
මේ සාහිත්‍ය මාසයයි. එහෙමත් නැත්නම් පොත් මාසයයි. දැන් සම්මාන දීම් අවසානය. සම්මානවලට පාත්‍ර වූ පොත් පිළිබඳ පාඨකයෝ උනන්දු වන්නාහ. පාඨකයන් ලේඛකයන් ප්‍රකාශකයන් පමණක් නොව පොත් ගැන උනන්දුවක් දක්වනනන් මෙන්ම ජීවිතේ වෙනසකට, හෝ පෙම්වතිය පෙම්වතා සමඟ අත් අල්ලන් ඇවිද යන්නට මුකුළු කරන්නට.... ආදි වශයෙන් කවුරු කවුරුත් පසුගිය දින දහය බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා භුමියට ආවා ගියහ. එසේ පැමිණි අයගෙන් ඇතැමකු දැක් වු අදහස්ය මේ.
අපට වසර පුරාම වරින් වර වසන්ත කාල එළඹෙන්නේය. ඉන් එකක් අප්‍රේල් මාසයේය. සැප්තැම්බර් මාසයේ එළැඹෙන පොත් මංගල්‍යයට ජාති ආගම් දෙස් විදෙස් භේදයක් නැත. සෑම සැප්තැම්බරයකම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මඟින් පවත්වනු ලබන පොත් වසන්තයට දිවයිනේ සිවු දෙසින්ම ජනතාව පැමිණෙති. වසර ගණනාවක් තිස්සේ කොළඹ පොත් වසන්තයට පැමිණෙන ජනතාව හා කතාබහ කිරීමට අපි ගොස් ඇත්තෙමු. මෙහිදී අපට විවිධ මිනිසුන් හමුවී තිබේ. විවිධ කතා අසන්නට ලැබී තිබේ. මෙවරද අපි එහි ගියෙමු. අප එහි ළඟා වූයේ ප්‍රදර්ශනය ආරම්භ වී හෝරාවක් ගෙවී යන්නටත් පෙරය. නමුදු ඒ උදෑසනද සම්මන්ත්‍රණශාලා භූමියේ තැන තැන අවන්හල් ඉදිරිපිට බීම සල් ඉදිරිපිට අයිස් ක්‍රීම් වෑන් ඉදිරිපිට දරුවන් වැඩිහිටියෝත් රොද බැඳ සිටියහ.
“මිනිස්සු ඇවිල්ලා ඉන්නේ පොත් ගන්නද කඩචෝරු කන්නද? ” ඡායාරූප ශිල්පී තුෂාර විමසයි.
කොළඹින් දුර බැහැර සිට පැමිණි පොත් ලෝලීන් උදෑසනම එහි එන්නට එක් හේතුවක් වී ඇත්තේ ඇතුළුවීම සඳහා ටිකට්පත් ගන්නට දිගු පෝලිමට එක්වීම සඳහාය. සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට එකපෙළට යන ජනයා අතරට අපිද එක් වුයෙමු. මෙවර පොත් සල්පිල ආරම්භ කළ දිනට පසුදා සෙනසුරාදා දිනයකි . එදිනත් ඊට පසුදා එනම් ඉරිදා දිනයේ තරම් නොවූවද අප එහි ගියදා ද විශාල ජනකායක් එහි සිටියහ. ඒ අතර වැඩිපුරම සිටියේ පාසල් දරුවන් හා තරුණ තරුණියන් වීම සුවීශේෂිය. විවිධ අය විවිධ කතා කියුවද සල්පිල් භූමිය දුටු විට සිතෙන්නේ අපේ රටේ මිනිසුන් මෙතරම්ම පොත්වලට ආශා කරන්නේද කියාය.
කොහොම වුණත් පොත් කුටියක් අතර සිටි ඊ. කේ ගුණදාස අප සමඟ කතා බහට එක්වුයේය. හැත්තෑ හතර හැවිරිදි ඔහු ජ්‍යෝතිෂවේදියෙකි.
