ඔයා එයාගෙ ගෑනු ළමයාගේ අවතාරෙ ද? | සිළුමිණ

ඔයා එයාගෙ ගෑනු ළමයාගේ අවතාරෙ ද?

සමහර අවස්ථාවල නරේන් මාමා මං ප්‍රියදෝණි මහමායා වගේ ම කියනවා. එයාගෙ අවතාරෙ කියනවා.

මං ඇවිත් ඉන්නෙ එයාට රිද්දන්නලු. ප්‍රිය‍දෝණි මැඩම් මට ආවේශ වෙලා ලු.

මං ඔය කතා විශ්වාස කරන්නෙ නැහැ මනෝ අක්කා.

“‍දෝණී”

නරේන්ද්‍ර නිහඬව බලා සිටිනා තරුණිය ඇමතුවේ නුදුරේ පෙනෙන්නට තිබෙනා ඔර්ලෝසුව දෙස වරක් බලා අනතුරුවය.

“ඉන්ද්‍රජිත්ගෙ ගමන ගැන පොඩි ගැටලුවක් මතු වෙලා.”

තරුණිය තිගැස්සුණාය. දසක ගණනාවකට පසු තමා උපන් භූමියට පය තබන්නට සූදානම් වන ශ්‍රී ලාංකික තරුණයාට මුහුණ දෙන්නට සිදුවන ගැටලුව පොඩි එකක් විය නොහැකිය.

“බය වෙන්න දෙයක් නෙමේ ළමයො. අපිට ලබන සතියෙ සඳුදා විතර ස්විස් යන්න වෙලා තියෙනවා.”

“හදිස්සියෙම? අපි කියන්නෙ?”

හදිසියක් ම නොව එවැනි සංචාර මහජන නියෝජිතයින්ට ඔවුන්ගේ දේශපාලන කාර්යභාර්යයන් පෝෂණය කර ගැනීමේ දැනුම දෙනු වස් සංවිධානය කරනු ලබන ගමන් යැයි කීමට නරේන්ද්‍ර ඉක්මන් වූයේ නැත.

තම පක්ෂය විසින් මේ ගමන සඳහා රුක්නාද් යෝජනා කරනු ලබන්නේ ඔහුගේ නුවණැති දේශපාලන දැක්ම පොදුවේ සියලු රටවැසියන්ට යහපතක් වන ලෙස හැසිරවීමට ඔහු ගන්නා උත්සාහයට කෘතවේදිත්වයක් සහ අගයක් එකතු කිරීමේ අව්‍යාජයෙනි.

“රුක්නාද් නරේන් මාමලගෙ කෙනෙක් නෙමේනෙ?”

රෝජා සඳපාණි විස්මය පළ කළාය.

“පක්ෂෙ අනිත් අය විරුද්ධ වෙයිනෙ. මේ රටේ තියෙන්නෙ පුද්ගල මට්ටමෙන් අනිත් අයව කපාගෙන හරි ඉස්සරහට යන්න හදන දේශපාලන සමාජයක්නෙ නරේන් මාමා.”

“මොනවද දෝණි මේ කියන්නෙ? ඔයා කියන ඔය මොට්ට මෝල් සමාජ දේශපාලනය ටිකකට අමතක කරන්නකො... රට ගැන හිතලා, අනාගත පරම්පරාව ගැන හිතලා, තමන්ගෙ පොඩි වැරැද්දක් හරි නිවැරැදි කර ගෙන ඉස්සරහට යන්න හදන දේශපාලනඥයින්ට අපි ඉඩ දෙන්න ඕන. රටකට ස්ථානගත ශක්තිමත් දියුණුවක් ඇති වෙන්නෙ එතකොටයි දෝණි.”

නරේන්ද්‍රගේ පැහැදිලි කිරීම් තරුණිය සිනා ගන්වනසුලු විය. එය සොම්නස නොව උපහාසය දනවන සැටියක් දේශපාලනඥයාගේ දෙනෙත හඳුනා ගත්තේය.

‘මේ කෙල්ල මෙච්චර රැඩිකල් වෙලා තියෙන්නෙ මනෝහාරි හින්දා’ යි සිතුවද ඔහු එය කීවේ නැත.

“රෝජා ළමයො ඔය හිනාව නතර කර ගන්නවද?”

