දකුණු පළාත කේන්ද්‍ර කරගෙන රට පුරාම සංචාරක කලාප බිහි කරනවා | සිළුමිණ

දකුණු පළාත කේන්ද්‍ර කරගෙන රට පුරාම සංචාරක කලාප බිහි කරනවා

 ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සංචාරක කර්මාන්තය හරහා ඉහළ දායකත්වයක් ලබා දෙන්නට රජය විසින් පියවර ගෙන තිබෙනවා. ඒ යටතේ විශේෂයෙන්ම දකුණු පළාතේ සංචාරක කලාප කිහිපයක් ස්ථාපිත කිරීමටත් කටයුතු කර තිබෙන අතර ඒ සියලුම ව්‍යාපෘතිවල මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයයි. දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය හරහා සිදු කරනු ලබන මේ සංවර්ධන ක්‍රියාදාමය ගැන අද සිළුමිණ සමග කතා බහට එක් වන්නේ නීතිය හා සාමය පිළිබද හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතායි.

දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ඇති කිරීමේ රජයේ අරමුණ වුණේ මැතිවරණ සටන ජයග්‍රහණය කිරීම නේද?

මේ අමාත්‍යාංශය ස්ථාපිත කිරී‍මේ අරමුණ මැතිවරණය ජයග්‍රහණය කිරීමම නෙමෙයි

කො‍ෙහාම වුණත් මේ වන විට දකුණු පළාතේ විශාල සංවර්ධනයකට කටයුතු කර තිබෙනවා...

ඔව් බෙන්තර ගඟේ සිට සම්පූර්ණ දකුණු පළාතම සිංහරාජය දක්වාත් යාල දක්වාත් ‍මොනරාගල දක්වාත් විශාල සංවර්ධනයකට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඇයි දකුණු පළාත පමණක් මේ සංවර්ධනයකට පත් කරන්නේ, සංචාරක කලාප රැසක් දිවයින පුරාම තියෙනවා...

වරදවා වටහා ගන්න එපා, දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය මඟින් දකුණු පළාතේ සංවර්ධන කටයුතු සංචාරක කර්මාන්තය සිදු කරනවා වගේම වයඹ සංවර්ධනය එස් බී. නාවින්න මහතා යටතේත් සඹරගමුව සංවර්ධනයත් සඹරගමුව සංවර්ධන අමාත්‍යාංශය යටතේත් සිදු කරනවා. එමෙන්ම මහනුවර, ත්‍රිකුණාමලය, මීගමුව - කල්පිටිය ඇතුළු සංචාරක කලාප රැසක් ස්ථාපිත කරනු ලබන අතර සංචාරක කලාප සංවර්ධනයටත් පියවර ගනු ලබනවා. දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය යටතේ සිදු කරන්නේ දකුණු පළාත සංවර්ධනය කිරීමයි.

පසුගිය රජය විසින් දකුණේ සංවර්ධන කටයුතු සිදු කරා. මේ සිදු කරන්නේ ඒ ක්‍රියා මාර්ගයේම කොටසක්ද? එහෙම නැත්නම් ඒ සංවර්ධන කටයුතු ‍ඉක්මවා යමින් සිදු කරනු ලබන ප්‍රදර්ශනාත්මක සංවර්ධනාත්මක ක්‍රියාදාමයක්ද?

පසුගිය රජය හම්බන්තොට සංවර්ධනය සිදු කරනවා යැයි රටේම ජනතාවට බරක් පැටෙව්ව. අපි කරන්නේ ඒ බර පුළුවන් උපරිම වශයෙන් අවම කර රට ණය බරින් නිදහස් කර ගන්නා එකයි.

ඒ ණය ගත්තේ රටේ සංවර්ධන කටයුතු සිදු කරන්නයි, වරාය, ගුවන් තොටුපොළ ඉඳි කිරීම් සඳහා, රටට බරක් වුණත් ඒ සංවර්ධන කටයුතු සුදු අලි ලෙසින්ද ඔබ දකින්නේ.?

පැහැදිලිවම සුදු අලි තමයි, එක්සත් ජාතික පක්ෂයත් හම්බන්තොට ආශ්‍රිතව ගුවන් තොටුපොළක් යෝජනා කළා, වරායක් යෝජනා කළා, නමුත් අපේ යෝජනා ක්‍රියාත්මක නොකර රටට බරක් වෙන ණය ව්‍යාපෘති තමයි මේ ස්ථාපිත කරේ.