“ මම දැන් අවුරුදු හතරක පහක වෙලේ සිට මේ පොත් සල්පිලට එනවා. අද උදේ පහට විතර තමයි ගෙදරින් ආවේ. මම පදිංචි වෙලා ඉන්නේ කිරිඳිවැල. මෙහෙට එන විට උදේ අටහමාරට විතර ඇති. මම මෙතනට එනකොටත් පෝලිමේ පනහක් හැටක් විතර හිටියා. අවුරුද්දකට වතාවක් මෙහෙම තියෙන එක හොඳයි. මිල අඩුකිරීම් යටතේ පොත් මිලට ගන්න පුළුවන්. මම මට විතරක් නෙමෙයි මගේ මුනුබුරු මිනිබිරියන්ට අවශ්‍ය පොත් ටිකක් අද මිලට ගත්තා.” එසේ පවසමින් ගෙදරින් ගෙනා මල්ලක පොත් ටික අඩුක්කරගෙන ඔහු යන්නට ගියේය. මෙවර පොත් ගන්නට පැමිණී සැම අතරම දක්කට ලැබුණු එක් විශේෂත්වයක් වුයේ ඔවුන් පොත් දැමීම සඳහා නිවෙසින් බෑග් රැගෙන පැමිණීමය. එනිසා සෑම කෙනෙකුගේම අතක රෙදිවලින් සෑදු මල්ලක් දෑකිමට ලැබීම පරිසර හිතකාමි පොලිතින්වලින් තොර පරිසරයක හෙට දවස සුබ බව කියා පාන්නක් විය.
සෙනඟ අතර තෙරපෙමින් යන දු දරුවන් වැඩිහිටියන් අතර සිටි මවක හා පුතකු සමඟ අපි කතාබහ කළෙමු. ඔවුන් අපට හමුවුයේ පොත් කුටියක් අසල බිම වාඩිවී සිටියදීය. ඇය සුබාසිනි උදටියාවයි. පැමිණ සිටියේ කළුතර ප්‍රදේශයේ සිටය.ඇයගේ පුතා ඉගෙන ගන්නේ අට වැනි ශ්‍රේණියේ.
“පුතාට ඕනෑ කරන පාසල් විෂයට අදාළ පොත් ගත්තා. ඊට අමතරව මේ පාර සම්මාන දිනපු නවකතා පොත් ගත්තා. අපි රුපියල් පහළොස් දාහක විතර පොත් මේ වෙන කකොට අරගත්තා. මේ පාර පොලිතින් ගේන්න එපා කියලා දැනුවත් වෙලා තිබුණු නිසා අපි ගෙදරින් බෑග් අරගෙන ආවා.”
පොත් ප්‍රදර්ශන භුමියට විවිධ අය එති. යති. පොත් බලති. ඇතැමෙක් පොත් ගෙනයති. ඇතැමෙක් පොත් පෙරළති. පොත් ගැනීමට ඇතිතරම් අතේ මුදල් නැත්තෝ පොත් දෙස බලා හූල්ලති. නමුදු පුංචි කාලයේ සිටම ඉතිරි කිරීමේ අගය දරුවන්ට කියාදෙන එමෙන්ම පොත් කියවීමේ වටිනාකම දරුවන්ට හුරුකළ තරුණ මවක මේ අතර අපට මුණ ගැසිණි. ඇය සිටියේ වයස අවුරුදු දෙකහාමරක් වයසැති පුංචි පුතෙකු ද සමඟය. ඒ පුංචි පුතු ද සිටියේ පොතක් පෙරළමින් එහි පින්තුර බලමිනි. මේ ඇය අපට කියූ කතාවයි.
