වල්පාළුව වනසන වනපාළුවෝ | සිළුමිණ

වල්පාළුව වනසන වනපාළුවෝ

* යාන්ත්‍රික දම්වැල් කියත් ශබ්දයට බිය වී වන අලි ගම් වැදීමේ තර්ජනයක්
* දුටුගැමුණු රජ සමයේ පුරාණ විහාරස්ථානයට අයත් ඉඩම් අක්කර හත්සිය ගණනක් දැව ජාවාරමුන්ගේ ග්‍රහණයට

වන විනාශයක් නෑ කියා වන සංරක්ෂණය කියනවා
- ප්‍රාදේශීය ලේකම්

අදාළ බලධාරීන් දැනුම්වත් කළා
- ග්‍රාම සේවක

අප රටේ සුන්දරත්වය ලෝකයාට හඬ නඟා පවසන ස්වාභාවික විස්කම් නිර්මාණ අතින් අප කෙතරම් පොහොසත්ද? සොබාදම් දිනිතිය විසින් අපට දායාද කළ දිය ඇලි, ගංගා, ඇළදොළ, කඳුවැටි, වනාන්තර, වෙරළ තීර හා සතා සිවුපාවුන් ඒ අතරින් ප්‍රධානය. භූ විෂමතාව හා දේශගුණික රටා අනුව රටේ විවිධාකාර ප්‍රදේශවල හට ගන්නා වෘක්ෂ ලතා හා ඒවා පිහිටි වනාන්තර විවිධාකාරය. ඒවා සැබැවින්ම රටට ආභරණ හා සමානය. එවන් අගනා වනාන්තර සුරැකීමට අප රටේ නීතිරීති හා අණ පනත් ද බොහෝය. එහෙත් ළිපට දැමීමට දර කෝටුවක් බුලත් වැලට කොවුලක් කපා ගන්නට හුරුව සිටි අතීත ගැමියා වෙනුවට අද බිහිව සිටින්නේ හුදෙක් වාණිජ පරමාර්ථ සඳහා මහා පරිමාණ වශයෙන් දැව හෙළන්නන්ය. ඔවුහූ රටේ අණ පනත් හා නීතිරීති තඹයකට මායිම් නොකර වගක් විභාගයක් නොමැතිව වනාන්තර හෙළති. නොඑසේනම් කෙසේ හෝ නීතිරීතිවලින් පැන යමින් දැව ජාවාරම රිසිසේ කර ගෙන යති.

පුත්තලම ආශ්‍රිත ප්‍රදේශය වනාන්තර බොහෝ සෙයින් පිහිටියාක් මෙන්ම නිරන්තරයෙන් මහා පරිමාණයෙන් වනාන්තර හෙළීම්වලට ලක්වන ප්‍රදේශයකි. ඇතැම්විට ඒ වන හෙළීම් ඉවක් බවක් නොතකා කරන්නාවූ සංහාරයන්ය. නමුත් අප කතා බහට ලක්කරන්නේ එවැනි වන සංහාරයකින් නොනැවතී ඊටත් එහා ගිය රජ සමයටත් හිමිකම් කියන පෞරාණික මෙන්ම ‍ඓතිහාසික වැදගත්කමක් කැටිවූ වල්පාළුව රක්ෂිතයට වර්තමානයේඅත්ව ඇති ඉරණම පිළිබඳය.

වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව රජයට අයත් රක්ෂිතයක් වන මෙම රක්ෂිතය අවසන් වන්නේ ආනමඩුව සීමාවෙනි. එහි තවත් එක් සීමාවක් වන්නේ තෝනිගලය. අක්කර දෙදහසකට ආසන්න ප්‍රමාණයක මහා ගන වනාන්තරයකින් යුතුයැයි පැවසෙතත් මෙහි සීමා මායිම් හරියාකාරව දන්නා කෙනෙක් නැති තරම්ය. එහෙත් මේ මහා වන රක්ෂිතය ඇතුළත පිහිටි පෙත්තගම පුරාණ රජ මහා විහාරය දුටුගැමුණු රජු විසින් කරවූවක් බව පැවසේ. මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 658/ඒ. වල්පාළුව ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති ඓතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම පුරාණ රජ මහා විහාරයට අයත් භූමිය අක්කර හත්සීය ඉක්මවන බව පැවසේ. මහා වනාන්තරය මධ්‍යයේ ඇති මේ පුරාණ සිද්ධස්ථානයට විහාරය පිහිටා ඇති පෙත්තගම රජය සතු රක්ෂිතයේ කලක පටන් ඉවක් බවක් නැතිව දිගින් දිගටම සිදුකර ගෙන යන මහා පරිමාණ දැව ජාවාරම නිසා වැඩි කාලයක් යෑමට මත්තෙන් මේ මහා වනාන්තරය විනාශ වී යතැයි තතු දන්නා අය පවසති.

1929 වර්ෂයේදී රජය විසින් ගැසට් නිවේදනයක් මගින් නම් කරන ලද පෙත්තගම සහ වල්පාළුව රජයේ රක්ෂිත බල ප්‍රදේශ තුළ සිදුවන මේ මහා පරිමාණ දැව හෙළීම් ඕනෑම අයකුට වුව වනාන්තරය ඇතුළට ගියවිට දැක බලා ගත හැකිය. බිම හෙළා ඇති මහා රූස්ස ගස් කඳන් තවමත් තැනින් තැන ඇත්තේ මහ පොළොවට දිරා යමිනි. ඇතැම් තැන්වල බිම හෙළන ලද ගස්වල මහා කඳන් අතරින් හීනියට දලු දාන්නේ මේ මහා පොළොවෙන් නික්ම යා නොහැකිවාක් මෙනි.

මේ මහා රක්ෂිතයෙන් වැඩිපුරම දැව ජාවාරමුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත්තේ රජ මහා විහාරස්ථානය අවට ඊට අයත් වනාන්තරය බව ප්‍රදේශවාසීහූ පවසති. රක්ෂිතයට අයත් භූමිය අක්කර 719ක්. රූඩ් 03ක් හා පර්චස් 32න් සමන්විතවේ. සංවිධානාත්මක දැව ජාවාරම්කරුවෝ රක්ෂිතයේ දැව හෙළීම සඳහා යාන්ත්‍රික කියත්, දම්වැල් සහ පොරෝ උපයෝගී කර ගනිති. මේ මහා වන සංහාරය පිළිබඳ කන වැකුණු අප ඒ පිළිබඳ තොරතුරු සොයා රක්ෂිතයට යද්දී ඒ මොහොතේ පවා දැව හෙළීමේ නිරතව සිටි පුද්ගලයන් අප දසුනට ලක්විය. ඇතැම්හූ හෙළන ලද දැව අත් ට්‍රැක්ටර් හා කුඩා ලොරි රථවල පටවා ගෙන යති. අවට පදංචිකරුවන් සිය සුළු එදිනෙදා අවශ්‍යතා සඳහා වැටට ඉන්නක් කපා ගත්තත් තවත් අය මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් වනාන්තරය කපන බව හෙළිවිය. අප ගිය ඒ මොහොතේද වනාන්තරයෙන් කපාගත් දැව පාපැදිවල දෙපැත්තේ තබා ගැට ගසාගෙන රැගෙන යනු අප කැමරා කාචයේ සටහන් විය.

“අපි ජීවත් වෙන්නේ මේ වනාන්තරය අවට. අපේ පොළොවේ වතුර ටික රැකිලා තියෙන්නේ මේ කැලෑව නිසයි. ගමේ කෙනෙක් ඉඳහිටලා කැලේට පැනලා වැටකට ඉන්නක් බුලත් කොවුලක් කපා ගත්තොත් ඒකේ ඔත්තුවක් ගියොත් ඉතින් අපට වෙන්නේ පොලිසියවල ලගින්නයි. ඒත් කැලෑව කපලා ලොරි පිටින් ගෙනියන කොට අල්ලන්න කවුරුත් නෑ” වන සංහාරය පිළිබඳ අප හා පැවසුවේ එහිදී අප හමු වූ සිය නම හෙළි කිරීමට අකැමැති ගම්වැසියෙකි.

