දියේ ගිලී මියැදෙන ඉබ්බෝ | සිළුමිණ

දියේ ගිලී මියැදෙන ඉබ්බෝ

ඉබ්බන් බෙරිහන් දෙනවා ඔබ අසා තිබෙනවාද? හිටපු වන ජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා එවැන්නක් අසා ඇති බව අපට කීවේය...

“දවසක් වීරවිල ගුවන් තොටුපළ වටේ ඇති ආරක්ෂිත වන බිමේ වල් අලියෙකු සොයද්දි එකපාරට පඳුරු අස්සෙන් බරක් ඔසවන මිනිහෙක් වැර ගන්නවා වගේ හඬක් ඇහිලා මම බයේ පැත්තකට පැන්නා. බලද්දි තාරකා ඉබ්බියකගේ කට්ට උඩ හිටිය තාරකා ඉබ්බෙක් තමයි කෑගහලා තිබෙන්නේ. අපේ සෙවිල්ල උන්ට කිසි බාධාවක් වුණේ නෑ. හැබැයි ඉබ්බා දැඩි වෙහෙසකින් හති හලනවා වගේ ශබ්දයකුත් කළා. ඒක සාධාරණයි. මොකද: අභිජනන ක්‍රියාවලිය උන්ට හරි අපහසුවක් වගේම ඉබි ගමනින් සිදු වන, වෙනත් සතුන්ට වඩා වැඩි කාලයක් වැය වන වැඩක්.”

තාරකා ඉබි පිරිමි සතුන්ගේ යට කට්ට වක්ව පිහිටන්නේ මේ සඳහා පහසුවක් ගෙන දීමට බව වෛද්‍ය අතපත්තුගේ නිගමනයයි. තාරකා ඉබ්බන් අද වන තුරු රැකී පවතින්නේද මේ ශබ්දය නිසා බව ඔහු කියයි.

“ලෝකේ පුරා ඉදිබු විශේෂ අතරින් අපේ රටේ ඉන්නේ වර්ග තුනයි. ඒ, ගල් ඉබ්බා, කිරි ඉබ්බා සහ මාවර ඉබ්බා හෙවත් තාරකා ඉබ්බා. කිරි ඉබ්බන්ට තිබෙන්නේ මෘදු පැතලි කටුවක්. රෝස පැහැයට හුරු දුඹුරු පැහැයක් ගන්නවා. හොම්බ ගල් ඉබ්බාගේ හොම්බට වඩා තරමක් උලයි. සාපේක්ෂව කිරි ඉබ්බා ජලජ පරිසරයට බොහොම කැමැතියි. ගල් ඉබ්බා දිය-ගොඩ පොදුවේ ඉන්නවා. ඉබ්බා දියේ දාන්නද අහුවම අන්නෑවයි කීවට තාරකා ඉබ්බා දියට බොහොම අකැමැතියි. එනිසා තමයි අර පඳුරු අස්සේ එහෙම ඉන්නේ. ගැමියන් හිතන්නේ පිරිමි සතාගෙන් පිට වන විසක් ඇඟේ වදින නිසා ගැහැනු සතා කෑගහනවා කියලා. ඒ විස පිළිබඳ කතාව නිසා තාරකා ඉබ්බන්ගේ මස් කන්නේ නෑ. හැබයි කිරි ඉබ්බන්ගේ සහ ගල් ඉබ්බන්ගේ සම්භෝගය අපට ලේසියෙන් බලන්න බෑ. මොකද: උන් ගැහැනු සතා මඩේ එරී යන තරමටම දිය පහරේ පතුලටම ගිහින් තමයි එකතු වන්නෙ. තාරකා ඉබ්බාට වුණත් විශේෂ අභිජනන රංගනයක් හෝ ගීතයක් නෑ. ඒත් ගැහැනු සතාගේ කටුවෙන් නොවැසුණු මුහුණ, අත් සිඹින ආකාරයෙන් තමයි කැමැත්ත විමසන්නේ. ගැහැනු සතා කැමැති නම් උගේ අර පුංචි වලිග කොටේ පැත්තකට ඇල කරනවා.”

ඉබ්බෙකු කියූ පමණින් අපට මතක් වන්නේ ඉබි කටුවය.

