
යමෙකුගේ නායක ලක්ෂණ උපතින්ම හිමි වන බව මුලින් තිබූ මතයයි. එහෙත් පසුව විද්වතුන් පවසන්නට වූයේ නායකයන් බිහි කරන්නේ පවතින පරිසරයේ අවශ්‍යතාව මඟින් බවය. එසේම බොහෝ විට නායකත්වය පිළිබඳ කතා කෙරෙන්නේ පුරුෂ මූලික පදනමක සිටය. මානව සම්පත් සම්බන්ධව පමණක් නොව මෙය සතුන් සඳහාද පොදු ධර්මතාවකැයි සිතන්නට සුදුසු සාධකයක් කාල තිරයෙන් වැසී ගොස් ඇති පනාමුරේ ඇත් රැජනගේ කතාවෙන් සැපයෙන්නේය.
මිනිසුන් අලි ඇතුන් හීලෑ කිරීමට පෙලඹුණේ කවදාදැයි කිසිවකු දින වකවානු ඇතිව කියන්නට නොදන්නවා විය හැකිය. එහෙත් රජ කාලේ සිට අද දක්වාමත් අලි, මිනිසුන්ට සේවය කරති; මිනිසුන් මරති; මිනිසුන්ගෙන් මැරුම් කති. මඩුවන්වෙල රටේ රාළ මේ අලි සෙල්ලම පිළිබඳ නම් දැරූ පුද්ගලයෙකි. 1521 සිට පැවතෙන මඩුවන්වෙල පරපුර පිළිබඳ මෙන්ම සුදු ගෝනා ඒ පරපුරට ගෙනා වාසනාව, මඩුවන්වෙල රටේ රාළට ඒ නම ලැබුණු ආකාරය පිළිබඳ වැසී තිබූ කඩ තිර විවර කරන්නට පසුගිය සතිවල අපට හැකි විය. කටුවන සටනේදී මඩුවන්වෙල පරපුර පෑ දස්කම් නිසා ලද නින්දගම් ආදී සියල්ල අවසන හිමි වූයේ මොලමුරේ පියාට දාව ඉපදුණු මඩුවන්වෙල නම් දැරූ රටේ රාළටය. ඔහු එය තම එකම දියනියට හෝ බිරිය වූ කලවානේ මැණිකෙට නොපවරා මොලමුරේ පරපුරට දායාද කිරීමට හේතුවද එය බව පැවසේ. ධනය බලය ලැබෙත්ම වලව්ව නවීකරණය කළා පමණක් නොව අලි අල්ලන්නටද මඩුවන්වෙලට සිත් දුන්නේය. කටුවන සටන කාලේ පනස් දෙනකු රකින ලද පනාමුරය පෙදෙස ඇත් ගාලක් සඳහා සුදුසුම ස්ථානය බව 1889දී පළමු වරට මඩුවන්වෙල තීරණය කළේය.
ඊට හේතු ගණනාවක් තිබුණි. එකක් නම් අගෝස්තු මස සිට ඇරැඹෙන දැඩි නියඟයට නොසිඳෙන දිය බුබුලක පිහිටීමයි. ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් සංස්කරණය කරන ලද 'ඇඹිලිපිටිය වෘත්තාන්තය' සහ වෛද්‍ය ශාන්ත දුනුකාර විසින රචිත 'මඩුවන්වෙලට පියමං' කෘතිවල මේ දිය බුබුල පිළිබඳ වර්ණනාත්මක විස්තර දැකිය හැකිය.
තැනිතලා භූමියක පිහිටි දිය බුබුල ගැමියන් අතර පමණක් නොව රට පුරා ජනප්‍රියව තිබී ඇත්තේ ‘නලියන දිය බුබුල‘ නමිනි. එයට හේතුව ඒ අසලට ගොස් කෑ ගැසූ විට එය බුබුලු නංවමින් වඩාත් සක්‍රීය වන බව එදා විශ්වාසය වූ නිසාය. අප එහි යන විට දිය බුබුල අසල තිබූ දත් බුරුසු, දත් බෙහෙත් කුප්පි සහ සිලි සිලි මලු නිසා එය තරහෙන් සිටියාදෝ අපේ කට හඬට පෙන පිඬු නඟමින් වඩාත් උඩට මතු වූයේ නැත. ඇඹිලිපිටිය වෘත්තාන්තයේ කියැවෙන්නේ කිවුල් ජලයෙන් යුත් මේ උල්පතට පඬුරු දමා පතන දේ සාර්ථක වන බවට විශ්වාසයක් ඇති බවත්, දිය උල්පත අසල විශාල ශබ්ද නඟන විට අදටත් සුදු වැලි සමඟ වැඩියෙන් බුබුලු දමා දිය මතු වන බවත්ය. දිය උල්පත වටා කොඩිවැල් ආදි සැරසිලි කර එමඟින් ලැබෙන ජලයෙන් වගා කර සරු අස්වැන්නක් ලබන්නට හැකි බවද ගොවීහු විශ්වාස කරති. කොළොන්න කෝරලයේ සියලුම උල්පත් නියඟයෙන් සිඳී ගියද 'නලියන දිය බුබුලේ' නිල් දිය දහර කිසි විටෙකත් සතුන් පිපාසයෙන් තැබුවේ නැත.
