ගමේ රස කතා | සිළුමිණ

ගමේ රස කතා

අංගම

රුප්පෙ ගෙදර ජෝන් මහත්තයා ඇදුරෙක් නොවීය. ඒත් අල්ලපු වැටේ සිටින සවුන්දිරිස් ගුරුන්නාන්සේට ද වඩා මන්තර සාස්තරයෙන් මුදල් හරි හම්බ කරයි.

කෝරලේටම නම ගිය නැට්ටුවාද, තොවිල්කරුද මන්තර සක්විත්තාද වන සවුන්දිරිස් මේ ජෝන් මහත්තයා ගේ මන්තර බලය ගැන කිසිවක් කතා නොකිරීමද පුදුමයකි. ජෝන් මහත්තයාගේ රහස දැනගෙන හිටියේ හින්නිහාමි පමණය. එහෙත් ඇය මුනිවත රැක්කේ ගෙදර ඇත්තා යන ගෞරවය හේතුවෙනි.

ජෝන් මහත්තයා දැනගෙන සිටියේ දත්කැක්කුමට මැතිරීම පමණය. එහෙත් ඔහු එම එක ම මන්තරයෙන් දැන් ඉඩම් කෑලි දෙකක් ද කුඹුරක් ද යස අගේ ඇති ගොං නාම්බෙකු සමඟ තිරික්කලයක් ද හම්බ කර හමාරය.

දවසක් ගමේ ආරච්චි මහත්යාට හීංපැල්ල දෙවටේදී සවුන්දිරිස් ගුරුන්නාසේ මුණගැසුණේය.

“ඈ බං සවුන්දිරිස් උඹ තරං පොරසිද්ද මන්තර කාරයෙක් ඇදුරෙක් නැට්ටුවෙක් මේ අහලගං පන්සීයක නෑ... ඒත් ජෝන් උඹට වැඩිය උජාරුවට සාස්තරෙං හම්බු කොරනවා මොකද බං මේකෙ රහස?”

ආරච්චි මහත්තයාගේ පුරස්නයට කරබාගෙන යෑම තරම් නොවේයැයි සිතූ ගුරුන්නාන්සේ කරේ තිබූ තුවාය අතට ‍ගෙන වට පිට බැලීය. කුටු කුටු ගා යමක් කියා යළිත් ඉමහත් විපරමින් වට පිට බැලීය.

“ආරච්චිල මහත්තයෝ මේක රහසක්” යනුවෙන් සවුන්දිරිස් ගුරුන්නාන්සේ යමක් කීය.

සවුන්දිරිස් ආරච්චිට කී රහස මෙයයි.

“ජෝන් මහත්තයා දන්නේ දතේ කැක්කුම සුව කරන්ට පමණක් නොවේ. දත් කැක්කුම සාදන්නේ ද ඔහුමය. වැඩිපුර මුදල් හදල් ඇති තැන්වලට හොර රහසේ මහරෑ ළඟාවන ජෝන් මහත්තයා ගම්මිරිස් ඇටේ අංගම පිඹී” ගම්මිරිස් ඇටයක් ගෙන මතුරා එය හපා කටේ ගම්මිරිස් තබාගෙන මතුරා නිවසේ කවුලුවකින් පිඹී.

මේ අංගමකි, නිවෙසේ සියල්ලටම එදා සිට දත් කැක්කුමය. මේ අංගම පිඹිය යුත්තේ ඇ‍ඟේ නූල් පටක්වත් නැතිවය.

තාවකාලිකව හෝ සතියකට හමාරකට සුවයක් දකින්නේ ජෝන්ගේ ඇදුරුකමෙනි. මේ ආරංචියෙන් පසු ආරච්චි මහත්තයා ජෝන් තම ඉඩමේ සිටින විට ඔහුට පමණක් ඇසෙන්නට මෙසේ පවසා තිබුණි.

“ඈ ජෝන් උඹ මටත් පිඹින්නද? එන්නේ. හැබැයි පුතෝ... ඒක කොළොත් නං ආයිත්... අංගම් පිඹින්න දෙන්නේ නෑ.”

