මනාප මිස ඔයාට ජීවිත වටින්නේ නැද්ද? | සිළුමිණ

මනාප මිස ඔයාට ජීවිත වටින්නේ නැද්ද?

ප්‍රධාන පාලිකාව වෙත ගිය න‍ෙර්න්ද්‍ර ප්‍රියදෝණි මහාමායා ගේ කාමර අංකය සහ දුරකථන අංකය ඇයට දී ඇය පහළ කැඳවන්නැයි ඉල්ලා සිටියේය.අනතුරුව ඔහු ආලින්දය කෙළවර දිගැති සෝපාවක අසුන් ගෙන ඇය කොතැනින් මතුවේදැයි කල්පනා කරන්නට විය. ඇය තමා සමීපයට එනතුරු හිස බිමට නැඹුරු කර ගෙන සිටීමට ඔහුට සිතිණි.

ප්‍රියදෝණි මහමායා ඔහු ඉදිරියේ කුඩා සෝපාවක හිඳ ගත්තාය. තම දෙනෙත් තෙත් වන බවක් නරේන්ද්‍රට දැනිණි. කිසිදා කිසිම ස්ත්‍රියක හමුවේ කඳුළකට ඉඩ නොදුන් දෙනෙත වේගයෙන් සැලෙන්නට වූයේ හෘද සාක්ෂියට සහය දෙන්නට මෙනි. හෘද සාක්ෂිය ජය ගන්නට දරන අප්‍රමාණ වෙහෙසින් පරාජය වූ හෝ දුක්බර වූ නෙත සිත ඇය වෙතට යොමු වූයේ ඉතා සෙමිනි.

ඇය දුටු නරේන්ද්‍ර තැති ගත්තේය. දීප්තිය සිඳී ගිය දෙනෙත්, මලානික මුහුණ, කෙට්ටු අත පය, ඇය නිරෝගී නැතැයි පවසන සලකුණු මෙන් විය. ඔහු ඇය දෙස නිහඬව බලා සිටියේය. ඇය ද බරැති කළු ගලින් නිම කළ ප්‍රතිමාවක් සේ වූවාය.

“මහාමායාව මං ආවෙ ඔයාව එක්ක යන්න.” ඔහු එක්වර ම කියන විට ඇය වඩාත් පාෂාණභූත වනු ඔහුට පෙනිණි.

“විරුද්ධව එක වචනයක් කතා කරන්න එපා. අපි ආපහු යන්න ම ඕන. මම ඩොක්ටර් කෙනෙක් හම්බ ‍වෙන්නත් ඕන.”

බරුති කළුගල් ප්‍රතිමාව දීර්ඝ වේගවත් සුසුමක් හෙළුනු ඔහුට ඇසිණි.

“අඬන්න විතරක් එපා. හූල්ලන්නත් එපා. ලෑස්ති වෙන්න. මේ මඟුල් ශිෂ්‍යත්වෙන් ඔයාට වැඩක් නැහැ.”

“මේ මංගලකාරණයක් ගැන ශිෂ්‍යත්වයක් නෙමේ.”

ඇය ඉතා සෙමින් කීවේ ඈත මෑත ද බලමිනි.

“ඔව් මං දන්නවා. රටේ ගෞරවයට වළ කපන ශිෂ්‍යත්වයක්. අවමංගල කාරණයක් තමා.”

එසේ කී නරේන්ද්‍ර තම විශාල දෙනෙත් කුඩා කොට ඇය දෙස බලා සිටියේ පිළිතුරු අපේක්ෂාවෙන් නොවේ.

ක්‍රමයෙන් තම සිතෙහි දුකක් රෝපණය වී එය වේගයෙන් වැඩෙන සැටියක් ඔහුට දැනෙන්නට විය.

“හිතට විරුද්ධව කතා කරන්න මට බැහැ. අපි පොඩි ළමයි නෙමේ. මං ඔයාගෙ හිත රිද්දලා තියෙනවා. ඒ වගේ ම ඔයත් මාව නොමරා මරලා තියෙනවා. මගෙ වැරැදිවලට මං සමාව ඉල්ලනවා.”

“මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් නෑ. කිසිම දෙයක් ගැන මං කතා කරන්නත් කැමති නැහැ. මං ආතක් පාතක් නැති, කුලී ගෙදරක ජීවත්වුණ, ඔයාගෙ ඇ‍ඟේ එල්ලෙන්න ආපු, කොහෙදෝ යන නැට්ටිච්චියක්, එහෙම කෙනෙකුට ඔයා එක්ක කතා කරන්නවත් අයිතියක් නෑ. ඔයාට ධනය බලය නිලය තියෙනවා. පරිවාර සම්පත එමටයි. ඒ වගේ ම සමාජ පිළිගැනීම අහසට උසට. ඔයාට ගැළපෙන අය එක්ක ඔයා යාළු මිත්‍රකම් පවත්වන්න.”

පෙර නොවූ ලෙස ඇය ඔහුගේ පැමිණීම පිළිබඳ අප්‍රසාදය පළ කරන්නට වූවාය. ඔහු තදින් යටිතොල සපාගෙන මොහොතක් සිටියේය. අනතුරුව කතා කළේ බොහෝ සංසුන්වය.

“ඔයා මගේ ඇ‍ඟේ එල්ලෙන්න ආවෙ නැහැ මහාමායාව. එහෙම ආවෙ නැති එක තමා වැරැද්ද.”

“ඒක ගිහින් ඔයාගෙ ගෑනු යාළුවන්ට කියන්න.”

“මං මගේ කිසිම ගෑනු යාළුවෙක් අපි දෙන්නා අතරට ගේන්න ලෑස්ති නැහැ මහාමායා. උන් කිසි කෙනෙකුට බැහැ ඔයාට අභියෝගයක් වෙන්න. උන් දන්නවා වස්තුවේ ඔයා එල්ලුනෙ මගෙ බෙල්ලෙ නෙමේ. මගෙ ආත්මයේ ගැඹුරු ම තැන කියලා. උන්ට කේන්තියි. ඉරිසියයි. ඔයාට ලියුම් එවනවා. කෝල්ස් දෙනවා. නින්දා කරනවා. මං දන්නවා ඔයා මහමෙරක් වගේ ඒවා උහුලන් හිටියා. මට ඒවට පැටලෙන්න බැහැ. උනුත් මගෙ ඡන්ද දායකයො.”

“ඒ සේරම නරේන් ඔයාගෙ වැරදි. දේශපාලනඥයෙකුට ආත්මාභිමානයක් නැද්ද? ඔයාට වටින්නෙ මනාපයි ශරීරයි මිසක් ජීවිත නෙමෙයි ද? ඒත් මං ඔයා එක්ක තරහ නොවී ඉන්න හුඟක් මහන්සි වුණා. අම්මා තාත්තා සහෝදර සහෝදරියො නෑ හිත මිත්‍රයො මට නෑ තමා. අත්තම්මා මැරුණට පස්සෙ මං තනි වුණ බව ඇත්ත. ඒත් මං ජීවත්වුණ විදිහ නිසා මට පීඩාවක් දැනුණේ නැහැ. සතුටෙන් හිටියෙ. ඔයා මගෙ සතුට සැනසීම විනාශ කළා. ඔයාට පව්. මං මිනිස්සුන්ගෙ වැරදි කතා කරන්න කැමති නැහැ. ඒක මට ම ලජ්ජාවක්. කතා කරලා වැඩක් නැහැ.”

“නෑ වස්තුවේ කියන්න. හිතේ තියෙන දුක මට කියන්න.”

ඔහු ඉල්ලා සිටියේ ද සංසුන්වය. දුක්බරවය.

“ඔයා නිසා මං හොඳට ම හෑල්ලු වුණා නරේන්. ඔයා දන්නවා මං කොයි වගේ මනුස්සයෙක් ද කියලා.”

