
ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ලෝක වෙළෙඳපොළේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි.ලෝක වෙළෙඳපොළේදී පවතින සත්‍ය කුරුඳු ඉල්ලුමෙන් 80-90% කම අවශ්‍යතාවය සපුරන්නේ අප රටෙනි.මෙරට කුරුඳු විදෙස් වෙළෙඳපොළ වෙත නිකුත් කරන්නේ ද මෙරටටම ආවේණික ක්‍රමවේදයකටය.ඒ කුරුඳු පොතු ගලවා කුරුඳු කූරු ලෙස සැකසීමෙන්ය.එයට අමතරව කුරුඳු පොතු තෙල් ,කුරුඳු කොළ තෙල් ආදී තවත් අගය එකතු කළ නිෂ්පාදනයන් රැසක් ලෝක වෙළෙඳපොළ වෙත මෙරටින් අපනයනය කරනු ලබයි.අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සුළු අපනයන භෝග නිෂ්පාදනය පසුගිය වසරේ පහළ ගියද කුරුඳු නිෂ්පාදනයේ පහැදිලි වර්ධනයක් පසුගිය වසරේදී දක්නට ලැබුණි. 2015 වසරේදී මෙට්‍රික් ටොන් 17,707ක් වූ කුරුඳු නිෂ්පාදනය 2016 වසරේදී මෙට්‍රික් ටොන් 18,945ක් ලෙස සියයට හතකින් සැලැකිය යුතු ලෙස ඉහළ ගියේය.මෙලෙස කුරුඳු ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමට මෙන්ම ඉහළ විදේශ විනිමයක් ලබාදීමට දායක වේ.කුරුඳු නිෂ්පාදනයේ අඛණ්ඩ වර්ධනයක් සෑම වසරකදීම ලබා ගැනීමට නම් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කළ යුතුය.
පස සහ දේශගුණය
ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැදි දේශගුණික කලාපයන් කුරුඳු වගාවක් ලෙස පවත්වා ගැනීම සඳහා ඉතාමත් යෝග්‍ය වේ.මුහුදු මට්ටමේ සිට උස මීටර් 700ක් දක්වා වූ ඉඩම් මේ සඳහා සුදුසුය.හිතකර වර්ෂාපතනය වන්නේ මිලිමීටර් 1875 සිට මිලිමීටර් 3750 දක්වා වූ වර්ෂාපතන පරාසයයී. රතු කහ පොඩ්සොලික පස සුදුසුම පස් වර්ගය වුවද පුළුල් පාංශු විවිධත්වයක කුරුඳු වගා කළ හැකිය.තවද සාර්ථක කුරුඳු වගාවකට පසේ pH අගය 5.5-6.5 අතර පරාසයක පැවැතීම අවශ්‍යය .එහෙත් ආම්ලික පසක වුවද ඩොලමයිට් එකතු කිරීම මඟින් පස කුරුඳු වගාවකට යෝග්‍ය ලෙස පරිවර්තනය කරගත හැකිය.
රෝපණ ද්‍රව්‍යයේ
බීජ සහ අතු කැබලි මගින් කුරුඳු පැළ ලබා ගත හැකිය.බීජ ලබා ගන්නා මවු ශාකය උසස් ලක්ෂණවලින් යුක්ත විය යුතුය.එනම් සිනිඳු මතුපිටක් ඇති පිටපොත්තක් සහිත කෙළින් කඳක් පැවැතීම ,නිරෝගී මෙන්ම රෝග හා පළිබෝධකයන්ට ප්‍රතිරෝධී වීම,පොත්ත මිහිරි මෙන්ම මද සැර ගතියක් පැවතීම සහ පොත්ත ඉවත් කර ගැනීමට පහසු වීම ආදී ලක්ෂණයන් ගෙන් මවු ශාකය සමන්විත විය යුතුය.අතු කැබලි තෝරා ගැනීමේදී අඩු දළ දඩු තෝරා ගැනීම සුදුසු වේ.මෙම ක්‍රම දෙක අතරින් සාර්ථකම ප්‍රචාරණ ක්‍රමය අඩ දළ දඩු යොදා පැළ ලබා ගැනීමයි..
භූමි සැකසීම
බිම් සැකසීමේදී පාංශු ඛාදනය ගැන මූලික අවධානය යොමු කළ යුතුය.වගා කරන භූමිය 5% ක ට වඩා ආනතියකින් යුක්ත බෑවුම් සහගත භූමියක් නම් මැනවින් පස් සහ තෙතමන ආරක්ෂක උපායමාර්ග භාවිත කළ යුතුය.එහිදී කානු සහ ගල් වැටි බැදීම යෝග්‍ය වේ.තවද ක්ෂේත්‍රයේ ඇති විශාල ගස් ගලවා ඉවත් කළ යුතුය. මන්ද කුරුඳු වැඩීම සඳහා මනා හිරු එළියක් පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි.කුරුඳු වගා කිරීමට යොදා ගන්නා භූමිය ඊට ඉහතදී රබර් වගා කිරීම සඳහා යොදා ගෙන තිබුණේ නම් රබර් මුල් සියල්ල මුළුමනින්ම ගලවා ඉවත් කළ යුතුය.එය පසු කාලීනව වැලදිය හැකි සුදු මුල් රෝගයෙන් ආරක්ෂා වීමට හේතුවක් වේ.
