බදු දැල තරවෙයි | සිළුමිණ

බදු දැල තරවෙයි

තාරක වික්‍රමසේකර
ජයසිරි මුණසිංහ

බැංකු, රේගුව, මෝටර් රථ, ඉඩම් ඇතුළු රාජ්‍ය ආයතන 32ක් සමඟ ජනතාව සිදු කරන ගනුදෙනු සියල්ලේ තොරතුරු එසැණින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය වෙත වාර්තා ‍ෙකරෙන නව වැඩ‍පිළිවෙළ, රමිස් (RAMIS) ලබන වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.

මේ අන්දමට රටවැසි ජනතාවගේ වාණිජ ගනුදෙනු තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එසැණින් ලැබීම හේතු කොට රටේ බදු දැල පුළුල් වන අතර, බදු ආදායම් ඉහළ නංවා ගැනීමට හේතුවන බව දිසානායක මහතා ප්‍රකාශ කෙළේ ය. මේ ආකාරයට රටවැසි ජනතාවගේ වාණිජ ගනුදෙනු තොරතුරු තමන්ට වාර්තා වීම නිසා බදු ගෙවන්නන්ගේ තොරතුරු ලබාගැනීමේ වේගය දැනට වඩා ඉක්මන් වන බව ද ඔහු කීවේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි 800කට අධික මුදලක් වැය කොට ආදායම් පරිපාලනය සහ කළමනාකරණ තොරතුරු ක්‍රමවේද පද්ධතියක් (Revenue Administration and Management Information System නමින් ආරම්භ කොට ඇතැයි කී දිසානායක මහතා ඉතා ඉහළ තාක්ෂණික දැනුමකින් ‍හා ධාරිතාවකින් යුතු මේ පද්ධතිය නිසි ලෙස භාවිතයට ගතහොත් රටේ බදු ආදායම් එක්රැස් කිරීම විද්යුත් මාර්ගයෙන් ම කඩිනමින් කළ හැකි බව කීය.

Comments