ඇෆ්ගන් යවනයන්ගේ ආසියානු කැරැල්ල | සිළුමිණ

ඇෆ්ගන් යවනයන්ගේ ආසියානු කැරැල්ල

 අගෝසතු 10 වැනිදා සිට 19 වැනිදා අතර කාලය තුළ ඔවුහු මෙහෙයුමක නිරත වූහ. ඒ මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී කිනාරා ඇකඩමි ඕවල්, බායුමස් ඕවල්, රෝයල් සෙලෙන්ගෝර් සමාජ ක්‍රීඩාංගණයන්හිදීය. පොපි මල් දිලෙන ඇෆ්ගන් කඳු නිම්න බිම් මත බලාපොරොත්තු පොදි ගැසුණේය. ඔවුන් දින නවයක් අවසන සිය පිපාසය නිවාගත්තේ පොපි මල්වලට නොපරදින රත් මලක් නෙළා ගනිමිනි. මේ ඒ අපූරු කැරැල්ලේ කතාවය.

මට ඔවුන් ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නෙ! දැන් අපි තමයි ආසියාවේ අලුත්ම යොවුන් ක්‍රිකට් ශූරයෝ!’ මේ, ට්විටර් පණිවිඩයක් යොමු කරමින් ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති, අෂ්රාෆ් ගානි තැබූ සටහනකි. හැමදාමත් හෙළාදැකීම්, ත්‍රස්තවාදය සම්බන්ධයෙන්, යුද්ධය සම්බන්ධයෙන්ම කතා කරන ගානිට මෙහෙම ලියන්න අවස්ථාව ලැබුණේ පසුගිය 19 වැනිදා යි. ඒ ආසියාවේ අවුරුදු 19න් පහළ ක්‍රිකට් ශූරයන් වශයෙන් ඇෆ්ගනිස්තානය කිරුළු පැලඳීමෙන් අනතුරුවයි. ඔවුන් එම දක්ෂතාව දැක්වූයේ මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදීයි. අවසන් මහා තරගයේදී ඇෆ්ගනිස්තානයේ ප්‍රතිවාදීන් වුණේ ලෝකයේ ප්‍රබල ක්‍රිකට් රාජ්‍යයක් වශයෙන් සැලකෙන ඔවුන්ගේ අසල්වැසි සුමිතුරා වූ පකිස්තානයයි. ලෝකයේ තියෙන අමාරුම තනතුරේ නියැළෙන ජනාධිපතිවරයායැයි මෑතකදීත් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කර තිබූ ගානිට මෙම ජයග්‍රහණයේ ආරංචිය කනවැකීම සැබැවින්ම දෙසවනේ මී පැණි ලෑමක්ව තිබුණායැයි කීවොත් සාධාරණයි. සමස්ත ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ අංක එකේ කණ්ඩායම සිටින කලාපයේ අභියෝගාත්මක කණ්ඩායම් පසුපසට ඇද-දමමින් ශූරයන් වීම යනු එක අතකින් එසේ මෙසේ ජයග්‍රහණයක් ලෙස වර්ග කළ නොහැකියි. අනෙක් කාරණය වන්නේ මේ අවුරුදු 19න් පහළ ආසියානු ක්‍රිකට් කිරුළ දිනාගැනීම යනු අනාගතය සම්බන්ධයෙන් රටක් තුළ සුබ සිහින ඉන්දන්නක් වීමයි. අපි එහෙම කියන්නෙ අද ලෝකයේ අංක එකේ කණ්ඩායම මෙහෙයවන්නෙත් මේ විදිහට කලක් අවුරුදු 19න් පහළ කණ්ඩායමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයකු වීම නිසයි. ඒ ලෝකයේ අංක එකේ ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි. ඒ අනුව බලන කල එය සැබැවින්ම අනභිභවනීය ජයග්‍රහණයක්. දැනට ලෝකය පුරා බොහෝ රටවල ජාතික කණ්ඩායම් ඇතුළේ මේ වගේ 19න් පහළ දක්ෂතා ප්‍රකට කළ ක්‍රීඩකයන් ඇතුළත්. ඒ බව දන්නා නිසාම මෙම කිරුළට හිමිකම් කීම සම්බන්ධයෙන් ඉන්දියාවේ හිටපු සුපිරි පිතිකරුවකු හා වර්තමානයේ තරග විස්තර විචාරයකු වන වීවීඑස් ලක්ෂ්මන්ද ට්විටර් පණිවිඩයක් යොමු කරන්න අමතක කර තිබුණේ නැහැ. ඔහු යොමු කර ඇති ඒ පණිවිඩය මඟින් ඇෆ්ගනිස්තාන අවුරැදු 19න් පහළ කණ්ඩායමට සුබ පතා තිබුණේ මෙහෙමයි:

‘අවුරුදු 19න් පහළ ආසියානු තරගාවලිය ජය ගැනීම ගැන මම ඇෆ්ගන් කොල්ලන්ට සුබ පතනවා!’