“ඔයා කවුද කියලා දන්න නිසා තමා හොයාගෙන ආවෙ. ඔයා මාවත් හෑල්ලු කරන්න එපා. මං ගැනත් සාධාරණව හිතන්න. ඔයා විතරක් නිවැරදියි කියලා හිතන්න එපා. ඕනෑ ම කෙනෙක් අතින් වැරදි සිද්ධ වෙනවා.”

“දාර්ශනික විදිහට මනුස්සකම් ගැන බණ කියන ඔයා මොන තරම් මගෙ හිත රිදවලා තියෙනවද? ඒක සමහරවිට පෙර ආත්මෙක මං කරපු පාපයක විපාක වෙන්න ඇති.”

“ප්‍රියදෝණි දැන් හොඳට ම ඇති. නතර කරන්න ඔය තර්ක විතර්ක. මං ආවෙ මොකටද කියලා හිතන්න. බලාගෙන යන කොට මීතොටමුල්ල මොකක්ද? බාල බොළඳ වයසට උගත්කමට නොගැළපෙන කුණු කතාවලින් හිත පුරවා ගෙන මගෙන් පළිගන්න හදනවා.”

“නරේන් ඔයාට මාව විහිළුවක්ද?”

“නෑ සතුටක්. අහිමි කර ගන්න බැරි සැනසිල්ලක්. මං ඔයාට ගෞරව කළා වැඩියි ප්‍රියදෝණි. නිකමටවත් හිතනවද අනේ මේ මිනිහා මොනවා වුණත් මාව බලන්න ආවා නේද කියලා. තියෙන නපුරුකම.”

“ඉතින් මං වගේ නපුරු ගෑනියෙක් බලන්න ඇයි ආවෙ?”

“උඹව මට ඕන නිසා. මාව හෑල්ලු කරන්න ලෑස්ති වෙන්න එපා. ඇත්ත මං යකෙක්.”

“ඔයා මට තර්ජනය කරනවද? ඔය විදිහට කතා කරන්න ඔයා මගෙ කවුද?”

“මං උඹේ කවුද කියලා උඹේ හෘදසාක්ෂියෙන් අහලා බලපන්. නිවැරදි උත්තරේ හම්බ වෙයි. නිකමටවත් හිතුවද මොන වැරැද්ද තිබුණ වුණත් අනේ මේ මිනිහා මගේ දෙපතුල ළඟට ආවා නේද කියලා. තමන්ගෙ තීරණ මිසක් වෙන කිසිම තීරණයක්, මනුස්ස හැඟීමක් නිවැරදි නැහැ. හිත උණු වෙන්නෙ නැහැ. ගමේ ගොඩේ වට්ටි අම්මා කෙනෙක් වගේ කියවන්න ගත්තා.”

නරේන්ද්‍ර කෝප වූයේ ඔහුගේ සුපුරුදු පැවැත්මේ සොබාවට අනුවය. සිරිමෙවන් ලේකම්වරයාගේ අනුශාසනා අවවාද ඔහුට අමතක විය. ගැහැනියක ඉදිරියේ මේ සා බාල්දු වීම තම තත්වයට නිලයට බලයට මදි පුංචිකමකැයි සිත වියරු වැටෙන්නට ආසන්න වූවා සේය.

“නරේන්, අපි ආයෙත් මුණ ගැහෙන්න ඕනෙ නැහැ. ඒ නිසා මං කියන දේ ටිකක් අහගෙන ඉන්න. ඔයා රට පිළිගත්ත දේශපාලනඥයෙක්. අක්මුල් නැති මනුෂ්‍යයෙකුත් නෙමේ. දේශපාලනඥයෙක් විදිහට ඔයාට මේ රටට කරන්න පුළුවන් ලොකු වැඩ කොටසක් තියෙනවා. වට්ටිඅම්මා කෙනෙක්ගෙ වුණත්”

“‍මේ රටට සේවය කරන්න? ප්‍රිය‍දෝණි කරුණාකරලා නතර කරන්න ඔය සීපද බයිලා. මං ඔයා වගේ ඉන්දියාවට පන්දම් අල්ලන්න ඇවිත් නෙමේ. මේ රටට සේවය කරන්න? මේ මගේ රට නෙමේ. පිස්සු ද?”