“ඇවිදින ගෙයක් වගේ, කොටස්වලට වෙන් වෙලා විශේෂ හැඩතල මතුවන විදිහටයි තිබෙන්නේ. උඩු ස්තරය පිම්බුණත් යටි ස්තරය පැතලියි. ඒ අවකාශය රික්තයක් නිසා දියේ පාවෙන්න පුළුවන්. සමහරු කියනවා ඉබ්බා පොළොවෙ ගැහුවත් කටුව කැඩෙන්නේ නෑ කියලා. ඒත් විලෝපිකයන්ගේ සහ සුනඛයන්ගේ රුදුරු දත්වලින් හානි වෙන්න පුළුවන්. කැස්බෑ ලෙලිවලින් විසිතුරු දේ හැදුවට ඉබි ලෙල්ලේ කිසිම ප්‍රයෝජනයක් නෑ.

පැටි කාලේම ඉබි කට්ටේ පැහැයත් හැඩතලත් දකින්න පුළුවන් වුණත් මෝස්තර පැහැදිලිව පෙනෙන්නේ වැඩිහිටි ඉබ්බන්ගේයි. දියේ හිටියත් ගොඩ හිටියත් වෙනස් නොවන ඉබි චර්යාවක් තමයි කට ඇරගෙන අව්ව තැපීම. එයට පහසුකම් මදි වුණොත් කට්ටේ පැහැය පවා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එකා පිට එකා නැඟී හරි ඉබ්බන් අවුව තපිනවා. ඉබි කට්ටෙ ඉදිරිපස සම් ආවරණයකින් වැසී යන විදිහට විවෘතව තිබෙන්නේ හිසත් ඉදිරි පාද යුගලත් පිටතට යොමු කළ හැකි වෙන්න. පිටුපස පෙදෙසෙන් කෙටි වලිගයත් පසු පාදත් එළියට ගත හැකියි. පාද කෙටි නිසා ඇවිදිද්දී යට කටුව බිම වදිනවා. ඉදිරි පාදවල නිය වඩා දිගයි. දිය සෙවල සහිත බෑවුම්වල යන්නත්, ඉබ්බාට ඉබ්බියගේ කටුව තදින් බදා ගන්නත් ඒ නිය භාවිත කළාට, ඉබ්බිය බිත්තර දාන්න වළවල් හාරන්නේ පිටුපස ගාත්‍රා දෙකෙන්. ඒවායේ මාංසපේශි ශක්තිමත්.”

වෛද්‍යවරයාගේ නිරීක්ෂණය අනුව බිජු ලෑමේදී ඉදිබු මව මැටි පස් මඟ හැර ගං ඉවුරක වැලි පස් සොයා අඟල් හතරක-පහක කෝප්පයක් වැනි වළක් හාරා බිත්තර 4 සිට 25 දක්වා සංඛ්‍යාවක් දමා වසයි.

“මේ සඳහා තෝරාගන්නේ හිරු එළිය හොඳින් ලැබෙන තැන්. මොකද: බිත්තර රැකෙන්නේ හිරු එළියෙන් පස් රත් වුණාමයි. දවස් 68-70ක් විතර යද්දි පුංචි ඉබි හොම්බකුයි චූටි කකුල් දෙකකුයි බිත්තරෙන් එළියට එනවා. ඊට පස්සේ අඟලක විතර බොත්තම් ගොඩක් හැළුණා වගේ චුට්ටි පැටව් රොත්තක් පේන්න ගන්නවා. හැම බිත්තරයකින්ම පැටවෙක් බිහි වන්නෙත් නෑ. ඉපදුණු පැටවුන් විලෝපිකයන්ටත් ගොදුරු වනවා. වතුරෙදි ලොකු මාළුන් මේ පැටවුන් ගිල දානවා. බොහෝ ඉදිබු පැටවුන්ට මවුපිය ආරක්ෂාව නෑ. ඒත් සමහර ඉබි අම්මලා තමන්ගේ කැදැල්ල අවට ඉඳන් විලෝපිකයන්ට පුළුවන් විදිහට කඩා පැනලා එළවාගන්න අවස්ථා තිබෙනවා. පිටරටවල සමහර ඉබ්බියන් පස්සේ පැටවුන් යන හැටිත් අපට දකින්න පුළුවන්. ඒත් අපේ රටේ එහෙම නෑ. අයහපත් දේශගුණික තත්ත්වයකදී පැය 72ක් කැදැල්ලේම ඉන්න තරම් බිත්තරයේ සුදු මදයේ ආහාර මේ පැටවුන්ට ප්‍රමාණවත්. දියට බැස්සාට පස්සේ පිහිනීම ප්‍රගුණ කළත්, පොඩිවුන් වගේම ලොකු ඉබ්බන්ටත් වැඩි වෙලා දිය යට ඉන්න බෑ. හේතුව උරග ගණයට අයත් උන්ට කරමල් නෑ. පෙණහලුවලින් ආශ්වාස ප්‍රශ්වාස කරන නිසා වරින් වර දිය මතුපිටට එන්නම වෙනවා. නැත් නම් දියේ ගිලී මැරෙනවා. ගෙම්බන්ගේ වගේ හමකින් ඇඟිලි එකට බැඳිලා නැති නිසා පිහිනීම කාර්යක්ෂම නෑ. පාද සහ වල්ගය මඟින් කරන්නේ දිශාව තිරණය කිරීමයි.”

