
ගෙවුණු සතියෙන්....
පනාමුරේ අැත් ගාල පිහිටුවීමට මුල් වූයේ ‘නළියන දිය බුබුළේ’ පිහිටීමය. එහි දිය බොන්නට එන අලි-ඇතුන් වට කර අල්ලා හීලෑ කිරීම සඳහා අක්කර පහක-හයක පමණ කොටසක්ද, මුරණ්ඩු අලින් සඳහා ඇත් ගාල තුළම අක්කර බාගයක පමණ වෙනම සිර ගෙයක්ද වෙන් කර වැට කඩුලු ගැසිණි. ඊට පෙර කුරුණෑගල, තුන් කෝරලය ආදි තැන්වල බැඳුණු ඇත්ගාල්වලින් ලද තොරතුරු මෙයට පාදක වන්නට ඇත. මඩුවන්වෙල නිලමේ පළමුවරට ඇත්ගාලක් ඇරැඹුවේ 1889දීය. එය 1950 දක්වා පැවැතිණි. ඇත් ගාල පවත්වන සමයට එය නැරඹීමට එන රදළ පන්තියට වෙනම තාවකාලික බංගලා තනන අතර ඒවායින් සොල්දර සහිත බංගලාවේ කොටසක් ලෙස අඩි තිහක් පමණ උසැති පත්තිරිප්පුව අලි ඇල්ලීමේ වික්‍රමය සදහා නැරැඹුම් මධ්‍යස්ථානය විය. අලි වැට ඉදි කෙරුණේ ප්‍රාංශුදේහධාරී පුරුෂයන් අතින් ගෙනෙන ලද විශාල ගස් කඳන් ආධාරයෙන් අැතකුට වත් සෙලවීමට නොහැකි අයුරිනි. අලි ඇතුන් කොටු වූ පසු උන් අල්ලා බැඳීමට පෙර තොවිලයක් කර, ඒ කටයුත්තේ යෙදෙන්නන්ට ආශීර්වාද කිරීම සිරිතක් විය. අල්ලාගත් අලි-ඇතුන් අතරින් හොඳ අලින් මඩුවන්වෙල නිලමේගේ වත්තේ බැඳීමට, හිතවතුන්ට දීමට සහ වෙන්දේසියට ගන්නා අතර, වැඩකට නැතැයි සිතන අලින් යළි කැලයට මුදාහැරීම සිරිත විය. ෆ්රැන්සිස් මොලමුරේ පනාමුරය අයිති කරගත් පසු ඇත් ගාල පැවැත්වූයේ දෙවරක් පමණි. 1949 පැවැත්වූ අලි ගාලේ අලින් 26ක් බැඳි අතර 27 වැනියා මුරණ්ඩු විය. අවසානයේ මොලමුරේට ඒ සතා පිළිබඳ තීරණයක් ගැනීමට සිදු විය.
දින කීපයක් තිස්සේ පනාමුරේ සද්දන්තයා කළ අරගලය පිළිබඳ තතු රට පුරා පැතිරෙන්නට විය. එය නැරඹීමට සමහරු පනාමුරයට ඇදුණහ. එහෙත් මෙය ශ්‍රීමත් ෆ්රැන්සිස් මොලමුරේට හිසරදයකි. ගාලේ අනෙක් කටයුතුවලටද එය මහත් බාධාවක් බවට පත් වී තිබේ. දෛවය නම් මහා පුදුම දෙයකි. බේරී යන්නට ඉඩ දුන්නද හිත නොදෙන්නේ තමන්ගේ ඉරණම තීරණය කරන ගමන යා යුතුම නිසාය. අරගලය විසඳීමට නොහැකි තැන රත්නපුර පොලීසියේ වෙඩි තැබීමට දක්ෂයන් ස-දෙනකු කැඳවා අලියා එක වෙඩි පහරින් මරා-දැමිය හැකි අයකු ඇත් නම් පවසන ලෙස මොලමුරේ දන්වා සිටියේය. ස-දෙනම එය ප්‍රතික්ෂේප කළහ.
දැන් කළ හැකි එකම දේ ඉලක්කයට වෙඩි තැබීම සඳහා දක්ෂයකු සොයාගැනීමය. නාවික හමුදාවේ කොමදෝරු සෑම් කදීර්ගාමර් එවක රටේ ‘නම් දැරූ වෙඩික්කාරයා’ විය. 1950 අගෝස්තු 09 වැනිදා රයිෆලය අතින් ගත් කොමදෝරුවරයා මුලින්ම මොලමුරේගේ නැවතුම්පළ වෙත ගමන් කළේය. නිදහස් ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායකවරයා වූ ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් ෆ්රැන්සිස් මොලමුරේ මහතා වෙත කොමාන්ඩර්වරයකුට ගමන් කළ හැකි නිල ආචාර ක්‍රමයක් තිබේ. ඒ ක්‍රමය අනුගමනය කළ සෑම් කදීර්ගාමර් තමන්ට පැවරී ඇති රාජකාරිය දැන සිටියත් ඒ සඳහා නිල වශයෙන් අණ කරන තුරු බලා සිටියේය.
