ගමේ රස කතා | සිළුමිණ

ගමේ රස කතා

මැටිල්ඩා නෝනා සහ ආගන්තුක බල්ලා

මැටිල්ඩා නෝනා ජීවත් වූයේ තනිවමය. තම සැමියාගේ අභාවයෙන් අනතුරුව ද, දූ දරුවන්ගේ විදෙස්ගත වීමෙන් ද, ඇය තම නිවෙසේ තනිවම ජීවත් වූවාය.

ඉතා කරුණාවන්ත තැනැත්තියක වූ ඇය තම වැඩ කටයුතු කර ගත්තේ තනිවමය. සතියේ දින දෙක තුනක් “මාර්කට්” එකට ගොස් තම දෛනික අවශ්‍යතා සඳහා අවශ්‍ය එළවළු, මාළු මිලදී ගන්නට ඇය පුරුදුව සිටියාය.

මෙලෙස එක් දිනක් “මාර්කට්” එකට ගොස් පැමිණි ඇය යතුර ගෙන ඇගේ ඉදිරි දොර විවර කරනවාත් සමඟම ඇයටත් පෙර බල්ලකු ගෙට රිංගනවා දැක ඇය මවිතයට පත් වූවාය.

ගෙට රිංගාගත් බල්ලා “ලැබඩෝර්” වර්ගයට අයත් හොඳින් වැඩුණු එකෙකි.

කාගේ හෝ නිවෙසක සුරතලයට හදන බල්ලකු මෙලෙස වැරැදීමකින් තම නිවෙසට පැමිණ ඇතැයි ඇය එවෙලෙහි අනුමාන කළාය. මෙලෙස කඩිමුඩියේ ගෙට රිංගාගත් බල්ලා කෙළින්ම ගොස් මැටිල්ඩා නෝනාගේ ආලින්දයේ හරිබරි ගැහී නිදාගත්තේ එය උගේ හාම්පුතාගේ වාසස්ථානය සේ සිතාගෙනය.

‍මොහොතකින් බල්ලා තද නින්දකට වැටී සිටිනු දැක මැටිල්ඩා නෝනා පුදුමයට පත් වුවත්, නිදා සිටින බල්ලකු ගෙයින් පන්නා දැමීමට තරම් ඇගේ කාරුණික සිත ඇයට ඉඩ නොතැබුවාය.

දින ගණනාවකින් නින්දක් නොලද බල්ලෙකු සේ වැටුණු තැන නින්ද ගිය බල්ලා අවදි වූයේ බොහෝ වේලාවකට පසුවය. මැටිල්ඩා නෝනා දෙස කාරුණික බැල්මක් හෙළූ මෙම ආගන්තුකයා නිවෙසින් නික්ම ගියේය. ඊළඟ බදාදා දිනයේද සුපුරුදු පරිදි “මාර්කට්” එකට ගිය මිසිස් මැටිල්ඩා නැවත පැමිණ, වෙනදා මෙන්ම බඩු මලු දෙක බිම තබා, යතුර ගෙන ඉදිරි දොර විවර කළාය.

එදිනද පෙර සේම අර “ලැබඩෝර්” බල්ලා මිසිස් මැටිල්ඩාට පෙර ගෙට ඇතුළු වූයේය. මැටිල්ඩා නෝනා පුදුමයෙන් බලා සිටියදීම ආලින්දයට ගොස් හරි බරි ගැසී වැතිරුණු ඌ ඉක්මනින් ම තද නින්දකට පිවිසුණේය. බො‍හෝ වේලාවක් නින්දේ පසුවූ මෙම අපූරු ආගන්තුකයා අවදි වී මැටිල්ඩා නෝනා දෙස ස්තුති පූර්වක බැල්මක් හෙළා නිවෙසින් පිටව ගියේය.

මෙලෙස මැටිල්ඩා ‍නෝනා මාර්කට් යන දින කිහිපයේ ම පැමිණෙන බල්ලා ඇගේ නිවසට වැද ආලින්දයේ නිදා ගන්නට පුරුදු විය.

කාරුණික හදවතක් ඇත්තියක වූ මැටිල්ඩා නෝනා මේ ආගන්තුක බල්ලා එළවා දැමීමට නොගියේ කරුණු කීපයක් නිසාය. එකක් මේ අරුම පුදුම බල්ලා දඩාවතේ යන අපිරිසුදු බල්ලෙකු නොවන නිසාය. අනෙක ඌගෙන් ඇයටත් නිවෙසටත් කිසිදු හානියක් නොවන නිසාය.

