එක එක අයට එක එක ප්‍රශ්න | Page 2 | සිළුමිණ

එක එක අයට එක එක ප්‍රශ්න

 ‘එක එක අයට තියෙන්නෙ එක එක ප්‍රශ්න..’

‘සුජීව මහත්තයාට තියෙන්නේ දුරකතන පිළිබඳ ප්‍රශ්නයක්..’

‘දේශප්‍රිය මහත්තයාට තියෙන්නේ ඡන්දේ කල් යන-එක ගැන ප්‍රශ්නයක්..’

‘නඩුව දාපු අයට තියෙන්නේ කොට්ඨාස සීමානිර්ණය පිළිබඳ ප්‍රශ්නයක්..’

‘කෝලිට තිබුණේ දික්වැල්ල අම්පයර් වෙන්න ගිය-එක ගැන ප්‍රශ්නයක්..’

‘මුගාබේට තිබුණේ ජනාධිපතිකම නැතිව හුස්ම ගන්න බැරි වීම පිළිබඳ ප්‍රශ්නයක්..’

‘බන්දුල ගුණවර්ධන මහත්තයාට හැමදාම තියෙන්නේ සංඛ්‍යාලේඛන පිළිබඳ ප්‍රශ්න..’

‘දෙමළ සන්ධානේ මහත්තුරුන්ට තියෙන්නේ ජාතිකකොඩිය පිළිබඳ ප්‍රශ්නයක්..’

‘ඉන්දියාවේ සමහර හින්දු බැතිමතුන්ට තියෙන්නේ පද්මාවතී චිත්‍රපටිය පිළිබඳ ප්‍රශ්නයක්..’

‘බියර් පිළිබඳ ප්‍රශ්නෙකුත් තියෙනවා..’

‘අර්ජුනට දැන් තියෙන්නේ ක්‍රිකට් පිළිබඳ ප්‍රශ්න නෙමෙයි, තෙල් පිළිබඳ ප්‍රශ්න..’

‘ට්‍රම්ප්ට තියෙන ලොකුම ප්‍රශ්නේ උතුරු කොරියාව..’

‘පුටින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ සිරියාව..’

‘ටීවී චැනල්වලට තියෙන ලොකුම ප්‍රශ්නේ මිනිස්සුන්ව අන්දන්න පුළුවන් ටෙලි නාට්‍යයක් හදාගන්නෙ කොහොමද කියන-එක..’

‘අන්තරේට මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ සයිටම් ප්‍රශ්නේ ඉවර වුණ-එක..’

‘තවත් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ එක එක කාරණවල මිල ගණන්..’

‘දැන් අන්තරේට තියෙන ප්‍රශ්නේ ඒක වෙනුවට දැන් මොකක්ද ගන්න ප්‍රශ්නේ කියන-එක..’

‘පුංචි ඡන්දෙට ඉල්ලන්න හිතාගෙන ඉන්න අයට තියෙන ප්‍රශ්නේ තමයි කල් ගියත් ඡන්දේ කවදා තියෙයිද කියලා..’

‘විමල්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමන්ගේ පක්ෂෙට ලැබෙන අපේක්ෂකයෝ ගානද නැති නම් තමන්ගේ පක්ෂෙ නිලධාරියෝ අස් වෙන-එකද?’

‘හතුරුසිංහට තියෙන ප්‍රශ්නේ බංග්ලාදේශේ ඉන්නවද, ලංකාවට එනවද කියන-එක..’

‘ලංකාවේ ක්‍රිකට් බෝඩ්-එකට තියෙන්නේ හතුරුසිංහට කීයක් දෙනවද කියලා..’

‘ටෙලි නාට්‍ය බලන අයට තියෙන්නේ ඊළඟ කොටසෙදි මොකක් වෙයිද කියල ප්‍රශ්නයක්..’

‘ටෙලි නාට්‍ය නොබලන අයට තියෙන්නේ ටෙලි නාට්‍ය බලන්නේ නැත් නම් මොනවද බලන්නේ කියලා..’

ප්‍රශ්න ප්‍රශ්නයක් වූ සිහිනයක මා සිර වී සිටින බව මට වැටහිණි. එයද මාර ප්‍රශ්නයක් බව මට තේරුණේ සිහිනෙන්මය. 

Comments