පසුව ජෝන් මහත්තයා ඇදුරුකම නතර කළේය.

පියදාස මුණසිංහ
කිරුළපනේ


‘පෝස්ට් ඔෆිස් මූත්ර’

1966 දී උපාධි ගුරුවරයෙකු ලෙස වවුනියාව දිස්ත්‍රික්කයේ අති දුෂ්කර සිංහල පාසලකට මම මගේ ස්ථිර පළමු පත්වීම ලැබූයෙමි. මෙම පාසල පිහිටි සිංහල ගම්මානයේ සිංහල ගැමියෝ වී ගොවිතැනෙන් දිවි ගෙවූහ. මෙම ප්‍රදේශය වටා දෙමළ ගම්මාන සෑහෙන ප්‍රමාණයක් තිබූ අතර එකල සිංහල දමිළ ජාතිකයන් අතර තිබුණේ ඉතා සුහදශීලී අන්‍යොන්‍ය සම්බන්ධතාවකි. මෙකී සිංහල දමිළ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සඳහා මෙහි කුඩා රෝහලක් පැවතිණි. එහි කාර්යමණ්ඩලයේ වැඩි පිරිස දෙමළ ජාතිකයෝ වූහ. ඔවුහු දෙමළ ‍‍රෝගීන්ට මෙන් ම සිංහල රෝගීන්ට ද එක සමාන ලෙස සැලකූහ.

එවකට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී ඖෂධ නිර්දේශ පත්‍රිකාවට (බෙහෙත් තුණ්ඩුව) සත 25 ක මුද්දරයක් ඇලවීම, අනිවාර්යය විය.

අන්ත දිනකදී මම ද කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම නිසා ප්‍රතිකාර ලබාගැනීම පිණිස මෙම රෝහලේ බාහිර රෝගී අංශයේ බංකුවක අසුන්ගෙන සිටියෙමි. එදින ප්‍රතිකාර සඳහා ගැමියන් කිහිප දෙනෙක් පමණක් පැමිණ සිටියහ. ඖෂධ සහ ප්‍රතිකාර සටහන් ලියන මේසයේ එදින සිටියේ සිංහල බස එතරම් හොඳින් හැසිරවිය නොහැකි දමිළ සේවකයෙකි. ප්‍රතිකාර සඳහා මට ප්‍රථම අසුන්ගෙන සිටියේ මහලු වියේ ගැමියෙකි. ඔහු ඉහත දමිළ සේවකයා වෙත ගිය විගස එම සේවකයා ‘මූත්ර ගෙනාවාදැයි’ එම ගැමියාගෙන් විමසීය. ඔහු ‘නෑ’ යයි පිළිතුරු දුන් හෙයින් ‘මූත්ර ගෙනෙන්න’ යැයි සේවකයා නැවත ගැමියාට කීය.

ගැමියා ද සුළු වේලාවකින් කුඩා කුප්පියක් ද රැගෙන දමිළ සේවකයා වෙත පැමිණියේ ය. කුප්පිය දෙස බැලූ ඔහු “අයියා මේක නේ. මූත්ර ගෙනෙන්න” යැයි නැවත කීය. “මේ මුත්‍රා තමයි” යැයි ගැමියා පිළිතුරු දුනි. නළල රැලි කරගත් සේවකයා “නේ, නේ. ලැවට්රි මූත්ර යෙපා. පෝස්ට් ඔෆිස් මූත්ර ඕනේ යැයි’ කීය. මහලු ගැමියා අසරණව අනවබෝධය නිසා මුහුණදී සිටින දුෂ්කරතාවය වටහාගත් මම “ලොකු උන්නැහේ තැපැල් කන්තෝරුවෙන් සත විසිපහේ මුද්දරයක් රැගෙන එන්න. මූත්‍රා ඕනෙ‍ නෑ. මුද්දරයක් ගේන්න කියලයි ඔය කියන්නෙ” යැයි මහලු ගැමියාට කරුණු පැහැදිලි කළෙමි.