“ මම අවුරුදු දොළහක් තිස්සේ ප්‍රදර්ශනයට එනවා. පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. ලොකු එක්කෙනාට අවුරුදු දහතුනයි .අනිත් එක්කෙනාට අවුරුදු දහයයි. මම ලොකු පුතාව පොත් ප්‍රදර්ශනයට ඉස්සෙල්ලම එක්කගෙන ආවේ එයාට මාස හතක කාලේ ඉඳලා. එදා ඉඳලා හැම අවුරුද්දකම ආවා. මම පුතාලට සල්ලි දෙනවා උදේට පාසල් යද්දි. නමුත් ඒගොල්ලෝ ඒ සල්ලි කැටයක එකතු කරනවා. ඒ සල්ලි අරගෙන තමයි අද පොත් ගන්න ආවේ. මම මට ඕන පොත් ගත්තා. පුතාලා එයාලට ඕන පොත් ගන්නවා.”ඇය පවසන්නේ තමන් අසල සිටින වැඩිමහල් පුතු දෙස බලමිනි.
“මල්ලි ආච්චිත් එක්ක පොත් තෝරනවා. අම්මා තාත්තා සල්ලි දුන්නම කඩෙන් එක එක දේවල් කන්නත් හිතෙනවා. එත් මම පොත්වලට ඊට වඩා ආදරෙයි. ඒ නිසා අම්මලා දෙන සල්ලි කැටේ දාලා එකතු කරනවා. මගේ කැටේ රුපියල් දෙදහක් තිබුණා. මල්ලි ගාවත් ඒ වගේම මුදලක් තිබුණා. අපිට ගෙදර ගිහිල්ල මේ පොත් කියවනතුරු ඉවසිල්ලක් නැහැ.” පුංචි පුතු පවසන්නේ හිනැහෙමිනි.
පොත් ප්‍රදර්ශනක භුමියේ එක් තැනෙක සමරු සටහන් ලිවීම සඳහා පොතක් තබා ඇත්තේය . මෙහි පැමිණෙන බොහෝ දෙනෙකි එහි සටහන් තබා යන්නෝය. අපි නිකමට මෙන් එය පෙරළා බැලූවෙමු.
“පොත් ප්‍රදර්ශනය එළ”
“පොලිතීන් වර්ජනය කිරීම හොඳය”
“ප්‍රදර්ශනය හොඳයි ..එ්ත් ගානතමයි වැඩි..”
ආදි වශයෙන් සටහන් එහි විය.
“කවුරු කොහොම කිව්වත් මේ පාර එන පිරිස අඩුයි. ඉරිදයි සෙනසුරාදයි නම් ටිකක් වැඩිපුර හිටියා. සමහරු ආවට පොත් ගන්නේ නැහැ. මේ වටේ ඇවිදලා කරලා යනවා.” එක් කෙනෙක් දෙන්නෙක් පමණක් සිටි පොත් කුටියකට ගොඩ වූ අපට එහි හිමිකරු පැවැසුවේ කනගාටුවෙනි. දින කිහපයක කඩින් කඩ වැස්සෙන් පසු හිරු එළිය තදින් වැටෙන්නට පටන් ගෙන ඇත . ප්‍රදර්ශන භුමිය වටා ඇවිද මහන්සි වූ ඇතැම්හු කොහේ හෝ සෙවණක් සොයා විත් පඩි පෙළක තණබිස්සක වාඩි වී සිටිති. තිබහට යමක් බොති. එක්කෝ මොනවා හෝ ආහාරයට ගන්නෝය.
හේමා අල්විස් අපට හමුවුයේ එසේ ගිමන් හරිමින් සිටියදීය. ගුරුවරියක වන ඇය පැමිණ සිටියේ තම පුතුන් දෙදෙනා හා සැමියා සමඟය.
පොත් ගන්නට පැමිණි ගමන පිළිබඳ ඇය මෙසේ පැවසීය.
