සංගා සහ මහේල අවසන් සටනේ | සිළුමිණ

සංගා සහ මහේල අවසන් සටනේ

ශ්‍රී ලංකා කණ්ඩායම සිය තිස්පස් වසරක ටෙස්ට් ඉතිහාසයේ පළමු දිවා රාත්‍රී තරගයට පාකිස්තානයට එරෙහිව පිටියට පිවිසෙන විට ජයග්‍රාහී පිපාසයකින් පෙළුණු ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ටෙස්ට් තරග ජය නව ජවයක් එක් කළ බව නොරහසකි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියද මේවන විට ආරම්භ වී තිබේ.

මේ තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා පත් කරන ලද හේමක අමරසූරියගේ සභාපතිධූරයෙන් යුත් ස්වාධීන උපදේශන මණ්ඩලයේ සාමාජිකයන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැති අතර එහිදී අදහස් දැක්වූ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා තමන් අවසන් වරටත් උත්සාහයක නිරතවන බවයි. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා සහ කුමාර සංගක්කාරයි.

අදාළ පංච පුද්ගල කමිටුව විසින් සකස් කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ කෙටිකාලීන සැලැස්මක් පළමුව ක්‍රීඩා අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට සැලසුම්කර ඇතැයි මහේල පවසයි.

ඊට අමතරව ගන්නා වූ කෙටි කාලීන සැලසුම් ස්ථාවරකර ගැනීම සඳහා දිගුකාලීන සැලසුම් කිහිපයක් ම තිබෙන බව පවසන මහේල ඒවා ක්‍රියාත්මක කර ගැනීමේ බලය සහ වගකීම් ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාට බව ද පවසයි.

මෙකී පංච පුද්ගල කමිටුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ කමිටුවක් නොවන බවද පවසන මහේල මේ සැලසුම් ක්‍රියාවට නංවන්න ඕනා. ඔවුන් එහෙම නැත්නම් අප කරන මේ කැපකිරීම්වල ප්‍රතිපලයක් නොමැති බවද පවසයි.

මේකෙන් වැඩක් වෙන්න ඕනා. නැත්නම් මේ වැය කරන කාලයෙන් සහ හමුවීම්වලින් වැඩක් නැති වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුමක් මහේල ජයවර්ධන 2015 දී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබා දුන්නේය. දශක දෙකකට ආසන්න සිය ක්‍රිකට් අත්දැකීම් සම්භාරය ගොනු කරගනිමින් ක්‍රිකට් සැලසුමක් මහේල ජයවර්ධන සකස් කළේ 2015 දී එවකට සිදත් වෙත්තමුණිගේ සභාපතිධූරයෙන් අතුරු කමිටුවේ ඉල්ලීමකට අනුවය. එකී සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර සිදත් වෙත්තමුණිගේ සභාපතිධුරයෙන් යුත් අතුරු කමිටුව විසුරුවා හැරි අතර, මහේලගේ යෝජනා ක්‍රියාත්මක නොවුණි.

සිය පළමු අත්දැකීම් අනුව මේ ක්‍රියාවලිය පිළිබඳ පවතින විශ්වාස කෙබඳුදැයි යන පැනයට මහේලගේ ප්‍රතිචාරය වූයේ අවසාන උත්සාහයත් යොදවලා බලමු. මේ මගේ අන්තිම උත්සාහයයි. මේ සැලැස්ම ක්‍රියාත්මක වුණේ නැත්නම්, ආයේ ආයෙත් මේ දේම කරන්න උත්සහා කරන එකේ තේරුමක් නෑ. ඒක මටත් අපහසුයි.

සිය කමිටුව පිළිබඳ අදහස් දක්වමින් කුමාර සංගක්කාර පැවැසුවේ පැලැස්තරවලින් වැඩක් නෑ. වඩාත් උචිත වන්නේ දිර්ඝ කාලීන සැලසුමක් අනුව වැඩ කිරීමයි.

අපිට කරන්න පුළුවන් මොනවද කියලා සාකච්ඡා කරලා බලන්න ඕනෙ. ඒකට සියලු අදහස් එකතු වෙන්න ඕනෑ. අපිට එක සාකච්ඡාවකින් මේ වැඩේ කරන්න බෑ. සංගා වැඩිදුරටත් පවසයි.

Comments