හෙට රට සරසන මල් ශිෂ්‍යත්ව හපනුන්ගේ කතාව | Page 2 | සිළුමිණ

හෙට රට සරසන මල් ශිෂ්‍යත්ව හපනුන්ගේ කතාව

1 - දිනුක කිෂාන්

පුංචි දෑතින් දෑඟිලි අතර සිර කරගත් පෑන්තුඩින් ඔවුන් සිය ජීවිතයේ ප්‍රථම වරට නුහුරු නුපුරුදු විභාගයකට මුහුණ දුන්නේ මහත් බලාපොරොත්තු ගොන්නක් පොඳිබැද නොවේ. සෙල්ලම් සිතට මොහොතකට විරාමයක් දී පහේ තරග විභාගයට උගත් දේ වචනයට ගොනු කළේ රටක් දිනන්නට ජයක් ලබන්නටද නොවේ. එහෙත් ඔවුන් අද රටක් දිනා තිබේ.

හෙට දින ඔවුන් ලොවක් දිනන්නටද පුළුවන. හෙට දින පුංචි පහේ විභාගයට පෙනී සිටින පුංචි ඇත්තන්ටද ඔවුහු ආදර්ශයක් වන්නෝ ය. ඔවුන්ගේ මේ පුංචි කතා අපට මහා මෙරක් සේ වටින්නේද එබැවිනි. මේ පුංචි පහේ හපනුන්ගේ හපන්කම් රටට දැනෙන්නට කියන්නට සිළුමිණ අපි ඒ දරුවන්ගේ වගතුග සොයා ගියේ ඔවුන් ගැන පුංචි කතා පෙළක් රටට කියන්නටය.

ගුරු දිනයට සිය ගුරු ජීවිතයේ ලද වටිනාම ත්‍යාගය මේ ගුරු පියා ලද්දේ මේ පුංචි දිනුකගෙන්ය. දිනුක කිෂාන් කුමාර, පුංචි පහේ විභාගයෙන් ලංකාවෙන්ම පළමුවැනියා විය. ලේ කිරි කර පෙවූ සිය දෙමවුපියන්ගේ නෙත් දිනුක සතුටු කඳුළින් තෙත් කළේය. හැදූ වැඩූ පාසල ඉතිහාසගත කොට ඇත්තේ ය. "දොස්තර කෙනෙක් වත් වෙන කවුරුවත් වත් වෙන්න මට ඕනෑ නැහැ. මට ඕන නිර්මාණශීලි ඉංජිනේරුවෙක් වෙන්න." මේ පුංචි පුතා උජාරුවට කියන්නේය. ගණිත හැකියාවෙන් උපන් හපන්කම් කියන්නට දිනුකට අපූරු හැකියාවක් තිබුණේ ය. මේ සහජ හැකියාවෙන් පුංචි දිනුක සිය පාසල වන මීගමුවේ හරිස්චන්ද්‍රයේ ගුරුවරුන් පවා මවිත කරවීය. දෙවරක් සිතන්නට දෙවරක් කියාදෙන්නට ඇවැසි නොවූ දිනූකට විභාගයේ සියලු ගණිත ගැටලු පෙර කළ පත්‍රයන්ට වඩා පහසු විය.