සත්‍ය වශයෙන්ම ඇෆ්ගනිස්තානය මේ ලබා ඇති ජයග්‍රහණය අපූරු එකක් බව ප්‍රකාශ කරන්නට මේ ට්විටර් පණිවිඩ දෙකම වුවත් ප්‍රමාණවත්. රටේ නායකයා වගේම, ලෝකයේ අංක එකේ ක්‍රිකට් ක්‍රීඩක කණ්ඩායම ඉන්න රාජ්‍යයේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් මේ බව ප්‍රකාශ කර තිබීමම මහ මෙරක් තරම් විශාල පිළිගැනීමක්යැයි කිව හැකියි. දැඩි මතධාරී ඉස්ලාම් භක්තියන් වැඩියෙන් ජීවත් වන ත්‍රස්තවාදයට පිළිපන් ඇෆ්ගන් ජනතාව අතරින් තරුණ පිරිසක් ආසියාව ජයග්‍රහණය කිරීමේ ප්‍රවෘත්තිය එරටට නොව ත්‍රස්තවාදය සහිත බොහෝ රටවලට ගෙන එන්නේ අසමසම පණිවිඩයක්. එය ලෝකයම පිළිගන්නේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇෆ්ගන් තරුණ-තරුණියන් අතර ඇති අභිලාෂයන් හීන කරවන්නක් ලෙසයි.

එය වඩාත් අසමසම බව ඒත්තු ගන්වන්න ලෝ ප්‍රකට ක්‍රීඩකයකුවූ ඩීන් ජෝන්ස්ගේ ට්විටර් පණිවිඩයක් මෙහිදී උපුටා දැක්විය හැකියි. ‘අවුරුදු 19න් පහළ ආසියානු ශූරතාව දිනාගත්ත ඇෆ්ගනිස්තාන කොල්ලන්ට සුබ පතනවා! ඒක නම් ඇත්තටම නියම වැඩක්! අනාගතය පැහැදිලියි කොල්ලනේ... ඒ දිනුම ඇවිල්ලා හුඟාක් දීප්තිමත් එකක්,’ ඔහු පවසා තිබිණි.

ආසියානු යොවුන් කුසලානයේදී සිදු වුණේ කුමක්ද?

ඇත්තටම ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේදී සිදු වුණේ මොකක්ද කියන කාරණය ගැන මෙහිදී කතා කළ යුතුයි. ඒ සිදුවීම ගැන කෙටියෙන් හෝ යළිත් පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය වන්නේ මේ ලිපියට ඒ බව අවශ්‍ය නිසයි.