“හරි මට වැරදුණා. පිළිගන්නවා. මං කියන්න හැදුවෙ...”

“කියනවා. කියන හැමදේකින් ම පපුව පුපුරලා යන විදිහට කියනවා”

“නරේන් දේශපාලනඥයෙක් විදිහට ඔයා තේරුම් ගන්න ඕන වට්ටි අම්මා කියන චරිතෙට වුණත් වටිනාකමක් අගයක් තියෙනවා. දේශපාලනඥයො වගේ එයාලා රට කනවද? ඇත්ත මං ගං ගොඩේ හැදිච්ච ගෑනියෙක්. ඒත් මං අවිනීත විදිහට ඔයාගෙ බෙල්ලෙ එල්ලෙන්න ආවෙ නැහැ. ඔයා මට යෝජනාවක් ගෙනාවා. මං ඔයා ගැන හෙව්වා. කල්පනා කළා. ඔයා දෙබිඩි චරිතයක් නරේන්.”

ප්‍රියදෝණි මහමායාගේ දෙනෙතින් බිහිවුණ කඳුළු වැලක් දෙකපොල ඔස්සේ රූරා විත් උකුළ මත සැඟවෙනු නරේන්ද්‍රට පෙනෙන්නට විය.

“මහාමායා ඔයා කියන ඔය සේරම ඇත්ත. මං නිසා ඔයාට දුකක් ඇති වුණා නම්...”

“දුකක් ඇතිවුණා නම්? ඔයා කොච්චර සරල ද නරේන්? නෑ මට කිසි ම දුකක් ඇති වුණේ නැහැ”

“මේ කතාව නතර කරමු මහාමායා. මට එක දේකට උත්තර දෙන්න. ඇත්ත කියන්න. ඔයා මට කිසිදාක ආදරය කළේ නැද්ද? මුලා කළා විතරද?”

ප්‍රියදෝණි මහමායා ගුප්ත නිහඬකමකට සම වැදුණාය.

“ඔයා කතා කරන්නෙ නැහැ. ඔයා මට ‍ෙබාරු කරලා. කමක් නෑ. ඒක අමතක කරමු. මගේ පපුවෙ අමාරුව මේ දවස්වල ටික ටික වැඩි වෙනවා වගේ දැනෙනවා. මං යනවා. මේ ආපු ගමන් ඒකත් ටිකක් චෙක් කරවා ගෙන යන්න ඕන.”

නරේන්ද්‍ර නැගී සිටියේය. ප්‍රියදෝණිගේ දෙනෙත් බියෙන් තැති ගැන්මෙන් විරූපී විය. ඇය වහා ඔහුගේ අතක් අල්ලා ගත්තාය. නරේන්ද්‍ර යළිත් හැඟීම්බර විය.

“මං දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා ඇපොලෝ එකේ. එයා මුණ ගැහෙන්නත් ඕන. මෙතන තව හිටියොත් මගෙ පපුව පැලේවි. මාත් මනුෂ්‍යයෙක්. මං යනව.”

“මාත් එන්නද? මං එනවා ඔයා එක්ක. එන්නද?”

තැතිගත් ඇය ශෝකී ස්වරයෙන් අසන විට තම හදවත උණුවන තරමේ දුකකින් නරේන්ද්‍ර සැලෙන්නට විය.

“ඔයා ළඟ ඉන්න වෙලාවක මැරුණත් කමක් නෑ කියලා දැන් මට හිතෙනවා. බණින්න මට. ගහන්න කටට. ඒත් මගෙන් ඈත් වෙන්න එපා.” ඔහු කීවේ නිබොරු සිතිනි. මේ ඇගේ ස්වභාවය සහ හැදියාවයි. තමාට ඇයගෙන් ගැලවීමක් නැත. නුරාව නොහඳුනන, කයට ආමන්ත්‍රණය නොකරන ගැහැනියක කෙරෙහි බැඳුණ සිත සංසාර අකුසලයක් ද? කුසලයක් ද?”