"මට විභාගය ගොඩාක් ලේසි වුණා. ගෙදරදි කරපු ප්‍රශ්න පත්‍රයන්ට වැඩිය මේක ලේසි වුණ නිසා මට දෙපාරක්ම ලියපු ප්‍රශ්න පත්‍රය බලාගන්න වෙලාව තිබුණා. එහෙම බලද්දි මට වැරැදුණු තැන් මට අහු වුණා. මම ආයිත් පාරක් හොඳට බැලුවා. හොඳට ලියපු බවට මට විශ්වාසයක් තිබුණා. ඒත් ගෙදර ඇවිත් මම ඒ ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු මගේ සර්ලට කියලා අහගත්තා. එතකොට මම දැනගත්තා තැන් දෙකක මට වැරදුණා කියලා. ඒත් රචනය ගැන විස්වාසයක් තිබුණේ නැහැ. ඒ කොහොම හරි මම මුල් 10 අතරට එයි කියලා මම හිතුවා. ලකුණු 198ක් අරගෙන ලංකාවෙන්ම 1 වෙයි කියලා අපි කවුරුවත්ම හිතුවේ නැහැ. ඒත් මම ගොඩාක් ආසාවෙන් විභාගය කළේ. ඉස්කෝලේ පන්ති 7න්ම හැමදාම පළමුවැනියා මමයි. ශිෂ්‍යත්ව විභාගයට තියපු හැම සම්මන්ත්‍රණයකින්ම පළමුවැනියා වෙලා සම්මානය ගත්තේ මම. අද මට ලංකාවේ හොඳම ඉස්කෝලෙට යන්න පුළුවන්. ඒත් මගේ ඉස්කෝලේ ගුරුවරු යාළුවෝ දාලා යන්න මට දුකයි..." දිනුක පවසන්නේය.

“මගේ පුතාට ගණන් හැදීමේ පුදුම හැකියාවක් තිබුණා. අපිට එයාට කියලා දෙන්න දෙයක් තිබුණේ නැහැ. විභාගයක් කිට්ටු වුණහම මට තියෙන්නේ එයාට පාඩම් මතක තියෙනවද කියලා අහන්න විතරයි. හැම දේම අපිට කරදරයක් නැතිව එයාම කරගත්තා. පරිසර දැනුම ටිකක් විතර මදි ගතියක් මම දැක්කා. ඒ නිසා මම දන්න ආකාරයට ඒ දේවල් කියලා දුන්නා. විභාගය කරලා ආවේ 'අම්මේ මට 200න් 200යි!' කියලා. ඒත් පුතාට තැන් දෙකක් වැරදිලා තිබුණා. ඒකත් පොඩි වරදක්. 'ලූලා නැති වළට කණයා පණ්ඩිතයා ලු' කියන ආප්තෝපදේශයේ 'ලු' අකුර ඈත් කරලා තිබිලා නැහැ. මේ නිසා අපි මුල් 10 අතර නම් පුතා ඉඳියි කියන බලාපොරොත්තුවෙන් හිටියේ. පුතා රෑ 11 වෙනකම්ම රූපවාහිනිය බැලුවා. රූපවාහිනිය බලන ගමන් පාඩම් කරන පුරුද්දක් පුතාට තිබුණේ. රූපවාහිනිය වැහැව්වොත් පුතාට නින්ද යනවා. කිසිම දඟක් නැහැ. ඒ වගේම පුතා හරිම අහිංසකයි..." දිනුකගේ මව වන ක්‍රිශාන්ති ශිරෝමාලා පවසන්නීය. පියා සිය ව්‍යාපාරික රැකියාවෙන් උපයන මුදල යොදන්නේ සිය දරුවන් දෙදෙනාගේ අනාගතය සැපවත් කරන්නය. ඔවුන් හොඳ පාසලකට ඇතුළත් කර හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට මේ පියා කැමැතිය. "මම සෙල්ලම් බඩුවක් අරගෙන දෙන්න ඇහුවොත් පුතා ඉල්ලන්නේ පොතක්. පුතාගේ මතක ශක්තිය ගොඩාක් දියුණුයි. එක දිගට ඉංග්‍රීසි වචන 50ක් 60ක් පාඩම් කරන්න පුළුවන්..." පියා පවසන්නේය.

