
නේෂන් ගේ වචන නරේන්ද්‍රගේ සිත අසරණ කරන්නක් විය. ප්‍රියදෝණි මහමායා තරමට ම තමාගේ ආදරයට ක්‍රෑර විවේචනයට, අගතිගාමී වාග් ප්‍රහාරයන්ට අසුව සැලෙන ගැහෙන බියපත් දෙනෙතින් තමා දෙස බලා සිටිනා රෝජා සඳපාණී පියාට මුවාවී තමාට අනුකම්පා කරන සැටියක් ඔහුට දැනෙන්නට විය.
“ඩොක්ටර් අපිත් වෙලාවකට එලොවක් මෙලොවක් නොදන්න පුංචි කොලු ගැටව් වෙනවා නේද? මං හිතන්නෙ කිසිම කෙනෙකුට බැහැ සම්පූර්ණයෙන් ම අතීතය අමතක කන්න. ජීව විද්‍යාත්මක බැඳීම්වලට වැඩිය සංසාරයේ හුරු පුරුදු මානසික බැඳීම් කඩා බිඳ දාන්න අමාරුයි. ඒ කොහොම වුණත් අපි වගේ නෙමේ අපේ ළමයි. අපිට වැඩිය ලෝකය දන්නවා. ළමයි කැමති නිදහස් ලෝකෙක නිදහසේ ජීවත් වෙන්න. මං කල්පනා කරන්නෙ, කොහොමද අපි රුක්නාද්වත් ආරක්ෂා කරගෙන මනුෂ්‍ය ජනාවාස ගැන ලෝකෙට කියන්නෙ කියලා.
“නරේන්ද්‍ර”
“කියන්න ඩොක්ටර්”
“ඔය ස්විස් යන මන්ත්‍රී කණ්ඩායම එහෙදි කියාවිද උතුරට තනි වෙන්න අපි කොහොමටවත් ඉඩ දෙන්නෙ නැහැ කියලා. රුක්නාද් කියාවිද අපිට උතුරේ තනි වෙන්න බැහැ. දකුණ නැතුව අපිට ආරක්ෂා වෙන්න බැහැ. මේක තමා අපේ රෙට් තියෙන භයානකම ගැටලුව. මේ ගැටලුව අපිට ඕන විදිහට නිරාකරණය කර ගන්න ඉඩ දීලා ලෝක බලවත්තු නිශ්ශබ්ද වෙන්න ඕන කියලා. අපේ ප්‍රශ්න අපි ම විසඳගන්න ඕන, මානුෂීය ආකාරයෙන් මිසක්, ලෝකෙ අනිත් අයට වාසිදායක වෙන විදිහට නෙමේ කියලා. ආයුධ අපිට තිත්තයි කියලා.”
නරේන්ද්‍ර සිතන්නට විය. නේෂන් වෛද්‍යවරයා ශ්‍රී ලාංකික මන්ත්‍රි ජනයා කෙරෙහි අවිශ්වාස සහගතව කතා කරන්නේ වරින් වර ලෝක සමුළුවට සහභාගි වන ඔවුන් පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇති නිසා බවට සැකයක් නැත. විදේශගත මෙරට වාසීන් වැඩි දෙනෙකුගේ අදහස මෙරට මහජන නියෝජිතයින්ගෙන් වැඩි දෙනෙක් මුදලට අවනත කර ගැනීමට හැකි නිසා මුදල් පෙනෙන විට ඔවුන් පෙණය හකුළා ගන්නවා නොව හෘද සාක්ෂියට ඉබි යතුරු ලන බවයි.
“ඩොක්ටර්”
නරේන්ද්‍ර වෛද්‍යවරයා ඇමතුවේය. රුක්නාද් සේම වෛද්‍යවරයාද ද්‍රවිඩ ත්‍රස්තවාදයෙන් අප්‍රමාණ පීඩාවන්ට ලක්වූ අහිංසක මිනිසුන්ය. එවන් මිනිසුන්ගේ හෘදය රිදවන සිදුවීම් උතුරු සමාජයට ද විවෘත කිරීම සාමාන්‍ය ජනතා අවධාණයට ලක් වන්නකි. උතුර තවමත් පසු වෙන්නේ බොහෝ බිය ජනක සිතුවිලි හදවත ඇතිවය. වසර තිහක ක්‍රෑර ජීවිත මතක සටහන් මකා දැමීමට නම් දකුණේ ආදරය කරුණාව සෙනෙහස උතුරට ලැබිය යුතුය. උතුරේ විශ්වාසය, ගෞරවය, පිළිගැනීම, සටකපටකමින් වංචාවෙන් තොරව දකුණට හිමි විය යුතුය.