ඔහු ඇසුවේ අමනාපයෙනි. හදිසියේ ම ඔහුට සිතුණේ ඇයට තදින් දෝෂාරෝපණය කරන්නටය.

“නරේන් මාමාට ඔච්චර හිත රිදෙන දෙයක් මං කිව්වද? මම මාධ්‍යවලට සම්බන්ද නෑ”

“රෝජා ඔය ළමයා ලෝකය ගැන දන්නවා වැඩියි. හෙට අනිද්දා විශ්ව විද්‍යාලෙක උගන්වන්න ගිහින් මොනවා කරන්නද හිතාගෙන ඉන්නෙ? මට සැකයි තවමත් පාරට නොබැස්ස කෙල්ලො කොල්ලෙ ටිකත් ඔයා ගියාට පස්සෙ ඔයත් එක්ක පාරට බහීවිද කියලා.”

රෝජා සඳපාණිගේ සිතෙහි උපන් අඳුර දෙනෙත් වසා ගත්තේය. නරේන්ද්‍ර දේශපාලනඥයා පවසන පරිදි මනෝහාරි රවිහාරි, ඉන්ද්‍රජිත්, චන්දිරම්, රුක්නාද්, පියා මව, මාධවී මැතිනිය වැනි අයගේ ජීවිතයේ අකාරුණික ගරා වැටීම් අධාර්මික චණ්ඩ දේශපාලන ප්‍රවාහයන්ගේ සැබෑව නොවේද?

“මොකද ඒ ස‍ැරේ බකමූණෙක් වගේ මූණ පුම්බගෙන කල්පනා කරන්නෙ?”

නරේන්ද්‍රට තරුණියගේ අඳුරු බැල්ම අපහසුවක් විය.

“තමන්ගෙ වැරැදි හදාගෙන අනාගතයට යන දේශපාලනඥයො රටකට සම්පතක්.”

ඇය වහා කීවාය. නරේන්ද්‍ර හිස වැනුවේය. ප්‍රදේශයක පළාතක රටක රාජ්‍යයක මෙන් ම ලෝකයෙහි දේශපාලනයද වෙනස් විය යුතු කල එළඹි විට වෙනස් නොවීම ජනතාව රාමු ගත කරන්නකි. තිස් වසරක ත්‍රස්තවාදය අවසන් වූ සැණින් රාමු ගත දේශපාලනය බිඳ වැටුණ ද එය ඉදිරියට පවත්වාගෙන යාමේ නොහැකියාව තුළ උපන් රටවැසි මනුෂ්‍ය අසරණභාවය ව්‍යාප්ත වෙමින් පවතින සැටියක් ද පෙනේ. රෝජාට මේ අදහස් දෙනවා ඇත්තේ මනෝහාරි වීම නිසැකසේ පිළිගැනීම වැරදි නැත.

“නරේන් මාමායි රුක්නාද් මන්ත්‍රිතුමයි ස්විට්සර්ලන්තෙට ගිහින් මොනවද කරන්නෙ? ඇත්තට ම මං ලංකාව හැරුණම ලෝකෙ ආසම රට ස්විට්සර්ලන්තෙනෙ. නිදහසේ ඇවිදින්න පුළුවන්. බලන්න තැන් තියෙනවා රට පුංචි වුණාට. අඳුරු කතාවෙන් ඇතිවූ දොම්නස් සහගත සිතිවිලි පලවා අරින්නට මෙන් තරුණිය මුදු සිනාවක් දෙතොලට නංවාගෙන සතුටෙන් මෙන් කීවාය.

“අපි යන්නෙ විනෝද ගමනක් නෙමේ.”

නරේන්ද්‍ර කීවේ තර්ජනාත්මක කෝපයෙනි. ස්විස් රට පිළිබඳ ඇගේ කැමැත්ත තමා වියරු කරන්නට සමත් වූයේ ඇයි? තරුණිය මහත්සේ බියට පත් වූවාය. ඔහුගේ වචන හදවත පීඩා කරන දරුණු ප්‍රහාරයක් සේ ඇයට දැනෙන්නට විය.

