හදිසි අනතුරුවලින් වසරකට 10,000 ක් මිය යති | සිළුමිණ

හදිසි අනතුරුවලින් වසරකට 10,000 ක් මිය යති

ශ්‍රී ලංකාවේ සිදුවන රෝහල්ගත වීම්වලට ප්‍රධාන හේතුව හදිසි අනතුරුය. මිලියනයකට අධික පිරිසක් හදිසි අනතුරු නිසා රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබති. සෑම ලාංකික‍යකුම සෑම වසරකට කිසියම් අනතුරකට ලක්වීමේ හැකියාවක් තිබේ. සෑම වසරකම ලාංකිකයන් 10,000 ක් අනතුරු නිසා මරණයට පත්වෙති. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා පසුගියදා ජාතික අනතුරු නිවාරණ සතියක් ක්‍රියාත්මක කෙරිණ. මේ යටතේ මාර්ග අනතුරු වැළැක්වීම, සේවා ස්ථානවල අනතුරු වැළැක්වීම, නිවසේදී සිදුවන අනතුරු වැළැක්වීම, පෙර පාසල්වල සිදුවන අනතුරු වැළැක්වීම හා පාසල්වල සිදුවන අනතුරු වැළැක්වීම සඳහා කටයුතු යෙදිණ. අනතුරු හා ඒවායින් වැළැකීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මේ ලිපිය ලියැවෙයි.

ශ්‍රී ලංකාව තුළ සිදුවන රෝහල්ගතවීම් අතුරින් හදිසි අනතුරු ප්‍රධාන සාධකය බවට හඳුනාගෙන ඇත. තවද, ආබාධිත තත්ත්වයන් සහ මරණ සඳහා ද හදිසි අනතුරු විශාල ලෙස හේතු කාරක වේ. වසරකට මිලියන ගණනාවක් අනතුරු වලට ගොදුරු වන අතර, මිලියනයකට අධික පුද්ගලයින් ගණනක් අනතුරු නිසා රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබති. ඇස්තමේන්තු වලට අනුව අනතුරු නිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු ගණන දළ වශයෙන් වසරකට මිලියන හතරක් පමණ විය හැකි වන අතර, එයින් හැ‍ඟෙන්නේ සෑම වසරකම ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයෙන් සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු ආකාරයේ අනතුරකට පත්විය හැකි බවයි. එමතුදු නොව, එදිනෙදා ජීවිතයේ දී සිදුවන අනතුරු සලකන විට, සෑම ශ්‍රී ලාංකිකයෙකුම සෑම වසරකම අඩුම ගණනේ එක් අනතුරකට හෝ ලක් විය හැකිය. මේ සෑම අනතුරකම සැඟව ඇති අපට නොපෙනෙන එසේම අපට නොදැනෙන ඛේදවාචකය නම් මේ බොහොමයක් අනතුරු අපේ සුළු දැනුවත් වීමකින් හෝ ඉතාමත් සුළු මැදිහත්වීමකින් වළක්වාගත හැකි වීමයි.

මාර්ග අනතුරු

අනතුරුවලට ගොදුරුවන්නන් ගෙන් බහුතරයක් ඵලදායී වයස් සීමාවට අයත් වන අතර, (වයස අවු 15 සහ 44) එම වයස් සීමාව තුළ සිදුවන මරණ වලට ප්‍රධාන හේතු වන්නේ ද අනතුරුය. රෝහල්වල සිදුවන මරණ අතුරින් 11 වැනි ස්ථානය ගනු ලබන්නේ ද අනතුරු ය . දැනුවත්ව සහ නොදැනුවත්ව සිදුවන අනතුරු නිසා දළ වශයෙන් සෑම වසරකම ශ්‍රී ලාංකිකයන් 10,000 ක් පමණකගේ ජීවිත අප රටට අහිමි වේ. නොදැනුවත්ව සිදුවන අනතුරු නිසා වන අනතුරු අතර මාර්ග අනතුරු ප්‍රධාන ස්ථානයක් ගන්නා අතර, ඒ හේතුවෙන් වසරකට ජීවිත 3000 ක් පමණ අහිමි වේ. දැනුවත්ව සිදුවන අනතුරු අතර ප්‍රධාන තැනක් ගන්නා සියදිවි හානිකර ගැනීම් නිසාත් වසරකට ජීවිත 3000 කට අධික ගණනකගේ ජීවිත රටට අහිමි වේ. මීට අමතරව, විෂවීම්, වැටීම්, දියේගිලීම්, සත්ත්ව දෂ්ට කිරීම්, සතුන් පහරදීම් මෙන්ම සාහසිකකම් සහ මිනීමැරුම් ආදී අනතුරු නිසාද දහස් ගණනකගේ ජීවිත අහිමි වේ. එසේම, තවත් දස දහස් ගණනක් අනතුරු නිසා ඇතිවන විවිධ ආබාධ හේතුවෙන් සමහර විට සිය ජීවිත කාලය පුරාවටම ආබාධිතව ගත කරති. මේ සියල්ලම සැලකීමේ දී අනතුරු, හුදෙක් ඒවාට ගොදුරු වන පුද්ගලයන්ට පමණක් නොව, පවුලේ අනික් සාමාජිකයින්ට සහ පොදුවේ සමාජයටම විනාශකාරී දීර්ඝකාලීන බලපෑම් ඇති කිරීමට සමත් වී ඇත. අනතුරු වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග නොගතහොත්, නාගරීකරණය, කාර්මීකරණය, යාන්ත්‍රීකරණය සහ යටිතල පහසුකම් වර්ධනය වීම නිසා වේගයෙන් සිදුවන ජීවන රටාවේ වෙනස්කම් හේතුවෙන්, මීළඟ දශකය තුළදී අනතුරු පිළිබඳ ප්‍රශ්නය තවදුරටත් බැරෑරුම් වන බව බලාපොරොත්තු විය හැකිය. මීට අමතරව, රටේ වාර්ෂික අයවැයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අනතුරු වලට ලක් වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැයවේ.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සතු තොරතුරු වලට අනුව,