එක උණ්ඩයක් පමණක් යොදාගෙන අලියා මරා-දැමීමට අවශ්‍ය අණ ඔහුට ලැබිණි. නිල වශයෙන් ආචාර කරමින් එය පිළිගත් බව දැක්වූ කදීර්ගාමර් නිලදරුවා ඇත්ගාල වෙත පිය නැඟුවේ රයිෆලයද අතින් දරාගෙනය.
දඩබ්බරයා තනිපංගලමේ ගාල පුරා සැරි සරමින් සිටී. කදීර්ගාමර් ගාල් දොරටුවෙන් ඇතුළු විය. තනියා හැරී බැලුවේය. නාවිකයා ඉදිරියට එයි. ගාලේ ඒ පස අලියාය, මේ පස දඩයක්කරුවාය. තමන්ගේ වරිගය වහල් බවට පමුණුවන මිනිසකු ගාලට ඇතුළු වන්නේ නිකමට නොවන බව අලියා දනී. තමා ඇතුළු වූයේ වෙනත් අලින් සම්බන්ධව ගැටලුවක් නිමා කරන්නට නොවන බව වෙඩික්කරු දනී. සනුහරේ නිදහස වෙනුවෙන් නැඟුණු ආවේගය අලියාගේ සිව් පයට බලය දෙයි. නරඹන්නන්ගේ ජීවිත සහ මොලමුරේ කථානායකතුමාගේ අණ දඩයක්කරුගේ දෙපාවලට වැර ලබාදෙයි. තුවක්කුව දුටු අලියාගේ කෝපය වැඩී ගියේය. ඇතු සොඬය නවා, කන් පුම්බා, වලග කරකවා වේගය වැඩි කර තුවක්කුකරු වෙත එක එල්ලේ දිව එන්නට විය. කදීර්ගාමර්ට තිබුණේ වෛරයක් නොවේ; අණ පිළිපැදීමේ බැඳීම පමණි. දිව එන අලියාට ඉලක්කය ගැනීමට දකුණු දණ නවා, වම් දණ බිම ගසා ඉලක්කය ගත්තේය. අලියා දිව එයි. ගිනි බටය මෑනෙයි. අවට මිනිසුන් කිලිපොළා ගොස් සිටින්නේ ‘කවුරු දිනයිද?’ යන සැකයෙනි. අලියා තවත් අඩි කීපයක් දිව අවේය. කදීර්ගාමර්ගේ අතේ තිබූ ගිනිබටය ශබ්දයක් නඟනවාත් සමඟම අගින් දුමක් පිට වනු පෙනිණි. අසුරු සැණින් අලියා නැවතුණේ මහා කුංචනාදයක් නඟමිනි. වෙඩික්කරු නැඟිට්ටේය. හොඬවැල දිගේ බේරුණු ලේ පැල්ලමත් සමඟ අලියා ‘කිද’ ගැහුවේය. අලි වීරයා නොදැනුවත්වම මර බෙටි සහ මූත්‍ර පිට කරනු දුටු නරඹන්නන්ගේ ඉහළට ඇදි හුස්ම කඳුළු කැට බවට පෙරළී පහළට වැටෙන්නට විය. මොලමුරේ පැමිණ ඉලක්කය ගැන කියා කදීර්ගාමර්ට අතට අත දී සුබ පැතුවේය. තම වීරත්වය ඇගයීම ගැන ශ්‍රීමත් මොලමුරේ කථානායකවරයාට ස්තුති කළ වෙඩික්කරු නික්ම ගියේය.