“නරේන්ද්‍ර මොකක්ද කියන්න හැදුවෙ?”
නේෂන් වෛද්‍යවරයා ඇසුවේය.
“සැක හිතන්න එපා. රුක්නාද් වගෙ තරුණ මානව හිතවාදියෙක් අවුරුදු සිය ගණනකින්වත් උතුරු පොළොවෙ ඉපදිලා නැතුව ඇති. අපි එයාව තනි කරන්නෙ නැහැ. එයා විතරක් නෙමේ උතුරේ දුක් විඳින මනුෂ්‍යයෙක්වත් තනි කරන්න අපි කැමති නැහැ. උතුර අපිට ඕන. උතුරට අපි ඕන...”
“මනෝ දුව මේ ගමන යනවට වැඩිහිටියන්ගෙන් තහනමක් නැද්ද?”
“නෑ ඩොක්ටර්. කිසිම තහනමක් නෑ. එයාගෙ තාත්තා උතුරෙදි ඝාතනය වුණා කියන වෛරයක් එයාගෙ හිතේ නැහැ. එයා මිනිස්සුන්ට ආදරය කරන ගෑනු ළමයෙක්.”
නරේන්ද්‍ර කීවේ විශ්වාසයෙනි. නේෂන් වෛද්‍යවරයා හිස සැළුවේ ඔහුගේ වචන පිළිගන්නා බව හැඟවීමටය.
නේෂන්ගෙන් සමුගත් නරේන්ද්‍ර මාධවී සොහොයුරියගේ නිවෙසට ගියේ මනෝහාරි මුණ ගැසී ස්විස් ගමන ගැන තොරතුරු දැන ගැනීමටත්, ඇය දැනුවත් කිරීමටත්ය. මනෝහාරි ඉන්දියාවටත් සිංගප්පූරුවටත් හැර ලෝකයේ වෙනත් රටක සංචාරයකට සහභාගී වී නැති බව නරේන්ද්‍ර දනී.
“මල්ලී”
නරේන්ද්‍ර මනෝහාරි සමඟ දීර්ඝ සාකච්ඡාවක යෙදී සිටින විට මාධවී ඔවුන් වෙත ආවේ සැක සහිත අවිශ්වාස සහගත බැල්මක් දෙනෙතේ ඇතිවය.
“මල්ලී අපි රෝජා ළමයා ගැන නම් දන්නවා. ඒත් ඔය කියන රඝුපති යි භවානියි ගැන දන්නෙ නැහැ. මගෙ හිතට බයයි මල්ලී.”
ඇය කීවේ ස්විස් ගමන පිළිබඳ තම සිත ඇති දෙගිඩියාව සඟවා නොගෙනය.
“බය වෙන්න දෙයක් නෑ, මං හොඳට හොයලා බැලුවා.”
නරේන්ද්‍ර රඝුපති සහ භවානි පිළිබඳව තමා ඇසූ තොරතුරු සොහොයුරියට පවසන්නට විය. දෙදෙනාම එල්ටීටී සංවිධානයේ ක්‍රෑරත්වයෙන් පීඩා විඳ ඇත. වත්මන් යුගයේ ඔවුන් යාපනේ තරුණ තරුණියන් ප්‍රමුඛ පොදු ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතියට බාධා නොකරන්නැයි ද්‍රවිඩ දේශපාලනඥයින්ගෙන් මෙන් ම විවිධ ලෝක සංවිධානවලින්, විදේශගතව ක්‍රියා කාරීවන දෙමළ සන්ධානවලින් ඉල්ලා සිටින තරුණ එකමුතුව පුරෝගාමීහු වෙති.
සොහොයුරා කෙරෙහි විශ්වාසය ඇතිව මාධවී නිහඬ වූවාය.
මනෝහාරි කුඩා කල සිටම තරමක් නිහඬ චරිතයක් වීම පියාගේ අමානුෂික ඝාතනයෙන් උපන් බියක් නිසා යැයි පවුලේ සාමාජිකයින් අතර විශ්වාසයක් පිළිගැනීමක් ඇත.
