ග්‍රාමීය සංවර්ධනය හා ප්‍රතිපාදන ගසාකෑම | Page 2 | සිළුමිණ

ග්‍රාමීය සංවර්ධනය හා ප්‍රතිපාදන ගසාකෑම

 ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල බල ප්‍රදේශයක ග්‍රාමීය සංවර්ධන වැඩකටයුතු සම්බන්ධීකරණය කරන්නේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවයි. ඒ අනුව පාර්ලිමේන්තු හා පළාත් සභා මහජන නියෝජිතයන්ගේ විමධ්‍යගත අරමුදල්, විවිධ අමාත්‍යාංශ මඟින් සැපයෙන ප්‍රතිපාදන හා විවිධ ව්‍යාපෘතිවලට ලැබෙන ප්‍රතිපාදන මේ කමිටුවේ අනුදැනුම හා අධීක්ෂණය යටතේ වියදම් කරනු ලැබේ. බොහෝ විට එම ප්‍රදේශය තුළ රජයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තීන්දු-තීරණ ගන්නේ මේ කමිටුවේ දැනුවත් භාවයෙනි.

මේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නේ මහජන නියෝජිතයෙකි. එහි ලේකම්වරයා ප්‍රාදේශීය ලේකම්ය. එහෙත් සම්මුතික ආණ්ඩුව බලයට ඒමෙන් පසු කමිටු සභාපති ධුරයට මහජන නියෝජිතයකු නොවන නමුත් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් පත් කර තිබේ. ඊට අමතරව ප්‍රදේශයේ සියලු මහජන නියෝජිතයෝද රාජ්‍ය ආයතනයහි ප්‍රධානීහුද එම රැස්වීමට සහභාගී විය යුතුය. සම්බන්ධීකරණ කමිටුවේ ලේකම්වරයා ප්‍රාදේශීය ලේකම් වන අතර, කමිටුව කැඳවීමේ බලය ඇත්තේද ඔහුටය.

මේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ග්‍රාමීය සංවර්ධනය සම්බන්ධයෙන් අතිශය වැදගත් ආයතනයක් වුවද එය විධිමත් ආකාරයෙන් ස්ථාපිත කර නැති නිසා යන්ත්‍රණයේ අඩු-පාඩු පවතී. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍ර ලේඛයකට අනුව මේ කමිටුව ස්ථාපිත කර තිබුණද එහි යන්ත්‍රණය, ක්‍රියාකාරිත්වය හා තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් වූ කිසිම වැඩිදුර විස්තරයක් එහි අඩංගු නොවේ. එනිසා ප්‍රාදේශීය සංවර්ධනයේදී අතිශය වැදගත් වුවද මේ කමිටුව කියාත්මක වීම සිදු වන්නේ විධිමත් බලයක් හා වැඩ කිරීමේ ව්‍යූහයක් සහිත ආයතනයක් ලෙස නොවේ.

සාමාන්‍යයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අනුයුක්තව අතිවිශාල ක්ෂේත්‍ර නිලධාරීහු පිරිසක් සිටිති. ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී ඇතුළු පිරිසක් ඒ ඒ විෂයන්ට අදාළව රජයේ නියෝජිතයන් ලෙස එක ගමකට අනුයුක්තව සිටී. ඊට අමතරව විවිධ විෂයයන් නියෝජනය කරන අතිවිශාල ක්ෂේත්‍ර නිලධාරීහු පිරිසක් සිටිති. එසේම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයකට අනුයුක්ත තාක්ෂණික නිලධාරියකු හෝ දෙදෙනකු හෝ සිටින අතර අදාළ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට අනුයුක්තවද තාක්ෂණික නිලධාරීහු සිටිති. ප්‍රාදේශීය සංවර්ධන කමිටුවක යන්ත්‍රණය සකස් වී ඇත්තේ මෙම නිලධාරීන්ගෙන් වන අතර කමිටුවේ මෙහෙයුම් කාඩරය වන්නේද ඔවුහුය.

ඊට අමතරව ප්‍රාදේශයේ පළාත් පාලන ආයතනය මගින්ද ග්‍රාමීය සංවර්ධනයට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. ඒවායේ බලධාරියා වන්නේ පළාත් පාලන ආයතනයන්හි විධායක නිලධාරියාය. බොහෝ විට ප්‍රාදේශීය සභාවක නම් එහි සභාපති, නගර සභාවක නම් එහි සභාපති හා මහා නගර සභාවක නම් නගරාධිපති ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලධාරියා වේ.

මේ සියලු කටයුතු අධීක්ෂණය මෙහෙයවීම හා ක්‍රියාත්මක කිරීම සිදු කරන්නේ ප්‍රාදේශීය ලේකම්ය. ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සැලසුම් විෂයයට අදාළ සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රාදේශීය මහ ලේකම් වෙනුවෙන් මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ විෂයය භාර මාණ්ඩලික නිලධාරීයාය. මූලිකම ප්‍රශ්නය වන්නේ මේ කිසිම තනතුරක සිටින රජයේ නිලධාරියකු ග්‍රාමීය සංවර්ධනය සම්බන්ධයෙන් විෂය දැනුමැති නිලධාරීන් නොවීමයි.

