අපේ කිරිකැටි පුතා හොරු අරන් ගියා | සිළුමිණ

අපේ කිරිකැටි පුතා හොරු අරන් ගියා

* අපි බබා කොළඹ යවනවා. අම්මගේ අතේ සල්ලි තියෙනවද කියා රෝහලෙන් ඇහුවා
* ළමා රෝහලේ වෛද්‍යවරුන් කිව්වේ ගම්පහ රෝහලෙන් දීපු බෙහෙත සැරවෙලා මොළයට ඔක්සිජන් මදිවෙලා දරුවාගේ ස්නායු මැරිලා කියලයි.
* පුතාට අමාරුයි කියා නර්ස්ලාට අඬමින් කිව්වත් ගණන් ගත්තේ නෑ
* අන්තිම මොහොතේත් මගේ පුතා කෝච්චියක් ඇන්දා

නොසැලකිල්ලෙන් සිදුවන පුංචි පුංචි අත්වැරැදීම් ජීවිතයේ මහා භයංකර වේදනාවන් බවට පත්වීටම මහ කාලයක් ඇවැසි වන්නේ නැත. ඇසි පිල්ලමක් ගසන සැණින් සිදුවන පුංචි වැරැදීමකින් අවසානයේ ජීවිත ගණනාවකට වන්දි ගෙවන්නට සිදුවන්නේ පෙර කරන ලද කරුමයකටද? බොහෝ දෙනා මේ සිදුවීම් කර්මය හා ඈදා ගන්නට උත්සාහ කළද, මේ පිටුපස ඇත්තේ දැඩි නොසැලකිල්ලේ ප්‍රතිවිපාකයකි. ඇතැමුන් නොපෙනෙන අද්භූත බලවේග දේවත්වයෙන් සලකන අපේ යුගයේ බොහෝ දෙනකු ජීවමාන පුද්ගලයෙකුට දේවත්වයෙන් සලකයි නම් ඒ වෛද්‍යවරයකුට පමණි. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින අයෙකුට ජිවය දෙන්නේ වෛද්‍යවරයකු නම් ඔහු සැබැවින්ම අපට ජීවමාන දෙවිකෙනෙකු හා සමාන වන්නේ ය. එසේ වුවද අද අසන්නට දකින්නට ලැබෙන බොහෝ සිදුවිම් හරහා මේ ජීවමාන දෙවිවරුන් අප කෙරෙන් පලාගොස් බොහෝ කල්යැයි සිතෙන්නේ නම් එහි වරදක් නැත්තේ ය. රෝගියා වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන බව පවසා රෝහල් සේවයට කැපවෙන ඇතැම් හෙදියන් දෙන නයිටිංගේල් ප්‍රතිඥාවද නමට පමණක් කෙරෙන්නක් වන්නේය.

වේයන්ගොඩ මොට්ටුන්නේ පදිංචි කේ. ඒ ඩිලාන් සමීර සෝමරත්න හා එස්. තිළිණි චමින්දිකා ජයලත්ගේ එකම පුතු රමික දින්සස් ඔවුන්ගේ ලෝකයේ එකම ආලෝකය විය. හුරතල් කතා හා පුංචි දඟකාරකම් නිසා රමික පුතා ඒ පවුලේ අයගේ පමණක් නොව අසල්වාසීන්ගේ ද හුරතලා බවට පත්ව සිටියේය. රමික පුතා පෙනුමෙන් පමණක් නොව හැසිරීමෙන් ද කාගේත් ආදරය දිනා ගත්තේය. තව නොබෝ දිනකින් පෙර පාසලට ඇතුළත් කිරිමට මවත් පියාත් සූදානම් වෙද්දී රමික පුතා ද සිටියේ පාසලේදී කරන කියන දෑ ගැන මව හා පියා සමඟ සුරතල් කතා පවසමිනි. එහෙත් මවගේත් පියාගේත් ඒ සියලු සිහින සදහටම මකා දමමින් අද ඒ පුංචි පුතු නොඑන ගමන් ගොසිනි.