මේ කාරුණික නෝනා දින කීපයකට පසු නිදාගෙන නැගිට ‍නිවෙසින් පිටව යන බල්ලාට බීමට, කිරි කෝප්පයක් ද සාදා දුන්නාය. මෙලෙස පැයක් පමණ නිදා ගන්න බල්ලා මැටිල්ඩා නෝනාගේ නිවෙසින් පිටව යන්නේ කිරි කෝප්පයක් ද බී, බඩ පුරවාගෙනය. කරදරයක් නොකර නිදා ගැනීමට ඉඩ සැලසීම ගැනද අමතරව ලැබෙන කිරි කෝප්පය ගැනද බල්ලා මැටිල්ඩා නෝනාට ස්තුති කළේ උගේ නැට්ට වැනීමෙනි. මැටිල්ඩා නෝනාට නම් මෙය තවමත් ප්‍රහේලිකාවකි. ඇත්තටම මේ බල්ලාගේ අයිතිකරුවා කවුදැයි ඇයට ප්‍රශ්නයකි. එහෙත් එය දැන ගන්නට අවකාශයක් නොතිබුණේ බල්ලා කොහි සිට එනවාදැයි ඇය නොදන්නා නිසාවෙනි.

දිනක් මේ බල්ලා මැටිල්ඩා‍ නෝනාගේ නිවෙසට පැමිණියේ බෙල්ලෙහි කර පටියක් ද සමඟය.

නිදා සිටින බල්ල‍ාගේ ගෙල බැඳ තිබූ දුඹුරු පැහැති කර පටිය දුටු ඇයට අපූරු අදහසක් සිහියට නැඟිණි. වහාම කොළයකුත් පෑනකුත් ගත් ඇය, එහි මෙලෙස ලිව්වාය.

“මගේ නිවෙසට පැමිණ සුවසේ
නිදාගන්නා බල්ලාගේ අයිතිකරු
කවුද කියා දැන ගන්නට කැමතියි
කරුණාකර මේ බල්ලාගේ අයිතිකරුවකු සිටිනවා නම් දන්වන්න”

එලෙස ලියූ ඇය එය බල්ලාගේ කර පටියේ එල්ලා තැබුවේ බල්ලා නිදි අතරේය. මේ කිසිත් නොදත් බල්ලා අවදි වී සුපුරුදු කිරි කෝප්පය ද සප්පායම් වී පිටව ගියේය. මැටිල්ඩා නෝනා කුතුහලයෙන් බලා සිටියේ ඊළඟ දිනයේ බල්ලාගේ අයිතිකරුගෙන් පණිවුඩයක් ලැබෙන තුරුය.

සුපුරුදු පරිදි ඊළඟ දිනයේත් බල්ලා පැමිණ ඇගේ නිවෙසේ ආලින්දයට වැදී නින්දට වැටුණි.

බල්ලාගේ අයිතිකරු තම ලියුම දැක තමාට පිළිතුරක් එවා ඇත්දැයි සොයා බලන්නට මැටිල්ඩා නෝනා උගේ කර පටිය සෝදිසි කළාය. කරපටිය අස්සේ නැවූ කඩදාසියක් දැක ඇය සතුටට පත් වී වහා එය ගෙන දිග හැරියාය.

එහි මෙසේ සඳහන්ව තිබුණි.

“මේ, මළයක්සනියක් සේ කෑ මොර දෙන, කච කච ගා කියවන, ගෑනියෙක් සහ ඇට්ටරම ඇට්ටර ළමයි තුන් දෙනෙකුත් ඉන්නා ගෙදරක, බල්ලෙකි.

ඌට කනක් ඇහී සැනසිල්ලේ නිදා ගැනීමට ඉඩ දුන්නාට ඔබට ගොඩක් ස්තූතියි.

ඔබේ අක­ැමැත්තක් නැත්නම් බල්ලා මෙන් මාත් පැමිණ පොඩ්ඩක් නින්දක් ලබාගෙන යන්නද?

මෙයට බල්ලාගේ අයිතිකරු”

කුමුදු තාරක පීරිස්

Comments