නිවෙස්වල හදන ඉබ්බන් වැඩිපුර කංකුං ආදිය ආහාරයට ගන්නා නිසා අප සිතන්නේ උන් ශාක භක්ෂකයන් කියාය.

“දත් දෙපළක් වෙනුවට ඉබ්බන්ට තිබෙන්නේ කියත් වගේ දැති ගැහුණු හකු විතරයි. ඒත් ඉබ්බන්ට ගමන් මඟේ හමු වන ජීව-අජීව ඕනෑම දෙයකින් කුස පුරවාගන්නවා. ජලය ආශ්‍රිතව වැඩෙන සරු තණපත් වගේම මුකුණුවැන්න, ජලාශ්‍රිත වැල්වර්ග උන්ගේ මෙනු පතේ ප්‍රධානයි. බිම වැටුණු මල්, පලතුරු හෝ පණුවන් වුණත් මඟ හරින්නේ නෑ. ජලයේදී මසුන්ට, කුඩා කක්කුට්ටන්ට, ඉස්සන්ට ඉබි කටින් බේරී යන්න බෑ. අපට පිළිකුල් වුණත් ඉබි මඟේ මිනිස් මළ තිබුණත් ඌ එතැන සතුටින් නතර වනවා. මේ නිසා ඉබ්බන් කසළ ශෝධක ගතිගුණ පෙන්වනවා.”

කී වෛද්‍ය අතපත්තු අප නොසිතන ආකාරයේ ඉබි විස්තරයක් කළේ මෙසේය...

“දවසක් වැව් තෙරක මැරී දින කීපයක් වන ඇතින්නියකගේ පශ්චාත් මරණ පරීක්ෂණයට මම ගියා. පරීක්ෂණ ආරම්භ කර ටික වෙලාවකින් ඇතින්නගේ උදරයෙන් ලොකු කළු බෝල වගයක් එළියට වැටුණා. බලද්දි උදරය සිදුරු කරගෙන ඇතුළට රිංගාගෙන අතුණුබහන් කාපු ඉබ්බො හතර-පස් දෙනෙක්. ඉංජෙක්ෂන් ගහන්න බැරි තරම් හයිය අත් බාහු තියෙන අයගෙන් අහන්නේ ඉබි මස් කාලාද කියලානේ? ඕනෑම මස්-මාංසයකින් අපට ලැබෙන ප්‍රෝටීන හැරුණාම ඉබි මසෙන් මාංසපේශිවලට අමුතු බලපෑමක් නෑ. ඒත් ඉතින් ‘දිය කුකුළු මස්’ කියා ඉබි මස් කන අයට ඉබ්බන්ගේ කෑම වට්ටෝරු ගැනත් දෙසැරයක් හිතන්න වෙනවා.”

මේ කතා කෙසේ වුවද ජපානය වැනි ලොව ඇතැම් රටවල්, ඉබ්බා වාසනාවේ සංකේතයක් ලෙස සලකයි.

“මගේ මිතුරෙක් විවාහ වුණේ ජපන් නෝනා කෙනෙක් එක්ක. ඒ නෝනාට ඕනෑ වුණා තාරකා ඉබ්බෙක් හදන්න. හේතුව: ඒ රටේ විශ්වාසයක් තිබෙනවාලු තාරකා ඉබ්බෙක් උදේ හවා දැකීම ඉතාම වාසනාවන්ත නිමිත්තක් කියලා. ඒ නිසා තාරකා ඉබ්බියක් සොයාගෙන ඇති කළා. ඌට සංග්‍රහ කළේ චීස්, පාන්, ඇපල් වගේ මෝස්තර කෑමවලින්. අපි නොහිතුවාට කොළඹ නගරයේ පමණක් ඉබි සුරතලුන් ඇති කරන්නන් දහසකට වඩා ඉන්නවා. ඒත් එය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්.

