එයාට මගෙන් ගැලවිලා යන්න මං ඉඩදෙන්නේ නෑ | සිළුමිණ

එයාට මගෙන් ගැලවිලා යන්න මං ඉඩදෙන්නේ නෑ

කඩපන් මගෙ අතපය, මිරිකපන් බෙල්ල, මරපන් මාව. එතකොට ඔය නපුරු හිතට සතුටක් දැනෙයිනෙ. මුං ගෑනු ඔක්කොම එකයි. ඕපා දූප, කේළම්, කයි කතන්දරවලින් ඔළුව පුරවගෙන මිනිස්සුන්ව බාගෙට මරනවා. රටක නීතියක් තියෙනවා. ඒ නීතියට අපි එකඟ වෙන්න ඕන. ප්ලේන් එකට නගින්න ඉස්සෙල්ලත් මං කෝල් කළා.

නරේන්ද්‍ර සමුද්‍රා ගුවන් තොටුපළේ තවත් දෙතුන් දෙනෙක් ඔවුන් සමඟ.

සමුද්‍රා ලෙන්දොර මන්ත්‍රීවරියගේ විද්යුත් මාධ්‍ය සාකච්ඡාවක් නරේන්ද්‍රගේ සිතට ඇතුළු විය. තමා ගැමි කාන්තාවක් බවත්, ජනතා සේවය සඳහා මවුපියන්ගෙන් ඈත්ව නගරයේ ගත කරන ජීවිතය තමාට දරා ගත නොහැකි පීඩාවක් වුණත්, මහජන සේවයට කැපවීම තම හුදකලා මනසට දිව්‍යමය ආශීර්වාදයක්ව ඇතැයි ඇය කීවේ සංවේගය දනවන අයුරෙනි.

එම ආශිර්වාදයේ හැඩ රුව කුමක් වුණත් ඇය තරමක කලබලකාරී ගැහැනියකැයි තරුණ මන්ත්‍රිවරු කියන කතා මුසාවාදම නොවේ.

මින් පෙර ද මන්ත්‍රිවරිය තමා සමඟ ළෙන්ගතු හෝ කවර හෝ ඇසුරකට මං පාදා ගැනීමට ගත් උත්සාහය නරේන්ද්‍රගේ මතකයට නැගිණි. ඔහුගේ අවධානය පුළුල් විය.

“නරේන් ස්විස් යනවා නේද?” ඇය වඩාත් කෝමල වූවාය.

“ඔව් ඇයි? මට අහන්න ලැබුණා ඔයත් යනවා කියලා...”

“මං කල්පනා කර කර ඉන්නෙ. යනවද නැද්ද කියලා.”

“ඇයි ඒ?”

“යන්න කෙනෙක් නෑ... අනිත් අය නෝනා මහත්වරු එක්කයන්නෙ? මං තනි වෙයි.”

“පිස්සුද සමුද්‍රා? මොනවද මේ කියවන්නෙ? ඔයාගෙ මහත්තයා?”

“නීතියෙන් වෙන් නූනට අපි දෙන්නා වෙන්වෙලා. ඇත්තට ම කිව්වොත් නරේන්ද්‍ර යනවා දැන ගත්ත ම තමා මං මේ ගමනට කැමති වුණේ. දෙන්නා දෙන්නා එකතු වුණාම මං තනිවෙයි.”

නරේන්ද්‍ර සමුද්‍රාගේ දිලිසෙන දෙනෙත් දෙස බලා සිටියේ මේ කුමන කැමැත්තක්දැයි එකවර වටහා ගත නොහැකිව මෙනි. සමුද්‍රා දඟකාර චරිතයකැයි ඉඳ හිට අසන්නට ලැබුණ කතා නැවතත් ඔහුගේ මතකයට පිවිසුණේය.

“නරේන්ද්‍ර ඔයා යන්නෙත් තනියමනෙ?”

ඇගේ වඩාත් මුදු කෝමල හඬ, අනුරාගය දල්වන්නක් විය. සිත මන්මත් කළා වැනිය.

“තනියම මිසක් මං ඉතින් මොකා එක්ක යන්න ද?”

“ඉතින් මාත් එක්ක යන්නකො. මොකක්ද වැරැද්ද”

එවර ඇය කීවේ කල්පනා බරවය. එයට පිළිතුරු අපේක්ෂාවෙන් ඇය බලා සිටියාය. විවාහයෙන් ඈත්ව සිටිනා තරුණ ගැහැනියක විසින් තමා සිත විසිරවනු ලැබූ අනුරාගී හැඟීම්වලට අවනත නොවී සිටීමේ ශක්තිය හා සංයමය නරේන්ද්‍ර වෙතින් පලා ගියේ ක්ෂණිකවය.