නිවෙසේදී නිහඬ දියණිය තම සොහොයුරා සමඟ අතිශයින් ළෙන්ගතු සමීප ඇසුරක් පවත්වන බව මාධවී දනී. ඇයට එය සතුටකි. සොහොයුරාගෙන් පසුව ඔහුගේ ඡන්ද කොට්ඨාසයේ මන්ත්‍රිවරිය වීමේ අවස්ථාව දියණියට ලැබෙනවා දකින්නට මාධවී තුළ ඇති තෘෂ්ණාභර ආසාව රාජනී සොහොයුරියට රහසක් කරගෙන තව කොතරම් කල් ඉන්නද? මනෝහාරිගේ ස්විස් ගමන ගැන රාජඍෂි දැන සිටියත්, තවමත් එය රාජනී දන්නා බවට සංඥා එළි දැල්වී නැත.
“මල්ලී මට තව එක කාරණයක් කියන්න තියෙනවා. පුංචිකාලෙ අපේ ළමයින්ට එකතුවෙලා හිටිය අර දෙමළ දරුවා ඉන්ද්‍රජිත් ලංකාවට එන බව රාජනී දන්නෙ නැහැ. මනෝහාරිගෙ ස්විස් ගමන ගැනත් මං එයාට කිව්වෙ නැහැ.”
“ඇයි කිව්වෙ නැත්තෙ?”
“බණින්න පටන් ගන්නවනෙ. කොච්චර කිව්වත් අහන්නෙ නැහැ. වෛර කර කර ජීවත්වෙන එක හිතට මහ දුකක්. දරාගන්න බැරි පීඩාවක් කියලා. යක්ෂවේශ වෙලා වගේ කෑගහනවා. රාජඍෂි පුතා ගැන මට හරි කනගාටුයි.”
නරේන්ද්‍ර නිහඬ විය. සොයා නොබලා සිතා නොබලා බැණ වැදීමේ පුරුද්ද පරම්පරා දායාදයක් සේ තමාට ද හිමි වී ඇත.
ඉතාමත් රහසිගත ලෙස තම සිතෙහි ගෞරවනීය ආදරයක් රෝපණය කළ ගැහැනිය සැඟවී ගියේ ද තම කටුක වදන් ඉවසා ගත නොහැකිව නොවේද? නරේන්ද්‍රගේ සිත ප්‍රශ්න කරන්නට විය. ප්‍රශ්නයට පෙර පිළිතුර ආවා මෙනි. බොහෝ වැරදි සිදුව ඇත.
“මගෙ මුළු ජීවිතේ ම ඇත්ත පෙන්නලා දෙන්න වගේ මං එක සැරයක් ඔය ගෑනිට කිව්වා “මම උඹට ආදරය කරන්න පටන් ගත්තෙ විහිළුවට විනෝදෙට සෙල්ලමට වුණත් කාලය මාව වෙනස් කළා. දැන් උඹ මගෙ මුළු ජීවිතේම වෙලා” කියලා. සැකයෙන් ඊර්ෂ්‍යාවෙන් අන්ධ වෙලා හිටිය ඒ මෝඩවහන්සේ මාව විශ්වාස කළේ නෑ. දැන් ඉතින් මරණය පෙනි පෙනිත් මං එයා ගැන හිතන්න පටන් අරන්. අවසානයක් නැති හිතුවිල්ලක්.”
ඔහුගේ සිත ඔහුට පිළිතුරු දුන්නේ දුක්බර වෙසක් ගෙනය. තමා කොතරම් පීඩාකාරී වදන් මුවින් පිට කළත්, ඒ සැණින් ම ඇයගේ සිත සුවපත් කිරීමට ඇගේ දුරකථනයට යවන ලද කෙටි පණිවිඩ නරේන්ද්‍රගේ සිතට පිවිසුණේ තරමක ලජ්ජාවක් ද ඇතිවය. ඒ පණිවිඩ නොඉඳුල් තරුණ පෙම්වතකුගේ ප්‍රේමණීය හැඟීම් ප්‍රකාශන සේ වීම කෙරෙහි ඇය සිත යොමු කර තිබුණේ නැත.
