රටවල් රැසක් පරදා රන් පදක්කම් දිනූ අපේ රශ්මි | සිළුමිණ

රටවල් රැසක් පරදා රන් පදක්කම් දිනූ අපේ රශ්මි

මව සහ පියා සමඟ

බැහැයි කියා දෙයක් නැහැ. උත්සාහයත් ධෛර්යත් ඇත්නම් අපට ජීවිතය ජය ගත හැකියි

රශ්මි නම් වූ දිරිය දියණිය පිළිබඳ මුලින්ම ‍ඔබට තොරතුරු කීවේ සිළුමිණෙනි. ඒ මීට මාස කිහිපයකට පමණ පෙරය. ඇය පිළිබඳ කියැවු ඔබේ ඇසේ කඳුළක් නැගුණු බව අපට නිසැකය. මේ දිරිය දියණිය පිළිබඳ අපට යළිත් ඔබට කියන්නට සිදුව ඇත . ඒ ඇගේ ජයග්‍රහණයේ සතුට පිළිබඳය. ඉගෙනීමට පමණක් නොව බාහිර ක්‍රියාකාරකම්වලටද දක්ෂ රශ්මිගේ ජීවිතය හරි අපූරුය.

“නොහැක්කක් නොමැත” එකත් එකටම ඇගේ ආදර්ශ පාඨය එය වුවාට සැක නැත. ඉතා සුළු ආබාධයක් ඇති අයෙකු වුව අන් අයගෙන් යැපෙන්නට සුදානම් වන යුගයක රශ්මි සියල්ල උඩු යටිකුරු කරමින් තම උත්සාහයේ ධෛර්යයේ මහිමය ලොවට පෙන්වා දුන්නාය. උපතින්ම දෙඅත් සහ එක් පාදයක් අහිමි වුවද රශ්මි නිමේෂා ගුණවර්ධන දියණිය සුවීශේෂි හැකියා රැසක් දායාද කර සිටින්නීය. ඒ හැකියා නිසා ඇය තම උපන් ගමට පළාතට පමණක් නොව රටටම කීර්තියක් ගෙන ආවාය. ඒ ඇය ඉකුත් දා වියට්නාමයේ පැවැති GLOBAL IT CHALLENG FOR YOUTH WITH DISABILILIES - 2017 තරගයට සහභාගි වී (සුපර් චැලෙන්ජර්) රන් පදක්කම දිනා ගනිමිනි.

රශ්මි දියණිය මෙම තරගය සඳහා සුදුසුකම් ලැබුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ නොවිදිමත් අධ්‍යාපන ඒකකය මඟින් පවත්වන ලද විභාගයකින් සාමාර්ථය ලැබිමෙනි. කැගල්ල දෙල්ඔළුව කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු රශ්මි දියණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසුව ඇහැලියගොඩ ජාතික පාසලට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය හදාරන්නීය. තොරතුරු තාක්ෂණ විෂය පිළිබඳ හදාරන රශ්මි මෙම තරගය සඳහා සහභාගි වුයේද ඒ අංශයෙනි. රටවල් 14ක තරගකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම තරගය ඉකුත් සැප්තැම්බර් 18 සහ 22 යන දිනවලදි වියට්නාමයේ හැනෝයි අග නගරයේදී පැවැත්විණි.

“ මට හරිම සතුටුයි මේ ජයග්‍රහණය ගැන. මං ජීවිතයේ හැම දෙයක්ම අභියෝගයක් ලෙස බාර ගන්න කැමැතියි. උත්සාහය හා අධිෂ්ඨානය තියෙනවා නම් බැහැයි කියා දෙයක් නැහැ. මා වැනිම වූ අනෙක් අයගෙනුත් මා ඉල්ලන්නේ කිසිම දෙයකින් පසුබට නොවී හිතේ ධෛර්යෙන් ඉදිරියට යන ලෙසයි. එතකොට අපට ජීවිතයේ බොහෝ දේ ජයගත හැකි‍ වේවි. මම මගේ ගුරුවරුන්ට වගේම මේ ගමනට උදව් කළ හැමෝටම ස්තුති වන්ත වෙනවා. ඇත්තම කිව්වොත් මගේ අම්මා තාත්තා සොහොයුරිය නැත්නම් මට කවදාවත් මේ තරම් දක්ෂකම් පෙන්වන්න විදිහක් නැහැ.” රශ්මි පවසන්නේ සතුටිනි.

ඇහැලියගොඩ ජාතික පාසලේ විදුහල්පතිනී හේමමාලී එම්. රාජගුරු මහත්මිය රශ්මිගේ ජයග්‍රහණය පිළිබඳ මෙසේ පවසන්නීය. “රශ්මි දියණිය අනෙක් දරුවන් වගේම කිසි වෙනසක් නැතිව පාසලේ හොඳට ඉගෙන ගන්නවා. මේ ශිෂ්‍යාව අපේ පාසල‍ට සුවිශේෂී චරිතයක්. ඇය ඉගෙනුම ලබන්නේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්. චිත්‍ර හා සංගීතය විෂයන්වලටත් ඇය බොහෝම දක්ෂයි. ඇය අපේ පාසලට පමණක් නොවේ සබරගමුව පළාතටම ආඩම්බරයක්. මම මේ දරුවගේ දකින විශේෂත්වයක් තමයි, ඇය කිසිම විටෙක තමන් ආබාධිතයි කියලා ඒ ගැන හිත හිතා කනගාටු වෙන්නේ හෝ පසුතැවිලි වන්නේ හෝ නැහැ. ඇය හැම විටම තමන් කරන දෙය බොහෝම උවමනාවෙන් උනන්දුවෙන් කරගෙන යනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ අධ්‍යාපන අධ්‍යක්ෂ පුණ්‍යදාස මහතා ඇතුළු සැමටම මේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.”

ජයග්‍රහණය ලබා පැමිණි රශ්මි දියණිය විද්‍යාලයේදි පිළිගනු ලැබුවේ මහත් හරසරිනි. රශ්මිගේ මව හා පියා ද ගුරුවෘත්තියේ නියැළෙන අතර ඔවුහු තම දිරිය දියණිය පිළිබඳ සතුටු වන්නාහ. ඉගෙනීමෙහි පමණක් නොව ගායනයේද දක්ෂ රශ්මි ප්‍රවීණ සංගීතඥයන් හා ගී පද රචකයන් නිර්මාණය කළ නවතම ගීත ගායනය කරමන් ඉකුත් මාර්තු මාසයේදී හා අගෝස්තු මාසයේදී “සරසි ගී දැහැන” නමින් සංගීත ප්‍රසංගයක් ද පැවැත් වූවාය.

රශ්මි නම් වූ දිරිය දියණියගේ ගමන එතැනින් නොනවතින බව අපට සහතිකය. ඇගේ අරමුණ අධ්‍යාපනයෙන් ඉහළටම යෑමය.

ඇහැලියගොඩ සමුහ
එච්.ඇම් කිත්සිරි රූපසිංහ

Comments