“නරේන් ඔයා ඩොක්ටර් කෙනෙක් චැනල් කරලද ඉන්නෙ?”

“නැහැ. මං හිතුවෙ ඔයත් එක්ක ම කතා කරලා ඩොක්ටර් කෙනෙක් තෝර ගන්න. මං ඉන්ටර්නෙට් එකත් ටිකක් සර්ච් කළා. මං දන්න ඩොක්ටර් කෙනෙකුත් මෙහෙ ඉන්නවා.”

“හෙට උදේට ඩොක්ටර් කෙනෙක් මුණ ගැහුණම ඇතිද?”

“හ්ම්...”

“කොහෙද අද රෑ ඔයා ඉන්නෙ? හොටෙල් රූම් එකක් වෙන් කර ගත්තද?”

නරේන්ද්‍ර අපහසුවෙන් තොරව ඇ‍ගේ නෙත් බැල්ම මත නතර විය. සංසාර බැඳිමක් තුළ තමා ඇය වෙත ඇදී යන්නාසේ ඔහු සිත සොම්නසක් උපන්නේය.

“නරේන්”

ඇයගේ දෙතොල් සැලෙන්නට විය. තමාගේ හෘද වේදනාව ඇගේ වෙමින් පවතින සැටි නරේන්ද්‍ර දුටු‍ෙව්ය. මුදු වෙමින් පවතින තම සිත ඇගේ දයාව කරුණාව අනුකම්පාව හමුවේ දණින් වැටෙන්නට පවා සූදානම්ව ඇතැයි ඔහුට සිතිනි.

“නරේන් දැන් ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නෙ? ඇත්තට ම ඔයාගෙ පපුව රිදෙනවද? මට බය හිතෙනවා නරේන්. අපි දැන්ම ඩොක්ටර් කෙනෙක් ළඟට යමුද?”

“කෙනෙක්ගෙ පපුව බොරුවට රිදෙන්නෙ නැහැනෙ. වැඩි සතුටට, වැඩි දුකට, වැඩි බයකට නම් රිදෙන්න පුළුවන්. මිනිහෙක් මැරෙන එක නවත්වන්න කාටවත් බැහැනෙ. මොනවා කරන්නද?”

මරණය සිහි කිරීමෙන් ප්‍රියදෝණි‍යගේ මුහුණ අඳුරු වුණ සැටි නරේන්ද්‍ර දුටුවේය. හෘද වේදනාව ඇගේ දයාව දිනා ගැනීමට කළ උපායක් මිස වංචාවක් නොවේ.

“නරේන් ඔයා කැමති නම් අදට මෙහෙ නතර කර ගන්න පුළුවන්. අසනීපයක් කිව්වම එයාල ටිකක් සලකනවා. ලංකාවෙ මන්ත්‍රී කෙනෙක් කිව්ව ම තවත් ටිකක් සලකයි.”

“එපා එපා මන්ත්‍රි කතන්දර වුවමනා නැහැ. ඒක ම‍හ කරදරයක්. ඔයා තනියමද කාමරේ ඉන්නෙ?”

“නෑ යාළුවෙක් එක්ක. එයා නෝර්වේ ගෑනු ළමයෙක්. හරි ම හොඳයි. එයා මේ දවස්වල නෝර්වේ ගිහින්. අම්මට සනීප නැතුව.”

“හොස්ටල් එකේ පුංචි ගෙයක්. ඒ කියන්නෙ?”

“මේ යුනිවර්සිටි එක ලොකු නගරයක් ව‍ගේ. සල්ලි තියෙනවා නම් ටිකක් තමන්ට කැමති විදිහට නවාතැන් ගන්න පුළුවන්. හැබැයි නීතිරීති තදයි. නටාෂා අවුරුද්දක ගාස්තු එක සැරේට ම බැඳලා. එයත් ඉතිහාසෙ කරන්නෙ. ඒකෙන් අපි දෙන්නා හොඳ යාළුවො වුණා.”

“එයත් ඉන්දියන් ඉතිහාසෙද කරන්නෙ?”