“කට තිබුණ පලියට කතා කරන්න එපා. ඒක ගෑනුකමට ඔබින්නෙ නැහැ. මං මොකක් හරි කිව්වොත් වැඩිහිටිකමටවත් සලකන්නෙ නැතුව කච කච ගානවා. මොන කරදරයක්ද මේ? හිත හිතා මගෙ වැඩ අවුල් කරනවා. ඔය ළමයා ස්විස් රටට නෙමේ තව්තිසා දිව්‍ය ලෝකෙට යන්න කැමති වුණත් ඒක අපිට අදාළ නැහැ. මං ආවෙ අර කොල්ලව ලබන සතියෙ ගෙන්වන්න එපා කියන්න. අපි දවස් හතරයි ස්විස්වල ඉන්නෙ. ඒ කාලෙ මං උත්සාහ කරන්නෙ රුක්නාද්ව උතුරේ තනි නොකර දකුණේ තියා ගන්න. අපේ ඒ උත්සාහය රුක්නාද් ලෝකෙට කිව්වොත් ඒක අපේ සමගියට ලොකු උදව්වක්. ශක්තියක්. රුක්නාද් වගෙ ප්‍රඥාවන්ත තරුණයෙක් ලෝකෙට කිව්වොත් අපිට උතුරේ තනිවෙන්න බැහැ. දකුණ අපිට සහයෝගය දෙන්න ඕන. ආදරය කරන්න ඕන. රටක් මිසක් උතුරක් දකුණක් නැහැ කියලා. රටක් විදිහට මිසක් ජාතියක් විදිහට අපිට ගැලවීමක් නැහැ කියලා... අපි ස්විස් යන්නෙ විනෝදෙට නෙමේ.”

නරේන්ද්‍ර තුළ වෙනත් කිසිම දිනක දැක නැති කෝපයකින් මෙන් ම පරාජිත ස්වභාවයකින් වෙලී පැටලී, නොනැවතීම කිවා ගෙන යෑම තරුණියගේ තිගැස්ම, බිය, ශෝකය, නොසංසුන්කම වඩන්නක් විය.

නරේන්ද්‍ර නැගී සිටියේ ආපසු යෑමටය. ඔහු නවතා ගැනීමට ඇය උනන්දු නොවූවාය.

ඔහු අතීතයේ ජීවත් වන්නෙකැයි මනෝහාරී පවසන්නේ ආවාට ගියාට නොවේ යැයි තමාටද පසක් වෙන්නට පටන් ගෙන ඇතැයි තරුණිය සිතුවේ ශෝකයෙනි. ඊයේ පෙරේදා දිනක මනෝහාරී පැවසුවේ ඔහු අතහැර ගිය පෙම්වතිය බොහෝ දුරට තමාට සමාන පෙනුමක් ඇත්තියක යයි පැවසෙන අපූරු කතාවකි. ඔහුගේ අනුකම්පා විරහිත අතීත ස්වභාවයට වර්තමාන දඬුවම් දෙමින් විය හැක.

ඔහුගෙන් ඈත්ව සිටින්නැයි රාහුල නිරතුරුවම තමාට තදින් අවවාද කරන්නේ ඥාතිත්වය නිසා නොව ඔහුගේ මනෝභාවයන්ගේ යථාර්ථය මෙන්ම අසත්‍යයත්, ප්‍රකෘතිය මෙන්ම විකෘතියත් හොඳින් වටහා ගෙන වීමට පුළුවන. ඔහු තුළ ඇති අනුන්ට රිදවා සතුටුවීමේ සොබාව, ඔහු තුළ සිටින සැබෑ මිනිසාගේ ද කෝපයට හේතු වන සැටි සියුම්ව අධ්‍යයනය කිරීමේ හැකියාව රාහුලට ඇත. දේශපාලනඥයා වෙළෙන්දෙකුවීම ඔහුට අප්‍රසන්නය. නරේන් මාමා වෙළෙන්දෙකු නොවීම රාහුලට ප්‍රියය. රාහුල දේශපාලනයත් දේශපාලනඥයාත් පිළිබඳව පැහැදීමක් නැති වර්තමාන තරුණයෙකි.

“දේශපාලනඥයෙක් ඡන්දෙකට එන කොට තමන්ගෙ සියලු ම වත් පොහොසත්කම් ආදායම් බදු කොමසාරිස්ටත් ඡන්ද කොමසාරිස්ටත් ඉදිරිපත් කරන්න ඕන ලිඛිතව. ඒ වගෙම පැරදිලා ගෙදර යන කොටත් ඒ වගේ ම තොරතුරු දීලා යන්න ඕන.”

