
මම පළමුවෙන්ම පවත්වපු දේශනයට දරුවන් සහ මව්පියනක් හාරසීයක් පමණ පැමිණ සිටියා. මම දේශන අවසන් කළ විගස ඒ සැවොම මට හයියෙන් අත්පොළසන් දුන්නා. එදා තමයි මම මගේ ජීවිතයේ වැඩිපුරම සතුටු වුණු දවස
ගැටලුවක් කර ගැනීමට තරම් සුදුසු නොවන කාරණාවක් මුල් කර ගෙන නිකරුණේ ජීවිතය විනාශ කර ගන්නා තරුණ පරම්පරාවට සුලී කියා දෙන්නේ මුළු ජීවිතයටම ගත හැකි වටිනා ආදර්ශයකි. උපතින්ම උරුම වු දරුණු ආබාධිත තත්ත්වය හේතුවෙන් ඇයට සර්ව සම්පුර්ණ අත් පා හිමි නොවී ය. එහෙත් ඇය කිසි විටකවත් ඒ පිළිබඳව ළතැවී සිටියේ නැත. වර්තමානයේ සියල්ල සර්ව සම්පුර්ණව හිමිව ඇති බොහෝ දෙනෙකුට වඩා ජීවිතය පිළිබඳව ධනාත්මකව බලන්නී ය.
කොළොම්බියාවේ බෝගෝටාහි දී සුලී සන්ගුයිනෝ උපත ලැබී ය. Tera Amelia Syndrome නමැති දුර්ලභ ගණයේ අබාධිත තත්ත්වය සුලී හට උපත්තියේ දීම ඇතිවිය. එම නිසා සුලී වයසින් මුහුකුරා ගිය ද ඇගේ අත් පා වර්ධනය නොවීම හේතුවෙන් අනෙක් දරුවන්ට වඩා සුලීගේ බාහිර පෙනුම වෙනස්විය. සුලීහට සහෝදරයන් තුන් දෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු සිටින්නී ය. ඇගේ මව දැනට ආබාධිත දරුවන්ගේ සුභසාධන කටයුතු සිදු කරන ආයතනයක සහකාරිණියක් ලෙස සේවය කරන්නේ ය. සුලීට යම්තම් අවුරුදු දෙක සම්පුර්ණ වන විට දී ඇගේ පියා අහිමි විය . ඉන් අනතුරුව සුලීට මව සහ පියා වුයේ තම මෑණියන් පමණි.
"මම සෑම රාත්‍රියකදී ම නිදා ගන්නට පෙර දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ මට වැළදී ඇති මෙවැනි ආබාධිත තත්ත්වයක් මේ ලෝකයේ ජීවත්වන කිසිම කෙනෙකුට හට ගන්න එපා කියලයි." එලෙස ඇය පවසන්නේ තමන්ට අත්වුණු ඛේදනීය ඉරණම තවත් කෙනෙකුට අත්වනවාට තිබෙන බිය හේතුවෙනි.
"මම පාසැලට ඇතුළත් වු මුල් දවසේ දී එම පාසැලේ හිටපු ළමයි මා දෙස අමුතු විඳිහට බැලුවා. ගොඩාක් ළමයි හිතුවේ මම අමුතු ජීවියෙක් කියලයි. එදා මම මානසික ඇඳ වැටුණා. මම එදා හිතුවා මම හරිම අවාසනාවන්ත දරුවෙකු කියලා.අවුරුදු 15 දී එක්තරා දවසක් මට හිතුණා මේ වාගේ ජීවත් වෙනවාට වඩා හොඳයි සියදිවි හානි කර ගන්න එක කියලා. එහෙම හිතලා මැරෙන්න ඹ්න කියලා හිතුණ වේලාවේ දී මගේ පවුලේ සාමාජිකයොයි,යහළු මිත්‍රයින්යි මාගේ හිත හැදුවා. ඒ ගොල්ලෝ හැමෝම එකතු වෙලා මට ජීවිතයේ වටිනාකම කියලා දුන්නා".