ගමේ කොල්ලන් ඇල්ලූ සුදු ගෝනා රජුට දී නින්දගම් ගත් ඉතිහාස දැනුම භාවිත කළ මඩුවන්වෙල කෝරළේ මේ දියදහරට ඇදෙන අලි ඇතුන් යොදාගෙන තම ධනය, බලය මෙන්ම දෙස් විදෙස් ප්‍රසිද්ධිය වඩාගත හැකි ආකාරය කල්පනා කළේය. මඩුවන්වෙලට පෙර 1828 දී තුන් කෝරළයේත්, 1863 දී කුරුණෑගලදීත් ඒ හැරුණු කොට කුරුණෑගල, කෑගල්ල, මාතර වැනි ප්‍රදේශවල පවා ඇත් ගාල් පැවැත්වූ බවට විදේශිකයන්ගේ වාර්තා ඉංග්‍රීසි පිළිබඳ හසල දැනුමක් තිබූ ඔහුට මේ සඳහා උදව් වන්නට ඇත. නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි මුසල්මානුවන් අලි ඇල්ලීමේ දක්ෂයන් වූ අතර අලි මන්ත්‍ර දන්නා ඔවුන් විශේෂ නමකින් හැඳින්වීමට පුරුදුව තිබිණි. ඒ පනික්කියන් යන්නය.
අලි මදු දැමීමද ජීවිතයත් මරණයත් අතර සටනකි. එහෙත් නින්දගම් වැසියන්ට තමන්ගේ එක අණකින් මේ සියල්ල සඳහා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඉදිරිපත් වීමට සිදු වන බව මඩුවන්වෙල දනී.
බක් මහ සැනකෙළියෙන් පසු යෙදෙන නැකතක් මේ සුබ මංගල්‍යය සඳහා යොදා ගැනීම වඩාත් යෝග්‍ය බව ඔහු තීරණය කළේය. නැකැත්කරු ලවා තමන්ගේ නව ව්‍යාපාරය ඇරැඹීමට සුබ මුහුර්තයක් ඔහු විමසුවේය. වෙසක් මහේ මෙන්ම පොසොන්වලටද නින්දගම් වැසියන් ආගමික කටයුතුවලට මුල් තැන දෙන බැවින් ඉන් පසුවය සුසුදු කාලය එලැඹෙන්නේ. හැඩි දැඩි පිරිමින් මඩුවන්වෙල වලව්වට කැඳවනු ලැබිණි. ගම්බාරවරුන් මඟින් එක් එක් වැඩ සඳහා සූරයන් සොයාගෙන ඔවුන්ට විවිධ වගකීම් පැවරීමටය ඒ. එකිනෙකාගේ දස්කම් අනුව කාණ්ඩ වශයෙන් බෙදූ පසු, විශාල ගස් කපා ගෙනෙන්නට, ගාල බඳින්නට, අලි එළවන්නට, අලි බඳින්නට, මන්ත්‍ර කරන්නට, පණිවුඩ ගෙන යන්නට අදි වශයෙන් විවිධ වැඩවල යෙදවිණි. මඩුවන්වෙලට පියමං පොතට අනුව මේ පිරිස 1500ක් පමණ වේ. ඔවුන්ගේ වැඩ බැලූයේ කෝරාල කෙනෙකි. ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ගෙවලට වී නිදහසේ ඉන්නට නැත. වලව්වට එන යන අයගේ කෑම් බිම් ආදි සියල්ල සැකසීමේ වගකීම ඇත්තේ ගැහැනු උදවියටය. වැඩවලට උදව් නොවුණහොත් ලැබෙන දඬුවම් පිළිබඳවද නින්දගම් වැසියෝ දනිති.