රාහුලට දේශපාලනඥයින් පිළිබඳව අගනා හෙළිදරව්වක් කළ හැක. ඔහුගෙන් උද්‍යාන භූමි අලංකාරය ගැන උපදෙස් පතන දේශපාලනඥයින් බොහෝය.

ස්වකීය නිර්මාණශීලී ශ්‍රමයට සහ සේවක ශ්‍රමයට නිසි ඇගයීමක් කරන ලෝභයෙන් තොර දේශපාලනඥයින් ඇති බව රාහුල දනී.

නමුත් විමතිය වන්නේ රාහුලගේ නරේන්ද්‍ර විරෝධය මේ කිසිදු ගැටලුවකට හෝ සම්බන්ධ නොවීමය.

ඔහුට නරේන්ද්‍ර පිළිබඳ බොහෝ විවේචන ඇත. ඒ කිසිවක් දේශපාලනයට සම්බන්ධ නැත. මනුෂ්‍යයෙකු වශයෙන් නරේන් මාමා පිරිහුණු මිනිසෙකැයි තරයේ ම පවසන ඔහු ඥාති නැඟණිය නරේන්ද්‍ර ඇසුරට යෑම නොසිදුවිය යුත්තකැයි කියා සිටී.

නරේන්ද්‍ර දේශපාලනයේලා සමාජ හිතකාමී ප්‍රායෝගික මිනිසෙකු වුණත් පෞද්ගලික ජීවිතයේදී ඉහ වහා ගිය පෞද්ගලිකත්වයක් තුළ ඇලී ගැලී සිටින්නෙකැයි ඔහු පවසන විට රවිහාරි වුවද නිහඬව සිටින්නීය. ඔහුට එරෙහි වන්නේ තමා හෝ මනෝහරි පමණි.

නරේන්මාමාගේ දේශපාලන පිරිසුදුකම ගැන නිවාස සංකීර්ණයේ සමහරුන් තාත්තා සමඟ කතා කරනවා රෝජාට ඇසී ඇත. මිනිසුන් එසේ කියන්නේ නරේන් මාමා තම නිවෙසට යන එන බව දන්නා නිසා වීමටද පුළුවන.

සියලු දේශපාලනඥයින් සියලු දේශපාලනඥයින්ට සමානය. ඉන් මතුව එන්නට, අරවින්දයක් සේ පිපී සුවඳ දෙන්නට දේශපාලන සත්වයා මනුස්සකම්වලින් ද පොහොසත් විය යුතුව ඇත.

බෙහෝ විට නරේන්ද්‍ර මාමා තුළින් මේ මනුස්සකම් ගිලිහී යන්නේ පෙර අකුසල් පැවැත්මට දැනුදු අනුගත වෙන ලෙසටයැයි තමාට වරක සිතෙන්නේ කුමක් නිසාද? පිළිතුරු සෙවිය යුතුය.

“රෝජා, මං ආවා, ඇයි මේ දොර ඇරගෙන?”

මනෝහාරී ගෙතුළට පිවිසීමට එළිපත්ත පනින විට රෝජා තිගැස්සී නැගී සිටියාය.

“ඔයා බය වුණා. ඇයි ඒ?”

“නෑ මං බය වුණේ නෑ”

“කෝ අපේ නරේන් මාමා? එනවා කිව්වා නේද?”

“ඇවිත් ගියා.”

“ඇවිත් ගියා?”

“ඔව්”

මනෝහාරි රෝජාගේ මලානික දෙනෙත් දෙස බලා සිටියේ බරැති දෙනෙතිනි.

“එයා ඔයාට බැන්නද? ඔයා ඉන්නෙ සතුටෙන් නෙමේ.”

ම‍නෝහාරි මිතුරියගේ හදවතට පිවිසෙන්නට උත්සාහ ගත්තාය. රෝජාගේ මුහුණෙහි දුක්බර සිනාවක් ඇතිවී නැති විය.

“මොකද වුණේ කියන්න රෝජා?”

රෝජා සෙමින්, නැවතෙමින්, දෙනෙතට නැගි කඳුළක් ඇඟිලි තුඬින් පිස ගනිමින් පෙර සිදුවීම් කතාබහ පවසන විට මනෝහාරි සිටියේ ක්‍රමයෙන් වැඩෙන සියුම් කෝපයක් සිත ඇතිවය.