වයස අවුරුදු තුන හමාරක් වූ රමික පුතුට නිතර හැදෙන කැස්ස හෙම්බිරිස්සා උණ රෝගයට පුරුද්දක් ලෙස ප්‍රතිකාර ගත්තේ ඔවුන්ගේ පවුලේ පෞද්ගලික වෛද්‍යවරයාගෙනි. එහෙත් මවුපියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රමික පුතු ගම්පහ මූලික රෝහලට ඇතුළත් කරන්නේ වැඩි හොඳටය. මේ පොඩිත්තා රෝහලකට ඇතුළත් වූයේ ජීවිතයේ මුල්ම වතාවටය. රෝහලට යද්දී රමික පුතා සිය චිත්‍ර පොතද රැගෙන ගියේය. චිත්‍ර ඇඳීමට ප්‍රිය කළ පුංචි පුතු රෝහලේ සිටද චිත්‍ර අඳින්නට වූයේය.

“අම්මා අපි කෝච්චි අදිමු. අම්මේ ඔයා අඳින්න මට මේ අතින් අඳින්න බෑ . මම ඉස්කොලේ යනවනේ”

රමික පුංචි පුතු ආසාවෙන් සිටියේ එළැඹෙන වසරේ පුංචි හෝඩියේ අකුරු කරන්නටය. තමන්ගේ අතට නුහුරු වුණත් පුංචි සිතේ තෙරපෙන හැඟීම් සිතුවමට නඟන්නට මේ පුංචි පුතා ප්‍රිය කළේය. රේල් පීල්ලක් දිගේ යන කෝච්චියක් මේ පුංචි පුතා සිතුවම් කළේ සිය ජිවිතයේ අවසන් මොහොතේ ය.

