සුනම්‍ය කාර්යාල වේලා ඇරඹෙයි වාහන තදබදය අඩුවෙයි | සිළුමිණ

සුනම්‍ය කාර්යාල වේලා ඇරඹෙයි වාහන තදබදය අඩුවෙයි

 බත්තරමුල්ල, පාර්ලිමේන්තු පිවිසුම ඔස්සේ කොළඹ නගරයට පිවිසෙන්නකුට කාලාන්තරයක සිට විඳින්නට සිදු වන අධික රථවාහන තදබදය මේ වන විටත් නොවිසඳෙන ගැටලුවක් බවට වී ඇත්තේය. ලංකාවේ අන් කිසිම පළාතක ඇති රථ වාහන තදබදයන්ට අඩ තියන්නට නොහැකි ආකාරයෙන් පැවති බත්තරමුල්ල රාජගිරිය අවට වූ රථවාහන තදබදය දිනෙන් දින අඩු වන්නක් නොව, දිනෙන් දින වැඩි වන්නක් බව මේ පාරෙන් යන එන ඕනෑම කෙනකුට පසක් වේ. සාමාන්‍යයෙන් කොස්වත්ත, පාර්ලිමේන්තු ප්‍රදේශයේ සිට කොළඹට පිවිසෙන්නකුට රථවාහන තදබදයක් නැති අවස්ථාවක නම් යෑමට ගත වන්නේ පැය බාගයකටත් අඩු කෙටි කාලයකි. එහෙත් මතක ඇති කාලයක සිට එවන් අඩු කාලයකින් කොළඹට පිවිසුණා අපගේ මතකයේ නැත. වර්තමානයේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පරිශ්‍රයේ වූ අධික රථවාහන තදබදයට වේලාවක් කලාවක් නැත. රැය දවාල දෙකෙහිම ඇත්තේ එකම තදබදයකි.මේ දිනවල රාජගිරිය නගරයේ ගුවන් පාලමක් ඉදි වන්නේද මේ හේතුවෙනි. එහෙත් තවමත් එය ඉදි වෙමින් පවතින නිසාද මේ තදබදය තවත් දෙගුණ තෙගුණ වී ඇත්තේය.

මේ සියලු බාධක මෙසේ වෙද්දී මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මේ සඳහා ක්‍රමවත් සැලසුම් ක්‍රියාවට නංවන්නට උත්සහ ගන්නේ හෙට දිනයේ බත්තරමුල්ල ඇතුළු අවට ප්‍රෙද්ශයේ ඇති වන නව වෙනසකට මුල පුරන්නටත්, එමඟින් බලවත් වන මේ රථවාහන තදබදයට පිළියම් ගෙනෙන්නටත්ය. පසුගියදා බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක වූයේත්, සුනම්‍ය කාර්යාල වේලාවන් බත්තරමුල්ල ඇතුළු මේ ප්‍රදේශයට හදුන්වා දෙන්නේත් මේ නිසාමය. එහෙත් මේ සියලු දේ අපේ රටට තරමක් ආගන්තුකය. බොහෝ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල පරිපාලන හා වාණිජ නගර පවතින්නේ නගරබද ප්‍රදේශවලින් බොහෝ දුරස්වය. විශේෂයෙන්ම පරිපාලන නගරය පැවැතිය යුත්තේ නාගරික තදබදයන් තොරවය. හෙට දින බත්තරමුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශය ලංකාවේ ප්‍රධාන පරිපාලනමය නගරය විමට නියමිතය. ඒ අනුව කොළඹ නගරය ලංකාවේ වාණිජ හා මූල්‍යමය නගරය වශයෙන් වැඩි දියුණු විමට නියමිත අතර විද්‍යා හා තාක්ෂණ නගරය හෝමාගම හා මාලබේ ඉදි කිරීමට නියමිතය.

මේ නව වැඩ සටහන ක්‍රියාත්මක වීමට සමගාමීව කොළඹ නගරයේ වූ ප්‍රධාන රාජ්‍ය ආයතන, බැංකු, පාසල් ඇතුළු ආයතන 113ක් නව පරිපාලන නගරය වන බත්තරමුල්ලට එකතු වීමට නියමිතය. දැනටමත් රාජ්‍ය ආයතන 41ක් බත්තරමුල්ල ආශ්‍රිත ඉදි වෙමින් පවතින නව පරිපාලන නගරයේ ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එහි 6000ක පමණ පිරිසක් සේවයේ නියුක්ත වෙති. මේ විතැන් කිරීම හේතුවෙන් වර්තමානයේත් අනාගතයේත් මේ නව පරිපාලන නගරය වෙත ඇදී එන අධික රථ වාහන තදබදය අවම කිරීමේ එක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් මාස 3ක කාල අධීක්ෂණයට යටත්ව මේ කාර්යාල සුනම්‍ය වේලාවන් හඳුන්වා දීමේ මුඛ්‍ය අරමුණ වේ.

මෙතෙක් කරන ලද සමීක්ෂණයන්ට අනුව කොළඹට පිවිසෙන මාර්ග 7න් වැඩිම රථ වාහන තදබදයක් පවතින්නේ මේ මාර්ගයේය. එහි උපරීම තදබද වේලාවන් වශයෙන් හඳුනාගෙන ඇත්තේ පෙව 8ත් පෙ.ව 8.45ත් අතර හා සවස පව 4.15 සිට පව 5 දක්වා කාලයයි. විශේෂයෙන්ම මෙම රථ වාහන තදබදයට හේතුව ලෙස සොයාගෙන ඇත්තේ තනි පුද්ගලයෙක් ලෙස ගමන් ගන්නා වාහන අධික වීමය.