පෙත්තගම රක්ෂිතය දුර්ලභ ගනයේ අගනා දැව වර්ග වන තම්මැන්නා, වෙළන්, ඇටරිටි, කැටකෑල, අන්දර සහ තවත් වටිනා දැව වර්ග රැසකින් පොහොසත් වනාන්තරයකි. මෙහි ඇති ඇතැම් ශාක වසර සිය ගණනක් පැරැණි බව ගම්මු පවසති. දැව ජාවාරමුන් කපා බිම හෙළන්නේ මෙවන් වටිනා වෘක්ෂය. වනාන්තරයෙන් කෙසේ හෝ පිට කරගන්නා මේ දැව ඔවුහූ වෙළෙඳ පොළේ විශාල මිල ගණන්වලට විකුණති.

මෙම සංවිධානාත්මක හොර දැව ජාවාරම්කරුවන් නීති විරෝධීව බලපත්‍ර රහිතව මෙසේ විහාර රක්ෂිතයට අතුළු වී රජ සමයේ සිට පැවැත එනවා යැයි පැවසෙන පිංවැව, නගුල්වැව, සහ පුරාණ පොකුණ යන වනාන්තර ප්‍රදේශවල පිහිටි දැවැන්ත ශාක කපා බිම හෙළන බව ප්‍රදේශ වාසීහූ පවසති. මේ ප්‍රදේශවල බහුල වශයෙන් ඇති වෙළන් ශාක මිලෙන් ඉතා ඉහළ අතර ඒවා හෙළීම ද නීතියෙන් තහනම්ය. දැව හොරුන්ගේ පොරෝවලින් වැඩිපුරම කපා බිම හෙළනුයේ මේ මිලෙන් අධික වෙළන් ශාක බවද පැවසේ.

“කැලේ කපලා පොඩි කොටන් බයිසිකල්වල බැඳගෙන එහෙමත් නැත්නම් අත් ට්‍රැක්ටර්වලහරි ලොරිවලහරි පටවගෙන හොරෙන් පුත්තලම කල්පිටිය වගේ ප්‍රදේශවලට අරන් ගිහින් විකුණනවා. ඒත් මේවා නවත්තන්න කෙනෙක් නෑ. මෙහෙම ගියොත් මේ කැලෑවත් වැඩි කලක් යන්න ඉස්සර ඉවරයක් වෙයි.”

අලුයම කාලයේ වනයට ඇතුළු වන දැව හොරුන් සවස් කාලය දක්වා ඔවුන්ට අවශ්‍ය දැව රිසිසේ කපා වාහන මගින් රක්ෂිතයේ සිට ප්‍රවාහනය කරද්දි නීතිය හොබවන බලධාරින් මුනිවත රැකීම ගැටලුවක් බවද ගම්වාසීහු පවසති. සුළුවට දැව හෙළන්නෝ පාපැදිවලින් දැව ගෙනයද්දී මහා පරිමාණ ජාවාරම්කරුවන් විශාල ලොරි රථ ආධාරයෙන් දැව ප්‍රවාහනය කරන බව ද ඔවුහූ කියති.

දිනෙන් දින මහා පරිමාණව සිදුවන මෙම වන සංහාරය දැක නොදුටු සේ සිටින ඇතැම් නිලධාරීන් නිසා නුදුරේදීම මෙවන් රක්ෂිතයකට කෙබඳු ඉරණමක් අත්වේද යන්න කාටත් ප්‍රශ්නයකි.