දිනුක මේ වන විට උගත් පාසලට පමණක් නොව, ගම්පහ දිස්ත්‍රික්කයටම බබළවන්නේය. ඔහුට 1-2 පන්තිවල අකුරු කළ සුභානි ගුරුතුමියත්, 3-4 පන්තිවල අකුරු කළ තක්ෂිලා අනූෂා කුමාරි ගුරුතුමියත් 5 පන්තියේ අකුරු කළ පාලිත වනිගසිංහ ගුරුතුමාත් අද මේ දරුවා වෙනුවෙන් සිය ගුරු ජීවිතයේ සතුටු කදුළු වගුරුවති‍‍. "මගේ ගුරු ජීවිතය වසර 24ක්. මගේ ජීවිතයේ ලොකු ආසාවක් තිබුණා ලංකාවේ හොඳම දක්ෂයෙක් බිහි කරන්න. අද මට ඒ අවස්ථාව හිමි වුණා.මේ දරුවා වගේම අපිත් අද ජීවිතයේ ලොකුම සතුටක් අත්වින්දා. මේ දරුවගේ වෙනස අපි මුල සිටම දැක්කා. එයා හැම වෙලාවේම දැනුම පිපාසයෙන් හිටියේ; කුතූහලයෙන් හැම දේම අහනවා. සමහර වෙලාවට මමත් අසරණ වෙනවා. යමක් කිව්වොත් එයා ඒ දේවල් ඒ විදියටම පිළිගන්නේ නැහැ. මම ගණනක් කියලා දෙන කොට මේ දරුවා ඒ ගානත් හදලා ඉවරයි. මේ වගේ දරුවකු මගේ ගුරු ජීවිතයේදී මට හමු වෙලා නැහැ. ගුරු ජීවිතයේදී අපිට ලැබෙන හොඳම සම්මාන තමයි මේවා. මගේ ගුරු ජීවිතයේදී මට දෙන්න පුළුවන් ඉහළම සම්මානය දිනුක පුතා ලබලා දුන්නා...." පාලිත සර් පවසන්නේය. යළිත් අමුතු ගරු දිනයක් ඔවුන්ට අවශ්‍ය නැත. සිය ජීවිත කාලයේදීම සතුටු සිතින් ගුරු දිවිය මෙනෙහි කරන්නට මෙයම ප්‍රමාණවත්ය.

2  - මතාෂා ඉඳුමිණි

මෙවර ගම්පහ දිස්ත්‍රීක්කයට සුවිශේෂ ජයග්‍රහණ රැසක් උරුම කර ඩදෙමින් ශිෂ්‍යත්වයේ තවත් දෙවැනියකු බිහි වූ‍යේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විදුහලෙනි. පොත-පතට පමණක් නොව විෂය බාහිර ක්‍රියාකාරකම්වලදීද විශේෂ හැකියාවක් දක්වන මතාෂා ඉඳුමිණි ලංකාවෙන්ම දෙවැනියා වූයේ උගත් පාසලට ගෞරවයක් අත්කර දෙමිණි. පුංචි මනසට නුහුරු විභාගයකට පිවිසියද තමන් කෙසේ හෝ පළමු දස දෙනා අතරට පැමිණේවියැයි මනාෂා තුළ වූයේ ලොකු විස්වාසයකි.

"මට ලොකූ විස්වාසයක් තිබුණා මම පළමු දහ දෙනා අතරට එයි කියලා. ලකුණු 197කට ආසන්න ගණනක් මම ගනීවියැයි මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුණත් ලංකාවේ දෙවැනියා වීම ගැන මට ඇත්තේ ලොකු සතුටක්. මම විභාගය කියලා දහම් පාසල් යෑම නතර කළේ නැහැ. දහම් පාසලේ දැනුමත් මට උදවු වුණා මේ ජය ලබන්න. මම පාසලේ වැඩ නැති වෙලාවට නිදහසේ කාලය ගත කළත් ටීවී බලන්න මම පුරුදු වෙලා හිටියේ නැහැ. කවුරුත් මට බලන්න එපා කිව්වේ නැහැ. මම පුරුද්දක් විදියට බලන්නේ නැහැ. මගේ තාත්තා ඉන්නේ කුවේට්වල. එදා රෑ මගේ තාත්තා එහේ ඉඳන්ම මට බලලා කිව්වා මම ලංකාවෙන්ම දෙවැනියා කියලා. හෙට දවසේ මම ලොකු ඉස්කෝලෙකට යනවා. මම කවදා හරි සමාජයට හොඳ ගුරුතුමියක් වෙනවා..." මතාෂා පවසන්නී ය.

