දූගේ අලුත් හදවත නැවතෙද්දි අපෙත් හදවත නැවතුණා... | සිළුමිණ

දූගේ අලුත් හදවත නැවතෙද්දි අපෙත් හදවත නැවතුණා...

 අලුත්ගම කළුවාමෝදර පදිංචි මහේෂ් කුමාර හා බිරිය සිය පුංචි කැදැල්ලේ දියණියන් දෙදෙනා හා පුතා ගැන මහමෙරක් තරම් වූ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනය. එහෙත් ඔවුන්ගේ සොඳුරු කැදැල්ලේ සැනසුම නැති කළේ පවුලේ වැඩිමල් දියණිය රෝගාතුර වීමත් සමඟය. දියණිය හදවත් රෝගයකින් පෙළෙන බව දැන ගත් දිනයේ ඒ දෙමහල්ලෝ නොකා නොබී හඬා වැටුණහ. එහෙත් හඬා වැලපෙමින් නොසිට ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව වටහා ගත් ඒ දෙමහල්ලෝ දියණියගේ හදවත් රෝගයට වහාම ප්‍රතිකාර සඳහා යොමු වුණහ. ඒ වෙනුවෙන් කළ කී සියලු දේ ගඟට ඉනිකපන්නාක් මෙන් වෙද්දී වැඩිමල් දියණිය දෙමවුපියන්ගේ සියලු ප්‍රාර්ථනා සිඳ බිඳ ලමින් හදවත් රෝගය නිසා ජීවිතයෙන් සමු ගත්තාය.

ඒ 2012 වසරයි. සචිනි සෙව්වන්දිට සිය වැඩිමල් සොහොයුරියගේ වියෝව දරා ගත නොහැකි තරම්ය. දරුවන් අතරින් හාහාපුරා මුහුණ දුටු පළමු දියණයගේ වියොවින් මවුපියන් හඬා වැටෙනා අන්දම දකිමින් සචිනි ද දුක් වූවාය. ඇය ඒ මොහොතේ ඔවුන් සනසමින් ඔවුන්ගේ දුක තුනී කරලීමට උත්සාහ ගත්තාය.

සචිනි අධ්‍යාපනය ලැබුවේ අලුත්ගම සංඝමිත්තා විදුහලේය. 19 හැවිරිදි ඇගේ සිතේද තරුණියක ලෙසින් බලාපොරොත්තු ගොන්නක්ම විය. මවුපියන්ගේ සිහින සැබෑ කරමින් අක්කා නැති පවුලට මිණි පහනක් වීම ඇගේ අපේක්ෂාව විය. එහෙත් ඇගේ පාසල් ගමනද අතරමඟ නතර කරන්නට සිදු වූයේ ඇගේ හදවතේ ඇතිවූ ආබාධය නිසාය. පවුලේ වැඩිමල් දියණියට උරුම වූ කරුම හදවත් රෝගය දෙවැනි දියණියට ද වැළැඳීමත් සමඟ ඒ දෙමවුපියෝ තවත් අසරණ වූහ. ජීවිතයේ සියලු අපේක්ෂා සුන්ව යන ලෙසක් දැනෙද්දී ඔවුන්ගේ සිතේ සහනයක් දෙමින් සිතට නව අපේක්ෂාවක් එක් කළේ මහනුවර රෝහලේ සිදු කෙරෙන අලුත්ම හදවත් බද්ධ සැත්කමය.

සචිනි ද මහනුවර රෝහලට ඇතුළත් කෙ‍රුණේ නව හදවතක අපේක්ෂාවෙනි. සචිනි දින සති ගෙවී යද්දී තමන්ටම ගැළපෙන අලුත් හදවතක් ලැබෙන තුරු සචිනි මහනුවර රෝහලේ සයනයක සිට දෑස් දල්වා බලා සිටියාය.