සුලී අවුරුදු 18 වන විට දී කොළොම්බියා චිත්‍ර පාසලට ඇතුළත් විය. අනෙකුත් විෂය ක්ෂේත්‍රයන්ට වඩා ඇය ඇලුම් කළේ චිත්‍ර විෂයට ය. තමන්ගේ දෑත් නිසි ලෙස පිහිටා නොතිබුණ ද ලුසී තමන්ට හැකි උපරිම අන්දමින් චිත්‍ර ඇන්දා. එදිනෙදා ජීවිතයේ දී සිදු කරන සාමාන්‍ය වැඩ පල ලුසීගේ මව විසින් ඇයට ඉගැන්වීය. ඒ අයුරින් ඇයට තනිවම මුඛය සෝදා ගැනීම, මුහුණට මේ-කප් දැමීම, තමන්ගේ යහන නිවැරදිව සකස් කිරීම යනා දී ක්‍රියාවන් සිදු කළ හැකි විය.
අවුරුදු විසිපහ වන විට දී ලුසී දක්ෂ මාර්ගෝපදේශිකාවක් වුවා ය. වර්තමානයේ දී ඇය කාන්තා පෞරුෂත්වය, කාන්තා හිංසනය, සහ ප්‍රචණ්ඩත්වය හමුවේ දී කාන්තාව හැසිරිය යුතු ආකාරය, සහ නොසැලී සිටිමින් ජීවිතය ජය ගන්නා ආකාරය, සිතුවොත් කළ නොහැකි දෙයක් මේ ලෝකයේ නොමැති බව යනා දී ධනාත්මක චිත්නය අන්තර්ගත තේමාවන් යටතේ රටේ තරුණ තරුණියන්ට සහ මවිපියන්ට දේශන පවත්වන්නී ය.
"මම පළමුවෙන්ම පවත්වපු දේශනයට දරුවන් සහ මව්පියනක් හාරසීයක් පමණ පැමිණ සිටියා. මම දේශන අවසන් කළ විගස ඒ සැවොම මට හයියෙන් අත්පොළසන් දුන්නා. එදා තමයි මම මගේ ජීවිතයේ වැඩිපුරම සතුටු වුණු දවස. "
"මට අවුරුදු දහ නමය වෙද්දී මගේ පෙම්වතාව හිමි වුණා. ඔහුට මගේ ආබාධිත තත්ත්වය පිළිබඳව ගැටලුවක් වුණේ නැහැ. මගේ ජීවිතයේ අනාගත බලාපොරොත්තුව තමයි කවදා හෝ දිනක මගේ පෙම්වතාව විවාහ කරගෙන දරුවෙක් හදාගෙන ජීවත් වෙන එක. "
ඇයගේ ජීවිතයේ කොතරම් අඩුපාඩුකම් තිබුණ ද ඇගේ සිතේ පවතින ආත්ම ශත්තිය අඩු වන්නේ නැත. ඇය මුළු මහත් සමාජයටම උපදේශකවරියක් බවට පත්ව ඇත්තේ ඇගේ ශරීර අඩුපාඩුකම් සියල්ල අමතක කර දමමින් ය.සියල්ල හිමිව තිබුණ ද දිනපතා මැරී මැරී උපදින මිනිසුන්ට ආදර්ශයක් බවට පත් වෙමිනි.
තමන් වැනි අබාධිත තත්ත්වයේ සිටින පුද්ගලයින්ට ඇය වර්තමානයේ දී ජීවිතය දිනන මාර්ගය කියා දෙන්නීය. දෛවය විසින් මිනිසුන්ව නිර්මාණය කරන්නේ විවිධ අයුරිණි. එක් දෙයක් සුන්දරව නිර්මාණය කරද්දී තවත් දෙයක් අහිමි කරන්නේ ය. සුලීට ද සුන්දර මුහුණක් හිමිව ඇත. එහෙත් ඇයට අත්පා අහිමි කර ඇත. එසේ වුව ද වර්තමානයේ දී සුලී තමන්ට හිමි වු දෙයින් කම්පා නොවී සාමාන්‍ය මිනිසුන්ටත් වඩා ජීවිතය සාර්ථක කර ගෙන ඇත.
"මට අබාධිත තත්ත්වයක් තිබෙනවා. ඒ වුණත් මම කරන වැඩ රාජකාරිවලට මගේ ආබාධිත තත්ත්වය කිසි දිනක ගැටලුවක් කර ගෙන නෑ. මම නම් කියන්නේ ජීවිතය ජය ගන්න ඕනේ නම් ධනාත්මකව හිතන්න අවශ්‍යයි කියලයි."යනුවෙන් ඇය ප්‍රකාශ කරන්නේ මහත් අභිමානයෙන් යුක්තව ය.
අන්තර්ජාලය ඇසුරිණි
මදාරා මුදලිගේ