“වැරැද්දක් නම් මටත් පේන්නෙ නැහැ”

ඇයට එකඟ යැයි නොකියා පවසන සංඥාවෙන් ඔහු කීවේය.

ජීවිතයේ තමා විසින් තමාට ම කර ගන්නා ලද අතිශයින් සාහසික ඛේදජනක අමානුසික වරදට එසේ අත්පොත් තබනු ලැබූ තමා එදින ම සැන්දෑවේ ප්‍රියදෝණි මහාමායාට දුන් දුරකථන ඇමතුම පසු කාලයේ තමාගේ ආත්මය ලජ්ජාවේ පතුලට ම තල්ලු කර දමන්නට සමත් වූ සැටි සිහි කළ නරේන්ද්‍ර වෙතින් යළි යළිත් දීර්ඝ සුසුම් උපන්නේය.

“ප්‍රියදෝණි බබා ඔයාට අපිත් එක්ක ස්විස් යන්න අවසර නැහැ. කථානායකතුමා තදින් ම අවවාද කළා ආ ගිය තැනක රටේ නම්බුව තියාගෙන හැසිරෙන්න වග බලා ගන්න කියලා. දන්නවනෙ එතුමා ටිකක් සැරයි අපට.”

ඇය තමා කියන්න නිබොරු සේ පිළිගත්තාදැයි නරේන්ද්‍ර එදින සොයා බැලුවේ නැත. තමා ගුවන් යානයේ ගමන් කළේ යාබද අස‍ුනේ සමුද්‍රා සමඟය. සුදු කළු සහ වර්ණවත් වලාකුළු, වර්ෂාව, හරිත වර්ණ මහ පොළොව, නිල් මුහුද, ඉර හඳ තාරකා, කුමකට හෝ තමාට දොස් පවරමින් සිටින්නේ යැයි වරක සිතුණ ද, එම වරද සොයා ගැනීමේ වුවමනාවක් ඒ ගමන අවසන් වන තුරු ම ඔහු සිත උපන්නේ නැත.

යළිත් වරක් ප්‍රජාතන්ත්‍රවාදය ගැන අධ්‍යයනය කිරීමට ස්විස්ටර්ලන්තයට යාමට සිදුවීම දෛවයේ සරදමක් නොව දඬුවමකැයි නොසිතා සිටීමට නුපුළුවන. එසේ ගොස් ආපසු පැමිණි පසු තමා සතියක පමණ කාලයක් ප්‍රියදෝණි මහමායා දකින්නට නොගියා පමණක් නොව දුරකථන ඇමතුමක් දීමට පවා පසුබට වීමේ සැබෑව හඳුනා ගැනීමට ඇය උත්සාහ නොකිරීම ඔහු සිත කෝපයක් ඇති කිරීමට සමත් විය.

“මේ ගෑනිට මාව අගයක් නැහැ. ඒකයි ඔය. දවස් හතරකින් ආපහු එනවා කිව්වා මිනිහා ආවද නැද්ද ප්ලේන් එක මුහුදට කඩා වැටිලා මළාද කියලවත් හොයලා බැලුවෙ නැහැ.”

ඇය මතට වරද දමන උපායක් කල්පනා කරමින් තමා කල් මැරූ හැටි නරේන්ද්‍ර සිතන්නට විය. ඇය ගුප්ත නිහඬ බවක වෙලී ගොළුව ගියා සේය. ඉවසිය නොහැකි වරදකාරී දඬුවමෙන් සහනයක් ලබා ගැනීමට තමා කතා කළේ සිරිමෙවන් ලේකම්වරයාට නොවේද?

“සිරිමෙවන් මහත්තයා, අපේ යාළුවා කාලෙකින් දැක්කෙත් නෑ. කතා කළෙත් නැහැ. අසනීපයක්ද? ටිකක් හොයලා බැලුවොත් හොඳයි නේද?”

ඔහු කීවේත් ඉල්ලා සිටියේත් කිසිදු විශේෂයකින් තොරවය.

“යාළුවා කිව්වෙ?” සිරිමෙවන් ලේකම්වරයා ඇසුවේ සැබෑවට නොවේ. නරේන්ද්‍ර එකවර පිළිතුරු දුන්නේ නැත.

“සර් කියන්නෙ ප්‍රියදෝණි මැතිනිය ගැන ද?”

“ම්හ්”

“අපි මොනවා හොයන්නද? සර්ගෙ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස් චාරිකාව ගැන ප්‍රියදෝණි මැතිනිය දැන් අකුරක් නෑර දන්නවා.”

