මොන හිත­කින් මේ ගෑනි මාව අම­තක කළාද? | සිළුමිණ

මොන හිත­කින් මේ ගෑනි මාව අම­තක කළාද?

“මෙහෙම ගියොත් කෙළවර වෙන්නෙ දෙන්නගෙන් එකෙක් මැරුණ දාට. නැත්නම් මරා ගත්ත දාට. පිරිමියෙක් බාල්දු වීමේ සීමාවක් තියෙනවා. මං ඒ සීමාව ඉක්මවලා මේ ගෑනිට ඔළුව නැමුවා. ආත්මෙන් ආත්මෙට වෛර පිරිමහන්න ආපු දුෂ්ට යක්ෂණියක්. වචනයක් වැරදුණහම දාලා යනවා...”

නරේන්ද්‍ර කෝපයෙන් ගැහෙමින් සිටියේය. ලේකම්වරයාගේ අනුකම්පාව තමා වෙත යොමු වනු ඔහුට පෙනිණි.

“සර් සංසුන් වෙන්න. කේන්ති ගන්න එපා. ප්‍රියදෝණි මැඩම් සර් ගැන හොඳ අවබෝධයක් ඇතිව ඉන්නෙ. මට හරි දුක හිතුණා එයා එයාගෙ පැත්තට සේරම වැරැදි ටික හරවගෙන කතා කරනවා දැක්කම.”

“මොනවද එයා කිව්වෙ?”

“සර් කියලා තියෙනවා ආතක් පාතක් නැති, ගෑනියෙක් තමන්ගෙ තරාතිරම ගැන නොහිතා සර්ව අල්ලගන්න හැදුවට සර් රැවටෙන්නෙ නැහැ කියලා. එයා ඒක හරි කියලා පිළිගන්නවා. තවත් ගෑනියෙක් ළඟ තියාගෙන ඒ කතාව කිව්වටයි එයාට දුක.”

“මං විහිළුවට කියන්න ඇති.”

“විහිළුවට?”

“සිරිමෙවන් මං එයාව අවුස්සන්න වෙලාවකට ඔය අනම් මනම් දොඩවනවා. චී ඇත්තට... හරි මං මේ ප්‍රශ‍්නෙ විසඳගන්නම්. දෙන්න මට එයාගෙ ටෙලිෆෝන් නොම්බරේ.”

ලේකම්වරයා නිහඬව තමා දෙස බලා සිටින විට නරේන්ද්‍ර සුපුරුදු කෝපයට අවනත වෙමින් සිටියේය. තමා සමීපයේ සිටින සියලු දෙනාම ඇගේ නිවැරදිතාවයට සාක්ෂි දරමිනි. තමාට රිදෙන්නට අදහස් ප්‍රකාශ කරමිනි.

“සිරිමෙවන් මට එයාගෙ නොම්බරේ දෙන්න.”

ඔහු කීවේ මවා ගන්නට උත්සාහ කරනා සංසුන් කමකිනි.

“සර් අනවශ්‍ය කලබල ඇති කර ගන්න එපා. ජීවිතය සෙල්ලමක් නෙමේ. ප්‍රියදෝණි මැඩම් සර්ට කිසිදාක හතුරුකමක් කරන්නෙ නැහැ. ඒක මට විශ්වාසයි.”

“සිරිමෙවන් ඔය කියන කුමාරිහාමිගෙයි මගෙයි ආස්සරේ පටන් ගන්නෙ සිරිමෙවන්ගෙ විශ්වාසය නිසා නෙමේ. ඇත්ත මං පිළිගන්නවා. අවුරුදු පහකට වැඩි කාලයක් තිස්සේ මං එයා ගැන හොය හොයා හිටියා. ඒක සංසාර පුරුද්දක් වෙන්නැති. එයා නම් කට ඇරියොත් කියන්නෙ ඉහත ආත්මෙක කරපු පවක් පල දීලා අපි මූණ ගැහුණ කියලයි. මං ඒ ක්‍රෑර දුෂ්ට කතා දරා ගෙන හිටියා. ඇයි ඒ?”

“සර් ගැනත් අපිට දුකයි. සර් මැඩම් බලන්න ඉන්දියාවට ගිය වෙලාවෙ දෙන්නා සතුටෙන් හිටියා නේද?”

තමා හිස සලමින් එයට එකඟ වූ විට ලේකම්වරයාගේ මුහුණට නැඟුණේ සැනසිලිදායක සිනාවකි. ඔහු ඒ සිනාව මුහුණේ ඇතිවම ඇගේ දුරකථන අංකය කොළයක ලියා ඔහු ඉදිරියේ තැබුවේය.

