
පිළිම වැඩමවීම
දළුග්ගලේ පන්සල බොහෝම පුරාණ ස්ථානයකි. මේ ස්ථානය පිළිබඳ පටබැඳිච්ච කතාන්දර බොහොමයකි. පන්සලේ ලොකුහාමුදුරුවෝ සිවුරු දාගත්තේ බොහෝම හීං සන්දියේ. ඒ කාලේ මහණ කොමට දරුවෙක් සාසනේට ඇතුළු කරන්නේ බොහෝම කැමැත්තෙන්. දැං වගේ යාන වාහන මහා මාළිගා තිබ්බේ නැතුවා.ඒ වුණත් මිනිසුන්ගේ මරණයකදී, දානෙකදී,පිරිතකදී පයින්ම වැඩල අවසන් කටයුතු කොන්නවා. ගමයි පන්සලයි ගහට පොත්ත වගේ හයිවෙලයි තිබුණේ. දැං වැඩ ඉන්න අලුත්ගම සරණතිස්ස හාමුදුරුවන්ගේ අප්පච්චී ගමේ ආරච්චිල ඇත්තෝ. ඒ කාලේ ගමේ ආරච්චිල කියන්නේ මහා තේජසක් ඇති ඕනෑ කෙනෙක් අංබාං කොරන්ට පුළුවන් හයි හත්තිය ඇති, හැම එකාම මුදුන නමන වැදගතෙක්. සරණතිස්ස හමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවෝ මුහමලේ ධම්මදස්සී හාමුදුරුවෝ.
මේ විහාරස්ථානේ පුරාණ පන්සලක් හින්දා හුඟක් බඩු මුට්ටු, පැරණි පොත්පත් ඕනෑ තරම් තියෙනවා. එක එක සැම්පලේ පිළිම වහන්සෙත් වඩම්මල තියෙයි. ගමේ උදවිය පන්සලට පුජා කොරාපු එව්වා. තඹ, පිත්තල විතරක් නෙවෙයි රිදියෙන් රත්තරනින් තනවාපු පිළිම වහන්සේත් තියෙනවා. මේ පන්සලට පුජා කොරන වටිනා කොමක් ඇති පුජා භාණ්ඩ පන්සලේ නායක හාමුදුරුවන්ගේ ලැගුම් ගේ ලී අල්මාරියක තමයි තියෙන්නේ. එහෙම තිබ්බට කවුරුවත් මෙව්වට අත ගහන්නේ නැතුවා. ඔය අල්ල පනල්ලේ අලුත්ගම පොඩි හාමුදුරුවොත් පොඩි නමක් හින්දා ළඟපාත “හීං එවුං පන්සලට එන්ට තියාගත්තා.ලොකු හාමුදුරුවෝ ඉතින් ඒකට අරෝවක් නොකර හිටියේ “හීං එවුං හිං එවුන්ට එකතු පාදයි නෙවැ”කියලයි. මේ හීං එවුං අතරේත් නානාප්පකාර පැටව් ඉන්නවා නෙවැ.
හීං අප්පු පංසල් බවුංඩරෙං එපිට ඉන්න ගොබිලෙක්. දරුවොත් හතර පස්දෙනෙක් පවුලේ හිටියාට මේකා හරි හමං කරුමාන්තයක් කොරනවා එහෙම නෙවෙයි. ඔය ළඟපාත වත්තකට පැනල කොස් ගෙඩියක් පොල් ගෙඩියක් හොරෙං කඩන එක හීං අප්පුවා හිරිකිත නැතුව කොන්නවා. පස්සෙං පහු මේකා මහවට හොරකං කොරන්ටත් තියාගත්තා. ආරච්චියට අහු වුණත් සුමානෙ හමාරෙ දඬ කඳේ ගහල තියෙනවා. ඒත් ඉතිං කෝරාලට බාර දෙන්නේ නැතුවා. සමහං කොරා දානවා. එහෙම කෝරාලට බාර උණොත් එව්වා ගෝරමේන්තුවට රපෝර්තු වෙනවට ආරච්චිල මනාප නෑ. මේ හිං අප්පුවගෙ පැටිපස් පරාණයක් රකින්නේ කවුදෑ කියල විතරක්ම නෙවෙයි ඒක ආරච්චි පයිංඩේ කරන තමුන්ටත් යාදෙන්නෙ නැති කාරියක් නෙවැ.