“මගෙ හැටි දැන ගෙන තමා එයා මාව ආස්සරේ කරන්නෙ. පණ්ඩිතකම් ඕනෙ නැහැ. කෝල් එකක් දෙමු බලන්න.”

ඉන් දෙපැයකට පසු ලේකම්වරයා ආවේ නොසතුටු මුහුණිනි.

“මං දහ දොළොස් සැරයක් ගත්තා. රිංග්ස් යනවා ගන්නෙ නෑ.”

“එච්චරටම ගණන් උස්සල ද? බලමු. බලමු.”

එවිට ම ලේකම්වරයාගේ ජංගම දුරකථනය ඇමතුම් නාදය පතුරුවන්නට විය. අමතන්නේ ප්‍රියදෝණි මහමායා යැයි ලේකම්වරයා නරේන්ද්‍රට කීවේ ඉඟියෙනි.

“මයික් එක ඔන් කරන්න.” නරේන්ද්‍ර කීවේ සඟවා ගත් උනන්දුවෙනි.

“සිරිමෙවන් මහත්තයා අනේ මට සමාවෙන්න.”

ඇයගේ හඬ බෙහෙවින් ශෝකී විය. ලේකම්වරයා ඉන් කම්පාවට පත් වූ සැටි නරේන්ද්‍ර දුටුවේය.

“මැඩම් අපිට වරදක් කරලා නැහැ. ඇයි මේ සමාව ඉල්ලන්නෙ?”

“ඔයා දහ දොළොස් සැරයක් මට කතා කළා. එපා මට කතා කරන්න. ඒක මට කරදරයක්. සමාවෙන්න මට.”

ඇය දුරකථනය විසන්ධි කළාය. ලේකම්වරයා දුරකථනය කමිස සාක්කුවෙහි රුවා ගත්තේ ලිපි ගොනුවක් නරේන්ද්‍ර ඉදිරියේ මේසය මත තබමිනි.

“මොනවද මේ වෙන්නෙ? සර් මොනවද මේ කරන්නෙ?”

“සිරිමෙවන් මම අගනිටා බ්‍රහ්මලෝකෙන් මහා පෘථිවියට පාත් වුණ බ්‍රහ්ම රාජයෙක් නෙමේ. ඒක ඔය ගෑනිට තේරෙන්නෙ නැහැ. එයාට ඕන මට සිල් රෙදි අන්දවලා තුත්තිරි ගහක් යට හරි ඉන්දවලා කිරි බත් පිඟානක් පූජා කරන්න. ඒ ජීවිතේ මට හරියන්නෙ නැහැ. එයාට ඒක කියලා වැඩකුත් නැහැ.”

“ඒ මනුස්සයට ඒක කියලා සර් අයින් වෙන්නකො. එතකොට දෙන්නට ම කරදරයක් නෑ...”

“සිරිමෙවන් මගේ ජීවිතය තීරණය කරන්නෙ මම. ඔයා නෙමේ.”

“සමාවෙන්න සර්.”

එසේ ලේකම්වරයාට මඳ තරවටුවකින් තම අධිපති බව කියා සිටිය ද ප්‍රියදෝණි මහමායා දැක ගැනීමේ ව්‍යාධියකින් සිත ගත වේදනා දෙන සැටි නොතකා සිටින්නට නරේන්ද්‍ර සමත් වූයේ නැත.

හෘද සාක්ෂිය කොඳුර කොඳුරා පවසන්නේ ඇය ලෞකිකමය වූ සොඳුරු ජීවිතයකට අවශ්‍ය ඇවතුම් පැවතුම්වලට සුබවාදීව දෝත දිගු කරන, නම්‍යශීලීවන චරිතයක් බවයි. එවන් චරිතයක් විරාගික ‍සේ හුවා දක්වන්නට තමා උත්සාහ කළේ ලේකම්වරයාගේ මුව වැසීමට නොවන්නේ ද?

තමා කෙරෙහි විශ්වාසය තැබූ ඇය කණකර අභරණ පොඳි කොට බැංකුවේ උකසට තබා තමා සමඟ එක්ව යන ගමනට සූදානම් වූයේ ආදරය ආලය ස්නේහය නිසාමය. තමා එය මොහොතකින් වනසා දැම්මේය.

ඇයට බොරු කිරීමෙන් ලත් ජයග්‍රහණය කුමක් ද? ඉදින් එම බොරුව සත්‍යයක් කිරීමට තවත් බොරු කොතරම් නම් කියන්නට සිදුවීද?