“සිම් එක මාරු කරලා නේද?”

දුරකථන අංකය පරීක්ෂා කළ ඔහු කීවේ ඇය තමා ඉදිරියේ සිටින්නා වැනි සිහින් සැනසුමක් සිත ඇතිව බව අතීතය හඬ ගා කියන්නට විය.

********

සිරිමෙවන් ලේකම්වරයාට ප්‍රියදෝණි මහමායා මුණගැසීමේ පුවත ඇසීමෙන් පසු එදින රාත්‍රිය උදාවන තුරු නරේන්ද්‍ර සිටියේ ඉමහත් නො ඉවසිල්ලකින් පීඩා විඳිමිනි. ඇයට දුරකථන ඇමතුමක් දීමේ පිපාසය දරා ගැනීම තමාට මෙතරම් අපහසු මන්දැයි සිතන්නට තරම් හෝ මොහොතක් සොයා ගැනීමට නොහැකියාව තමන් කෙරෙහි ම නුරුස්නාවක් ඇති කිරීමට හේතු වූයෙන් ඔහුගේ කෝපය ද වැඩෙමින් තිබිණි.

රාත්‍රිය දහය පමණ වන තුරු ඔහු සුපුරුදු ලෙස මන්ත්‍රී කාර්යාලයේ නිල අසුනක් වන් පුටුවේ වාඩිවී ඡන්ද දායකයන්ට සවන් දුන්නේය. ඉන්පසු ඔහු අසුනෙන් නැගී සිටියේය. ඡන්දදායකයන්ට දහසක් ප්‍රශ්න ඇත. ඔවුන් ලක්ෂ්‍යයකට ආසන්න සංඛ්‍යාවක් තමන්ට ඡන්දය දී මැති සබයට තෝරා හැරියේ ආවාට ගියාට නොවේ. අවශ්‍ය විට අවශ්‍ය සහයෝගය දෙනු ඇතැයි විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් ඇතිවය. ලක්ෂ්‍යයක ජනතාවකගේ දහසක් ප්‍රශ්න මොහොතින් මොහොත මිලියන බිලියන ට්‍රිලියන ඉක්මවමින් පවතී.

විසඳා ගත නොහැකි මිලියන බිලියන ට්‍රිලියන ගැටලු අතරට භූමි ගැටලු එක් වන්නේ මාතෘභූමියට රාජ්‍යසමය වූ ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා බව ජනතාව අවබෝධ කර ගත යුතු යැයි නරේන්ද්‍ර පැමිණ සිටි පිරිසට කීවේ තරමක් කෝපයෙනි.

ඔහුගේ පැවසුම සංවිධානව සිටින ගොවියන්ගේ සභාපති වූ තරුණයා කෝපයට පත් කරවන්නක් විය.

“මන්ත්‍රිතුමා, රාජ්‍ය ප්‍රතිපත්ති හරි ජාතික ප්‍රතිපත්ති හරි වෙන මොන ප්‍රතිපත්තියක් හරි හදන්න පුළුවන් නම් අපි දැන් ඉන්න ඕන පාර්ලිමේන්තුවෙ. ඔබතුමන්ලා හදන ප්‍රතිපත්තිවල ප්‍රායෝගික පැත්තයි අපිට වටින්නෙ. අපි දන්නෙ. දුප්පත් මිනිස්සුන්ගෙ බඩට පාර වදින විදිහට කුඹුරු ඉඩම් ගොඩ කර කර ගොඩනැඟිලි හදන එක ජාතික ප්‍රතිපත්තියක් ද?”

තරුණ සභාපති අතැඟිල්ලක් ලෙළවමින් දෙඇස් විශාල කරමින්, දෙබැම නටවමින් කතා කරන සැටි නරේන්ද්‍ර බලා සිටියේ සඟවා ගත් ආඩම්බර සතුටක් සිත ඇතිවය. රටකට අවශ්‍ය මෙවන් තරුණ තරුණියන් වීම රටේ අනාගතයට යහපතක්.

“මන්ත්‍රිතුමා සමාවෙන්න. අපේ දරුවන්ට කේන්ති යන එක සාධාරණයි. අපි ඔබතුමන්ලට ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවන්නෙ අපේ බෙල්ල කප්පවා ගන්නද? අපිව අසරණ කරන්නෙ නැතිව මේ කාරණේදි ඔබතුමා අපිත් එක්ක ඉන්න ඕන.”