ඇෆ්ගනිස්තානය යොවුන් ආසියානු තරගාවලියේ දි ක්‍රීඩා කළේ ‘බී’ කාණ්ඩය යටතේයි. ඔවුන්ගේ කාණ්ඩයේ සෙසු රාජ්‍යයන් වුණේ පාකිස්තානය, ශ්‍රී ලංකාව වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. එහි මූලික වටයේදී වගේම සමස්ත තරගාවලියේදීම ඔවුන් පරාජය වූ එකම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම බවත් කිව යුතුයි. ඒ පරාජය අපට ඉපැරණි හින්දු කියමනක් සිහිපත් කළා. ඒ තමයි, ‘හස්ති, නාග, අවකන්වරුන්ගේ පළිගැනීම්වලින් පරිස්සම් වන්න’ යන කියමන. මෙතැනදී ‘අවකන්වරුන්’ යනුවෙන් හැඳින්වෙන්නේ ඇෆ්ගන්වරුන් බව පැහැදිලියි. නාගයන් සම්බන්ධයෙන් කතා කරද්දී බුදුන් වහන්සේට උපකාර කළ නාගයන් වගේම ශ්‍රී ලංකාවේ කැලණිය ආශ්‍රිතව ජීවත් වූ නාගයන්ද ඉතිහාසය තුළ වැදගත් ස්ථානයක් හිමි කරගෙන තිබෙනවා. එයින් කියවෙන්නේ මේ කියන පරිස්සම් විය යුතු අවකන්වරුන් හා නාගයන් අතර සිදු වූ හමුවේ ජය හිමි වී තිබුණේ නාගයන්ට ඥාතිත්වයක් සහිත සිංහයන්ට. ඒත් ඒ තරගාවලියේදී අවකන්වරු තමන්ගේ ග්‍රහණය සමස්ත ආසියාව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරන රාජ්‍යයන් මත පතිත කර තිබුණා. එහිදී අවසන් පූර්ව තරගයේදී හින්දූන්ට ඥාතිත්ව ඇති හින්දූන්ගෙන්ද සමන්විත නේපාලය පරාජය කරන ඇෆ්ගනිස්තානය අවසන් මහා තරගයේදී පරාජය සම්බන්ධයෙන් නිදහසට කිසිදු හේතුවක් සපයන්න අවස්ථාව අහිමි කරමින් ලකුණු 185කින් ජයගෙන ශූරයන් බවට පත් වීමට සමත් වීම කැපීපෙනෙන සිදුවීමකැයි කිව හැකියි. මෙතැනදී වැදගත්ම වන කාරණය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේදි දණගාන රටක් වුණු ඇෆ්ගනිස්තානය මෙතරම් ප්‍රබල වුණේ කෙසේද යන්නයි.

ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට්

ඒ ගැන සොයන්න පෙර අපට සංස්කෘතික හා ආර්ථික කාරණා වගේම දේශපාලනික කාරණා සම්බන්ධයෙනුත් සුළු වශයෙන් විමසන්න සිදු වනවා. සාමාන්‍යයෙන් රටක පුද්ගල සංස්කෘතිය සම්බන්ධයෙන් විමසා බලද්දී, ක්‍රීඩා වැනි උප-සංස්කෘතීන් වර්ධනය වුණු ආකාරය ගැන අවබෝධ කරගැනීම වැදගත්. ඇෆ්ගන් ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ගොවිතැන. ගොවිතැන කියද්දී පලතුරු, ධාන්‍ය වගාවන් වගේම ලෝකය පුරා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳ ප්‍රමුඛත්වයක් ගන්න රාජ්‍යයන් අතර ඇෆ්ගනිස්තානයට හිමි වන්නේ පළමු තැනයි. ජාත්‍යන්තරයේදී විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ අයුරිනුයි ඇෆ්ගනිස්තානය හඳුන්වාදී ඇත්තේ. සැලකිය යුතු ප්‍රමාණයකින් පොපි මල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් ඇෆ්ගනිස්තානයෙන් ජාත්‍යන්තර වශයෙන් හුවමාරු කෙරෙනවා. ඔවුන් නීත්‍යනුකූලව පොපි සිටුවන්නේ එය ඖෂධයක් වශයෙන් ලෝකයේ විවිධ රාජ්‍යයන් වෙත අපනයනය කිරීම සඳහායි. ඒත් මේ පොපි මලෙන් ‘මෝෆින්’ කියන ප්‍රබල වේදනානාශකය සහිත රසායන වෙන් කරගන්නා අතරතුරේ ඒවා යොදාගෙන හෙරෝයින් නිර්මාණය කර ලොව පුරා බෙදාහැරීමේ ජාවාරමකුත් සිදු වන බව ප්‍රතික්ෂේප කළ නොහැකියි. ඒ නිසා ‘කුඩ්ඩන්ගේ දේශය: ඇෆ්ගනිස්තානය’ කියලා කිව්වත් එක අතකින් වරදක් නොවෙයි. මේ තහනම් මත්ද්‍රව්‍ය නිර්මාණය කරන රාජ්‍යයේ ක්‍රීඩාව කොහොමද දිග්විජය කරන තත්ත්වයකට රැගෙන එන්නේ. ඒක බොහෝම අපූරු කතාවක්.