“ මගේ පුතාට සාමාන්‍ය උණක් හෙම්බිරිස්සාවක් කැස්සක් තිබුණා. අපි උණ තිබුණු නිසා ලේ එකක් බැලුවා. ඒ ඩෙංගුද කියලා. ඒකත් සාමාන්‍යයයි. ඒත් උණ අඩුවුණේ නැති නිසා ගම්පහ රෝහලේ ළමා වාට්ටුට ගෙන ගියහම එහි නතර කර ගත්තා. පුතා මීට කලින් කිසිම දවසක රෝහලක නතර වෙලා නැහැ. ඒ නිසා එයා හැම වෙලා‍වේම කිව්වේ මාව ගෙදර ගෙනියන්න කියලා. රෝහලෙත් දඟල දඟල හිටියා මිසක් ලොකු අමාරු ගතියක් තිබුණේ නැහැ. පුතාට සෙම තිබුණ නිසා එක්ස්-රේ එකක් ගත්තා. මේ වෙලාවෙත් දරුවා චිත්‍රයක් අඳිමින් තමයි හිටියේ. පුතා කෑවේ නැහැ. මගෙන් කිරි ඉල්ලගෙන බිව්වා. දරුවට නිවුමෝනියා තත්ත්වය කියලා එදා රූ 10 ට විතර නර්ස් කෙනෙක් ඇවිත් සේලයින් එකකට එන්නතක් දමා බේතක් දුන්නා. බේත දෙනකම්ම හොඳට හිටිය දරුවා එක පාරටම ඇඟ දැවිල්ලයි කියලා කෑගහන්න ගත්තා. මූත්‍රා යන්න ගත්තා. නොනවත්වාම මූත්‍රා ගියා. වතුර තිබහයි කියලා කෑ ගහන්න ගත්තා. මම දුවලා ගිහින් නර්ස්ලට කිව්වා බබාට මූත්‍රා යනවා. කෑ ගහනවා කියලා. ඒ අය කිව්වා “අම්මා පුතා පොඩියිනේ. ඒකයි ඇඳේ චූ දාගන්න ඇත්තේ ” කියලා. මම ආයිත් ඒ අයට කිව්වා ගෙදර කවමදාවත් එහෙම දාන්නේ නැහැ කියලා. ටික වෙලාවකින් දරුවා නින්දට වැටුණා. පාන්දර 3.30 ට විතර ආයිත් අර බේත දෙන්න ආවා. මම මුකුත් කිව්වේ නැහැ. අපිට ඕන වුණෙත් දරුවට අසනීපයක් තියෙනවානම් කොහොම හරි හොඳ කර ගන්න. මේ බේත දුන්නට පස්සෙත් දරුවා අර විදියටම කෑගහන්න ගත්තා. මම දොස්තර කෙනෙකුටත් කිව්වා. ඒ දොස්තර තරුණ කෙනෙක්. එයා ඇවිත් බලලා මුකුත් නොකියා යන්න ගියා. දරුවට මූත්‍රා යන නිසා ඇඳුම් මුකුත් තිබුණේ නැහැ. මම නර්ස්ලට කිව්වා උදේට මහත්තයා ගෙනාවහම අන්දවන්නම් කියලා. පුතා ආයිත් නින්දට වැටුණා. මම දරුවට සීතල ඇති කියලා හොඳට පෙරෙව්වා. මට එයාගේ වෙනසක් දැනුණේ නැහැ. පාන්දර 4.30 ට විතර නර්ස් කෙනෙක් ඇවිත් දරුවා දිහා බලලා මුකුත් නොකියාම යන්න ගියා. ගිහින් සිස්ටර් කෙනෙක් එක්ක ඇවිත් දරුවව කලබලෙන් බලන්න ගත්තා. මේ වෙනකොට දොස්තරලා මිසීලා දරුවා වටකරගෙන දරුවගේ ඇඳ උඩ නැඟගෙන මසාජ් කරනවා. මම ඇයි කියලා ඇහුවත් කිව්වේ නැහැ. පස්සේ දැන ගත්තේ දරුවගේ හෘදය නැවතිලා කියලා. මම කෑගහද්දි දොස්තරලා කිව්වා ‘අම්මා බය වෙන්න එපා. දැන් දරුවගේ පපුව වැඩකරනවා කියලා‘ දරුවට බට දාලා අයි.සි.යූ. එකට ගත්තා. එත් දරුවා කිසිම හැල හොල්මනක් නැහැ. මට ගෙදරට කෝල් කරන්න කිව්වා.

උදේ 7.30 විතර කිව්වා ‘අම්මා අපි බබා කොළඹ අරිනවා. සියයට සියයක් විශ්වාසයි බබාට මුකුත් වෙන්නේ නැහැ කියලා. කොළඹින් වෙන රෝහලකට මාරු කළත් අම්මා බය වෙන්න එපා කිව්වා. අම්මා දැන් සල්ලි තියෙනවද කියලත් ඇහුවා. නැතිනම් රෝහලෙන් අපි එකතු කරලා දෙන්නම් කියලත් කිව්වා. රිජ්වේ රෝහලට කිට්ටු වෙද්දි දරුවගේ ඔක්සිජන් ඉවර වුණා. පස්සේ අයි.සී.යූ. එකෙන් ඔක්සිජන් එකක් ගෙනත් ඉක්මනට ගැහුවා. ඒකටත් විනාඩි පහක් විතර ගියා. මම මරුණු ගානයි. මම දෙයියන්ට බුදුන්ට කිය කිය ගියා මගේ දරුවාට මුකුත් වෙන්න එපා මගේ දරුවා මට ආයිත් ගෙනත් දෙන්න කියලා” රමිල් පුංචි පුතුගේ මව තිළිණි චමින්දිකා රෝහලේදී සිදු වූ දේ පැවසුවාය.

