මොලමුරේට අභියෝග කළ සද්දන්තයා | සිළුමිණ

මොලමුරේට අභියෝග කළ සද්දන්තයා

ගෙවුණු සතියෙන්....

පනාමුරේ අැත් ගාල පිහිටුවීමට මුල් වූයේ ‘නළියන දිය බුබුළේ’ පිහිටීමය. එහි දිය බොන්නට එන අලි-ඇතුන් වට කර අල්ලා හීලෑ කිරීම සඳහා අක්කර පහක-හයක පමණ කොටසක්ද, මුරණ්ඩු අලින් සඳහා ඇත් ගාල තුළම අක්කර බාගයක පමණ වෙනම සිර ගෙයක්ද වෙන් කර වැට කඩුලු ගැසිණි. ඊට පෙර කුරුණෑගල, තුන් කෝරලය ආදි තැන්වල බැඳුණු ඇත්ගාල්වලින් ලද තොරතුරු මෙයට පාදක වන්නට ඇත. මඩුවන්වෙල නිලමේ පළමුවරට ඇත්ගාලක් ඇරැඹුවේ 1889දීය. එය 1950 දක්වා පැවැතිණි. ඇත් ගාල පවත්වන සමයට එය නැරඹීමට එන රදළ පන්තියට වෙනම තාවකාලික බංගලා තනන අතර ඒවායින් සොල්දර සහිත බංගලාවේ කොටසක් ලෙස අඩි තිහක් පමණ උසැති පත්තිරිප්පුව අලි ඇල්ලීමේ වික්‍රමය සදහා නැරැඹුම් මධ්‍යස්ථානය විය. අලි වැට ඉදි කෙරුණේ පාංශුදේහධාරී පුරුෂයන් අතින් ගෙනෙන ලද විශාල ගස් කඳන් ආධාරයෙන් අැතකුට වත් සෙලවීමට නොහැකි අයුරිනි. අලි ඇතුන් කොටු වූ පසු උන් අල්ලා බැඳීමට පෙර තොවිලයක් කර, ඒ කටයුත්තේ යෙදෙන්නන්ට ආශීර්වාද කිරීම සිරිතක් විය. අල්ලාගත් අලි-ඇතුන් අතරින් හොඳ අලින් මඩුවන්වෙල නිලමේගේ වත්තේ බැඳීමට, හිතවතුන්ට දීමට සහ වෙන්දේසියට ගන්නා අතර, වැඩකට නැතැයි සිතන අලින් යළි කැලයට මුදාහැරීම සිරිත විය.

ජේම්ස් විලියම් මඩුවන්වෙල රටේරාලගේ වියෝවත් සමඟ 'කලවානේ දිසාපතිතුමා' නමින් හැඳින්වූ කලවානේ මැණිකේගේ සොහොයුරා කලක් පනාමුරේ ඇත් ගාල කරගෙන ගියේය. 'ඇඹිලිපිටිය වෘත්තාන්තය' පොතට අනුව ඔහු විසින් ඇත් ගාල හතර වතාවක් පවත්වාගෙන ගොස් තිබේ. ඔහුගේ මූලිකත්වයෙන් පළමු වන වරට ඇත් ගාලක් පැවැත්වුණේ 1929දීය. ඉන් පසු 1936 සිට වසර තුනකට වරක් බැගින් වතාවන් තුනකදී පනාමුරයට රොක් වන සෙනගට ත්‍රාසය, භීතිය මෙන්ම විනෝදය සපිරි අලි වෙන්දේසි උත්සවයක් පැවැත්වීමට කලවානේ දිසාවේ සමත් විය. ඔහු අවසන් වරට ඇත්ගාල පැවැත්වූයේ 1942දීය.

එහෙත් මඩුවන්වෙල රටේරාලගේ ඇබ්බැහියෙන් ප්‍රයෝජන ගෙන ඔහු බීමත් කොට මහා සාගරයක් තරම් දේපොළවලින් වැඩිම කොටස ලබාගැනීමේ උපායෙන් දිනුවේ ෆ්‍රැන්සිස් මොලමුරේ ඥාති පුත්‍රයාය. ඒ අතරම මඩුවන්වෙල පෙළපත් නාමයට උරුමකම් ලැබුවද මඩුවන්වෙල රටේ රාළගේ සැබෑ පියා ලෙස සැලකෙන මොලමුරේගේ පරපුරට නින්දගම් උරුම වීම පිළිබඳ මඩුවන්වෙලගේ අකැමැත්තක් පෙනෙන්නට නොවිණි. ඒ නිසා මේ ලාභදායී අලි සෙල්ලමේ අයිතියද තමන්ට පවරාගැනීම මැනැවැයි ෆ්‍රැන්සිස් මොලමුරේ කල්පනා කළේය. මේ වන විට කොළඹ හොඳින් ඇසුරු කරමින් දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව තිබීමද ඔහුගේ සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු කරගැනීමට මනා පිටිබලයක් සැපයීය. කලවානේ මාමා පසුබැස්සේය. මොලමුරේ සිය බලපරාක්‍රමය පතුරුවමින් අලි ගාල ඇරැඹීය. ඒ කලවානේ දිසාවගේ අන්තිම අලි ගාලෙන් වසර හතරකට පසුවය.