“තවත් සමහරු සුරතල් මසුන් ඇති කරන ටැංකිවලට පිටරටින් ආනයනය කළ කුඩා කොළ ඉබ්බන් දානවා. මාළු ටැංකිය එපා වුණාම අර කොළ ඉබ්බන් අපේ පරිසරයට මුදා හරිනවා. නැත් නම් උන් පැන යනවා. මේ ආගන්තුකයා අපේ පරිසරයේ නිදහස් වීම උන්ගෙන් අලුත් විෂබීජ මෙන්ම රෝග අපේ පරිසරයට එක් වන්න හේතුවක්.”

අපට උරුම නැති යෝධ ඉබ්බන් පිළිබඳ නොමැකෙන සටහන් කිහිපයක් අපේ රටේ ඇති බව කියන්නටද වෛද්‍ය අතපත්තු අමතක කළේ නැත...

“පරිණාමවාදයේ පියා - චාල්ස් ඩාවින් ගැලපෙගොස් දූපත්වල පර්යේෂණ කළේ ඉබ්බන් සහ පියා නොසලන පක්ෂීන් ඇසුරෙන්. ඒ දූපත්වල විසූ ආදිකාලීන යුගයට අයත් යෝධ ඉබ්බන් දෙහිවල සත්තු වත්තේදී දැකගන්න පුළුවන්. කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ නිදැල්ලේ සිටි යෝධ ඉබි යුවළ නම් දැන් නෑ.

මීට අවරුදු හතළිහකට විතර කලින් ‘සිළුමිණ’ පත්තරෙන්ම ලිපියක් කියෙව්වා. බ්‍රිතාන්‍ය පාලන සමයේ ගාල්ලේ විසූ ඉංග්‍රීසි ජාතික වැන්දඹුවකගේ සුරතලා වී තිබුණේ මේ යෝධ ඉබ්බෙක්ලු. රික්ෂෝවක නැඟලා කරාපිටියේ ඉඳන් ගාලු කොටුව අසල කඩපිලෙන් සතිපතා ගෙදර අඩුපාඩු ගෙනයන මේ කාන්තාව සමඟ ඉබි සුරතලාත් පොළේ යන්න පුරුදු වෙලා හිටියලු. ඒ යුගයේ අද වගේ ගොඩනැඟිලි පිරුණු ජනාකීර්ණ පැත්තක් නොවුණු නිසා යාළුවා ඇවිත් තිබෙන්නේ කෙටි පාරකින්. මිල දී ගත් බඩු මලු කීපයක් කටුව උඩ තිබ්බාම සවස් යාමය වන විට ඒ මලු ගෙදරට හෙමින් සේන්දු වෙනවා පේනවාලු. ඉබි සුරතලා සඳහාම කුස්සියට එන මාර්ගයක් ඒ බංගලාවේ තිබුණා කියලත් කියනවා. අපි පුංචි කාලේ ගියා ඒ ස්ථානය බලන්න. බංගලාව නම් ජරාජීර්ණ වෙලා තිබුණා. ඒත් යෝධ ඉබි කට්ට සැමරුමක් වශයෙන් වත්තේ කොනක තිබුණා මතකයි. අද ඒ බංගලාව තිබුණු බිම කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට යට වෙලා.”

වෛද්‍ය නන්දන අතපත්තු එසේ කී විට ඉබ්බකුගේ ජීවිත කාලය පිළිබඳ දැනගැනීමේ කුකුසක් මට ඇති විය.

“ඒ ගැන විවිධ මත තිබෙනවා. පෘථිවියේ ජීවත් වන සතුන් අතුරින් මුහුදු කැස්බෑවා ඇරුණාම වැඩිම ආයුෂ තිබෙන්නේ ඉදිබුවන්ට. සමහරු කියන්නෙ උන් වසර 400ක් ජීවත් වෙනවා කියලයි. තවත් සමහරු කියන්නේ එය වසර 1000ක් වුණත් වන්න පුළුවන් කියලා. ඒත් ඒ බව සනාථ කරන්න එතරම් කල් ජීවත් වුණු මිනිසා කවුරුද? ඒ නිසා අතුරු-ආන්තරාවක් නොවුණොත් අවරුදු 100කට වඩා නම් ඉදිබුවෙක් ජීවත් වන බව විශ්වාසයෙන් කියන්න පුළුවන්.”

Comments