ගුරුවරයා නම් උත්තම පුරුෂයෙක්ලු | සිළුමිණ

ගුරුවරයා නම් උත්තම පුරුෂයෙක්ලු

දඬුවම් දීමෙන් පමණක් ශිෂ්‍යයකු පාලනය කළ නොහැකිය. හුදෙක් ‘විනය’ යන වචනය තුළම නොරැඳී තම සිසුන් හා පාසල පිළිබඳ ප්‍රායෝගික දැනුවත් බවක් ගුරු සේවයට අවශ්‍යමය.

ප්‍රංස ජාතික ගත්කතුවර ජැක්වින් රූසෝගේ ළාබාල පුතු එමිල් ගැසූ බෝල පහරකින් නිවෙසේ ජනේලයක වීදුරුවක් බිඳිණි. දවල් දවසම ගත වුවද වරදට දඬුවම් දීමක් ‍සිදු ‍නොවිණි. රාත්‍රී නින්දට යෑමේදී රූසෝ “පුතා අද ඔයා මෙතන නිදාගන්නැ” යි බිඳුණු වීදුරු සහිත ජනේලය අසල ඇඳ පෙන්වීය. මැදියම් රාත්‍රිය වන විට එමිල්ට දරාගත නොහැකි තද සීතලෙන් සිරුර ගැහෙන විට ඔහු අතින් සිදු වූ වරද මතක් විය.

මේ අතීත සිද්ධිය අපට සිහි වූයේ පසුගියදා මඩාටුගම අහිංසක පාසල් දැරියකගේ ජීවිතය විනාශ මුඛයට ඇද දැමීම සම්බන්ධ සිද්ධිය හේතුවෙනි. දෛවයේ ආශීර්වාදයෙන් එම දැරියගේ ජීවිතය රැකුණ ද මේ වන විට ඒ සිද්ධිය හේතුවෙන් බොහෝ දෙනා කම්පාවට පත්ව ඇත. ඉදිරියටත් මෙවන් අභාග්‍ය දේ අසන්නට නොලැබෙන තත්ත්වයක් පිළිබඳව පුරවැසියන් වශයෙන් අප සිතට ගත යුතුය. මඩාටුගම යනු අගනුවරින් සෑහෙන දුරක පිහිටි යටිතල පහසුකම් ද හිඟ ගම් ප්‍රදේශයකි. අදාළ දැරියගේ දෙමවුපියන් දරිද්‍රතාව මත යන්තම් දිවි රැකගෙන ඇත. දුප්පත්කම කොතරම්ද යත් මේ දැරිය උදේ පාසල් විත් ඇත්තේ නිරාහාරවය.

කුසට අහරක් නැත ද ආමාශයික ඕජස ක්‍රියාත්මකය. ඒ අනුවය ඇයට වමනය ගියේ. “අනේ මං උදේට කෑවෙ නෑ. කන්න දෙයක් නෑ” කීමට ඇයට අවස්ථාවක් නැත. එවැන්නක් පිළිබඳ සොයා බැලීමට, විමසීමට අයෙක් ද නැත. එහෙත් ඒ අහිංසක දැරිය පිළිබඳව ක්ෂණිකව සාවද්‍ය ලෙස තීන්දු තීරණ ගෙන ඇගේ ජීවිතය ප්‍රපාතයට හෙළීමට ගුරුතුමියට හැකි විය. ඇත්ත වශයෙන්ම ගුරු වෘත්තිය යනු එවන් ක්ෂේත්‍රයක් ද? එයයි අපගේ ප්‍රශ්නය. කිසිදු වෛද්‍ය පරීක්ෂණයකින් තොරව තම සිතිවිලි මත පමණක් මේ දැරිය පාසලින් පිටුවහල් කිරීමට තරම් හැකියාවක් විදුහල්පතිනියකට ඇත්ද? ගුරු වෘත්තිය යනු එතරම් හෑල්ලුවට ලක් වන්නක් ද. එම දැරිය ගැබිනියකැයි කිසිදු ශාරීරික ලකුණක් නැති බැව් වෛද්‍ය වාර්තා මඟින් හෙළි වීම භාග්‍යයකි. එහෙත් ඒ වන විටත් එම දරුවාගේ පාසල් ජීවිතය ද නතර කරමින් චරිතය ද විනාශ වී ඇත. මෙවන් තීන්දු තීරණ ගැනීමෙන් තාමත් ළමා වියේ සිටින ඒ දැරියගේ අනාගතය කෙබඳු විය හැකිද? පාසලේ සිදු වන සොරකමක් වැනි දෙයක් සම්බන්ධව යම් යම් සාක්ෂි මත ශිෂ්‍යයකු සැක කිරීම සාමාන්‍යය. එහෙත් මෙතරම් සාහසික දරුණු තීරණයක් ගෙන ක්‍රියාත්මක වීම ගුරුවෘත්තියට අකැප බව කිව යුතුද?

