ග සැකසීමට උත්සාහ ගන්නවානම් එමගින් බීම නිෂ්පාදන සමාගම්වලට ද සමාජයට යම් කිසි සමාජ සේවයක් සිදු කළ හැකි ය.
මදාරා මුදලිගේ