ඒ සඳහා වඩාත් ප්‍රබල හේතුව සම්බන්ධයෙන් සලකද්දී යුද්ධය හේතු වන්නේයැයි කිව යුතුයි. අපි එහෙම කියන්නේ ත්‍රස්තවාදයට ජන සමාජය තුළින් නැ‍ඟෙන ස්වේච්ඡා පිළිතුරක් වශයෙන් මේ ක්‍රීඩා ජයග්‍රහණ දැක්වීම වරදක් නොවන නිසයි. මෙහෙම කියන්නේ කොහොමද? ඒ සඳහා ඉවහල් වන කාරණාකාරණ තියෙනවද? ඔබට සිතේවි. ඔව්. ඒ සඳහා ප්‍රබල ලෙස ඉවහල් වන කාරණයක් තමයි යුද්ධයෙන් අවතැන් වීම කියන කාරණය. අප එහෙම කියන්නේ මේ විදිහට යුද්ධයෙන් අවතැන් වන ඇෆ්ගනිස්තාන ජනතාව අසල්වැසි පාකිස්තානය වෙත පලා-ගොස් උන්හිටිතැන් අහිමිව කඳවුරුවාසීන් බවට සිය ජීවිත ආරම්භ කරන ලෙසයි. අරමුණකින් තොරව හිස් අහස දෙස බලා සිටින ජීවිත වැඩිහිටියන් අකැමැත්තෙන් වුව බාරගත්තද, යෞවනයන් ඒ කාලයේ කරන්නේ සිතේ පොදි-කන ජවය ක්‍රීඩාව තුළ දිය කිරීමයි. ඒ හේතුවෙන් පාකිස්තානයේ කඳවුරු භූමි තුළ ක්‍රිකට්, පාපන්දු ඇතුළු බොහෝ ක්‍රීඩා සඳහා තෝතැන්නක් සැකසුණා. යුද කඳවුරු ආශ්‍රිතව, මිත්‍ර හමුදා සොල්දාදුවන්ගේ සමාජ ශෝධන වැඩපිළිවෙළක් ලෙස ඇෆ්ගන් යෞවනයන්ට ක්‍රීඩාව එන්නත් වෙනවා. ඒ බැරැක්ක අසල හා රට පුරා තිබෙන හිස් භූමි මතයි. එහි ප්‍රතිඵලය වූයේ වසර හය-හතකින් ජාතික කණ්ඩායමට ඇතුළු විය හැකි දක්ෂතා සහිත නිල නොලත් ජාත්‍යන්තර ක්‍රීඩකයන් බිහිවීමයි. ඔවුන් ඇෆ්ගනිස්තාන පමණක් නොවූ අතර පාකිස්තානු අත්දැකීම් සහිත ඇෆ්ගන් ක්‍රීඩකයෝ කීවොත් වඩා නිවැරදියි. ඊට සමගාමීව ජාත්‍යන්තර හමුදා මෙහෙයුම් නිරන්තරයෙන් ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මකයි. තලෙයිබාන් හා දැඩිමතධාරී ඉස්ලාම් ත්‍රස්තයන්ට එරෙහිව ඒ සටන් සිදු වනවා. රට තුළ විවිධ ස්ථානවල මරාගෙන මැරෙන ප්‍රහාර ජාත්‍යන්තරයට වාර්තා වනවා. එය අදත් වෙනසක් නැහැ. ඒත් දීර්ඝ කාලීන වශයෙන් ඉස්ලාම් සංස්කෘතියේ දැඩි මතධාරීන් විසින් ග්‍රහණයට ගත් ඇෆ්ගන් ජන ජීවිතය වෙනස් කිරීම සඳහා යෞවනය දිනාගැනීමේ සටන එරට නව රජය විසින් ආරම්භ කර ඇත්තේ ක්‍රීඩාව, සෞඛ්‍යය, අධ්‍යාපනය, සංවර්ධනය වැනි ක්ෂේත්‍ර උපයෝගි කරගෙනයි. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ ක්‍රීඩාව සඳහා සලසා දෙන පහසුකම් තවදුරටත් ඉහළ නංවමින් ක්‍රීඩාව වටා රොදබඳින ක්‍රීඩකයන් හැකි තාක් වැඩිවර්ධනය කරවීමයි. ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් පුහුණුකරුවන් යොදාගැනීමටද ඇෆ්ගනිස්තානය අමතක කර නැහැ. එරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අසල්වැසි පාකිස්තානයේ සුප්‍රකට ක්‍රීඩකයකු වූ පසුව පුහුණුකාරිත්වය වෙනුවෙන් ඉදිරිපත් වූ ඉන්සමාම් උල් හක් කැඳවුම් ලබන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඉන්සමාම්ට කළ යුතුව තිබුණේ නොහික්මුණු තරුණ ජවය විධිමත් කරමින් ඉලක්කගත කිරීම පමණි. එය සාර්ථක කරගැනීමට ඔහුගෙන්ද සිදු වූයේ අනුපමේය සේවාවක්. ක්‍රීඩක දක්ෂතා වැඩිදියුණු කර, ඔවුන් ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රාජ්‍යයක් දක්වා වර්ධනය කරන්න මේ අනුව ඉන්සමාම් ඇතුළු සියලු යටිතලයේ පුහුණුකරුවන්ට හැකියාව ලැබුණු අතර, එහි නවතම ජයග්‍රාහී පියවර වනුයේ පසුගියදා ලැබූ අවුරුදු 19න් පහළ ආසියානු ක්‍රිකට් ශූරතාවේ හිමිකාරිත්වයයි. ඩීන් ජෝන්ස් වැනි ශ්‍රී ලංකාවද ඇසගසාගෙන සිටි පුහුණුකරුවා මෙකී ජයග්‍රහණය දීප්තිමත් අනාගතයක පූර්ව දැක්මක් ලෙස හඳුන්වන්නේ වෙන යම් හේතුවක් නිසා නොව, රජුන් තනන්නට අවශ්‍ය ශක්තිය මේ දිනුම පිටුපස සංකේන්ද්‍රව ඇති බව දන්නා හෙයිනි.