සමස්ථ අනතුරු ගණනින් ප්‍රතිශතයක් ලෙස
සතුන් සපාකෑම් 33.1
වැටීම් 18.0
මාර්ග අනතුරු 15.9
යම් වස්තුවක ගැටීම 10.1
කැපීම් 6.7
විෂවීම් 1.8
සත්ත්ව දෂ්ට කිරීම් 1.5
සතුන් පහරදීම් 1.3

වැඩිම අනතුරු ගණනක් සිදුවන්නේ පහත දැක්වෙන ස්ථානවලය.
නිවස 42.5
මාර්ගය 27.3
වැඩබිම 4.1
තාවකාලික නවාතැන් 3.9
අධ්‍යාපන ආයතන 2.7

වැඩිම අනතුරු ගණනක් සිදුවන්නේ පහත දැක්වෙන කාර්යයන්හි නියුතු වන අයටය

ගමන් බිමන් වල නිරත වන විටදී 24.9
විවේකය හෝ විනෝදය සඳහා සිදුකරන කටයුතු වල නිරත වන විටදී 23.9
ආදායම් උපයා ගැනීම සඳහා සිදුකරන කටයුතුවල නිරත වින විටදී 11.4
එදානෙදා නිවසේ දී සිදුකරන කටයුතුවල නිරත වන විටදී 9.9
ජීවත්වීම සඳහා ඉතා වැදගත් පුද්ගලික කටයුතුවල නිරත වන විටදී 8.9
ක්‍රීඩා කටයුතු වල නිරත වන විටදී 4.7
අධ්‍යාපන කටයුතු වල නිරත වන විටදී 8.9

වළක්වා ගත හැකි අනතුරු

ඉහත තොරතුරු විමසීමේ දී පැහැදිලිවම පසක් වන කරුණ වන්නේ අප බොහෝ විට එදිනෙදා ගැවසෙන සෑම තැනෙකම විවිධ ආකාරයෙන් විවිධ අනතුරු සැඟව ඇති බවත්, ප්‍රවේශමෙන් කටයුතු කිරීමෙන් සහ ඒ ඒ ස්ථාන ඉතා සැලකිල්ලෙන් පරිහරණය කිරීමෙන් බොහොමයක් අනතුරු වළක්වා ගත හැකි බවත්ය. අනතුරු සියල්ලක්ම පාහේ වළක්වාලිය හැකි වුවත්, දැනුම මඳකම, ආරක්ෂක ක්‍රම අනුගමනය නොකිරීම, නීතියට අනුගත නොවීම, නොසැලකිලිමත්කම, ප්‍රථමාධාර පිළිබඳ නිපුණතාව අඩුකම සහ රෝගීන් ප්‍රවාහනය කිරීමේ අඩුපාඩුකම්, අහිතකර පාරිසරික තත්ත්ව, වාහනවල සහ වෙනත් යන්ත්‍ර වැනි උපකරණවල අඩුපාඩු වැනි කරුණු ගණනාවක් නිසා, මෙම අරමුණ ඉටුකර ගැනීම අපහසු වී ඇත. එය එසේ වුවත්, අනතුරු වැළැක්වීම සම්බන්ධ බොහෝ කරුණු පුද්ගලයානුබද්ධ නිසා, ඒ ඒ කරුණු පිළිබඳ ජනතාවට සෑහෙන දැනුමක් සහ අවබෝධයක් ලබාදීම තුළින් මෙම බරපතළ තත්ත්වය බොහෝදුරට අවම කරගත හැකිය.

උපදෙස් :- සෞඛ්‍ය අමාත්‍යාංශයේ
බෝ නොවන රෝග ඒකකය

Comments