මහලු ගොවියෙකු කීවේ වෙව්ලන හඬකිනි. නරේන්ද්‍ර සිත උපන්නේ ශෝකයකි.

කෘෂි ජීවිතය හා කෘෂිකර්මාන්තය ආරක්ෂා කර ගැනීමට විවිධ තරාතිරම්වල විවිධ පාලන ඒකක තුළ කොතරම් නම් ඇමැති ජනයා සිටීද?

නරේන්ද්‍ර නානකාමරයේ උණුසුම් වතුර මල යට සිරුර දෝවනය කරමින් පැමිණ සිටි ගොවි ජනයා‍ගේ දුක්ඛිත විලාපය ඇතිවීමට හේතු කාරණා ගැන සිතන්නට විය. කොතරම් සිතුවත් නිමාවක් නැත.

ඒ ජන දුක මඳකට අමතකවී ප්‍රියදෝණි මහමායා සොයා ගැනීමේ නො ඉවසිල්ල යළිත් නරේන්ද්‍ර සිත සසල කරන්නට විය. ඔහු නාන කාමරයෙන් පිටතට ආවේ ප්‍රියදෝණි මහමායා කෙරෙහි පැවතිය යුතු ආකාරය පිළිබඳව ලේකම්වරයාගේ අවවාද අනුශාසනා මතකයට නංවා ගනිමිනි.

“මොන හිතකින් මේ ගෑනි මාව අමතක කළාද කියලා මටම හිතා ගන්න බැහැ.”

ඔහු කීවේ නොව සිතුවේ අජන්තා ගැහැනිය දෙස යොමුවූ දෙනෙතිනි. ඇය ඔහුට සරදම් කළේ තත්පර කටුවේ ගමන ඔහුට ඇසෙන්නට සලස්වමිනි. එය දුක්ඛිත හදවතක අනුවේදනීය හඩා වැටීමකි.

“විවාහ වෙමු කිව්වම ඇස් උඩ ඉන්දගෙන, මූණ රතුකරගෙන, හුස්ම හිරකරගෙන, වෙව්ල වෙව්ලා කිව්වා අනේ නරේන් මං වෙනුවෙන් ගත කරන්න කාලයක් ඔයාට නැහැ. අපි හුඟාක් ආදරණීය යාළුවො දෙන්නෙක් වෙමු කියලා. මොන මැටි මෝල් කතාවක් ද ඒ? මට පුළුවන්ද එයා ළඟ තියාගෙන භාවනා කරන්න. ඒත් එයා දිල්ලි විශ්ව විද්‍යාලෙට ගිය ගමනෙදි මහා මන්දිර හෝටලේ අපි දෙන්නා හිටියෙ කය නැති සිත ඇති බඹතලයක ඉන්නවා වගේ. එයා මට කොච්චර කෘතවේදී වෙන්න ඕනද මගෙ ඉවසීමට. මගේ ආත්ම සංයමයට. අම්මා කෙනෙක් ළඟ ඉන්න පොඩි දරුවෙක් වගේ මං ඒ ගෑනි ළඟ හිටියෙ. ඒත් අපි දෙන්න ම සතුටෙන්. මේ මොන කරුම බැඳීමක්ද? සංසාරෙ කරපු වරදකට දඬුවම් විඳිනවා. නෑ. මං එයාට අස්වාභාවික ලෙස ගෞරවකළා. මගෙ හිත හැමදාම එයාගෙ පැත්තටයි සාක්ෂි දුන්නෙ. මං විත්තිකාරයා. හැබැයි එයා පැමිණිලි කාරියක් නෙමේ. දුක දරා ගන්නවා. නැත්නම් මගෙන් ඈත් වෙනවා. මගෙ හිත කියන්නෙ ම උඹ මගෙ. උඹ අයිති මට කියලා. මොකක්ද මේ බැඳීමෙ තේරුම? එයා මාව විශ්වාස කළේ නැහැ. මට කේන්ති ඒකයි.”

නරේන්ද්‍ර සැහැල්ලු රාත්‍රි ඇඳුමක් ඇඟලා ගත්තේය. සිතා නිම කළ නොහැකි කටුක බැඳීමක් යළිත් මඳ මිහිරකට අත වනන්නා සේ ඔහුට සිතිනි.

“කුමාරිහාමි හිතන්න එපා මගෙන් ඈත්වෙලා හැංගිලා ඉන්න පුළුවන් කියලා නම්. ලෝකෙ කොයි මුල්ලක හිටියත් උඹෙයි මගෙයි දෛවය අපිව මුණ ගස්සවනවා... බලමු..”