අනිත් පසින් පොදු ප්‍රවාහන සේවයේ පවත්නා අඩුපාඩුද මිට බලපා ඇත. සාමාන්‍යයෙන් පැයකට මේ මාර්ගයේ වාහන 1450ක් ගමන් ගන්නා අතර විද්‍යාත්මක ගණනය කිරීම් වලට අනුව වාහනයක දළ වේගය වී ඇත්තේ පැයට කි. මී 10 කි. එහෙත් මේ පැයක ගමන් ගන්නා වාහන 1450න් වාහන 250ක් නවතා ලන්නට හැකිවේනම් එක් වාහනයක වේගය පැයට කි.මී 20 ක් දක්වා වැඩිකර ගත හැකි බවද සොයාගෙන ඇත. දැනට අඩුපාඩු පවතින් මේ බත්තරමුල්ල කොළඹ මාර්ගයේ පොදු ප්‍රවාහන සේවය මීට වඩා දියුණු කළ හැකිනම් එක් බසයක් සඳහා කාර් 30ක සෙනඟක් ඇතුළු කිරීමට හැකි වෙයි. එහෙත් අපේ පොදු ප්‍රවාහන සේවයේ පවත්නා ගැටලු තත්ත්වයන් නිසා මෙය කිරීම තරමක් අපහසු කාරණයකි.

මේ නිසා අනාගතය වෙනුවෙන් වාහන තදබදයේ උපරීම අවස්ථා විසිරුවා හැරීමට යම් යම් උපාය මාර්ග යොදන්නට රජයට සිදුව තිබේ. සුනම්‍ය කාර්යාල වේලාවන් හඳුන්වා දීම එහි එක් පියවරකි. ඒ අනුව පසුගිය 18 වැනිදා සිට බත්තරමුල්ල අවට හදුනාගත් රජයේ කාර්යාල වේලාවන් තම තමන්ට පහසු පහසු පරිදි වෙනස් කිරිමේ අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව කාර්යාලයට පැමිණීමේ වේලාව පෙව 7.30ත් පෙ.ව 9.15ත් අතර වෙනස් කර ගත හැකි අතර පිටත් වීමේ වේලාව පව 3.15ත් පව 5ත් අතර කාලය තුළදි වෙනස් කර ගත හැකි වෙයි. මෙය සිදු කළ යුත්තේ මහජන සේවාවන්ට කිසිදු ආකාරයේ බාධාවීමකින් නොවිය යුතු අතර ආයතන ප්‍රධානීයාගේ පූර්ණ අවසරය සහිතවය. මෙය කළ යුත්තේ කෙසේද, ඒ සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් තම ආයතනය තුළ ඇති කරගත යුත්තේ කෙසේද යන්න සකස් කිරීම ආයතන ප්‍රධානියාගේ වගකීම වන අතර, තමන් තෝරාගත් පහසු වේලාව සෑම දිනකම ඒ ආකාරයෙන්ම භාවිතා කළ යුතු බවටද උපදෙස් දී ඇත. දැනට බත්තරමුල්ල ඉදි වෙමින් පවතින පරිපාලන නගරයේ ආයතන 40ස් ගණනක ක්‍රියාත්මක වන මෙම සුනම්‍ය වේලා නියමු ව්‍යාපෘතියෙන් අපේක්ෂිත අරමුණ සාර්ථක වුව හොත් ඉදිරියේදි එය රටටම හඳුන්වා දිමට බලාපොරොත්තු වෙති.

ජාත්‍යන්තර ප්‍රමිතියන්ට අනුව සේවයක සාර්ථකත්වය පවතින්නේ රැකියා ස්ථානයත් නිවෙසත් අතර දුර ප්‍රමාණය කිලෝ මීටර් 5ක් වුව හොත් පමණි. ඉදිරියේදි ඉදි වන මේ නව නගරය තුළ පොදු නිවාස පහසුකම් ජාලයක් ඇති කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී තිබේ. අලුතින් ඉදි වන පරිපාලන නගරය තුළ ඒ ඒ සේවාවන් සඳහා වෙන් වූ නිවාස සංකීර්ණ ඉදි වන්නේ ජාත්‍යන්තර නිර්ණායක සැලකිල්ලට ගනිමිනි. මෙම ගොඩනැගිලි ඉදිකිරීමේ මූලික කටයුතු ලබන මස ආරම්භ වීමට නියමිතය. එසේම අනාගතයේ ඇති විය හැකි රථවාහන තදබදය වැළැක්වීමට අතුරුගිරිය පෝරේ සිට පෑළියගොඩ දක්වා දිවෙන උන්නත මාර්ගයක් හෙවත් ඉහළින් දිවයන අධිවේගී මාර්ගයක් ඉදිකිරීමටද මේ වන විටත් කටයුතු යොදා ඇත්තේ ය. මීට සමගාමීව මේ හරහා බොරැල්ල සිට කොළඹ දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය පද්ධතියක්ද, ජයිකා ආධාර යටතේ වටරවුම් මාර්ගයක්ද ඉදි වෙන්නේත් මේ රථවාහන තදබදයට විසඳුම් ගෙනෙන්නටය. එසේම තනි පුද්ගල වාහන සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් ඉදිරියේදී මේ මාර්ගවලලට නවීන බස් රථ හඳුන්වා දීමටද රජය බලාපොරොත්තු වේ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මේ සියලු කටයුතු සංවිධානය කරන්නේ පොදු මහ ජනතාවගේ යම් යම් දුෂ්කරතාවන්ට විසඳුම් ගෙනෙන්නටය.

(විශේෂ ස්තුතිය: තොරතුරු සැපයූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතාට)

සුභාෂිණි ජයරත්න 

Comments