ඇෆ්ගන් රජය විසින් මේ වන විට ක්‍රිකට් ජවය තරුණයන් තුළ ස්ථාපනය කරනු වස් රට පුරා ක්‍රීඩාංගණ නවයක් ස්ථාපිත කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩා පහසුකම් වඩාත් සුලභ කළ හැකි ආකාරයෙනි. ඒවායෙන් නාමකරණය කර ඇති එකම ක්‍රීඩාංගණය කුන්දූෂ් පමණි. එය තුළ පමණක් ප්‍රේක්ෂයකයන් විසි තුන්දහසකට අධික පිරිසකට එකවර තරග නැරඹීමේ පහසුකම ඇත. එය හැරුණු කල කුනාර්, පක්ටියා, ලග්මන්, කුන්දුෂ්, මෂාර් අයි ෂාරිෆ්, ෂාබුල් ඇන්ඩ් හෙල්මන්ඩ්, ලොගාර් හා බාග්ලන් ප්‍රදේශයන්හිද ක්‍රීඩාංගණ ඉදි කර තිබේ. ජාතියට ක්‍රිකට් ක්‍රීඩකයන් උපයා දෙන උල්පත් ඇත්තේ මේ ක්‍රීඩාංගණවලමැයි පවසන්නේ නම් එයද එක අතකින් අසම්පූර්ණ අර්ධ සත්‍යයකැයි කිව හැකිය. අප එසේ කියන්නේ අද වනවිට ඇෆ්ගනිස්තාන පුරාම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බාල-තරුණ බොහෝ දෙනෙක් පෙළගැසී ඇති නිසයි.

ත්‍රස්තවාදයෙන්, ගැටුමෙන් තරුණයා ඈත් කරවන හොඳම ක්‍රම අතර එයද ප්‍රධානය. ගින්න මැඬ-ලීම සඳහා දාහක ද්‍රව්‍ය වෙත පෝෂකය ලැබීම මැඬ-ලීමට ක්‍රියා කරන්නාක් මෙන් ත්‍රස්තවාදය මැඬ-ලීම වෙනුවෙන් ගන්නා ප්‍රයත්නයක් වශයෙන් ක්‍රීඩාව හැඳින්විය හැකියි. ඒනයින් බලන කල ඇෆ්ගනිස්තානය මේ අත් කරගත් ජයග්‍රහණය අසමසමයි.