හිං අප්පුවගෙ පවුලත් ඔය ගොයිතැන් කාලෙට අහල පහල ඇත්තංට උදව් පදව් කොරල දීල වී ඉස් පෙට්ටියක් දෙකක් උපයා ගන්නවා. ඒ වගේම ඒ ඇත්තී පන්නං කොරන්ටත් දස්සී. පන්සලේ සිල් ඇත්තංට ඉඳගන්ට ගල් ඇහැ පැදුරු හත අටක්ම පන්නං කොරාදීල තියෙනවා. සිල් ඇත්තෝ එව්වා නිකම්ම ගන්නේ නැතුවා. කීයක් හරි රනීගෙ අත මිට මොළවනවා. පෙළක් වෙලාවට අර අසමජ්ජාතියා ඒකත් ගෑනිට මට්ටු කොල්ල උදුරාගෙන යනවා හුදු කෙළින්ට . අප්පුවානං හරිම පුබ්බඩයෙක් කියලයි නායක හාමුදුරුවෝ කියන්නේ. එහෙව් එකාගෙ ලොකු කොල්ලට ගෝලු ගන්නේ නැත්තේ හීං එකෙක් හින්දා යි. මේකට කියන්නේ ජයසේන කියලයි. ජයසේන ගෙදර ගිහිං රාත්තිරියේ අම්මා උයන තැනට වෙලා පංසලේ පට්ටංතරේ ඇදබානවා. පොඩි හාමුදුරුවොත් එක්ක කිසිම වහපිහියක් නැතුව, පංසල මුළුවස්සං ඇවිදිනවා.
ඒක මේක අදිනවා. නායක හාමුදුරුවෝ නොහොල්මනාම හිටියට ඇහැප්පිට ඇහැක් තියාන හොඳ හෝදිසියෙන් ඉන්නේ. මොකදෑ නයාගෙ පැටිය නයි පැටියෙක් මිසක් හිකනලෙක් වෙනවායැ කියල.
ජයසේන උයන ගේ දී අම්මත් එක්ක පංසලේ සුරප්පට්ටුව කියන කොට හීං අප්පු කොඩුවාවේ පිලේ ඉඳගෙන කන්දීගෙන ඉන්නවා කොනක් අල්ලා ගන්ට. පන්සලේ අල්මාරිඔල තියෙන බඩු මුට්ටු ගැන කියනකොට මේකගෙ හොර හිත ඉලිප්පිලා එනවා. හිං සීරුවේ කොල්ලා ළඟට කිට්ටු කරගෙන එව්වා තියෙන තැං සහසුද්දෙන්ම අහගන්නවා.
දැන් හීං අප්පුවා පන්සලට යාංවෙන්ට උප්පරවැට්ටියක් හොයනවා. ඔය අව් අස්සේ පොල් කඩන්ට පන්සල් වත්තට අාපු තිලකරත්න නුවර පැත්තේ පන්සලක ඇබිත්ත කොමට ගිහිං පොල් කඩන්ට කෙනෙක් නැතුව ගස්වල ඉති දෙක තුන වේළිලා. ජයසේනෙග අත්වැලෙං හීං අප්පු පන්සල් වත්තේ පොල් කඩන රාජකාරියට පත්වෙච්චි. පරණ විහාරයේ ලොකු පිළිම වහන්සේ ළඟ පොඩි පිළිම වහන්සේ කීප නමක් තැම්පත් කොරල තියෙනවා දැක්කා. දාන මාන ආවතේව කරන නිසා උදේ හිටං දවල් දවසම විහාරයේ දොර ඇරල. මෙපමණ කාලයක් මේකට හොරෙක් අාවේ නැති හින්දා හැකේකුත් නැතුවා. මොන කරමේකින් හරි හිං අප්පුවා විහාරයේ තිබ්බ පොඩි බුදු පිළිම තුන හතරක් හොරකං කරගෙන ගිහිං හීංහැරේ විකුණා ගන්ට ගෙයි පැදුරු ආනේ හංගා තිබ්බා.
