
2004 වසරේදි ඇතිවූ දරුණු සුනාමි ව්‍යසනය අපට තවමත් අමතක නැත. එම බියකරු දසුන දෙසැම්බර් මාසයේදි බොහෝ දෙනෙකුගේ සිත්තුළ නැවතත් අලුත් කරන්නේ වසරක් වසරක් පාසා මේ සුනාමි ව්‍යසනයටද කල් පිරෙන බැවිණි. දෙසැම්බර් මාසය බොහෝ දෙනෙකුට පොඩි විවේකයක් ලැබෙන්නේ පාසල් නිවාඩුවත් සමඟය. එසේ හෙයින් බොහෝ දෙනා විනෝද චාරිකා යාමට මේ මාසය වෙන්කර ගනිති.
නමුත් මේ වන විට කාලගුණික තත්ත්වයේ යම් යම් වෙනස්වීම් සිදුවෙමින් පවතින අතර නැවතත් සුනාමි ව්‍යසනයක් පිළිබඳ සමහරුන් විසින් අනාවැකි පවසමින් සිටිති. මෙයට මාධ්‍ය මඟින්ද ලබා දී ඇත්තේ පුළුල් ප්රචාරයකි. 2004 සුනාමි ව්‍යසනයෙන් අනතුරුව අප රට තුළද සුනාමි අනතුරු ඇඟවීම් පද්ධති සවිකර ඇති බව අපි දනිමු. එසේම සුනාමියක් පැමිණීමට පෙර කල්වේලා ඇතිව අනතුරු ඇඟැවීම් කළ හැකිබවද අපි දනිමු. ඒ සියල්ල කෙසේ වෙතත් මාධ්‍ය භාවිතා කරමින් කරන විවිධ අනාවැකි හේතුවෙන් බොහෝ දෙනෙක් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටය.
සුනාමියට කවුරුත් බයය. ඒ අත්දැකීම විඳින්ට නොව අසන්නටත් අකමැති ය. මෙවැනි තොරතුරු ප්‍රචාරයේදි එය වඩාත් විධිමත් හා පිළිගතහැකි ආකාරයෙන් ප්‍රචාරය කිරීමෙහිලා ඊට වගකිව යුතු ආයතන වලටද ඇත්තේ දැඩි වගකිමකි. මෙවැනි වගකීම් විරහිත ප්‍රචාරයන් සිදුවෙද්දි එහි යථා තත්ත්වය හෙළිදරව් කිරිමට මේ හා සම්බන්ධ ආයතන කටයුතු කළ යුතු වන්නේ ය.
රංජනී ප්‍රේමලතා
අත්තනගල්ල