මඩුවන්වෙලගේ හෝ කලවානේගේ අලි ගාල්වලට වඩා මේ අලි ගාල පැවැත්වීමේ මුහුණුවර වෙනස් එකක් විය. කලින් මඩුවන්වෙල වලව්වෙන් සැපයූ හාල් තුනපහ ආදිය වෙනුවට මෙවර හාල් කරවල ඇතුළු සියලු ආහාරපාන ආදිය ගෙන ආවේ කොළඹිනි. එපමණක් නොව; වෙනදාට වැල් යොදා බැඳි ගාලේ කණු මෙවර කොළඹින් ගෙනා ලනු යොදා ගැටගසන්නට උපදෙස් ලැබිණි.

පළමුවරට ෆ්‍රැන්සිස් මොලමුරේගේ ප්‍රධානත්වයෙන් කෙරුණු ඇත් ගාලේ වික්‍රමාන්විත දර්ශන නැරැඹීමට මෙන්ම සංවිධාන කටයුතුවලටද අනෙක් දිසාපතිවරුන්ගේ සහාය නොමඳව ලැබිණි. සුපුරුදු පරිදි ජලය හිඟ කාලය බලා නැකතට ගාලේ මුල් ඉන්න මොලමුරේ අතින් සිටුවා සියලු කටයුතු නිසි අයුරින් සිදු වූයේ සියලු දෙනාට අලි ගාල් බැඳීම පිළිබඳ නව අත්දැකීමක්ද එක් කරමිනි. එයින් ලද ආදායම, ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය මෙන්ම බුහුමන ඊළඟට එළැඹෙන වසර තුනක කාලයේදී තවත් අලි ගාලක් බැඳීමට මොලමුරේගේ සිත උනන්දු කරවන්නට සමත් විය. එකල විසූ විදේශිකයන් අලි ගාල හැඳින්වූයේ 'එලිෆන්ට් ක්‍රාල්' යනුවෙනි. එයට එක් හේතුවක් නම් ඔවුන්ට 'ගාල' යන සිංහල වචනය විෂයය නොවීම විය හැකිය. තවත් හේතුවක් වනු ඇත්තේ මධ්‍යම සහ දකුණු අප්‍රිකාව වැනි ඔවුන්ගේ යටත්විජිත පාලනයට නතු වූ රටවල පිහිටි ඈත එපිට දුෂ්කර ගම්මානවල කුඩා ප්‍රජාවන් සහ සතුන් ඇති කරන කොටු හැඳින්වීමට ඒ නම භාවිත කිරීමය.

කෙසේ හැඳින්වුවද සිදු වන්නේ එකම දේය. පළමුවර අලි ගාලේ සාර්ථකත්වය නිසා ඉන් වසර තුනකින් පසු -එනම්: 1949දී- යළිත් අලි ගාලක් පැවැත්වීමට ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ තීරණය කළේය. එය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතුය. ඒ සාමාන්‍ය නරඹන්නන්ය. එහෙත් ආරාධිතයන්ට එසේ නැත. මෙවර අලි ගාල නැරඹීම සඳහා පැමිණි අමුත්තන් වූයේ එදා ඉංග්‍රීසි ආණ්ඩුකාර සෝල්බරි සාමි, හමුදාපති රෝස්, මඩුවන්වෙලට ප්‍රතිකාර කළ වෛද්‍ය ආර්.එල්. ස්පිට්ල් ආදීන්ය.

'පනික්කියන්' නැත හොත් 'පනිත්තිලයන්' ලෙස හැඳින්වූ අලි ඇල්ලීමෙහි ප්‍රවීණයන් කාර්යක්ෂමව තම කටයුතුවල යෙදෙනු පෙනේ. වල් අලින් කොටු කිරීමට හීලෑ අලින් දා හතර දෙනෙක් සූදානමින්ය. ඇත් ගොව්වන් තමන්ට නිසි අණ ලැබෙන තුරු සිටින්නේ හීලෑ අලින්ට අණ නිකුත් කිරීම සඳහාය. සුපුරුදු පරිදි ත්‍රාසය භීතිය කැටි කරගත් චිත්‍රපටයක් මෙන් අලි ඇල්ලීම ඇරැඹිණි. දින කිහිපයක් යන තුරු සියලු නරඹන්නන් විමතියෙන් බලා සිටියේ මෙවර අලින් කී දෙනකු ගස් බැඳගැනීමට පනික්කියන් ඇතුළු නින්දගම් වාසීන් සමත් වේද කියාය. අවසානයේ ගස් බැඳි අලින් සංඛ්‍යාව නිවේදනය කෙරිණි. ඒ විසිහයක් බවය. විසිහත් වැනියා මුරණ්ඩුය. ඌ හීලෑ අලින්ට පිඹියි; කුංචනාද කර තර්ජනය කරයි; 'තමන් අල්ලන්න එන්න එපා!' කියන්නා සේ මහ පොළොව කලඹා දූලි නංවා හොඬය හකුළා කන් පළල් කර බලයි. පෙනුමේ හැටියට දඩබ්බරයා අඩි නවයක් පමණ උසය; වයස විසිපහක පමණ නාහෙට නාහන නාඹර වයසේය. පනිත්තිලයන් සියලු දෙනා මේ සද්දන්තයා වටේය. අලි මන්තරකරුවන් දන්නා සියලු මන්තර මැතිරුවද ඒ කිසිවක් මේ සතාට දැනෙන්නේ වත් නැත.