පස්සෙන්දා උදේ බුද්ධ පුජාව තියන්ට යද්දී අලුත්ගම හාමුදුරුවන්ට මේ බුදු පිළිම නැති බව තේරුණා. හනිකට ගෙහුං ලොකු හාමුදුරුවන්ට දැනුං දුන්නා. අවිස්සාසෙකට තියෙන්නේ පොල් කඩන්ට ආපු හීං අප්පු විතරයි. නායක හාමුදුරුවෝ ආරච්චිලාට මේක රපෝර්තු කොරාපි. දන්න කියන මේකා ගනුදෙනු කරන කඩවල් ඔලිං ඇහුං බැලුං කෙරුවට හෝඩුවාවක් නැතුවා. ආරච්චිලා දන්නවා මේකා තවම මේ පිළිම විකුණලා නැති වග. හැන්දෑ කොරේ ගමේ සයිරි විරිය ඇති ගොබිලෝ දෙතුන් දෙනෙක් එක්ක අාරච්චිලා ගියා හීං අප්පුවාගේ ගෙදෙට්ට. කොහොමිං හරි ආරච්චිලා එන බව දැනිච්චි හිං අප්පුවා ගෙදරින් මඟ හැරියා. රනි දන්නවා ගෙයි පැදුරුවානේ පිළිම හංගා තියෙන වග. ගොමං අඳුරත් ගෙට එනවා. වෙන කොහේවත් මෙව්වා ගන්නල එතනිං වෙන එකෙක් ඇන්න ගියොත් කියන සාංකාවත් හිතේ. රනී මොකදෑ කොරන්නේ ගෑනු මොළේ ඉලිප්පිලා විජහට වතුර මුට්ටියට, අර බුදු පිළිම ටික වැඩම කොරා. දැන් මුට්ටිය නෑඹිලියෙන් වහල ළිප උඩ වතුර පැහෙනවා.
ආරච්චිල එන සද්දෙට කොල්ලෝ එළියට දාල රනී ළිප ළඟ ඈදීගෙන ඉන්නවා. ආරච්චිලා සැරට අහනවා හිං එකෙන්ගෙන් “කොයි තොපෙ අප්පා” කියලා. අප්පච්චී අකුලට රිංගුවා කියද්දී ආයෙම ආරච්චිල අහනවා “කොයි තොපෙ අම්මා” කියලා.
හීං එවුං එක පාරටම කියාපි “ අම්මා ළිප ළඟ බුදු පැටව් තම්බනවා” කියල. ආරච්චිල වෙලා තියෙන සංගදිය වැටහුණා. උන්දෑ අර එක්ක ආ ගොබිලන්ට කිව්වා හීං අප්පුවට වැඩිය ඈත යන්‍ට කල් වේලා නැතුවා. අකුලේ නුග ගහ කිට්‍ටුව වහං වෙලා ඇති කුදලාගෙන වරෙව්.” කියල. ඉලංදාරි හීං අප්පුවා අල්ලාගෙන ආපි රනීට “ළිප උඩ තියෙන මුට්ටිය ඇන්න වර, ඇවිත් තියාපිය මේකගෙ ඉස් මුදුනේ” කියල කිව්වේ නැතෑ. රනිත් වෙව්ලා වෙව්ලා කඩමල්ලකින් හුම්මයක් තනල අර රත්වෙච්චි මුට්ටිය හීං අප්පුවගෙ ඉස උඩ තිබ්බා. ඔය සරම අබුඩ ගහගං. දැං ගම මුළුවස්සේං ඇවිදල “ පන්සලේ බුදු පිළිම හොරා මං තමයි. ආය පණ තියෙනකල් කිසිම දෙයක් හොරකං කොරන්නේ නෑ” කිය කියා ගොහිං පන්සලට යමං කියල ආරච්චිල ඉස්සර වුණ. පන්සලට ගොහුං පිළිම වහන්සේ බාර දීලා නායක හාමුදුරුවන්ගෙන් සමාව අරගෙන ආපසු පිටත් කෙරේ මඩු වලිගෙනුත් තළලයි.
යමුනා සමරදිවාකර
ගුරු සේවයේ රස කතා
මංමුළා වූ මවුලානා
මම හා මගේ මිතුරෙක් 1960 දශකයේ මුල් භාගයේ දී වවුනියා දිස්ත්‍රික්කයේ අතිදුෂ්කර සිංහල පාසලකට පළමු පත්වීම ලැබූයෙමු. මෙම පාසලට පත්වීම් ලද ප්‍රථම උපාධි ගුරුවරුන් වූ අපි, අපගේ හැකියාව අනුව ගැමි දරුවන්ට විශේෂ සේවයක් කිරීමට තීරණය කර ගතිමු. වසර ගණනාවකින් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයක් පවත්වා නොතිබූ මෙම පාසලෙහි එවැන්නකට කටයුතු සංවිධානය කිරීම අපගේ ප්‍රථම ව්‍යායාමය විය.