එක්සත් ජාතික පක්ෂය වරායක් ගුවන් තොටුපොළක් යෝජනා කරා නම් ඇයි දැන් සුදු අලි ලෙසින් දකින්නේ?.

අද ගුවන් ‍ තොටුපොළ තියෙන්නේ හුදකලා ස්ථානයක, වන සතුන්ට විශාල බාධාවක් වගේම ගුවන් යානාවලටත් බාධාවක්, අපි යෝජනා කරපු ගුවන් තොටුපොළ ස්ථාපිත කළ යුතුව තිබුණේ මත්තල නෙමෙයි වැල්ලවායේ, ඒ වගේම අපි වරායක් යෝජනා කර තිබුණේ මුහුදේ දියකඩනයක් ස්ථාපිත කර වරායක් ඉඳි කරන්නයි. නමුත් රාජපක්ෂ ආණ්ඩුව සිදු කෙරේ ගොඩබිම හාරමින් වරායක් තැනිමටයි. ඒ වරායට නෞකා ගෙන්වන ආකාරය ගැන කිසිම සැලසුමක් තිබුණේ නැහැ. සිදු කරපු එකම දෙය කොළඹ වරායට පැමිණි නැව් හම්බන්තොටට ගෙන්වා ගැනීමයි. එවැන්නක් සිදු කිරීමට වරායක් ඉඳි කළ යුතු නැහැ. ගුවන් තොටුපොළත් වරායත් සුදු අලි වී ඇත්තේ එහෙමයි‍

එක්සත් ජාතික පක්ෂයේ යෝජනා වී තිබුණේ මොනවාද?

පැහැදිලිවම අපේ සැලැස්මේ ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණා. හම්බන්තොට අසලින් විනාඩි 5කට පමණ වරක් නෞකාවක් ගමන් කරනවා. ඒ නෞකාවලට ඉන්ධන සැපයීම හෝ වෙනත් අවශ්‍යතාවන් සලසා දෙමින් සේවා සැපයීම් කරන්න තිබුණා. එමෙන්ම වැල්ලවායේ ගුවන් තොටුපොළ ඉඳි කරානම් ඒ හරහා කඩිනමින් සංචාරකයන්ට නුවර එළියට යන්න තිබුණා. දකුණටත් එන්න තිබුණා. රටේ බොහෝ තැන්වල කඩිනම් ප්‍රවාහනයක් සිදු කරන්න තිබුණා. අපේ ‍උඩරට ආහාර නිෂ්පාදන කඩිනමින් සකසා ගුවන් මඟින් යවන්නට තිබුණා. නමුත් එවැන්නක් සිදු වුණේ නැහැ.

හම්බන්තොට සංවර්ධනයට පසුගිය රජය කළ ආයෝජන සියල්ලම අසාර්ථක ව්‍යාපෘති ලෙසින්ද ඔබ දකින්නේ.?

ව්‍යාපෘතියක සාර්ථක අසාර්ථක භාවය රඳා පවතින්නේ ඒ ව්‍යාපෘතියත් එක්කම ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කළොත් විතරයි, රටකට වරායක් එක්වෙන එක හොඳයිනේ, ගුවන් තොටුපොළත් එහෙමයි, නමුත් නැව් නැති වරායක් වැඩක් තියෙනවද? හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා‍වට මසකට රුපියල් මිලියන 20ක් විතර වැය කරන්න වෙනවා. විදුලි බිල දිනකට රුපියල් ලක්ෂ ගණනක් වනවා, මේ සම්මන්ත්‍රණ ශාලාවේ 1600කට ඉඩ පහසුකම් තිබෙනවා, වායු සමීකරණය ක්‍රියාත්මක කළ විට සමස්ත ශාලාවේම එකවර වායු සමනය ක්‍රියාත්මකයි. නමුත් එවැනි ශාලාවක වැදගත්කමක් ඒ පළාතට තියෙනවද? තව අවුරුදු කීපයක් යන විට මේ ශාලාව වැඩක් ගන්න පුළුවන් වෙයි දකුණේ සංවර්ධනයත් එක්ක, නමුත් ඒ වෙන විට තාක්ෂණය පරණ වෙයි. ගොඩනැගිල්ලේ අලුත් වැඩියාවන් මතු වෙයි. සම්මන්ත්‍රණ ශාලාව කෙසේ වෙතත් ක්‍රීඩාංගණය අපට වැඩක් ගන්න පුළුවන්කමක් නැහැ. ඒ ක්‍රීඩාංගණයේ ණය ගෙවන්න මේ පුංචි රටේ හැම කෙනෙක්ම විශාල බරක් දරන්න වෙනවා. ‍

හම්බන්තොට මේ ණය කන්ද ගොඩ ගන්න සිදු කරන්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම පමණක්ද?