දරුවාට ඉන් අනතුරුව සිදුවූ බොහෝ දෑ වදන්වලට පෙරළන්නට ඇයට නොහැකිය. සිය දෙනෙත් වන් පුංචි පුතු සිය දෙනෙත් ඉදිරියේම නිසොල්මන්වන ආකාරය ඇයට තවමත් සිහිනයක් වැනි ය.

“මේ හැම දේම වුණේ මගේ බිරිය බලාගෙන ඉන්දෙද්දි. අපිට ඕනැ වුණේ දරුවා ඉක්මනට සනීප කරගන්න. රිජ්වේ රෝහලට ඇතුළු කළ පසු ඒ අය උපරිමයෙන් මහන්සි ගත්තා දරුවා බේරා ගන්න. අයි සි යු එකට දැම්මා. මට දරුවාට කතා කරන්න කිව්වා. ඒත් දරුවාගේ කිසිම වෙනසක් නැහැ. දොස්තරලා ස්කෑන් එකක් කළා. ඒක කරලා කිව්වා දරුවගේ මොළේට ඹක්සිජන් නැතුව මොළේ මැරිලා තියෙන්නේ කියලා. බබා ඉන්න තත්ත්වය හොඳ නැහැ. ගොඩ ගන්න අමාරුයි කිව්වා. අපි කිව්වා කොහෙන් හරි දොස්තරලා ගෙනත් අපේ දරුවා හොඳ කර දෙන්න කියලා. ඒත් ඒ අය කිව්වේ දරුවගේ ප්‍රෙෂර් අඩු වෙවී යනවා. කරපු රිපෝර්ට්ස් බිංදුවයි. ඒ නිසා අපිට වචනයක් දෙන්න බැහැ කියලා. අපි එහෙම වුණේ ඇයි කියලා අහද්දී රිජ්වේ එකේ දොස්තරලා කිව්වේ කලින් ගම්පහ රෝහලෙන් දීපු බෙහෙත සැරවෙලා මොළයට ඔක්සිජන් මදිවෙලා. දරුවගේ ස්නායු මැරිලා කියලා. රිජ්වේ එකට ගෙනෙද්දීම ඒ තත්ත්වය තමයි තිබිලා තියෙන්නේ. අපි බෙහෙත් ගැන දන්නේ නැහැ. අපිට ඕනැ වුණේ අපේ දරුවා කොහොම හරි සනීප කරගන්න. මගේ නෝනා අඬ අඬා මුලින්ම ගම්පහ රෝහලේ නර්ස්ලට කිව්වා දරුවට අමාරු බව . ඒත් එයාලා ගණන් ගත්තේ නැහැ. මුල් එන්නතින් දරුවට ආසාත්මික වෙලා තිබිලත් ඒ අය දරුවාට හොයන්නේ බලන්නේ නැතුව දෙවැනි එකත් දුන්නා. දරුවට අමාරු වෙනකම්ම කිසිවක් කළේ නැහැ. අන්තිමට වාට්ටුවෙන් අයි සි යූ එකට දැම්මේ බාගෙට මැරුණු දරුවෙක්. මගේ එකම දරුවා මේ අය මරා ගත්තා. දරුවා නැතිවෙන්න මොහොතකට කලින් මගේ නෝනා පන්සලට ගිහින් බාරවුණා. මගේ දරුවා හොඳ කරලා දෙන්න අපි දරුවා සාසනයට පූජ කරනවා කියලා. අපිට ඕනැ වුණේ දරුවා ජිවත් වෙනවා දකින්න. පඬුරු ගැට ගහලා එද්දි දරුවා නැතිවෙලා. අපිට අපේ එකම දරුවා, ගෙදර හුරතලා නැතිවුණා. ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් සෞඛ්‍ය ඇමැතිතුමාගෙනුත් මම ඉල්ලන්නේ හෙට තවත් දරුවකුට මෙහෙම දෙයක් නොවෙන්න අපි වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන්න කියලයි” රමික පුංචි පුතුගේ පියා දිලාන් සමීර පවසයි.