බාහිරට සුන්දර ලෙස පෙනෙන පොපි මලේ අසුන්දර කතාව කියැවෙන්නේ මත්කුඩුවලිනි. මෙවැනි ක්‍රීඩා ව්‍යාප්තිය හා එය දිරිමත් කරවන ජයග්‍රහණ මඟින් සිදු වන්නේ එවැනි අසුන්දර කතා හැකි තාක් කුඩා වපසරියකට ගොනු කර ඒවා ස්වාභාවිකවම නිෂ්ක්‍රිය කර-ලීමට උත්සාහ කිරීමය. එය එතරම් ලෙහෙසි-පහසු නොවන බවද සුපැහැදිලිය. 2001 වසරේ තලෙයිබාන් අන්තවාදී පාලනය බිඳ-වැටුණේය. එදා පටන් පවතින අඛණ්ඩ ත්‍රස්තවාදය සමඟ යුද වැදෙමින් ඇෆ්ගනිස්තානය දශක එකහමාරකට අධික ගමනක් අනාගතය වෙත පැමිණ ඇත. එලෙස පැමිණි දුෂ්කර, සුසුම් බර, වෙහෙසෙන පිරුණු, ලේ වැකුණු ගමන් මඟට මේ ලැබූ ක්‍රීඩා ජයග්‍රහණ වඩා සුබවාදී හා ශක්තිමත් හැඟීම් සමාජගත කරවන්නේය.

දශක කීපයකට පෙර අන්තර්ජාලය හෝ ඇමේසන් වැනි ඩිජිටල් අලෙවිපොළවල් නැති කල හා ජාත්‍යන්තරව ලියැවුණු පොත්පත් සුලභ නොවන කල ඩබ්ලියූ ඒ සිල්වා ශූරීන් රයිඩර් හැගාඩ්ගේ ‘ෂී’ කෘතිය ඇසුරෙන් ස්වතන්ත්‍ර කෘතියක් ලියා පළ කළේය. එහි නම වූයේ ‘ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජන’ යන්නය. එහි අවකන් දේශය නමැති රාජ්‍යයක් ගැන සඳහන් වෙයි. කඳු පළා ඉදි කළ ගුහා කර්මාන්තයෙන් වර්ණිත මේ කෘතියේ කියැවෙන්නේ කන්දහාර් වැනි තලෙයිබාන් ත්‍රස්තයන් සැඟවී සිටින කලක් අල්කයිඩා නායකයන්ගේ තිප්පොළවල් වූ ගුහා සහිත ඇෆ්ගනිස්තානයය. එහි අවකන්වරුන් සම්බන්ධයෙන් වන හැඳින්වීමකින් මේ සටහන අවසන් කිරීම වටනේයැයි හැඟේ. එනම්:

‘අවකන්වරු යනු සිය අසල්වැසියන් මෙන් බාහිර අලංකාර ගැන එතරම් සිතන ජාතියක් නොවේ. ඔවුන් තරමක් දුරට පිරිසුදුය; ව්‍යායාමශිල්පීය; යම් තාක් පරුෂය. එහෙත් ආගන්තුක සත්කාරයට කැමතිය.’

ඒ ඇෆ්ගන් ජනතාව පිළිබඳ අපූරු නිර්වචනයකි. එය එක අතකින් අදටද උචිතයැයි ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා පරිශීලනය කරන්නකුට හඳුනාගැනීමට අපහසු නැත. එවන් ඇෆ්ගන් යෞවනයන් කණ්ඩායමක් මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පසුගියදා ප්‍රකට කළේද අන් කිසිවක් නොව, ඔවුන්ගේ රුධිරගත වී ඇති අතීත සංස්කෘතියක ලක්ෂණයි. එහෙයින් ගුහා රාජ්‍යයේ උපන් ඇෆ්ගන්වරුන් අදට වඩා හෙට ආගන්තුක සත්කාර සිදු කිරීමට සූදානම් වනු ඇත. එය සිදු කරනු ඇත්තේද ජාත්‍යන්තරයට විද්‍යමාන වන ආකාරයෙන් ප්‍රසිද්ධියේය. එයත් එසේ-මෙසේ තැන්වල නොව, ලෝකයේ පිළිගත් ක්‍රීඩාංගණවලදීය. පසුගියදා ඔවුන් මැලේසියාවේදී තහවුරු කළේද අන්කිසිවක් නොව එයමය. අවසන් වශයෙන් තවත් එක් දෙයක් සටහන් කළ යුතුව ඇත. එනම්: මේ ආසියානු කැරැල්ල මෙතැනින් නිම නොවන බවය. ඇෆ්ගන් යවනයන්ගේ උත්සාහය ආසියානු කැරැල්ල ලෝක කැරැල්ලක් දක්වා වර්ධනය කරවීමය. එය සුළු-පටු කැරැල්ලක් නොවනු ඇති බව නම් සහතික කර පැවසිය හැකිය.

කසුන් ඉරුගල්බණ්ඩාර 

Comments