සංචාරක කර්මාන්තය රටේ ආර්ථික ශක්තිය දියුණු කරන්න කිරීම එක මාර්ගයක් විතරයි. හම්බන්තොට සුදු අලි ඒ විදිහට තියෙන්න අරින්න බැරි නිසා අපි ඒ ආයෝජන වලින් නිසි ප්‍රයෝජන ගන්නයි ක්‍රියාකර ඇත්තේ. ඒ නිසා හම්බන්තොට කර්මාන්තපුරය අදියර තුනක් යටතේ ස්ථාපිත කෙරෙනවා. එයින් පළමු අදියරට අක්කර 2100ක් හා දෙවන අදියරට අක්කර 3500ක්ද තුන්වන අදියර ලෙසින් මොනරාගල අක්කර 6900ක්ද කර්මාන්තපුරයන් ලෙසින් ඉඳි වෙනවා. හම්බන්තොට 1 පියවරේ මේ වන විට අවශ්‍ය භූමිය තෝරාගෙන ඉඩම් අත් පත් කර ගනිමින් තිබෙන්නේ. එහි නිවාස 78කට වන්දි ගෙවන්න තියෙනවා. දෙවන අදියරේ නිවාස සංඛ්‍යාව ඊට වඩා වැඩියි. එසේම මොනරාගල දක්වා මාර්ග පද්ධතිය වඩාත් දියුණු කළ යුතු වෙනවා.

මේ සංවර්ධන කටයුතු සිදු කරන්න විශාල ආයෝජනයක් වැය කළ යුතු වනවා. ඒ තත්ත්වය තවත් රට ණය බරක් ලබා දීමක් නේද?

අපි බොහෝ විට සංවර්ධන කටයුතු සිදු කරන්නේ ආ‍යෝජකයන් හරහා, ආර්ථික ඵලදායිතාවක් ඇතිවයි වැඩ කළ යුත්තේ. එසේ නොමැතිව කටයුතු කළහොත් සුදු අලියෙක් වීම වළක්වන්න අමාරුයි. බෙන්තොට සංචාරක කලාපයේ සිට අනෙකුත් සියලු සංචාරක කලාපත් අප පෞද්ගලික ආයෝජකයන් හරහා සිදු කරන්නයි කටයුතු කර ඇත්තේ.

මේ සංචාරක කලාප තැන් තැන්වල පිහිටුවීමෙන් සංචාරක කර්මාන්තය විසිරී යාමක් සිදු වනවා නේද?

අපටත් අවශ්‍ය වන්නේ එයම තමයි, දින 6ක් 7ක් ලංකාවේ ඉදල යළි මවු රටට යන සංචාරක ක්‍රමවේදය වෙනුවට එම සංචාරකයන් වරක් දකුණු පළාතේත් තවත් වරක් නැඟෙනහිර පළාතේත් තවත් වරක් මීගමුව ඉරණවිල වැනි පළාත් වලටත් ගෙන්වා ගත යුතු වනවා. සංචාරකයා වරක් නොව දෙතුන් වරක් මෙරටට ‍ ගෙන්වා ගැනීමයි අපේ අරමුණ වන්නේ. ඒ සඳහා රට තුළ ඔවුන්ට විශ්වාසය රඳා පැවැත්විය යුතු වනවා.

ඔබ පවසන පරිදි එක් වර්ගයකම සංචාරකයන් එන්නේ නැහැ. විවිධ පැළැන්තියේ සංචාරකයන් එනවා. ඒකටත් විසඳුමක් දෙනවාද?

පැහැදිලිවම අපේ ඉලක්කය වන්නේ දිනකට ඩොලර් 1000ක් ‍2000ක් වැය කරන සංචාරකවන් වගේම අඩු මිලක් ගෙවා නැවතී සිටින සංචාරකයන් පවා මේ සඳහා යොමු කර ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් මේ සංචාරක කලාප තුළම ස්ථාපිත කෙරෙනවා.

ඔබ පවසන ආකාරයට මුළු දකුණු පළාතම සංචාරක පුරයක් වෙයි වගේ..