පුංචි රමිකගේ වියෝවින් මුළු වේයන්ගොඩ පළාතම තවමත් සුසුම් හෙළන්නේය. පළාත පුරාම පුංචි පුතු වෙනුවෙන් කළ ශෝක ප්‍රකාශ හා එල්ලූ සුදු කොඩිවැල් තවමත් එලෙසමය. මහ මඟ දෙපස මුළු ගම පුරාම පුංචි පුතාගේ රුව රැගත් පෝස්ටර් එසැවුණේ ඒ දරුවා‍ගේ සුරතල් වදන් ඇසූ ගමේ වැඩිහිටියන් අතිනි. සිය මවට පියාට ඥාතීන්ට පමණක් නොව රමිකගේ වියෝව මුළු පළාතටම තවමක් සිහිනයක් බඳුය.

දරුවෙකුගේ අකල් වියෝව දෙමවුපියන්ට සිහිනයක් වෙද්දී වර්ජන රැලි පසුපස දිව යමින් රෝගීන් ජීවිත පරදුවට තියන්නට වෙර දරන වෛද්‍යවරුන් සිටින යුගයක වෛද්‍ය දෙවිවරුන් සෙවීම කළුනික සොයන්නාක් බඳුය. ඉදිරියටත් මෙවැනි අතපසුවීම් සිදුවේ නම් එය ජාතියේම මහත් අභාග්‍යයක් වනු නොඅනුමානය.

මේ වෙද්දී දරුවාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දී ඇත්තේ මේ පිටුපස තවමත් නොවිසඳුණු බොහෝ දෑ ඇති නිසා විය හැකිය.


දරුවාට අමාරු වුණේ ඇයිදැයි සොයා බලනවා

මේ සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අපි රෝහල් මට්ටමින් සොයා බැලීමක් කෙරෙනවා. ඒ වගේම අපි හිතනවා ඊට බාහිරින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවේයැයි කියලා. මන්ද මේ දරුවාගේ දෙමවුපියන් නිතිමය පැත්තෙන් කටයුතු කරන නිසා අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් බාහිරින් පුළුල් පරික්ෂණයක් සිදුවෙයි. එයට අපගේ සහයෝගය පූර්ණ වශයෙන් ලබා දෙනවා. ඒ වගේම රෝහල් අධ්‍යක්ෂක ලෙස මම මේ ගැන සොයා බැලුවා. අපේ රෝහලෙන් දරුවාගේ රෝගයට අදාළ මූලික ප්‍රතිකාර ලබා දි තියෙනවා. පසුව දරුවා වාට්ටුවට දාලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දී තියෙනවා. දරුවගේ උණ අඩුවෙලා තියෙනවා. නමුත් හුස්ම ගැනීමේ අපහසුතා තිබිලා තියෙනවා. දරුවාගේ පෙණහලු ආසාදනය නිසා වෛද්‍යවරයා බෙහෙතක් නියම කර තියෙනවා. ඒ මැගිනීසියම් සල්ෆේට්. මුල් වතාවේ මේ බෙහෙත දීලා තියෙනවා. දරුවට අමාරු වුණු බවක් දැනුම් දීලා නෑ කියා වාර්තා වුණා. දෙවැනි වතාවේ අමාරු වෙලා තියෙනවා. ඒත් අපි සොයා බැලිය යුතුයි, දරුවට අමාරු වුණේ මේ එන්නත් නිසාද නැතිනම් වෙනත් කාරණාවක් නිසාද කියලා . අපි මේ ගැන රෝහල් මට්ටමෙන් සොයා බලනවා. අපේ හෙදියන් නොසලකා හැරියා කියලත් කියනවා. නමුත් මේ දෙමවුපියන් මුලදි එහෙම චෝදනාවක් කළේ නැහැ. ඒත් අපි දෙපැත්තෙන්ම ඒ ගැන හොයලා කළ යුතු දේ ඉහළින්ම සිදු කරනවා. 

කොටදෙණියාව සමූහ

Comments