අවසානයේ සචිනිගේ මෙන්ම ඒ දෙමවුපියන්ගේ ද හදවත්වලට සැනසිල්ලක් දෙමින් සචිනිගේ හදවතට ගැළපෙන හදවතක් ලැබුණේ මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකුගෙනි. මහනුවර හාරගම ප්‍රදේශයේ සිදුවූ මාරක යතුරු පැදි අනතුරකින් බරපතළ තුවාළ ලැබ රෝහලේ දැඩි සත්කාර ‍ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ තරුණයා නලින්ද බණ්ඩාර සකලසූරිය ය. විසි අට හැවිරිදි නලින්ද තලාතුඔය කපුලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නලින්දගේ හදවත ‍සචිනිට බද්ධ කිරීම සඳහා ලබා දීමට ඔහුගේ ඥාතීහූ කැමැත්ත පළ කළහ. ඒ අනුව නලින්ද ගේ හදවත සචිනිට බද්ධ කෙරිණි. සචිනිගේ දෙමවුපියන් සැනසුම් සුසුම් හෙළුවේ සිය දියණියට වෙනත් හදවතක් බද්ධ කිරීමෙන් පමණක් ජිවිතය බේරා ගත හැකි බව ඒ වෙද්දී වෛද්‍යවරුන් විසින් දන්වනු ලැබ තිබීම නිසාය. එහෙත් ඔවුන්ට සැනසීමෙන් ගෙවීමට ලැබුණේ දින දෙකක් පමණි. සචිනි ද සිය වැඩිමල් සොහොයුරිය ගිය මඟම ගියාය. ඇගේ දෙමවුපියන්ගේ ලෝකය ගිනි ගත්තේ එතැන් සිටය. ඒ මවත් පියාත් දෙඅත් හිසේ බැඳගෙන විලාප දුන්නේ තමන්ට සිටි එකම දියණියත් අහිමි වීමේ වේදනාව දරා ගත නොහැකිවය.

“ මගේ ලොකු දුව වින්ද්‍යා ලක්මිණි නැතිවුණෙත් හදවත් රෝගයකින්. අන්තිමට මටත් මගේ නෝනටත් ඉතුරු වුනේ පොඩි දුවයි, පුතයි විතරයි. ලොකු දුව නැතිවුණාට පස්සේ අපි දෙන්නා මේ දරුවෝ දෙන්නා ඒ කියන්නේ සචිනි දුවයි නවෝද් නෙතු සිතුම් පුතාවයි බලා ගත්තේ පණ වගේ. ඒ වුණත් ලොකු දරුවා නැතිවුණ වේදනාවෙන් අපි හරියට අසරණ වුණා. ඒත් අපේ දෛවය අපිට හරියට අකාරුණික වුණා. මගේ සචිනි දුවටත් අර හදවත් ලෙඩේම තියනවා කියලා අපි දැනගත්තේ ලොකු දුව නැතිවුණ අවුරුද්දේමයි.

මේ වෙනකොට දුවගේ හෘදය ක්‍රියාකාරිත්වය ගොඩාක් අඩුවෙලා තිබුණේ. දුවට අඩි 5 ක් 6 ක් වත් පයින් යන්න බැහැ මහන්සියක් දැනෙනවා. මහනුවර මහ රෝහලේ හදවත් බද්ධ කරනවා කියන ආරංචිය ලැබුණාම අපි හතර දෙනාම නැවතත් ජීවත් වෙනවා කියලා දැනුණා. දුව මහනුවර මහ රෝහලේ නැවැත්වූයේ මාර්තු 28 වැනිදා. මාර්තු

27 වැනිදා දුව ගෙදරින් ගියේ එයාගේ ආච්චිටත් සීයටත් වැදලා. ආච්චි මම ගිහින් එන්නම්. එදා දුව කිව්වේ එයාගේ අන්තිම වචන ටික කියලා මට නිකමටවත් හිතුණේ නැහැ” සචිනිගේ පියා චමින්ද මහේෂ් කුමාර පවසන්නේ දිගු සිහිනයකින් අවදි වූවා සේය.

“ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සමන් රත්නායක මහත්තයා විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහත්තයට අපිව අදුන්නලා දුන්නා. දුව රෝහලේ නතර කරලා ඉන්දෙද්දි රෝහලෙන් අපිට දැන ගන්නට ලැබුණා රිය අනතුරකින් මියගිය රණවිරුවෙකුගේ හදවතක් දුවට බද්ධ කරන්න සූදානම් කියලා. වෛද්‍යවරුන් කියපු දවසේ ඔපරේෂන් එකට සූදානම් වුණ. දරුවා නාවන්න විෂබීජ නාශක ෂැම්පු වර්ගයක් දුන්නා. බොන්නත් බේත් දුන්නා. අපට හිතේ බයක් වගේම දුව ජීවත් කර ගන්න පුළුවන් කියා ලොකු විශ්වාසයකුත් තිබුණා. දුවත් ආසාවෙන් ඔපරේෂන් එකට ලෑස්ති වුණේ. ඒත් නොහිතපු විදියට කියපු දිනයේ දරුවාගේ ඔපරේෂන් එක කිරීම නතර වුණා. වෛද්‍යවරුන් දරුවාගේ ඔපරේෂන් එක කරද්දි දෙපැත්තට බෙදුණා. අන්තිමට හදවත විනාශ වෙලා ගියා” සචිනිගේ පියා මහේෂ් කුමාර පවසන්නේය.