මේ මඟින් අප අදහස් කරනුයේ ගුරු සේවාව එහෙම පිටින් ම හෙළා දැකීමක් නොවේ. දෙමවුපියන් වැනි ගුරුවරුන් නැතුවා නොවේ. එහෙත් මේ වන විට ඒ වෘත්තියේ ගෞරවය කෙලෙසෙමින් පවතියි. යහපත් පුරවැසියන් බිහි කිරීමේ කාර්ය භාරය සම්පූර්ණයෙන් පැවරෙනුයේ ගුරුවරයාටය. දරුවාට පාසල, අධ්‍යාපනය එපා වන තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථා ද නොයෙක් විට අප දැක ඇත. ළමයකු යනු මිනිසෙකුගේ අඩක් නොවේ. එබැවින් ළමයාට පාසල ප්‍රියජනක ස්ථානයක් විය යුතුය. පන්ති කාමරය සිර කුටියක් නොවිය යුතුය. ළමයෙකුගේ සහජ දක්ෂතා, කුශලතා හඳුනාගත හැකි, එළිදැක්විය හැකි එකම ස්ථානය පන්ති කාමරයයි. එයට අවස්ථාව සලසා දීම ගුරුවරයාගේ සේවාවයි; යුතුකමයි. නැත හොත් සමාජයට ම පාඩුවකි. හුදෙක් විෂය නිර්දේශය අනුව ගොස් කටපාඩම් කිරීමේ ගිරා පෝතක න්‍යාය පාසලට නොගැළපෙන බව ගුරුවරයා දත යුතුය. ගුරුවරයාට වුවද පොතේ දැක්ම පමණක් ප්‍රමාණවත් නොවේ. බාහිර සමාජ දැනුමෙන් තොරව දඬුවම් දීමෙන් පමණක් ශිෂ්‍යයකු පාලනය කළ නොහැකිය. හුදෙක් ‘විනය’ යන වචනය තුළම නොරැඳී තම සිසුන් හා පාසල පිළිබඳ ප්‍රායෝගික දැනුවත් බවක් ගුරු සේවයට අවශ්‍යමය. ගුරු ගෞරවය රැකෙන පරිදි ශිෂ්‍ය ජීවිතය සැකසීමට එය අවශ්‍යමය. ආදි කාලයේ මෙන් දඬුවම් දීම මේ 21 වන සියවසට නොගැළපෙයි. ඒ අනුව ශිෂ්‍යයන් තුළ ස්වයං ශික්ෂණයක් ඇති කළ යුතුය. ඒ සඳහා මංපෙත් පෑදිය යුත්තේ ගුරුවරයාය. විනය නීති රීති තුළට ළමයා ඇතුළු කිරීමටත් වඩා ප්‍රායෝගිකව ඔහු තුළ යහපත් ඇවතුම්-පැවතුම් ඇති කිරීම වටනේය. එමෙන්ම තමන් යටතේ අධ්‍යාපනය ලබන දරුවන් පිළිබඳව විශේෂයෙන් ඔවුන්ගේ පවුල් පසුබිම පිළිබඳව සාමාන්‍ය අවබෝධයක්වත් ගුරු වෘත්තියට අවශ්‍යය.

පැරණි ‍හෝ වේවා අලුත් හෝ වේවා ගුරු ගෞරවයද රැකෙන සේ සිසුන් පාලනයට ක්‍රම සකස් විය යුතුව ඇත. යහ-පැවැත්ම සඳහා අවශ්‍ය මනුෂ්‍යත්වය ගරු කෙරෙන, ගුණ ගරුක සමාජයක් බිහි කිරීම ගුරු සේවාවේ කාර්ය භාරය බැවින් එය සිදු වුව හොත් මෙරට සැබෑ යහපත් පුරවැසියන්ගෙන් යුතු රටක් වනු ඇත. එසේ වුව හොත් මඩාටුගම දැරිය මුහුණ පෑ තත්ත්වයක් යළිත් උදා නොවනු නියතය.

ජේ. ශීලා වික්‍රමරත්න

Comments