අපි බෙන්තොට (දෙද්දුව) සිට ව්‍යාප්ත වන සියලු ප්‍රදේශයන් සංචාරක ව්‍යාපෘතියට ඇතුළත් කරනවා. ඒ තුළින් සංවර්ධන කටයුතු සිදු කරනවා.

එයින් පරිසරයට වන හානිය..

පරිසරයට කිසිම හානියක් වන්නේ නැහැ. අපි ආවට ගියාට මේ කිසිම සංවර්ධන කටයුත්තක් කරන්නේ නැහැ. අවශ්‍ය පරිදි පරිසර වාර්තා ඇගැයීම් විතරක් නෙමෙයි, ඉඩම් පවරා ගැනීම සම්බන්ධව කමිටුවක් පවා පත් කර තිබෙනවා. එහි අනුමැතියක් නැතිව ඇමැතිවරයාටවත් සංවර්ධනය කරන්න බැහැ. ඒ වගේම දෙද්දුව (බෙන්තොට) සංචාරත කලාපයේ අක්කර 1800ක භූමියක් අපි සංවර්ධනය කිරිමේදී එහි සැඟව ගොස් ඇති ජලාශ මතු කර ගන්නවා. එහිදී 60%ක් ගොඩබිම හා 40%ක් ජලාශ ලෙසින් තමයි සංවර්ධනය සිදු කෙරෙන්නේ. එහිදී සියලු පරිසර ඇගැයීම් වාර්තා සකස් කරනවා. ජල ගැලීම් ඇතුළු සියලු පාරිසරික සිද්ධාන්තයන් දෙස අවධානය යොමු කර තිබෙනවා.

ඉඩම් පවරා ගැනීමේදී හැමදාම ජනතා විරෝධය මතු වෙන්නේ සාධාරණ වන්දි නොලැබීම මතයි. හම්බන්තො‍ට අඩි 100 පාරේ ජනතාව තවමත් විරෝධතා පානවා‍...

මෙහිදී එවැන්නක් සිදු වන්නේ නැහැ. මිලියන 200ක් පමණයි දෙද්දුව ඉඩම් පවරා ගැනිමට වැය වී ඇත්තේ. මේ ව්‍යාපෘතීන්හි විශේෂිතම සංකල්පය තමයි ඉඩම් නිවාස පවරා ගැනීමේදී ඒ සඳහා උපරිම වන්දියක් ගෙවීමත් ඒ ඉඩම් නිවාසවලට යම් හෝ ඉහළ මට්ටමකින් ඒ ජනතාව ඉහළට ඔසවා තැබීමත්. ඒ කරුණු දෙක අපේ අරමුණක් වනවා.

දකු‍ණ ගැන කතා කරද්දී ගාල්ල කොටුව ලෝක උරුමයක් ලෙස පිළිඅරගෙන තිබෙනවා. එහි අනවසර ඉඳිකිරීම් නිසා ලෝක උරුමයන්ට හානි පැමිණ තිබෙනවා. එසේම එහි ඇති ‍ ගොඩනැගිලි පවා මේ වන විට විනාශ වෙමින් තිබෙන්නේ‍...

ඒ අනවසර ඉඳි කිරීම් අපි පාලනය කර තිබෙනවා, එමෙන්ම කොටු‍වේ බොහෝ විට ඇත්තේ රජ‍යේ කාර්යාල එම කාර්යාල නඩත්තු කරන්න ඔවුන්ට තිබෙන හැකියාව අඩුයි. මේ නිසා එම භූමියෙන් වැඩි ප්‍රමාණයක් සංචාරක කර්මාන්තයට පවරා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට යෝජිතයි. එහිදී එම ගොඩනැගිලි ආරක්ෂාකාරී වනවා. එසේම එක් කරුණක් විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි, මේ සියලුම දේ එහි පුරා විද්‍යාත්මකත්වය ආරක්ෂා වන ලෙසින් සිදු කෙරෙන්නේ.

සියලු කාර්යයන් සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම පිටුපස රජයේ ආයතන කාර්යයන් පෞද්ගලීකරණයක් කිරීමේ අරමුණක් තිබෙනවාද?

රජයේ මුදල් වැය කරමින් කළ යුතු කාර්යයන් පෞද්ගලික අංශයේ දායකත්වයෙන් සිදු කර ගැනීමයි මෙහිදී සිදු කරන්නේ නමුත් මෙහිදී භූමිය අනිවාර්යෙන්ම රජය සතු බව පැවසිය යුතු වනවා.

එසේ නම් දීර්ඝ කාලීනව බදු දිමක් සිදු වනවා...