වෛද්‍යවරුන්ගේ හබය මේ ශල්‍ය කර්මයට පමාවක් වුවත් රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ මීට වඩා වෙනස්ම වූ කතාවකි. සචිනිගේ හදවත් බද්ධයට අවශ්‍ය වූයේ “ඕ” පොසිටිව් වර්ගයේම හදවතකි. ඒ අනුව වෛද්‍ය කණ්ඩායම ලෑස්ති වූයේ ශල්‍ය කර්මය කිරීමටය. නමුත් සචිනිගේ සැත්කමට පෙර කරන ලද වෛද්‍ය පරීක්ෂණවලදි හෙළි වූයේ ඇයගේ පෙනහලුවල රුධිර පීඩනය අධික බැවින් ශල්‍ය කර්මය සිදුවන අවස්ථාවේදි හා ඉන්පසුව එය නියාමනය කිරීමට විශේෂිත වූ Cardiac output monitoring නමැති උපකරණය අවශ්‍ය පවයි. එය නොමැතිව සැත්කම් කිරීම අවදානම් නිසා උපකරණය ලබාගෙනම ශල්‍ය කර්මය කළ යුතු බවට වෛද්‍යවරු තීරණය කළහ. එයට හේතුව සචිනිගේ ජීවිත අවදානම අඩු කිරීමය. නමුත් මේ වන විටත් සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් මත සැත්කමට අවශ්‍ය වන මෙම යන්ත්‍රය ත්‍රීකුණාමලයේ කින්නියා රෝහලෙන් ගෙන්වා ගැනීමට වෛද්‍යවරු සමත් වූහ. නමුත් එම උපකරණයද මෙම ශල්‍ය කර්මය සඳහා ප්‍රමාණවත් නොවූයෙන් එම උත්සාහයද අසාර්ථක විය.

සචිනිට දෙවැනි වර ලැබුණු නලින්ද ගේ හදවත ඇයට හරියටම ගැළපුණෙන් 26 වැනිදා සැත්කම කිරීමට තීරණය විය.

“ දුවට පැය හයක සැත්කමක් කළා. ඒක සාර්ථකයි කියලා දොස්තරවරු කිව්වා. මම දණ ගහලා ලොකු දොස්තර මහත්තයට වැන්දා. අපිට ආයිත් ජීවතයක් ලැබුණා කියා අප සතුටු වුණා. ඒත් ඒ සතුට තිබුණේ දින දෙකක් විතරයි. අන්තිමේදි අපේ සචිනි දුවත් අපි අතරින් යන්නම ගියා. වෛද්‍යවරුන් කිව්වේ පෙනහලුවල පීඩනය වැඩි වීමෙන් හෘදය වස්තුව අකර්මණ්‍ය වීමෙන් මේ මරණය සිදුවූ බවයි. දැන් අපේ දරුවෝ දෙන්නම අපිට නැහැ. මේ වගේ දුකක් කිසිම අම්මෙකුට තාත්තෙකුට වෙන්න එපා. ” පියා පවසන්නේය. තවමත් ඒ නිවෙසෙන් ඇසෙන්නේ මේ දෙමවුපිය දෙදෙනාගේ විලාපයයි. ආදරයෙන් රැකගත් දෙනෙත් වන් දරු දෙදෙනාම අද ඔවුනට අහිමිය. එහෙත් ඔවුන්ගේ එකම පුතු වෙනුවෙන් මේ මවත් පියාත් තවදුරටත් ජීවත් විය යුතුව ඇත.

අප රටේ වෛද්‍ය ඉතිහාසයේ යම් යම් වෙනස්කම් කළේ නම් ඒ මේ වෛද්‍යවරුන්ය. දෙවිවරුන් වන් එවන් වෛද්‍යවරුන්ට චෝදනා කරද්දී අප දෙවරක් සිතා බැලිය යුතුය. මන්ද අපි නොදන්නා බොහෝ දේ වෛද්‍යවරු වන ඔවුන් දන්නා නිසා ය. අපට යමක් ලැබෙන්නේද නොලැබෙන්නේද අපගේ දෛවය අනුවය. සචිනිටත් උරුම වූයේ ඒ දෛවයෙන් රැගෙන ආ දේය.

තොරතුරු හා ඡායාරූප
එම්.ඒ.කේ. වීරසිංහ (අලුත්ගම සමූහ)
සුභාෂිණි ජයරත්න 

Comments