“එයා කරන්නෙ ඉන්දියානු ප්‍රතිමාකලාවට බුදු දහමේ බලපෑම් ගැන”

“බුදු දහම කාටවත් බලපෑම් කරන දහමක් නෙමේනෙ. ආභාෂය නේද පැහැදිලි වචනෙ?”

“ඔව්”

ප්‍රියදෝණි මහමායා කතා කරන්නේ මා වෙත යොමු වූ දැඩි විමසුම් බැල්මක් නෙත ඇතිවයයි නරේන්ද්‍ර සිතුවේ ඇගේ මෛත්‍රි ගුණය සියලු ස්ත්‍රි ප්‍රතිපදාවන් පරදමින් තමා වට කර ගෙන ආරක්ෂාව සලසන්නට සූදානම් වන අයුරු ද වටහා ගනිමිනි.

“මහාමායා, මං මෙහෙ නතර වෙන එක ඔයාට හොඳ නැහැ. මං මහා මන්දිර් හොටෙල් එකෙන් කාමරයක් අරන් තියෙන්නෙ. අපි එහාට යමු. මං කැමති නැහැ ඔයාට කරදර කරන්න. ඒත් මගෙ හිතට බයක් දැනෙනවා. අකමැති නම්, බය නම්, ඔයා ආවෙ නැතත් මං තරහ නැහැ. හෙට උදේ මේ අමාරු වෙහෙස ගතිය තිබුණොත් විතරක් ඩොක්ටර් කෙනෙක් ළඟට යනවා. නැත්නම් ආපහු ලංකාවට.”

ප්‍රියදෝණි මහමායාගේ දුකෙන් පිරෙමින් ඇති දෙනෙත් දෙස නරේන්ද්‍ර බලා සිටියේ ඇයට කැමති තීරණයක් ගන්නට කාලය දෙමිනි. ජීවිතය පිළිබඳව ඇය වුවමනාවටත් වඩා සිතන්නියකි.

“මහාමායා මං එහෙනම් යන්නද?”

නිහඬ වීම, ගැටලුවක් වන්නට අවකාශ සොයන්නේ ය යි සිතූ නරේන්ද්‍ර දෙවන වරටත් හුනස්නෙන් නැගී සිටියේය. ඇය මිමිනුම් ස්වරයෙන් කතා කරන්නට වූවාය.

“මමත් එන්නම්. මුළු රෑම ඔයා ළඟ ඉන්නම්. ඔයා බය වෙන්න එපා. මං දැන් මේ පැත්ත ගැන ටිකක් දන්නවා. යුනිවර්සිටියට එන සමහර ඩොක්ටර්ස්ලා ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරනවා. හදිස්සියක් වුණොත් ඒ තැනකට හරි යන්න පුළුවන්.”

නරේන්ද්‍රට සිතුනේ ඇගේ මුදු වදන් තමා දවා අළු කරන්නට සැරසෙන සැටියකි. ඇය ළයට ළං කර, හිස සහ දෙනෙත් අතොරක් නැතිව සිප ගැනීමේ පිපාසය ඔහු සිතට ආවේ නුරාවෙන් නොව කරුණාවෙනි.

“ගිහින් සූදානම් වෙලා එන්න. මෙතන තියෙන හැම නීතියක් ම ආරක්ෂා කරගෙන එළියට යමු.”

“ඔයත් එන්න නරේන්. මං තේ එකක් හදන්නම්.”

ඔහු ඇය පසුපසින් ගියේ සෙමින් පය තබමිනි.

“මේ අපේ පුංචි අධ්‍යාපන ගෙදර.”

කුඩා මිදුලකින් කුඩා නිවසකට පය තැබූ ප්‍රියදෝණි අත වූ යතුර දොරගුලට තැබුවාය.

“දෙන්න මං දොර අරින්නම්.”

නරේන්ද්‍ර ඇගේ අත පසකට කර දොරගුළු හැරියේ මඳ සිනාවක් දෙතොළඟ ඇතිවය.

ලබන සතියට

Comments