ඔබ පිළිබඳ මගේ ආදරයේ ගැඹුරට පත්ලක් නැත. සීමා මායිම් නැත. ඔබ සමඟ බැඳුණ මගේ ජීවිතය සහ ආදරය අවසානයක් නැති කතාවකැයි පිරිමියෙකු පවසන විට ඊට පිළිතුරක් නොදී සිටිය හැකි ගැහැනියක් මෙලොව සිටීනම් ඒ ඇය පමණකැයි නරේන්ද්‍ර සිතුවේ සියුම්ව දලු ලන කෝපයකිනි.
එවැනි පණිවිඩ කොතරම් නම් ප්‍රමාණයක් යවන්නට ඇද්ද?
මට ඔබ මුණ ගැසීම දෛවෝපගතයක්. අපේ මිත්‍රත්වය තෝරා ගැනීමක්. නමුත් මා ඔබට ආදරය කිරීම සීමාව ඉක්මවා යාමක් නොව දෛවයේ අණ කිරීමක්.”
එවැනි පණිවිඩයකට දිය හැකි පිළිතුරක් ඒ ගැහැනියට නොතිබීම ඛේදජනක නොවේද?
ප්‍රේමය පිළිබඳ කොතරම් සුන්දර හැඟීම් ඇය ළය තුළ තැන්පත් කිරීමට උත්සාහ ගත්තත්, ඇය මං මුළා වූයේ තමා පිළිබඳව සමාජගතව ඉතිරී පැතිරී තිබුණ බොහෝ මුසාවාදයන් තුළ යැයි සිහිපත් වන විට නෙර්න්ද්‍ර සිතට යක්ෂයෙක් රාක්ෂයෙක් වැනි චරිතයක් ද පිවිසෙන්නේය.
මේ යක්ෂ රාක්ෂය චරිත රැගෙන එන්නේ ඒ ගැහැනියගේ භූතාත්මය වූ රෝජා සඳපාණි තරුණියයි. දැන් ඇය ද තමාට පිටුපා ගොස්ය. පියෙකු අත හැර දමා යන ක්‍රෑර දියණියකසේ ඇය ද ගොස්ය. වර්තමානය කලඹවන අතීත සිදුවීම්වලට සීමාවක් නැත.
දිල්ලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයෙන් පසු තමාගෙන් සැඟවී ගිය මහාමායාව දිනක පෞද්ගලික ලේකම්වරයාට මුණ ගැසී ඇත්තේ කුරුණෑගල සිද්ධස්ථානයකදීය. දෙදෙනා අතර වූ කතා බහ සිරිමෙවන් ලේකම්වරයා නරේන්ද්‍රට කීවේ දැඩි සේ කම්පා වූ හදවතිනි.
“සර්ගෙ පෞද්ගලික ජීවිතේට ඇඟිලි ගහන්න අපිට අයිතියක් නැහැ. ඒත් සර්ගෙ මේ ඉවක් බවක් නැති වැඩ? ඇත්තටම කනගාටුයි මට.”
දෙදිනක නිවාඩුවක් ගෙන බිරිය සමඟ කොහෙදෝ ඥාති නිවසකට ගොස් ආපසු පැමිණි ලේකම්වරයා කාර්යාලයට පැමිණි වහාම නරේන්ද්‍ර හමුවට ආවේ දෝෂාරෝපණ වර්ෂාවක් ද ගෙනය. නරේන්ද්‍ර පුදුම විය.
“සිරිමෙවන් කවදාවත් නැතිව මොකද මේ?”
“මට ලජ්ජයි. මගෙ නෝනත් ඉන්න තැනමයි මේ කාලකණ්ණි සිද්ධි ගැන ප්‍රියදෝනි මැඩම් කතා කළේ”
නරේන්ද්‍රට එය මහා විමතියක් විය. ප්‍රියදෝණි මහමායා ඇසුරෙන් සැඟවී පස් මසකට වැඩිය. මේ හදිසි හමුවීම කවදා කොතැන කෙසේ සිදුවීද?
“තමුන්ගෙ ලජ්ජාව ඔව ඩස්බිං එකට දාලා වෙච්ච දේ කියමු බලන්න. කොහෙද එයා ඉන්නෙ?”
“ඉන්න තැනක් කිව්වෙ නැහැ.”
“ඇහුවෙ නැහැ?”
“ඇයි?”
“දරුවෙක් වගේ ගෑනු ළමයෙක්ගෙ ජීවිතේට ආයෙත් දුක් කරදර දෙන්නෙ ඇයි මං?”