ඒ අනුව සිංහල අවුරුදු නිවාඩුවට පසුව දෙවැනි වාරය සඳහා පාසල පටන්ගෙන දින පහකට පසුව එන සති අන්තයේ මේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වීමට සුදුසු බවත්, සිසුන්ගේ කුසලතා දැක්වෙන විවිධ ප්‍රසංගයකින් උත්සවය නිම විය යුතු බවත් වැඩිදෙනාගේ නිගමනය විය.
විවිධ ප්‍රසංගය විචිත්‍ර අංගවලින් සමන්විත විය. ඊට අයත්වූ ප්‍රධාන නාට්‍යය අප දෙදෙනා පුහුණු කළ අතර එයට පසුගිය ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන් වැඩි පිරිසක් යොදා ගන්නා ලදී. රජයේ කැලෑවකට හොරෙන් ඇතුළුවී හොරෙන් සතුන් දඩයම් කරන දඩයක්කාරයකු අනපේක්ෂිත ලෙස කැලෑ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමකට හසුවන ආකාරය දැක්වෙන ජවනිකාවක් මෙම නාට්‍යයට ඇතුළත්ව තිබුණි. මෙහි දඩයක්කරුගේ චරිතය නිරූපණය කළේ මවුලානා නම් මුස්ලිම් සිසුවෙකි. සමහර සිංහල වචන උච්චාරණය කිරීමේ විකෘති වීමේ උච්චාරණ දුර්වලතාවයක්ද මොහුට තිබුණි. එය මෙම චරිතයේ දෙබස් කීම සඳහා යෝග්‍ය හා අවශ්‍ය තත්ත්වයක් ද විය.
මෙම උත්සවයට පෙරදා සවස අපි පාසලේදී අවසන් පුහුණුවීම් කරමින් සිටියෙමු. ඉහත ජවනිකාවට අනුව කැලෑ ආරක්ෂක නිලධාරීන්ට අසුවන මේ දඩයක්කරුගෙන් ඔවුහු මෙලෙස ප්‍රශ්න කළහ.
“තුවක්කුවකුත් අරං උඹ මේ කැලෑවේ අවේලාවේ මොනවා කරනවද? හොරෙන් සත්තු දඩයම් කරනවා නේද?” යැයි විමසත්ම මෙම චරිතය රඟපෑ සිසුවා නිදහසට කරුණු ලෙස කිවයුතු වූයේ
“නෑ... නෑ... මං මුළාවුණා.... මං මුළාවුණා.... යන වචන පමණි. එහෙත් කලබලවූ ඔහු එකවරම නෑ... නෑ... මං මවුලානා” යැයි හඬ නගා කීය.
දෑත හිසේ ගසාගත් මගේ මිත්‍ර අනිත් ගුරුවරයා “කෑව කෑව වැඩේ කෑව මං මවුලානා නෙවෙයි අයිසේ... අපි දන්නවා තමුන්ගෙ නම, මං මුළාවුණා කියල කියනව. හෙටත් ඕකම කියයිද දන්නෑ. එහෙම වුණොත් අපේ සායම ඉවරයි” යනුවෙන් හඬ නැඟීය.
විශ්‍රාමික ආචාර්ය එඩ්වඩ්. බී. ගුණවර්ධන
අවිස්සාවේල්ල.
අභ්‍යවකාශයේ පන්ති
‘ලොග් පොත’ යනු එදා සිට ම පාසලේ ඇති වටිනා වස්තුවකි. පාසලේ මුල් ගුරුවරයා බාරයේ ඇති මේ පොත නම් ආරක්ෂා සහිතව, යතුරු දමා තබා ගන්නා, විස්මයජනක පොතකි. අවශ්‍ය අනවශ්‍ය හැම දේම ලියන ලොග් පොතේ කෙටි සටහන් ලිවීමට තිබුණත් ඇතැම් විදුහල්පතිවරු, පරීක්ෂකවරු, අධ්‍යක්ෂවරු පිටු ගණන් ලියති. ඒවායේ කිසිම පසු විපරමක් නැති අතර සිදු වනුයේ සාහිත්‍යයට යම් යම් දේ එකතු වීමක් පමණි.
මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක මුල් ගුරුවරයකු වරක් තම උපන් දිනයට (54) අඹ පැළ දහයක්, කොස් පැළ අටක් පොල් පැළ හතරක් සහ තැඹිලි පැළයක් සිටුවා ඇති බව ලොග් පොතක සටහන් කර තිබිණි. ඇත්තටම ඔහු අදහස් කළ පරිදි ඒවායේ පල වසර ගණනාවක් ගිය පසු ගුරුවරු වූ අපිත් ඒ පළාතේ පාසල් දරුවනුත් කෑමට ගතිමු.
තවත් වරෙක මෙබඳු සටහනක් විය.
‘...... පාසලේ පැවැත්වෙන සේවාස්ථ පුහුණුවකට ............. නමැති ගුරුවරිය පිටත් කරන ලදී. දහයට පමණ එම පුහුණුව නැති බව කියමින් ඇය ආවාය. රජයේ වැඩ ‘අදෝමැයි’.’
ඒ කාලයේ පාසල්වල වාර්ෂික පරීක්ෂණයක් පාඨශාලා පරීක්ෂකවරයා විසින් පවත්වනු ලැබේ. එදින වන විට පාසල් වත්ත, ගොඩනැඟිලි පිරිසුදු කර කළු ලෑලි රූල් ගසා කළු කර, ගල් ලෑලිවල රූල් ගසා නාම ලේඛන පිළිවෙළට සම්පූර්ණ කර තබනු ඇත. මහේශාක්‍ය ලීලාවෙන් පාඨශාලා පරීක්ෂක පාසලට ගොඩ වෙයි. පාසලේ සිසුහු හා ගුරුවරු ආ...යු...බෝ...ව...න් කියා ඔහු පිළි ගනිති. ඔහුගේ පරීක්ෂණ අවසන් වූ පසු මුල් ගුරුවරයාගේ ගෙදර ගුරු මණ්ඩලයට සහ පරීක්ෂකවරයාට දිවා භෝජන සංග්‍රහයකි. සමහර විට මහා පාන ද නැත්තේ නොවේ. ඉන් පසු ගුරුවරුන්ගේ සහතික පත්‍රවල ‘දුර්වලයි, සතුටුදායකයි, ඉතා සතුටුදායකයි’ යනුවෙන් සහතික කොට ලොග් සටහනක් පිටු දෙකින් පමණ ලියනු ඇත.
වරක් මම උතුරු කොළඹ පාසලකට අධ්‍යාපන ඩිප්ලෝමා අපේක්ෂක ගුරුවරියකගේ ප්‍රායෝගික ඉගැන්වීම් අධීක්ෂණයට ගියෙමි. එදා පාසලේ අල්මාරියක මීයන් සිටි නිසා ලොකු ළමයින් සමඟ කාර්යාලය අස් කරයි.
‘සර්... ඔන්න හොඳ ලොග් පොතක් තියෙනවා, මිස් පාඩම සූදානම් කරන තෙක් කියවන්න’ මම එක් ලොග් පොතක අපූරු සටහනක් කියැවූයෙමි.
‘පාසලේ ප්‍රධාන තුමා ඉතා හොඳින් රාජකාරිය කරයි. ඔහුට අනෙක් ගුරුන්නාන්සේද උදවු කරයි. වත්ත හොඳට වවා ඇත. පාසලේ පන්තිවලට ඉඩ ඇත. මුල් ගුරුවරයා පන්ති දෙකක් අභ්‍යවකාශයේ පවත්වනවා දැක්කෙමි. තාවකාලික පොල් අතු සෙවණින් කරන ගොඩනැඟිල්ලක් හෝ දුන මැනවි. පාසලේ වැඩ සතුටුදායකයි. වාර්ෂික වාර්තා රැගෙන යන්නෙමි.
අත්/ පාඨශාලා පරීක්ෂක
විශ්‍රාමලත් විදුහල්පති
ඩී. සී. ද සිල්වා
පසුගිය සතියේ මැණික් රසකතාව ලියා එව්වේ උඩනිරිඇල්ල සිරිසේන හෙට්ටිගේ මහතා විසිනි