ප්‍රාදේශීය ලේකම්වරයා පරිපාලන විෂයය පිළිබඳ රජයේ නිලධාරියා වන අතර, ඊට පහළින් සිටින කිසිවකු ග්‍රාමීය සංවර්ධනය සම්බන්ධයෙන් අවම වශයෙන් විශේෂ පුහුණුවක් හෝ ලබා නැත. සමහර රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට ග්‍රාමීය සංවර්ධනයට අදාළ පශ්චාද් උපාධි තිබුණද එය අහඹුවකි. එහෙත් ග්‍රාමීය සංවර්ධනයේ යන්ත්‍රණය සවිමත් කිරීමේදී විෂයය පිළිබද දැනුම සැලකිල්ලට ලක් කර නැත. දීපව්‍යාප්ත සේවයට අයත් ශ්‍රී ලංකා සැලසුම් සේවයේ සහකාර අධයක්ෂවරුන් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්තව සිටියද ඔවුන් කරන්නේ ව්‍යාපෘති සම්බන්ධයෙන් අධීක්ෂණ ක්‍රියාවක් පමණි.

ශ්‍රී ලංකා සැලසුම් සේවය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වූ වගකිව යුතු දීපව්‍යාප්ත සේවාවකි. ඔවුන්ට විෂයය පිළිබද ප්‍රමාණික දැනුමක් තිබිය යුතුය. එහෙත් ඔවුන් බඳවාගත් දින සිට සංවර්ධන කටයුතු අධීක්ෂණය හා වාර්තා සකස් කිරීම වැනි ගොනුගත රාජකාරීවලට සීමා කිරීම මිස සංවර්ධන කටයුතු සැලසුම් කිරීම, මෙහෙයවීම, අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ පුළුල් විෂය දැනුමකින් ඔවුන් සන්නද්ධ කරන්නේ නැත. ඒ නිසා මේ සේවාවට අයත් නිලධාරීන්ද ඉටු කරන්නේ අවිධිමත් ලෙස රාජකාරී කිරීමක් මිස, ඔවුන්ගේ විෂයපථයට අයත් පරිදි ප්‍රමාණික දැනුමකින් යුතු රාජකාරියක් නොවේ.

අවිධිමත් ලෙස යන්ත්‍රණගත කර ඇති මේ රජයේ නිලධාරීන් මගින් ග්‍රාමීය සංවර්ධනය මෙහෙයවීම විහිළුසහගත ක්‍රියාවකි. එහෙත් රාජ්‍ය යන්ත්‍රණයේ මේ නොමේරූකම නිසා එහි වාසිය අත් වන්නේ මහජන නියෝජිතයන් ලෙස කටයුතු කරන දේශපාලකයන්ටය. මහජන නියෝජිතයන්ගේ විමධ්‍යගත අරමුදල්, ව්‍යාපෘති සඳහා ලැබෙන ප්‍රතිපාදන හා ග්‍රාමීය සංවර්ධනය සඳහා ලැබෙන අටානූවක් වූ ප්‍රතිපාදනයන් තමන්ට අවශ්‍ය ලෙස විනාශ කරදැමීමට මේ දේශපාලකයන්ට ලැබෙන්නේ මහඟු අවස්ථාවකි.

ඔවුන් කරන්නේ ප්‍රදේශයේ පවතින මාර්ග, ගොඩනැඟිලි, විදුලිය ආදි ක්ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණයන්ට අදාළ ව්‍යාපෘති සඳහා ලැබෙන ප්‍රතිපාදන යොදවා එම කොන්ත්‍රාත් තමන්ගේම ගෝළයන්ට ලැබීමට සලස්සා එහි වාසිය භුක්ති විඳීමයි. එසේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ක්‍රියාත්මක කිරීම මුළුමනින්ම අවිධිමත් වන අතර, සංවර්ධනය විය යුතු ව්‍යාපෘතිය හෝ ඊට අදාළ ප්‍රමුඛත්වය හෝ තීරණය කරන්නේ මහජන නියෝජිතයාගේ නාමයෙන් දේශපාලකයාය. එය විධිමත් සංවර්ධන කියාවක් නොවන අතර, තම පක්ෂ දේශපාලන අවශ්‍යතා සඳහා රාජ්‍ය අරමුදල් දස අතට වීසි කිරීමක් පමණි. එවිට පරිපූර්ණ හා සැලසුම්සහගත ග්‍රාමීය සංවර්ධනයක් සිදු නොවන අතර, ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ මුදල් වියදම් කිරීම සංවර්ධන කටයුතු ලෙස ඔවුහු සලකති. එහිදී කොන්ත්‍රාත් මුවාවෙන් අතිවිශාල මුදලක් තම ගෝළබාලයන්ට ගසා කෑමට ලැබේ. ඒ අනුව ග්‍රාමීය සංවර්ධනයට ලැබෙන විශාල මුදලක් ඇත්තටම වියදම් වන්නේ සංවර්ධනයට නොවේ.

පුනරාවර්තනය සඳහා රාජ්‍ය මුදල් වැය කිරීම ග්‍රාමීය සංවර්ධනය නොවන අතර, ප්‍රාග්ධන ආයෝජන මඟින් ගැමි ජනතාවගේ භෞතික සංවර්ධනය ඇති කිරීම සත්‍ය ග්‍රාමීය සංවර්ධනය බව සමාජයක් වශයෙන් අප තේරුම් ගන්නා තුරු ගැමි ජනතාව දුක් විදීම වැළැක්විය නොහැකිය.

- අබරන් 

Comments