නරේන්ද්‍රගේ සිතෙහි උපන් ලජ්ජාව ඔහුට ම ලජ්ජාවක් වීම දරා ගත නොහැකි වූ විට ඔහු කළේ වරින් වර දුරකථන ඇමතුම් දෙමින් ඇය සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරීමය. ඇය ඔහුට දුරකථනය විවෘත නොකළාය.

නරේන්ද්‍ර තමා කෙරෙහි මෙන් ම ඇය කෙරෙහි ද කෝප විය.

“එයා හිතනවා ඇති මං එයා ළඟ දණ ගහයි කියලා. ඒවා බොරු. නෑ දෙයියනේ මං මෝඩයෙක්. මං ඒ අහිංසක ගෑනිට කරපු බොරුව? මොනවා වුණත් එයාට මගෙන් ගැලවිලා යන්න නම් මං ඉඩ දෙන්නෙ නැහැ.”

ඇය මුණ ගැසීමට යා යුත්තේ ඇයට මඟ හැර යාමට අවකාශයක් නොදෙමින් යැයි අවසානයේ තීරණය කළ නරේන්ද්‍ර එක් ඉරිදා සවසක ඇය සොයා ගියේ ඇයට හුරු පුරුදු තම වාහනයෙන් නොවේ.

තම නිවෙස ඉදිරිපිට නැවතූ ජීප් රථය දෙස ඇය බැලුවේ එක් ජනෙල් පියන් පතක් විවෘත කර ඒ අතරිනි. කළුවන් පැති වීදුරු විනිවිද රියැදුරු කවුදැයි හඳුනා ගැනීමට අපොහොසත් වූ ඇය ජිප් රථය වෙත ආවාය.

“ගේට්ටුව අරින්න.”

ඔහු කීවේ ඇසෙන නෑසෙන හඬකිනි. ඇය වහා ආපසු හැරුණාය. ඔහු සංසුන් ලෙස ජිප් රථයෙන් බැස ගේට්ටුව හැර ගත්තේය.

ජිප් රථය මිදුලට ගෙන ඈත මෑත බලන විට ඇය ගෙතුළට සැඟවී ගොස් අවසානය.

“දොර වහගෙන යන්න අමතක වෙලා. බලමු.”

ඔහු සෙමින් සෙමින් ගෙතුළට පියවර තැබුවේ නිවෙස වෙලා ගත් ගැඹුරු නිශ්ශබ්දතාවය අසුබ සංඥාවක් පෙර නිමිත්තක් සේ දකිමිනි. ඇය සමඟ නිවෙසේ සිටිනා අනෙක් කථිකාචාර්යවරිය නිවාඩු දෙදිනේ ගම රට බලා ගොස් විය හැක.

නරේන්ද්‍ර විසිත්ත කාමරයේ අසුන් ගත්තේය. කිසිදු හඬක් නැත. පාළු නිවෙසක හුදකලා වූවා වැනිය.

“ප්‍රියදෝණී එන්න මෙහාට. මට ඔයාට කියන්න කාරණයක් තියෙනවා.”

කැඳවුමට ප්‍රතිචාරයක් නැත. මේ මුරණ්ඩු හිතුවක්කාරකම කෙසේ හෝ පරාජය කිරීමේ අදිටනින් ඔහු නැඟී සිටියේ නිවෙසේ කොතනක ගුලිව සැඟවී සිටියත් ඇය විසිත්තකාමරයට ඇදගෙන ඒමේ චේතනාවෙන් වියරු වෙමිනි.

“මොනවා වුණත් දෙපතුල ළඟට ආව මනුස්සයට මෙච්චර ලොකු කමක්?”

නරේන්ද්‍රගේ සිත ගුගුරන්නට විය. ඔහු ඇය සොයා ගත්තේ කුඩා කෑම මේසය සමීපයේ පුටුවක වාඩිවී අතකින් දෙනෙත් වසාගෙන සිටියදීය.

“ඇයි මේ? මොකක්ද මං කරපු වැරැද්ද?”

ඇය පාෂාණභූතව ගොළුව සිටියාය. පිළිතුරු නැත.

“අනිත් හැමෝටම කෝල් දෙන්න පුළුවන්. මිස් කෝල් එකක් තිබුණොත් ආපහු කතා කරලා සමාව ගන්න පුළුවන්. මගෙ සේවකයන්ගෙනුත් සමාව ගන්නවා. ඒක මට ලජ්ජාවක් කියලා හිතන්නෙ නෑ. පිස්සු හැදිලා.”

ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවේ එක් වරකි. ඒ දෙනෙත් රතු පැහැ ගැන්වී උතුරන කඳුළු රුධිරය සේ නරේන්ද්‍ර දුටුවේය. දැරිය නොහැකි වේදනාවකින් දෙනෙත් පටල සිඳී බිඳී ලේ වැගිරෙනවා වැනි දසුනින් නරේන්ද්‍ර තැති ගත්තේය.

ඇයට ළං වූ ඔහු තම දෙඅත් ඇගේ මුහුණ දෙපසින් තැබුවා පමණි. ඇය ඔහු පසකට තල්ලු කරමින් නැගී සිටියේ අදහා ගත නොහැකි තරමේ වේගයකිනි.

“යක්ෂණියක් වෙලා.”

ඔහු කීවේ කෝපයෙනි. එහෙත් ඇගේ දෙනෙතේ රුදුර සොබාව ලජ්ජාව, අපේක්ෂා භංගත්වය, ඊර්ෂ්‍යාව, අසරණකම, පළිගැනීමේ චේතනාව එකට කැටිවී උපන්නකැයි හැඟීමෙන් ඔහුගේ සිත මුදු විය. අහිංසක ගැහැනියකට වුවද යක්ෂාවේශයන්ට මුහුණ දීමට සිදු වන අවස්ථා ඇති නොවෙනවා නොවේ.

“රණ්ඩු වෙන්න ඕනෙ නැහැ. ගෑනු පිරිමි එකතු වෙනවා. නොගැළපෙනවා නම් වෙන් වෙනවා. අපි ඒක මහා ප්‍රශ්නයක් කර ගන්න තරම් තොත්ත බබාලා නෙමේ. මං ආවෙ ඔයාට මොකද වෙලා තියෙන්නෙ බලලා යන්න. කතා කරමු අපි.”

නරේන්ද්‍ර සෙමින් ඇගේ අත ගන්නට උත්සාහ ගත්තේය. ඇය එවර පෙරටත් වඩා වේගයෙන් ඔහුගේ අත ගසා දැමුවාය. පහරේ වේගයෙන් අතරමංවූ අත පුටු ඇන්දේ වැදුණේ විසල් රිදුමකින් පීඩා දෙමිනි.

“කඩපන් මගෙ අතපය මිරිකපන් බෙල්ල, මරපන් මාව. එතකොට ඔය නපුරු හිතට සතුටක් දැනෙයිනෙ. මුං ගෑනු ඔක්කොම එකයි. ඕපා දූප, කේළම්, කයි කතන්දරවලින් ඔළුව පුරවගෙන මිනිස්සුන්ව බාගෙට මරනවා. රටක නීතියක් තියෙනවා. ඒ නීතියට අපි එකඟ වෙන්න ඕන. ප්ලේන් එකට නගින්න ඉස්සෙල්ලත් මං කෝල් කළා.”

තමා ශුද්ධාත්මයක් වීමට ගත් උත්සාහය තුළ ඇය ජීවිතයේ ගුප්තමය දුෂ්ට සොබාව හඳුනා ගත නොහැකි මෝඩ ගැහැනියක වූවා වැනි හැඟීමකින් නරේන්ද්‍ර සිත උපන්නේ ලජ්ජා සහගත සැනසිල්ලකි. ගැහැනියක වශයෙන් ඇගේ සිත පිරී ඇත්තේ මෙත් ගුණයෙන් හා දයාවෙනි.

කරුණාව පිරුණු ඒ හදවතට වංචාවක් කිරීම, ද්‍රෝහිකම් කිරීම, ජීවිත කාලය පුරාම තමාට තමා විසින් ම දඬුවම් දීමක් විය හැකි යයි එදා සිතුණේ නැත.

නරේන්ද්‍රගේ දෑත යළිත් වෙව්ලන්නට විය. ඔහු වි‍වෘත කළ කළුවර අල්මාරියේ පියනට දෑතින් ම පහරක් දුන්නේ සිරුරේ ශක්තිය දෑතට ගනිමිනි.

“සර්”

බන්දුලගේ හඬ දොර දෙසින් ඇසිණි. ඔහු විකෘතියෙන් මිදුණේ සිහිනයකින් අවදි වන්නා සේය.

“රුක්නාද් මන්ත්‍රිතුමා ඇවිත්.”

“ම්හ්”

ඊළඟ සතියේ එන ස්විස්ගමන නොයා සිටීමට ඇත්නම් යැයි සිතින් නරේන්ද්‍ර පහත මාලයට ආවේය. කුමක් හෝ විසඳිය නොහැකි ගැටලුවකට තම ස්වාමියා මැදිව ඇතැයි සිතමින් බන්දුල ඔහු පසු පසින් ආවේය.

ලබන සතියට

Comments