අලි වැට ළඟට යන විට හෙල්ල පහරවල උල් මාංසපේශි පසාරු කරයි. එය ඉවසුවද දැරිය නොහැක්කේ ගිනිමැලවල සැරය. ජවය මොහොතකට හෝ සිඳී ගිය හොත් යළි පණ ගන්වන්නට දිය බිඳක් පේන මානයක් නැත. නියඟයෙන් ඉරිතැළී ගිය ඈතක සිට පැමිණියේ 'නළියන දිය බුබුළේ' දිය කෙළිමින් පිපාසාව සන්සිඳුවාගැනීමට මුත් කිසිදු මිනිසත්කමක් නැති මේ මිනිසුන් තම වරිගයාගේ අපේක්ෂාවන් සුනුවිසුනු කර, තම-තමන්ගේ අභිප්‍රායයන් මුදුන් පමුණුවා ගැනීමට වසර ගණනක් තිස්සේ කරගෙන යන මේ දුෂ්ට ක්‍රියාව පිළිබඳ ඇති වූ කෝපය අන් කිසිවකින් සද්දන්තයා දුර්වල කිරීමට සමත් නොවීය. ඇතැම් විට කුඩා කල ගාලකින් වැඩක් නැති අලියකු ලෙස යළි වනයට මුදා හළ ගොන්නේ මේ සද්දන්තයාට අත්දැකීමක් තිබුණාදැයි කවුරු දනීද? තමන්ගේ වරිගේ උන් අල්ලා වහල්කමට දෙන්නට උදවු වන හීලෑ අලි දකින මේ චණ්ඩයා උන්ගේ පස්සා ගාත් බිම ඇදී යන තුරු පහර දුන්නේය. තමන් සමඟ පැමිණි රැහේ අනෙක් උන් බැඳ ඇති ගස් පෙරළා දමා උන් බේරාගැනීමේ අරගලයක තනියෙන් නිරත වීමට තරම් සිතේ මෙන්ම ගතේ සවියක් සද්දන්තයා සතු විය.

බලා සිටින්නවුන් ලොමුදැහැගැන්වී සිටියේ කුමකින් කුමක් වේද? තමන්ගේ පණ බේරාගෙන ගම් රටවල් කරා ආපසු යන්නට ඉඩක් වත් මේ අලියා නිසා නොලැබේවිද යන සැකයෙනි. ඇත් ගාලේ අයිතිකරු වූ ෆ්‍රැන්සිස් මොලමුරේට මේ අලියා විශාල ප්‍රශ්නයකි. උගේ හැසිරීම නිසා අනෙක් සතුන්ද කුලප්පු වූ සෙයකි. එහෙත් ජව සම්පන්න මේ සතා අල්ලා හීලෑ කරගත හොත් එය වෙන්දේසියේ විශාල ජයග්‍රහණයකි. එහෙත් මේ අලි මිනිස් තරගයෙන් දිනීමට මිනිසාට ඇති සියලු අවස්ථා අහිමි කරමින් සද්දන්තයා සිය බලය තහවුරු කිරීමට තනයි. හීලෑ අලි අයිතිකරුවෝ තමන් සතු අලින් මේකාගෙන් පහර කෑම පිළිබඳ කනස්සල්ලෙන් පසු වන්නට වූහ. ප්‍රචණ්ඩත්වය වැඩි වත්ම පාංශුදේහධාරී පුරුෂයෝ පවා නින්දගම අතහරින්නට සිදු වුවත් ජීවිතය අතහැරීමේ බිය ප්‍රමුඛ වීම නිසා පසුබසින්නට වූහ. සටන්කාමියකු වෙනුවෙන් ගත හැකි තවත් පියවරක් මොලමුරේ තීරණය කළේය. ඒ මෙල්ල නොවී සිටින මේ සතාට පැන යෑමට ගාල් දොර හැර තැබීමයි. සමහර මිනිස් නායකයන් එසේ කළද මේ සද්දන්ත නායකත්වය ඒ නිවට පියවර ගත්තේ නැත. ඌ සටන් කළේ තමන් වෙනුවෙන් පමණක් නොව; තමන්ගේ සමස්ත වර්ගයා වෙනුවෙන් බව තහවුරු කරමින් පලා නොගොස් තව-තවත් රුදුරු වෙස් ගෙන පහර දෙන්නත් සටන් වදින්නත් වීය. ඒ නිසා ෆ්‍රැන්සිස් මොලමුරේටද අවසන් තීරණයක් ගැනීමට සිදු විය.

ඉතිරිය මතුවට...

Comments