පැළ සිටුවීම
පැළ සිටුවීම ඇරැඹිම කළ යුත්තේ යල සහ මහ කන්නයේ දී වර්ෂාව ආරම්භ වීමත් සමඟයි.තත්ත්වයෙන් උසස් කුරුඳු පැළ සිටුවීම සඳහා සැමවිටම තෝරා ගත යුතුය.මෙලෙස තෝරා ගත් කුරුඳු පැළ සිටුවීම සඳහා සමෝච්ච රේඛා අනුව අඩි 1×අඩි1×අඩි1 ප්‍රමාණයේ වළවල් කපාගත යුතු අතර ඒවා පිරවීම සඳහා මතුපිට පස් යෝග්‍ය වේ.ශක්තිමත් මූල පද්ධතියක් ලබා ගැනීම සඳහා ආරම්භයේදී වළට එප්පාවල රොක් පොස්පේට් ග්‍රෑම් 25ක් එක් කළ හැකිය.
වගාව නඩත්තුව
කුරුඳු පැළ සිටවූ මුල් කාල වකවානුව තුළදී ක්ෂේත්‍රය වල් පැළවලින් තොරව තබා ගැනීම වැදගත් වේ.ඉන් පසුව කුරුඳු පැළ වටා අඩි 1 ½ ක පමණ වපසරියක් සම්පූර්ණයෙන්ම වල් පැළවලින් තොරව තබා ගත යුතුය .රසායනික වල් නාශක යෙදීම නව අංකුර වර්ධනයට හානි ගෙන දෙන හෙයින් සැමවිටම යාන්ත්‍රික වල් මර්දනය උචිත වේ.වසරකට දෙවරක් වගාවට පොහොර යෙදීමට ප්‍රථම වල් මර්දනය සාර්ථකව වල් මර්දනය කළ හැකි ක්‍රමයකි.
ක්ෂේත්‍රය වල් පැළවලින් තොර වීම මෙන්ම පැළ පුහුණුව සහ කප්පාදුව හොඳ අස්වැන්නක් ලබා ගැනීමට අවශ්‍යම පිළිවෙත්ය.පැළ පුහුණුව ආරම්භ කල යුත්තේ ක්ෂේත්‍රයේ ස්ථාපනයෙන් තුන් මසකට පසුය.මෙහිදී රෝගී පැළ ඉවත් කර නිර්දේශිත පරතරයෙන් යුක්ත නීරෝගී පැළ පමණක් ක්ෂේත්‍රයේ ඉතිරි කල යුතුය.වසරක් දෙකක් පමණ වයසැති පැළ වල බිම් මට්ටමේ සිට සෙ.මී.40ක් තෙක් ඇති හරස් අතු කපා ඉවත් කළ යුතුය.පහළ හරස් අතු කැපීමත් ශාකයට අනවශ්‍ය අතු කපා දැමීමත් නීරෝගී සෘජු කඳක් ලබා ගැනීමට උපකාරී වේ.පැළ කප්පාදුව සහ පුහුණු කිරීම නුහුරු පෑහීම ලෙස හඳුන්වනු ලබයි. කුරුඳු පැළ සිටුවා මුල් වසර දෙකක පමණ කාලය තුළදී පාළු සිටුවීම හෙවත් පැළ නොවූ කුරුඳු පැළ වෙනුවට අලුත් කුරුඳු පැළ සිටුවීම කළ යුතුය.
කුරුඳු වගාවකට යෙදිය යුතු පොහොර මිශ්‍රණය නම් යූරියා:රොක් පොස්පේට්:මියුරේට් ඔෆ් පොටෑෂ් යන ඒවා 2:1:1 අනුපාතයෙනි.පළමු වසර තුළදී හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 300ක්ද දෙවන වසර තුළදී හෙක්ටයාරයට කිලෝග්‍රෑම්600ක් හා තෙවන වසරේ සිට ඉදිරියට හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 900ක් ලෙස ඉහත පොහොර මිශ්‍රණය ක්ෂේත්‍රයට එක් කළ යුතුය.
අස්වැන්න
මැනවින් පාලනය කරනු ලබන කුරුඳු වගාවක වාර්ෂික අස්වැන්න හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 1000ක් පමණ වේ.සාමාන්‍යයෙන් වසරකට දෙවරක් හෝ තුන් වරක් අස්වැන්න නෙළිය හැකිය.අලුතින් ඇරැඹූ වගාවක නම් මුලින්ම අස්වැන්න නෙළිය හැක්කේ පැළ සිටුවා වසර තුනකට පමණ පසුවය.කුරුඳු අස්වැන්න නෙළීමේදී වැදගත්ම කරුණක් නම් මල් හා දලුලන අවදිය මඟ හැරීමයි. එවන් කාල මඟහැර අස්වනු නෙළීම කුරුඳු පොතු ගැලවීම පහසු කරලයි.
(ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ සිදු කළ ක්ෂේත්‍ර අධ්‍යයනයක් ඇසුරිනි)
උමයංගනා පූජනී ගුණසේකර
කෘෂිකර්ම පීඨය - රුහුණු විශ්වවිද්‍යාලය