මනාෂා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවද වන්නීය. පාඩම් වැඩට අමතරව විෂය බාහිර දේටත් එක සේ දස්කම් දක්වන ඇය ඇය ගැන මව නයෝමි මල්කාන්ති පවසන්නේ මෙසේ ය: "මගේ දුව පාසල ඇරිලා ගෙදර ඇවිත් එයාම තනියම පාසල් වැඩ කරනවා. විවේක අරගෙන පාඩම් වැඩ හොඳින්ම කළා. එයාගේ ගුරුවරු එයාගේ හැකියා තැන තේරුම් අරගෙන තිබුණා. මේ නිසා ගුරුවරුන්ගේ මහන්සියක් මේ ජයග්‍රහණයට බලපෑවා. දුව කවදාවත් රූපවාහිනියට එල්ලිලා හිටියේ නැහැ. කුඩා කාලයේ සිටම විවිධ දක්ෂතා දැක්වුවා...."

මතාෂා හෙට දිනයේ තවත් පාසලකට යන්නේ සිය හැකියාවන් තවත් ඔප් නංවන්නටය; අනාගතයේ කෙදිනක හෝ ගුරුවරියක වී රටට සේවය කරන්නටය.

2 - සංජන නයනජිත්

මෙදා පුංචි හපනුන්ගේ හපන්කම් අතරින් දෙවැනියන් දෙදෙනකු බිහි වූයේ වරකාපොළ තුල්හිරිය ප්‍රාථමික විදුහලෙන් හා ගණේමුල්ල වැලිපිල්ලෑව ප්‍රාථමික විදුහලෙනුත්ය. ඒ ප්‍රථමයාට එකක් අඩුවෙන් ලකුණු 197ක් ලබා ගනිමිනි. මේ පුංචි හපනුන් දෙදෙනා ගැන කියන්නට, ඔවුන්ගේ හපන්කම් ගැන රටට පවසන්නට බොහෝ දේ තිබුණත් මේ වන විට ඔවුන් දෙදෙනා ගැන රටම හඳුනති. පුංචි රටේ පුංචි නමක් රඳවන්නට මේ පුංචි හපනුන්ට හැකි වූයේ පසුගියදා නිකුත් වූ ශිෂ්‍යත්ව ප්‍රතිඵල හේතුවෙනි.

මේ දෙදෙනා‍ගෙන් කෙනෙක් සංජය නයනජිත් තෙන්නකෝන්ය. මේ පොඩිත්තාට ශිෂ්‍යත්වයෙන් සමත් වීමටත් වඩා ඉහළ ජයක් ලබන්නට සිතුණේ සිය සොහොයුරියගේ ජයග්‍රහණය හේතුවෙනි. ඔහුගේ එකම සහෝදරියද ඔහු මෙන්ම තුල්හිරිය ප්‍රාථමිකයෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී ලොකු පාසලකට ගියේ පුංචි සහෝදරයාටද ලොකු ආදර්ශයක් ගෙන දෙමිනි. ඇය මේ වන විට කුරුණෑගල මලියදේව බාලිකාවේ සිප් සතර හදාරන්නී ය.

"මගේ අක්කා ඉගෙනගත්තේ මගේ පාසලේමයි. අක්කත් ගොඩාක් දක්ෂයි. අක්කා ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වෙලා සතුටු වුණ හැටි, අම්මලා සතුටු වුණ හැටි දැක්කහම මටත් හිතුණා කවදා හරි ශිෂ්‍යත්වයෙන් පාස් වෙන්න ඕන කියලා. එහෙම හිතාගෙන මම විභාගය හොඳට කළා.