ඇසළ, නිකිනි මාසවලදී අනෙක් දිය උල්පත් සිඳෙන විට අලි ඇතුන් පමණක් නොව කුරුල්ලන් සිව්පාවුන් මෙන්ම සර්පයන්ද ඇදෙන්නේ මේ උල්පත දෙසටය. ඒ නිසා ඊට පෙර දිය බුබුල මැදි කර අක්කර පහක-හයක පමණ ඉඩක අලි ගාල බැඳිය යුතුය. ඒ වැට දඬු වැටක හැඩයට සැකිසිය යුතුය. අලි නතර කිරීමට ගන්නා වැටක ඉනි ලෙස භාවිත කළ යුත්තේ අඩි තුන හතරක වටප්‍රමාණයක් ඇති අඩි 15ක් පමණ දිග ගස් කොටන්ය. අලි අල්ලන්නට බඳින අලි ගාලේ ඉනි ගෙන්වා ගන්නේද හීලෑ කළ අලින් ලවා වීම දෛවෝපගත සිදුවීමක් වැනිය. ඒ සඳහා රටේ මහත්තයාගේ හීලෑ අලින් කීප දෙනකු වේ. අඩි හය හතක් ගැඹුරු වළවල් කපා මේ කණු හිටවන්නේ අලියකුටවත් සෙල්විය නොහැකි වන්නටය. එහි පළමු කණුව සිටවන්නේ මඩුවන්වෙල රටේ මහත්තයාගේ නැකතට සදා ඔහුගේම සුරතිනි. ඒවා එකිනෙක බඳින්නේ වේවැල්වලිනි. ඒ වැටේ වනපෙත කොටසේ අලින් ඇතුළු කිරීමට දොරටුවකි. විශාල වපසරියක බැඳෙන මෙහි දඩබ්බරකම් කරන මුරණ්ඩු අලින් අල්ලා බැඳීමට වෙනම කොටසකි. එය අක්කර භාගයක් පමණ වන ‘සිර ගාල‘යි. මේ සියල්ල නිම කිරීමට සති පහක් පමණ ගතවේ.
ඇඹිලිපිටිය වෘත්තාන්තය පොතේ පොතුපිටියේ අමරසේකර පහළවිතාන මහතා ඉදිරිපත් කර තිබුණු පනාමුරය පිළීබඳ විස්තරයේ 1918සිට ඇත් ගාල් නැරඹූ, අක්කර 500 විදානේ මහතා හෙවත් ඊ.ඒ.ඩී.එම්. පෙරේරා මහතාගේ අත්දැකීම් අනුව පනාමුර කන්දේ කෙළවර සිටත් කොළදිවියන් කන්දේ කෙළවර සිටත් අලි ගාලේ දොරටු දක්වා ක්‍රමයෙන් කුඩා වන අයුරින් සැතපුම් භාගයක තරමට දිගැති වැටවල් දෙකක් බැඳ තිබුණි. එය හැඳින්වූයේ ‘රැවුල් වැට‘ යනුවෙනි. වේවැල් ගෙනැත් දී තිබුණේ කුකුළු කෝරලේ දිසාවේය. පත්තිරිප්පුව නම් වූ අඩි 30ක් පමණ උසැති පනස් දෙනකුට පමණ සෑහෙන නැරඹුම් තට්ටුව සාදා තිබුණේ සොල්දර සහිත බංගලාවේ කොටසක් ලෙසය.
මඩුවන්වෙල වලව්වේ සිට පනාමුරේ ඇත් ගාල දක්වා පාර දෙපස එක් එක් දිසාවේ වෙනුවෙන් තැනූ බංගලා මෙන්ම, බ්‍රිතාන්‍ය ජාතික ඒජන්තවරයාට, අණ්ඩුකාරතුමාට, ආරාධිතයන්ට තානායමක්, වෙළෙඳාම් සඳහා කඩ සාප්පු තාවකාලිකව ඉදි කෙරිණි. මේ සෑම කෙනකුටම නිල වශයෙන් ආහාර පාන සැපැයුණේ මඩුවන්වෙල වලව්වේදීම වංගෙඩියේ වී කොටා සැකසුණු සහල් ආදියෙනි.
ඌව පළාතේ සිට පවා ජලය සොයා වළවේ ගඟට එන අලින් මෝදරවාන, පල්ලේබැද්ද, කෝන් කොටුව, මහපැළැස්ස වැනි පෙදෙස්වල දකින්න ලැබෙන විට ඒ පණිවුඩය රටේ මහත්තයා වෙත රැගෙන යා යුතුය. මේ සංක්‍රමණික කාලයේ කිසිම අයකු ට තුවක්කුවලින් වෙඩි තැබීමට හෝ, සතුන් මැරීමට, වැව්වලට ජලය හැරවීම වැනි අලි ගමනට බාධාවන කිසිවක් කිරීම තහනම්ය.
ඉතිරිය මතුවට