එපමණක් නොව කාර්යක්ෂම දම්වැල් කියත් අනුසාරයෙන් සිදුකරන මේ මහා පරිමාණ දැව හෙළීමේදී නිකුත් වන අධික ශබ්දය හේතුවෙන් රක්ෂිතයේ සිටින වල් අලි රංචු ඒ පළාත්වලින් බැහැරවී දිවා කාලයේ ඒ අවට ගම්මානය කරා ඇදීමේ තර්ජනයක්ද මේ වනවිට මතුව තිබේ. මෙනිසා නුදුරේදීම මේ පළාත්වලට මෙතෙක් දරුණු ලෙස නොතිබූ වන අලි මිනිස් ගැටුමක්ද ඇතිවීමට ඉඩ ඇතැයි ගම්මු බිය පළ කරති.

“රක්ෂිතයේ ගස් කැපිල්ල අදක ඊයෙක ඉඳලා සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේක සිදු වෙන්නේ අවුරුදු ගානක ඉඳලයි. ගස් පාළුවෝ මේ කැලේ බදු අරගෙන වගේ එක දිගටම කපනවා. හැබැයි මෙව්වා කපන්නෙ ගමේ අය නෙමෙයි. ඔය සියඹලා ගස්වැව කියන ගමේ ඉඳලා එන පිරිසක් ඉන්නවා. එයාලා තමයි මේ වැඩේ කරගෙන යන්නෙ පෝය දාටත් කපනවා. පොලීසියෙන් එන්නෙත් නැහැ ඒ මිනිස්සුන්ව අල්ලන්නෙත් නැහැ. අනෙක මේ ජාවාරම කරන්නෙ අසරණ මිනිස්සු නෙමේ. හොඳට සල්ලි පනම් තියෙන යානවාහන තියෙන අයයි. අපේ ගමේ මේ හාමුදුරුවො නැත්නම් අද පන්සල අවට තියෙන ගස් ටිකත් මෙවුන් කපනවා අයේ ඒකෙ දෙකක් නැහැ. වෙළන් කියන්නෙ කපන්න තහනම්ම දැවයක්. මේ දැව හොරු ඉස්සෙල්ලාම කපන්නෙ වෙළන් ලී ටික. අනේ මන්දා වන සංරක්ෂණය සතු දේපළ කිව්වාට මේව්වා හොරුන්ගෙ අම්මාගේ අප්පාගේ බූදලේ වගේ උන් ඇවිල්ලා උන්ගෙ පාඩුවෙ කපාගෙන යනවා. විහාරස්ථානය අවට පදිංචිකරුවකු අප හා හඬ අවදි කළේ දැඩි වේදනාවෙනි.

පෙත්තගම පුරාණ රජ මහා විහාරස්ථානාධිපති ලෙස කටයුතු කරනුයේ ආනමඩුවේ පියදස්සී හිමිය.

“පන්සල් භූමිය අනුරාධපුර යුගයට හිමිකම් කියනවා. මේ විහාරස්ථානය වගේම රක්ෂිතයද එම යුගයේ පටන් පැවතෙන බවට සාක්ෂි හා සාධක තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක වල්පාළුව කියන වසමේ පෙත්තිගම ගමේ රක්ෂිතයක් විදියට නම් කරලා තියෙනවා. මේ වෙද්දිත් මේ රක්ෂිතයෙ මහා පරිමාණයෙන් දැව ජාවාරමක් සිද්ධ වෙනවා. මේ ගැන මා රජයේ වගකිව යුතු බලධාරින්ට කීප වතාවක්ම දැනුම්වත් කර තියෙනවා. විශේෂයෙන්ම අපේ ආසන්නතම බලධාරියා වශයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට මම ලිඛිතව හා වාචිකව මේ මහා වන සංහාරය ගැන දන්වා තියෙනවා. එහෙත් වගකිවයුතු උදවිය මේ වෙනතුරු එය වැළැක්වීමට කිසිම ක්‍රියා මාර්ගයක් අරගෙන නැහැ. ඒ වගේම මේ වනතුරු නිසි පරීක්ෂණයක් පවත්වා ඇති බවක් දැන ගන්න නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නෙ කැලේ තියෙන ගස් ටික නිකන් නිකරුණේ කාගේ හරි පොරෝ පහරට යට වෙන එකයි. මේ ගැන මීට වඩා සැලකිලිමත් වෙලා හොයලා බලලා නීතිය ක්‍රියාත්මක කළේ නැත්නම් ළගදීම තවත් මහා විනාශයක් අපි නොදැනුවත්වම සිද්ධ වෙයි.” යනුවෙන් විහාරාධිපති හිමියෝ පැවසූහ.

ගම්මුන් වෙතින් නැඟෙන චෝදනා සම්බන්ධයෙන් අප 658/ඒ වල්පාළුව වසම බාර ග්‍රාම නිලධාරි ඒ.එච්.එම්. විජිත බණ්ඩාර මහතාගෙන්ද විමසීමු.

“මම ඔය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමා දැනුවත් කළා. ඊට අමතරව මම යෝජනාවක් ගෙනාවා ඔය කියන පන්සල අයත් රක්ෂිත ප්‍රදේශයේ ජනතාව පදිංචි කළානම් ඔය හානිය අවම කර ගන්න පුළුවන් කියලා. මොකද ජනාවාස ඉදිවුණාම වල් අලි හානිය අවම වෙනවා. පෙත්තිගම පුරාණ විහාරය දක්වා තියෙන්නෙ විශාල කැලෑවක්. එනිසා හොඳම දේ ජනතාව ඒ අවට ජනතාව පදිංචි කිරීම කියලා මම හිතනවා. තව දෙයක් තමා දැව හොරුන් කපනවාය කියන කොහොඹ අන්දර වගේ දැව ඔය කියන කැලේ කොහෙත්ම නැහැ. මම හිතන්නෙ නැහැ එව්වා කපනවා කියලා. මේ ඔක්කොම රජය සතු ඉඩම්. ඉතිං මෙව්වා කපද්දි කපන අය කව්රුන්ද කියලා හඳුනා ගැනීම අවශ්‍යයි. මම පොලීසියටත් කිහිප වතාවක්ම මේ ගැන දැනුම් දුන්නා. තව දෙයක් දැව ජාවාරමක් සිද්ධ වෙනවා නම් පොලීසිය මැදිහත් වෙලා ඒවා අත් අඩංගුවට ගන්න ඕනෑනේ” යනුවෙන් ඔහු පැවසීය.

පැරැණි රක්ෂිතයකට අත්ව ඇති ඉරණම ගැන අප මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න මහතාගෙන්ද තොරතුරු විමසීමට අපි අමතක නොකළෙමු. ‍

“ඔය කියන වසම අයිති වනසංරක්ෂණයටයි. මේ ආකාරයේ වන විනාශයක් සිදුවන බවට මා ඒ නිලධාරීන් දැනුම්වත් කළා. ඒ අය මට නැවත ලිඛිතව දැනුම් දීලා තියෙනවා ඒ කියන ආකාරයේ දෙයක් ඒ රක්ෂිතයේ සිද්ධ වෙන්නෙ නැහැ කියලා. ඊට අමතරව රජය සතු ඉඩම් තියෙනවා. ඒවායේ වන සංහාරයක් සිද්ධ වෙනවාද කියලා බලන්න මම ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කළා. ග්‍රාම නිලධාරිවරයා මට වාර්තා කළේ එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ කියලයි. ”එසේ පිළිතුරු දුන් ප්‍රාදේශීය ලේකම්වරයා පන්සල පිහිටි ප්‍රදේශය රක්ෂිතයට අයත් වන්නේදැයි අපෙන් විමසීමක් කළේය.

කෙසේ වුවද මෙවන් වන සංහාර ගැන වගකිව යුතු ආයතන හා පුද්ගලයන් සිය වගකීම් පැහැර හරීනම් ඒ පිළිබඳ කාට පැමිණිලි කළ යුතු දැයි යනුවෙන් ප්‍රදේශවාසීහූ ප්‍රශ්න කරති.


වනාතවිල්ලුව කේ. ප්‍රියංකර

Comments