නරේන්ද්‍ර සුව පහසු පුටුවක දිගා වුණේ හෑන්ඩ් ෆෝනයද අත ඇතිවය. ඉතා සෙමින් ප්‍රවේශමෙන් ප්‍රියදෝණි මහමායාගේ අලුත් දුරකථන අංකයට හිමි ඉලක්කන් මත ඇඟිලි තුඩු තබා ඇමතුම සන්ධි ගත කළේය. විශාරද අමර දේවයන්ගේ “රත්නදීප ජන්ම භූමි ලංකදීප විජය භූමි” ගීය ඇසෙන්නට විය. “ඉතිහාසය දෝතින් බ දා ගෙන පපුවට තුරුල් කරන් ඉන්න ගෑනිනෙ. ගැළපෙන සින්දුවක් දා ගෙන.” ඔහු සිතුවේ දෙතොල් මත පිපි සිහින් සිනාමලක් ඇතිවය.

ඇය ඇමතුම විසන්ධි කළාය. නැවතත් ඔහු ඇය සොයා ගන්නට අංක මත ඇඟිලි තුඩු තැබුවේ සුපුරුදු කෝපයට හා නොරිස්සුමට සිතෙහි ඉඩක් වෙන් කරමිනි.

හයවැනිවර අමතන විට ඇය ඔහුට ප්‍රතිවදන් දෙන්නට ඇමතුමට සම්බන්ධ වූවාය.

“නරේන් මට කරදර කරන්න එපා.” ඇය කීවේ එපමණකි.

“මාව යක්ෂයෙක් යමපල්ලෙක් කරන්න එපා. මට සැනසිල්ලෙ බත් කටක් කාලා නිදාගන්න ඉඩ දීපන්. උදේ ඉඳන් මං බඩගින්නෙ.”

ඇය නිහඬව ඔහුගේ තර්ජනය අසා සිටියා ය.

“උඹ මගෙ අවාසනාව. චුට්ටක් එහෙ‍ මෙහෙ වුණොත් අනේ මේ මිනිහත් මනුස්සයෙක් නේද කියලා හිතන්නෙ නැතිව හැංගිලා යනවා. උඹ විවාහයක් කර ගෙන හිටියා නම් ඒ මිනිහා මේ වෙන කොට උඹට විරුද්ධව දික්කසාද නඩු සිය ගණනක් දාලා. අනේ මෙහෙමත් ගෑනු.”

‍නරේන්ද්‍ර දෝෂාරෝපණය කළේ ව්‍යාජ නොවූ දැඩි කෝපයකිනි. ඇය අසා සිටියාය. ඇයගෙන් බාධාවක් එල්ල නොවීම ඔහ‍ුගේ කෝපය තවත් දැඩි කරන්නක්විය. ඇයගේ බාධා කිරීම් ඔහු පිළිබඳ ඇය තුළ ඇති බැඳීම පෙන්වන්නක් සේ සිතට දැනෙනවිට නොතකා හැරීම කෝපයට තුඩු දෙන්නකි.

“කොහෙද ඉන්නෙ? කතා කරපන් කොහෙද ඉන්නෙ?”

“නරේන් මට විරුද්ධව දික්කසාද නඩුවක් දාන්න මං ඔයාට ඉඩ තිබ්බෙ නැහැනෙ. යාළුවො විදිහටවත් අපිට ආස්සරේ කරන්න බැහැ නරේන්. අපි දෙන්නා යාළුකමටවත් ගැළපෙන්නෙ නැහැ.”

“ඔය මඟුල් කතා මට වැඩක් නැහැ මහමායා. ඉන්නෙ කොහෙද කියනවා?”

“නරේන් මං කොහෙ හිටියත් ඔයාට වැඩක් නැහැනෙ. මට කරදර කරන්න එපා.”

“මට වැඩක් තියෙනවද නැද්ද පෙන්නන්න මං හෙට ම එනවා. කරදර කරන්න එපාලු. මගෙ ජීවිතේ ම අවුල් කළා. අතන මෙතන ගෑනු ඉන්නවා කියලා කිසිම සාධාරණ හේතුවක් නැතුව ඉරිසියාවෙන් පුපුර පුපුරා මට මාව නැති කළා. හැම වෙලේ ම මට නින්දා කරනවා. තියෙන පව්කාරකම.”

නරේන්ද්‍ර දුරකථන ඇමතුම එතැනින් නිහඬ කළද ඉන් තෙදිනක් ඇතුළත ඔහුට ඇය සොයා ගැනීමට හැකි විය.

හර්ෂ ගුණවර්ධන අඳියි

Comments