ගැමියා ද සිනහමුසු මුහුණින් යුතුව තැපැල්හලට නික්ම යනු මම බලා සිටියෙමි. එවිටම “තෑන්ක් යූ සර් වෙරිමච්” යයි දමිළ සේවකයා මට ප්‍රසංශා කළේ ය.


රෝහලට ආ ‘යක්කු’

1966 දී උපාධි ගුරුවරුන් ලෙස අපි වවුනියාව දිස්ත්‍රික්කයේ අතිදුෂ්කර සිංහල පාසල් දෙකකට ස්ථිර පත්වීම් ලැබූයෙමු. එක ගුරු නිවාසයක අපි එක්ව අපේ කෑම බීම අපිම පිළියෙල කර ගැනීමේ අපේක්ෂාවෙන් පදිංචි ව‍ූයෙමු. මෙබඳු ප්‍රදේශයක තනිව විසීම අසීරු බැවිනි.

මෙම ප්‍රදේශයේ හා නගරයට ආසන්න ගම්මානවල වැඩි පිරිස දමිළ ජාතිකයෝ වූහ. අප සේවය කළ පාසල් දෙක තිබූ ගොවි ජනපදවල සිංහල ජාතිකයෝ බහුතර පිරිස වූහ. මෙහි ව‍ූ කුඩා රජයේ බෙහෙත් ශාලාව හැරුණු විට ප්‍රධාන සෞඛ්‍ය සේවා සඳහා වවුනියාව රජයේ ප්‍රධාන රෝහලට යා යුතු විය. එහි කාර්ය මණ්ඩලයේ සිංහල සේවකයින් සුළු පිරිසක් සිටි අතර බහුතරය දමිළ ජාතිකයෝ වූහ. එහෙත් ඔවුහු, සියලුදෙනාටම ජාති භේදයෙන් තොරව එක සමාන ලෙස සෞඛ්‍ය සේවාවන් ලබාදීමට කාරුණික වූහ.

සති අන්ත දිනයකදී අප සතර දෙනා වවුනියා රෝහලට ගියේ සෙම්ප්‍රතිශ්‍යා රෝගය වැලඳීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ය. පළමුව අපට රෝග නිශ්චය සඳහා වූ ප්‍රතිකාර තුණ්ඩුව ලියා දී බාහිර රෝගී අංශයේ බංකුවක් මත වාඩි වන ලෙස උපදෙස් ලැබුණි. අපේ අංක සමඟ නම් ඉංග්‍රීසියෙන් ලියූ චිට් එකක් ද බාහිර රෝගීන් බලන වෛද්‍යවරයාගේ කාමරයේ දොර අසල රැඳී සිටින රෝහල් සුළු සේවකයාට බාර දෙනු ලැබී ය. එම සේවකයා චිට් එකේ සඳහන් අංකය හා නම කියවූ විට රෝගීන් වෛද්‍යවරයා සිටින කාමරයේ දොර ළඟ වරකට තිදෙනා බැගින් තම වාරය එනතුරු සිට ගෙන සිටිය යුතු විය.

ඉහත රෝහලේ සේවකයා සිංහල බසින් එතරම් ම හොඳට නිරවුල්ව යමක් කියවීමේ හැකියාවක් තිබුණු අයෙක් නොවීය. ඔහු අප සතර දෙනාගෙන් පළමු නම රත්න යකා යනුවෙන් ද දෙවැනි නම බස්න යකා ලෙසින් ද, තෙවැනි නම මදන යකා ලෙස ද හඬ නඟා කියවීය. රත්නායක, බස්නායක සහ මදනායක යන මගේ මේ මිතුරන් දෙස එවිට විස්මයෙන් බැලූ මම “අද යක්කු තුන්දෙනෙක් ලෙඩ වෙලා, බෙහෙත් ගන්න රෝහලට කඩා වැදිලා වගෙයි” යනුවෙන් ඔවුනට ඇසෙන ලෙස කීවෙමි.

විශ්‍රාමික ආචාර්ය
එඩ්වඩ්. බී. ගුණවර්ධන
අවිස්සාවේල්ල.

Comments