ඒත් මම හිතුවේ නැහැ මම ලංකාවෙන්ම දෙවැනියා වෙයි කියලා. මට නොදන්න දේවල් කියලා දුන්නේ මගේ අක්කා. මම කවදා හරි ඉංජිනේරුවෙක් වෙලා රටට සේවය කරනවා..." සංජය පවසන්නේය. සංජයගේ මව ශ්‍රියානි මංගලිකාය. මේ මව පවසන ආකාරයට මේ පුංචි පුතා කුඩා කල පටන්ම ඉගෙනීමට හපනෙකි.

"මගේ පුතා පුංචි පන්තිවලදිත් ඉගෙනගන්න ගොඩක් දක්ෂයෙක්. පාසලේ වැඩ එයා හොඳින් කළා. හැමදාම පන්තියේ පළමුවැනියා. පුතා ගොඩාක් වෙලාවට පාසලේ වැඩ කරන්නේ එයාලේ අක්කත් එක්ක. විභාගය කිට්ටු වුණාම පාසලේ අමතර පන්ති පැවැත්වුවා. අපිත් පුතාව හොඳ තැනකට ගේන්න උත්සාහ ගත්තා. ඒත් මේ වගේ ප්‍රතිඵලයක් පුතා ගනීවියැයි අපි කවදාවත්ම හිතුවේ නැහැ..." මව පවසන්නී ය. පුංචි පුංචි අඩුපාඩු සකස් කරගනිමින් ඉදිරියට යන්නට මේ පුංචි සංජය හරීම කැමැතිය. ගුරුවරුන්ගෙන් නොදන්නා දේ අසා දැනගත්තද යම් යම් දේ තමන්ම සොයා දැනගන්නට ඔහු රුසියෙකි. නිතර නිතර පාසලට පැමිණෙමින් දරුවා ගැන සොයා බලන්නට මේ මවුපියෝ දෙදෙනා අමුතුම වෙහෙසත් ගත්තෝය. පොලිස් සේවයේ නිරත ප්‍රියන්ත ජයරත්න වන සිය පියාගේ සෙනෙහස නිතර නිතර නොලැබුණත් ඒ පාළුව සියල්ල මැඬලමින් පුංචි සංජය අද රටක් දිනා සිටියි.

3 - තරුල් සහස්

ගණිත විෂයයෙන් හදාරා ගුවන් ගැබ තරණය කරමින් ගුවන් නියමුවකු වීමේ පුංචි සිතේ පුංචි බලාපොරොත්තුවක් කැටි කරගත් තරුල් මෙදා ලංකාවෙන්ම තෙවැනියා වූයේ ගම්පහ කිරිල්ලවල ප්‍රාථමිකයෙනි. විභාගය පමණක් නොව, විෂය බාහිර දේ කරමින් පාසලේ ශිෂ්‍ය නායකයකු ලෙසද තරුල් කටයුතු කළේ ගුරු භවතුන්ගේ ආශීර්වාදය මැද්දේය.

"මම විභාගය හොඳින් කළා. ශිෂ්‍යත්වයෙන් මුල් තැන් අතරට එන්න මම ගොඩාක් වැඩ කළා. උගන්වන හැම දේම හොඳින් කළා.

මගේ අම්මත් තාත්තත් මගේ පාඩම් වැඩවලට උදවු වුණා. මම හැමදාම වැඩිපුර පැය දෙකක් විභාග ප්‍රශ්න පත්‍ර කළා. මේ හැම දේම කරලා මම විභාගයට ගියේ ලොකු සූදානමකින්..." තරුල් පවසන්නේය.

සුභාෂිණි ජයරත්න
ඡායාරූප - විමල් කරුණාතිලක,  සමන් ශ්‍රී වෙදගේ, දයාරත්න බණ්ඩාර (කෑගල්ල දිස්ත්‍රික් සමූහ) 

Comments