“එයා මගෙ මාමා බව ඇත්ත. ඒත් රෝජා නොකියම බැරිකමටයි මං මේ ටික කියන්නෙ. එයා මන්ත්‍රී කෙනෙක් නිසා දේශපාලනයට හොඳ ඇති. ඒත් පෞද්ගලික ජීවිතයේදී එයා බිඳ වැටුණු මනුෂ්‍යයෙක්. ඒ බිඳ වැටීම් නිසා එයාගෙ හිත දුෂ්ඨ වෙලා. කපුරුයි. කාට හරි වචනෙකින් හරි රිද්දලා සතුටු වෙන්න ලැබෙන එක එයාට ලොකු මානසික තෘප්තියක්. රාහුල කියනවා එයා තරම් සියුම් විදිහට මිනිසුන්ගෙන් පළිගන්නා දේශපාලනඥයෙක් ගැන රාහුල අහලවත් නැතිලු.”

“මිනිස්සු බොරුවට කියනවද දන්නෙ නැහැ.”

නරේන් මාමා පිළිබඳ තම සිතෙහි ඇති අනුකම්පාව සහ කරුණාව හදවතින් පිසදා දැමීමේ නොහැකියාවෙන් මෙන් රෝජා සඳපාණි දුබල හඬකින් සෝබරව කීවාය.

“මෝඩ වෙන්න එපා රෝජා. එයාගෙ හිතේ ඔයා ගැන තියෙන්නෙ වෛරයක්.”

“අනේ මං එයාට මොන වරදක් කළාටද?”

“එයාට පිස්සු රෝජා. එයා හිතන්නෙ ඔයා එයාගෙ අර ගෑනු ළමයෙකුගෙ අවතාරෙ කියලා. අපේ අහිංසක මල්ලි හැම වෙලේ ම මට කියනවා රෝජාව නරේන් මාමා ළඟට අරින්න එපා කියලා.”

රෝජා සඳපාණිගේ සිත දැඩි වේදනාවකින් ගැහෙන්නට විය. සීතල වී ගිය සිරුර යළි දහදිනේ නෑවී ගියේ මනෝහාරි බලා සිටියදීය.

“මනෝ අක්කා කියන්නෙ ප්‍රියදෝණි මහමායා මැතිනිය ගැනද?”

“ඔව්”

“සමහර අවස්ථාවල නරේන් මාමා මං ප්‍රියදෝණි මහමායා වගේ ම කියනවා. එයාගෙ අවතාරෙ කියනවා. මං ඇවිත් ඉන්නෙ එයාට රිද්දන්නලු. ප්‍රිය‍දෝණි මැඩම් මට ආවේහ වෙලා ලු. මං ඔය කතා විශ්වාස කරන්නෙ නැහැ මනෝ අක්කා. මං කාගෙවත් අවතාරයක් නෙමේ. මට මිනිස්සු ගැන දුකයි. ඒකයි මං නරේන් මාමාටත් ආදරෙන් කතා කරන්නෙ. අනේ මට මේ ‍මොකද වුණේ?”

මනෝහාරි නැගිට රෝජා සඳපාණි වෙත ගියාය. ඇය සමීපයෙන් හිඳ ගත්තාය. ඇගේ කඳුළු පිරි දෙනෙත් සහිත මුහුණ තම උරහිස මත රඳවා ගත්තාය.

“රෝජා අඬන්න එපා. ඔයා පුළුවන් තරම් එයාගෙන් ඈත් වෙන්න. මේ ගැන නේෂන් මාමාට කියන්න එපා. රුක්නාද්ට කියන්නත් එපා. ඒ අය හොඳ යහපත් වැඩක් පටන් ගන්න යන්නෙ. අපිට පුළුවන් ඒ ගොල්ලන්ට උදව් කරන්න.”

“රුක්නාද් නරේන් මාමා එක්ක ලබන සතියෙ ස්විස්ටර්ල්තෙට යනවා. ඉන්ද්‍රජිත්ටත් ලබන සත‍ියෙ එන්න එපා කියන්න කිව්වා.”

“රෝජා ලබන සතිය ඉන්ද්‍රජිත් එනවා. ඒ ගමන නතර කරන්න බැහැ.”

ම‍නෝහාරි දැඩි විශ්වාසයකින් ඉන්ද්‍රජිත්ගේ ගමන ගැන මිතුරිය දැනුම්වත් කළාය.

ලබන සතියට

Comments