තමන්ගේ විමුක්තිය වෙනුවෙන් බිලි වූයේ ඇත් රංචුවේ සිටි නායිකාවක බව ගාලේ සිටි අනෙක් අලින් දැන සිටින්නට ඇත. එහෙත් මෙරට සියලු අලින් වෙනුවෙන් දිවි පිදුවේ ඇත් රජකු නොව කෙණෙරක බව පොදුවේ මිනිසුන් විශ්වාස කළේ නැත. ඒ නිසා කවි කොළ, ගීත සියල්ල නිමැවුණේ ‘පනාමුරේ ඇත් රාජා’ නමිනි. මිනිස් සමාජයේ බොහෝ විට නායකත්වය ගන්නේත් නොබියව සටන් වදින්නේත් පිරිමින්යැයි ඇති මතය නිසා එය සිදු වූවා විය හැකිය. එහෙත් එදා පත්තිරිප්පුවේ සිට මේ ප්‍රකම්පිත අත්දැකීම ලබන්නට අතර් හෙන්රි ඇමටියගොඩ ප්‍රභූවරයාටද ආරාධනා පතක් ලැබී තිබිණි. ඒ එක අතකින් ඔහු රදළ ප්‍රභූ පන්තියට අයත් වීම නිසාය. අනෙක් අතින් ඔහුගේ අලි සුරතලිය වූ මැණිකේ ඇතින්න අලි හීලෑ කිරීමේ මෙහෙයුමට උඩහවත්තේ රත්තරංහාමි සමඟ සහභාගී වන නිසාය. ආතර් ඇමටියගොඩගේ පුත් උදය ඇමටියගොඩ බස්නායක නිලමේ සිය පියා කළ විස්තරය ඒ අයුරින්ම පැවසුවේ මෙසේය...
“අපේ තාත්තා මේ සිද්ධිය ඇහෙන් දැකලා තිබෙනවා. අපේ වලව්වේ ‘පනාමුරේ ඇත් රැජිනගේ’ හකු ඇටයකුත් තිබෙනවා. තාත්තා කීවා වෙඩි වැදුණු වෙලේ මූත්‍ර පිට වුණ විදිහෙන් ගෑනු සතෙක් කියලා පැහැදිලියි කියලාත්. කොහොමත් ඇතා කීවාට දළ තිබුණේත් නෑ. පණු දළ දෙකක් තිබුණේ අඟල් හතක විතර. එයින් එකක් මාකඳුරේ වලව්වේ රන් කොපුවක දාලා කබඩ්-එකක තිබුණා මමත් දැක්කා. මේ දේපළ කොටසක් නඩු තීන්දුවකින් ලාල් ජයසිංහ කියලා මහත්මයෙක්ට භුක්තියෙන් ලැබුණා. ඔහු ළඟ ඒවා දැන් නම් තිබෙනවාද දන්නේ නෑ. අනෙක: අවුරුදු අනූවක් විතර වුණු අම්බලන්වත්තේ පුංචි මහත්තයා, උඩහවත්තේ රත්තරං හාමි, වාසනහාමි බාසුන්නැහේ තුන්දෙනාම මම ආශ්‍රය කළා. ඒ අය ළඟ මේ අලි ඇතුන්ගේ ලැයිස්තු පවා තිබුණා. එක එක අලින්ගේ දේහ ලක්ෂණ අනුව උන් මිල දී ගන්නා අයගේ කේන්දරවලට ඒ ලක්ෂණ ගැළපෙනවාද? කුරු අලිද? සද්දන්ත කුලේද? වගේ දේවලුත් බැලුවා. කුරු අලි කොහොමත් ගන්නේ නෑ; නිදහස් කරනවා. ඉතින් ඒ අයත් ඇසින් දුටු සාක්කිකරුවෝ හැටියට කීවෙම මේ පනාමුරේ ඇත් රාජා කියලා හැඳින්වුයේ කෙණෙරක් කියලාම තමයි.’’
ඒ කෙණෙරක වුවද අලියකු වුවද මේ රටේ අලි ඇතුන් ගාල් කිරීමෙන් නිදහස් කරගැනීම සඳහා දිවි හිමියෙන් කළ තනි සටනේ කිරුළට හිමිකම් කියන සත්ත්වයාය. පනාමුරේ අරගල කළ සද්දන්තයාට වෙඩි තැබූ බව මෙරට පමණක් නොව පිටරටද වේගයෙන් පතළ විය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පවා එයින් සැලුණේය. සෝල්බරි සාමි වෙත වහා පණිවිඩයක් ලැබිණි. ඒ, වහාම ක්‍රියාත්මක වන පරිදි මින් මතු ලංකාවේ අලි-ඇතුන් අල්ලා ගාල් කිරීම හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් තහනම් කළ යුතු බවටය. මේ වන තුරුත් අලි-ඇතුන් ගාල් නොකෙරෙන්නේ පනාමුරේ ඇත් රැජනගේ සටන නිසාය. සමස්ත වර්ගයා වෙනුවෙන් ලද ඒ තීන්දුව ඇයගේ ආත්මයට සදා සැනසීම උදා කරන්නට ඇත.