“හ්ම්. එහෙනම් කියනවා එයා මොනවද කිව්වෙ?” ලේකම්වරයා එකවර පිළිතුරු දුන්නේ නැත.
“සිරිමෙවන් එයා ගෑනු ළමයෙක් නෙමේ. මහ ගෑනියෙක්. මට වැඩිය ජීවිත අත්දැකීම් තියෙනවා. මාව යක්ෂාවේශ කරන්නෙ නැතිව කිව්වෙ මොනවද කියනවා.”
“සර්..”
“කියනවා ඉතින්”
“කොහෙවත් යන ගෑනියෙක්ව ළඟ තියාගෙන, තමන්ට ආදරය කරන ගෑනියෙක්ගෙ ආදරේ ලජ්ජාවට පත් කරන කොට හෑල්ලු කරන කොට මොන ගෑනිට ද ඒක දරා ගන්න පුළුවන්? මං හිතුවෙ නැහැ සර් මේ තරම්ම....”
“ඔව් කියනවා මේ තරම්ම... නෑ මං කියන්නම්. මේ තරම්ම අධම, නින්දිත, පහත්, ලජ්ජා නැති....”
“ඔය පිස්සු කතා නතර කර ගන්න සර්. ඒ මනුස්සයා ඉන්නෙ දුකෙන්.”
“ඉතින් වැරැද්ද මගෙද? නෑ සිරිමෙවන්. එයා මගෙ හැටි දැන දැන ම තමා මං ළඟට ආවෙ. එයා විතරක් නෙමේ ආව හැම දෙනාම”
“අනේ සර් ඔය සෙල්ලක්කාර ජීවිතේ දැන්වත් නතර කරන්න. ඒ මනුස්සයා කියන්න වගේ ම සර්ට වටිනා ජීවිතයක් තියෙනවා. වටිනා දේශපාලන අනාගතයක් තියෙනවා. මං හිතන්නෙ නැහැ සර්ගෙ ජීවිත වටිනාකම් ප්‍රියදෝණි මැඩම්ට තරම් වෙන කිසිම ගෑනියෙකුට තේරුණාද කියලා. පව්...”
තමා ෙපෟද්ගලික ලේකම්වරයා දෙස බලා සිටි අයුරු නරේන්ද්‍රගේ සිත වෙත ආවේය. ඇය හමුවිය යුතු බව ඔහු වචනයෙන් කීවේ නැත. ඉල්ලීම දෙනෙතේ ප්‍රකාශනයක් විය. සිතට සහනයක් ඇති වෙමිනි. කායිකව ඇය තමා අතහැර යන තරමට ම මානසිකව තමා ඇය කෙරෙහි බැඳී ඇතැයි ඔහු සිතුවේය. ලේකම්වරායට තමා ඉදිරියේ ආසනය පෙන්වූ ඔහු අත වූ පෑනෙන් හිස් කොළයක් කුරුටු ගෑවේ නිතැතින් සිදුවන්නකට ඉඩ දෙමිනි.
“සිරිමෙවන්. මට එයා මුණ ගැහෙන්න ඕන. දෙන්න මට එයාගෙ ටෙලිෆෝන් නම්බර් එක.”
“මං ළඟ නැහැ සර්.”
“සිරිමෙවන් බොරු කියන්න එපා. මං හිතාගෙන හිටියෙ එයා මැරිලා කියලා.”
“මොනවද සර් මේ කියවන්නෙ පිස්සුවෙන් වෙග්?”
“ඔව්. මේක පිස්සුවක් තමා. වෙලාවකට මට හිතෙනවා මේ ගෑනිව මරලා මාත් මැරන්න. ඒ තරම් කේන්තියක් මගේ හිතේ තියෙන්නෙ. මං මේ විදිහට කිසිම කෙනෙක් ඉස්සරහ බාල්දු වෙලා නැහැ. මගෙ කට හොඳ නැහැ. පිළිගන්නවා මං. වචන වැරදෙනවා. ඒත් මේ විදිහට මගෙන් පළිගන්න මං කරපු වැරැද්ද මොකක්ද?”
“සර් ගෑනියෙකුටත් ආත්මාභිමානයක් තියෙනවා. සර් තවත් ගෑනියෙක් ළඟ තියාගෙන ප්‍රියදෝණි මැඩම්ව බාල්දු කරන කොට... අනේ මන්දා සර් මේවා කොතනින් කෙළවර වෙයිද කියලා.”
ලබන සතියට