“මම කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික පන්තිවල උගන්වන්නේ. දැන් දරුවෝ කියවන්නේ අඩුවෙන් . අපි නම් අදටත් මොනවා හරි ඔතාගෙන එන පත්තර කොළෙත් කියවනවා. මගේ පුතාලා දෙන්නවත් බොහෝම අමාරුවෙන් කියවීමට පුරුදු කළේ දැන් එයාලා පොත්වලට ආසයි. අද අපි පොත් හුඟක් ගත්තා . මගෙ මහත්තයත් ගුරුවරයෙක්. මාසේ පඩි ගත්තම ගෙදරට ඔන දේවල් වලට වඩා අපේ ගෙදරට ගේන්නේ පොත් සඟරා ආදීය. මම පාසලේ මගේ පන්තියේ පුංචි පුස්තකාලයක් හදලා තියෙනවා. දරුවන් කියවීමට උනන්දු කරවනවා. වැඩිහිටියෝ වෙච්ච අපි කියවන්නේ නැතිව දරුවන්ට කියවන්න හුරු කරන්න බැහැ. අපි පහළොස් අවුරුද්දක් තිස්සේ පොත් ප්‍රදර්ශනය එනවා. දැන් තරුණ දරුවෝ ඉන්නේ හැම වෙලේම අන්තර්ජාලේ. මේ ඇවිල්ලා යන තරුණ දරුවෝ දැක්කම හිතෙනවා පොත් ගත්තේ නැතත් පොත් අතරට එන යන එක හරි වටිනවා කියලා. මෙහෙම ඇවිල්ලා යන එයාලා කවදා හරි පොත් ගන්න පොත් කියවන්න හුරු වේවි ”
ඇතැම්හු අරමුණක් නැතිව කල්ලි ගැසෙමින් ඇවිද යති. ඒ අතර තමන්ට අවශ්‍ය පොත කුටියෙන් කුටිය යමින් නොඉවසිල්ලෙන් සොයන ඇත්තන්ද නැතවාම නොවේ. දහ අතේ ඇවිද ගොස් ගිමන් හරින්නට හෝ හිතේ මතුවන දුක සතුට පොත් ප්‍රදර්හනය ගැන කවියක් කුරුටු ගාන්නට අයෙක් අමතක නොකරති. වෙනදා මෙන් මෙවරද කැටපත් පවුර සල්පිලට එන කාට කාටත් විවෘතව තිබේ. පාසල් දරුවන්ගේ මෙන්ම ප්‍රවීණ කවි කිවිඳියන් ලේඛකයන් කැටපත් පවුරේ කවි කුරුටු ගා තිබිණ. (මේ කවිවලින් තෝරා ගත් නිර්මාණ ලබන වසරේ කැටපත් පවුර පොතට ඇතුළත් වනු ඇත.
මේ විශ්ව විද්‍යාල ආචාර්යවරියක එහි කුරුටු ගා තිබු කවියකි.
“දුක කඳුළ වෙහෙස
උරුම මේ ගමන් මඟ
කවිය ගෙන දේය
මොහොතක නවාතැන”
ඇතැමෙක් පොත් සල්පිල ගැන හොඳ කියති . ඇතැමෙක් අඩුපාඩු කියති . ඇතැමෙක් කියන්නේ පොත්වලට වඩා කෑම ගණන් වැඩි බවය.
“මම ගමක ඉඳලා ආ කෙනෙක්. සල්පිල ඉවර වෙනතුරු දින පතා මෙතැනට ඇවිත් යනවා . පොත් අතර ඇවිදින එකත් මට සැපක්. බලන්නකෝ මේ කෑම වල ගණන්. මඤ්ඤෝක්කා කිලෝ එකක්ම රුපියල් අසුවක් විතර වෙන්නේ . නමුත් මෙහෙ කෑලි දෙක තුනක් දාපු මඤ්ඤෝක්කා පිරිසියක් රුපියල් හැටක් වෙනවා. මේ ගොල්ලෝ මේ සුද්දන්ට ද බිස්නස් කරන්නේ. මේවා ගැන පොත් ප්‍රදර්ශන සංවිධානය කරන අය සොයලා බලන්න ඔන. සමහරු පොත් ගන්න එන්නේ සල්ලි තියෙන කමට නෙමෙයි ආසාවට. ඒ එන මිනිස්සුන්ව ගසාගෙන කන එක හොඳ නැහැනේ.” නම ගම කීමෙන් හෝ ඡායා රූපයකට පෙනී සිටීමෙන් වැළකී සිටි වයස්ගත පුද්ගලයා කියන්නට වුයේ ආවේගශිලිවය.