වසර 50ක පමණ කාලයකට බදු දෙන්න වෙයි. එම සමාගම් වසර 5කට පමණ වරක් එම ව්‍යපෘති නවීකරණය කරනවා.

සංචාරක කර්මාන්තය ඔබ‍ගේ අමාත්‍යාංශය විසින් සිදු කරන විට සංචාරක අමාත්‍යාංශය සංචාරක මණ්ඩලයට මොකද වෙන්නේ...

අපි විසින් සිදු කරනු ලබන්නේ භූමිය අත්පත් කරගෙන සංචාරක මණ්ඩලයට පවරා දීමයි. සංචාරක කටයුතු සිදු කරන්නේ අමාත්‍යාංශය හා සංචාරක මණ්ඩලය මඟින්. අවශ්‍ය සහාය කටයුතු අප සිදු කරනවා. මීට අමතරව ගාල්ලේ ලන්දේසි ඇළත් කිලෝමීටර් 30ක් දුරට යළි සකස් කරනවා. එපමණක් නෙමෙයි වෙල් යාය පවා සංචාරකයන්ට යෝග්‍ය පරිදි සකස් කිරීමයි මෙහිදී සිදු වන්නේ.

කොහොම වුණත් දකුණේ සංචාරකයන්ට පමණක් නෙමෙයි රටේ ජනතාවටත් ජීවත් වෙන්න අමාරු ජීවිත තර්ජන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා...

සංවිධානාත්මක අපරාධ රැල්ල වරින් වර මතු වෙන්නක්. මේ තත්ත්වය නවත්වන්න අවශ්‍ය කටයුතු සිදු කර තිබෙන්නේ. පාතාලය ගැන මේ වන විට සියලු තොරතුරු සොයා ගෙන තිබෙන්නේ. මේ වන විට පාතාල නායකයන් බොහෝ දෙනකු රටින් පිටව ගොස් තිබෙනවා. ඩුබායි රටේ දෙන්නෙක් ඉන්න බවත් අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ පිරිස් සංවිධානාත්මක ලෙස කටයුතු කරනවා, වගේම අපිත් සංවිධානාත්මක විදිහටයි ඒ අයට විරුද්ධව කටයුතු කළ යුතු වන්නේ.

මේ රජයේ සංවර්ධන වැඩ බොහොමයක් ඇන හිට ඇති බවට චෝදනා එල්ල වෙනවා...

ඒක සත්‍යතාවෙන් තොරයි, වැඩ කටයුතු සියල්ල නිසි පරිදි සිදු කෙරෙනවා, එකම දේ තමයි රජය කරනු ලබන සංවර්ධන කාර්යයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් නැහැ.

කොහොම වුණත් මැතිවරණයක් ළඟ නිසා රජයට යම් ප්‍රචාරයක් ලබා ගන්න වෙයි නේද?

අපි කරන්නේ වැඩ කරන එකනේ, ප්‍රචාරයට වෙලාවක් නැහැ. නමුත් ඒක නිසා රජ‍යේ සංවර්ධන වැඩ පිළිවෙළ ජනතාව අතරට යන්නේ නැහැ. ඒ බව මම පිළි ගන්නවා.

මහින්ද රාජපක්ෂ මහත්මයා අනුරාධපුරයෙන් මැතිවරණ ව්‍යාපාරය යටන් ගත්තා ඒකට 15000ක විතර ජනතාව සිටිය බවට වාර්තා වුණා...

ඔය ජනතාව ගෙන්වා ගන්නා හැටි අපි දන්නවා, අපි දේශපාලනයට ආවේ අද ඊ‍යේ නෙමෙයිනේ. බස්වලින් සෙනඟ අද්දවන එක ගැන අමුතුවෙන් කතා කරන්න ඕන නැහැ. ඕව අලුත් දේවල් නෙමෙයි. අපි මැතිවරණයට බය නැහැ.

පුංචි ඡන්දෙට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වෙන වෙනම ඉල්ලනව, මොකද මේ ජාතික ආණ්ඩුව වෙන වෙනම ඉල්ලන්නේ. ජනතා සේවය වෙනුවෙන් එකතු වෙලා මැතිවරණයේදී වෙන් වෙන්නෙ ඇටි?

ජනතාවට සේවය කරන්න එකතු වුණා වගේම වෙන් වශයෙන් මැතිවරණයට තරගකරනවා. ඒක ගැටලුවක් නැහැ. අ‍පේ ගමන එක්ව අපි යනවා.

සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර 

Comments