එම්. තිලකරත්න අපට හමුවුයේ මද්දහනේදීය. ඔහු මිලට ගත් පොත් බිම තබා ගිමන් හරිම්න් සිටියේය.
පොත් සල්පිල ඔහුට හොදින් හුරුපුරුදු තැනකි.“ මම අවුරුද දාහතක් තිස්සේ මගෙ දුවත් එක්ක එනවා. එයා දැන් උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙන ගන්නවා. පුංචි කාලේ ඉඳලම දුව පොත් කියවනවා. අවුරුදු ගානක් තිස්සේ ඉඳලා තමයි මම කැට එකතු කරන්නේ. හැම සැප්තැම්බරයෙම කැටේ කඩන්නේ අලුත් කැටයක් ගෙදරට ගෙනැල්ලා. නියමිත ගානක් කියලා නැහැ පඩි ගත්තාම ,කඩේ ගිහිල්ලා ඉතිරි සල්ලි ,තව අමතර මුදලක් ලැබුණදාට ඒ මුදලින් කීයක් හරි කැටේට දානවා. මේපාර කැටේ රුපියල් විසිදාහක් එකතු වෙලා තිබුණා. ඒ සල්ලි වලින් ඊයෙත් ඇවිල්ලා පොත් ගත්තා. අදත් ආවා. දුව ගියා තව පොත් තෝරන්න. දුව මේ පොත් ගෙදර ගෙනිහිල්ලා එයාගේ නම ලියනවා දිනේ දානවා. අත්සන් කරනවා. ඊට පස්සේ මම ඒවට ඉටිකවර දානවා. අපේ ගෙදර පොඩි පුස්තකාලයක් තියෙනවා. නෝනයි දුවයි මමයි පොත් කියනවා. අපේ ගෙදර රූපවාහිනිය බලන්නේ නැහැ. අපේ එකම සතුට පොත් කියවීම.”
සල්පිල් භුමියේ දී හමු වුවෝ කියු කතා එසේය. සැබැවින්ම මිනිසුන් මෙතරම්ම පොත් සමඟ බැඳී සිටින්නේ නම් සමාජය මෙතරම්ම කුරිරු නොවනු ඇත. ඉදින් පොත් ප්‍රදර්ශනය අදින් අවසන් වනු ඇත. තවත් දින පහකින් එළැඹෙනු ඇත්තේ කියැවීමේ මාසයයි. ඒ මාසයත් ගෙවී ගියායින් පසු පොත්සල්පිල මතකය මතකයක් පමණක් වනු ඇතිද? නීති ක්‍රියාත්මක නොවුණද දඩුවම් ක්‍රියාත්මක නොවුණද ස්වෙච්චාවෙන් ඉදිරිපත් වු තරණ පිරිසක් මෙන්ම සමාජ ජාලය ඔස්සේ කෙරුණු දැනුවත් වීම් ඔස්සේ කිහිප දෙනෙකු හැරෙන්නට බොහෝ දෙනා පොලිතින් භාවිතය අවම කිරීමට දායක වී සිටිති. වෙනදාට තැන් තැන්වල සුළඟේ යන සිලි කවර දැකිය හැකි වුවද මෙදා එසේ දැකිය නොහැකි විය. කොහොම වුවත් එකට එක් වුවහොත් තම තමන්ම ක්‍රියාත්මක වුවහොත් කළ නොහැකි දෙයක් නොහැකි බව මෙවර පොත් සල්පිල සමාජයට දුන් පණිවිඩයයි.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු