ජීවිතය එපා කළ වගා විනාශයක්... | Page 4 | සිළුමිණ

ජීවිතය එපා කළ වගා විනාශයක්...

 මඩ සෝදා ගත් කල මේ රටේ ගොවියා රජකමටත් සුදුසු යැයි කීවේ රොබට් නොක්ස් ය. තමා වවාගත් බත බුලත බෙදා හදාගෙන ජීවත් වූ අතීත ගැමියන් විශේෂයෙන් ගොවි දූ පුතුන් තම ජීවිතය මෙන් රැක බලාගත්තේ අභිමානයයි. තම චරිතයට, පවුලට, ගමට, මතු නොව සංස්කෘතියට ගහට කොළට, සතා සීපාවාට හානිවන අබමල් රේණුවක දෙයක්වත් ඔවුහු කිසිදා නොකළහ. එනිසා ම පරිසරය රැකිණ. වගාව රැකිණ. නිසි කලට අව් වැසි ආවේය. නියඟ ඉඩෝරය ආවත් ඒවා කල් අල්ලා නොසිටියේය. වැසි කඳ ආවත් ඒවා ගෙවල් දොරවල් වතු පිටි හරකා බාන යටකරගෙන දෝර ගලන ගංවතුරක් නොවීය.

ඒත් අද වන විට මේ සියල්ල උඩු යටිකුරු වී ගොසිනි. මහ ගස් හා ලඳු කැලෑ විනාශ කොට නියඟය දාහය ළැව් ගින්නක් සේ පැතිර තිබේ. වහින පළාත්වලට මුරුගසන් වරුසා පතිත වෙද්දී සමහර තැන්වලට නියඟය ගලා යන්නේ ද මේ අමනෝඥ මිනිස් ක්‍රියාකාරකම් නිසාය.

එහෙත් දුප්පත්කමත් එක්ක අවංකකමත් පොදි බැඳගත් ගොවි මහත්වරු තවමත් මේ රටේ සිටිති. හබරණ පුවක්පිටිය ගමේ පදිංචිව සිටි 57 හැවිරිදි කිරියාගේ ගුණරත්න එවැන්නෙකි. ඔහු ණය බර දරා ගන්නට බැරිව දිගින් දිගට ම තම වගාවට වන හානිය ඉවසාගත නොහී වස බී දිවි තොර කැරගත්තේ ය. ඒත් අභිමානවත් මිනිසුන් ජීවිතය රැකගන්නවා විනා ජීවිතය නැති කරගන්නේ ද නැත. ණය බර එකකි. ජීවිතය නැති කරගැනීම තවත් එකකි.

තම වගාව වර්ෂාවෙන් සම්පූර්ණයෙන් ම විනාශ වී යාම නිසා සිත් තැවුලට පත් කිරියාගේ ගුණරත්න නම් ගොවියාගේ මරණ පරීක්ෂණයේදි බොහෝ දේ කියැවිණි. දඹුල්ල මූලික රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක ඩී.ඩබ්ලිව්.ජේ. බණ්ඩාර මහතා ඉදිරියේදි සාක්ෂි දුන් මිය ගිය අයගේ බිරිය එස්. නිලාවතී මෙසේ කීවාය:

“මහත්තයා පහුගිය කාලේ වර්ෂාවෙන් වගාව හානි වනවා බලා ඉන්ට බැරිව හරි ම දුකෙන් හිටියෙ. මේ වර්ෂාවත් එක්කම අපේ වගාවත් හේදිලා ම ගියා. (ගමේ මිනිසුන් හේදිලාම යන වචනය යොදන්නේ සම්පූර්ණයෙන් විනාශ වී යාම ගැනය. තෙමී ම යන අර්ථය නොවේ.) මට දරුවො දෙන්නෙක් ඉන්නවා. දියණිය විවාහ වෙලා ඉන්නෙ නාවික හමුදා සෙබළෙක් සමඟයි. මගේ මහත්තයා ගොවිතැන් කරන්නේ බොහොම කාලයක ඉඳන්. මේ වතාවෙ බෑනාත් එක්ක එකතු වෙලා ලොකු ලූනු අක්කර කීපයක් වගා කළා. මේ සඳහා ලොකු ලූනු බීජ ලබා ගත්තේ හරිම අමාරුවෙන්. වගාවටම හතර අතේ ණය වෙලා තිබුණු නිසා දුවගේ කනකර උගස් තිබ්බා.”

නියඟය ආවා

ඒකෙන් ලැබුණු සල්ලි ටිකෙන් තමයි වගාව ආරම්භ කළේ. අනේ! එහෙම කරගෙන යන‍කොට වගාව පීදිලා හැඩ ගහලා එනකොට නියඟය ආවා. වතුර නැතිව ගියා. ඒ වතාවෙ මගේ සැමියා වළක් හාරලා වතුර පොම්ප කරලා ලූනු වගාවට සාත්තු කළා. ඒත් එක්ක ම ගස්වල කොළ කහ පාට වන රෝගයක් ආවා. දිලීර රෝග ද මොනවාද කියන්නෙ. අන්න ඒවා. ඒකට කෘමිනාශක ගන්න අපට සල්ලි කොයින්ද?

යතුරුපැදිය උකස් කළා

මහත්තයා හැම තැනම දිව්වා ණය වෙවී කෘමිනාශකවලට සල්ලි හොයන්න. ඒත් ලැබුණෙ නෑ. බෑනා ළඟත් සල්ලි තිබුණෙ නෑ. එයා වගාබිමට යන්නෙ බෑනාගෙ මෝටර් බයිසිකලයෙන්. බෑනා කීවා යතුරුපැදිය උකස් කරලා සල්ලි ටිකක් අරගෙන කෘමිනාශක ගහලවත් වගාව බේරගන්ඩ කියලා.

ඒ අනුව මගේ මහත්මයා හබරණ නගරයේ අයකුට යතුරුපැදිය උකසට තියලා රුපියල් 20,000 ක් අරන් වගාවට බෙහෙත් ගැහුවා. දැන් ආයිත් වගාව බේරගත්ත. සතුටින් සැමියා ඉපිලුණා. ලොකු ලූනු ගහේ අලය එරීගෙන එනකොට මෙන්න සතිය පුරා ම මහ වැසි වැටුණා! සැමියා හරිම කලකිරීමට පත් වෙලා මට කිව්වා 'මේ පාර නම් ණය බේරගන්න බෑ. වැස්ස වැටෙනවා. එහෙම වුණොත් මං වස බොනවා' කියලා. එයා තමාගේ චරිතෙ ආත්මාභිනෙ ගැන නිතර ම හිතන කෙනෙක්. මං ඒත් හිතුවෙ නෑ මෙහෙම කරදරයක් වෙයි කියලා.”

මහ වැස්ස මදිවට අලින්ගෙන් හානි

“ඒ මනුස්සයා රාත්තිරියට හැමදාම හිටියෙ ගොවිපළේ. වගා හානි කරන්න එන අලින් හා වෙනත් සතුන්ගෙන් මේ වගාව බේරගන්නයි එයා එහෙම කළේ. උදේ ම නැඟිටලා හීතල පින්න වැදුණු ලූනු කොළ දරුවන් වගෙ අතගානවා කියලා මට කට්ටිය කියලා තියෙනවා.” “12 වැනිදා උදේ ගෙදර ඇවිත් එයා කීවා හේනට ගිහිල්ලා වගාව බලන්න කියලා. ඊයෙ වැහැපු වැස්සෙන් මුළු වගාව ම විනාශයි. ආයිත් මං වගා බිමට යන්නෙ නෑ කිව්වා. මායි, දුවයි දෙන්නා හේනට ගිහිල්ලා බැලුවා. ලූනු වගාව සම්පූර්ණයෙන් ම වැස්සෙන් ඉවරයි.”

වස බීපු කෝප්පය

“අපි බොහොම දුකෙන් ගෙදර ආවා. සැමියා කිව්වා මං වස බිව්වා. මට ජීවත්වෙලා වැඩක් නෑ කියලා. එයා වස බීපු කෝප්පයත් අපට පෙන්නුවා. මං දූත් එක්ක මහත්තයාව හබරණ රෝහලට අරන් ආවා. ඊට පස්සෙ ඒ රෝහලින් දඹුල්ල රෝහලට මාරු කළා. දඹුල්ලේදි මිය ගිය බව දැන ගත්තා. සැමියා සිත්තැවුලට වස පානය කළ බව මා පිළිගන්නවා.”

කිරිය‍ාගේ ගුණරත්න අහිංසකය. දුප්පත්ය. එමෙන් ම අවංකය. ණය බරින් ජීවත්වීම හා වංචාකරුවෙකු වීමට අකමැතිය. එහෙත් ඔහු මෝඩය.

මොන ම කාරණයකටවත් ජීවිතය නැති කැරගැනීම බුද්ධාගමේ හැටියට ද පාපයකි. සමාජයක් හැටියට ද අපරාධයකි. මේ ආපදා තත්ත්වයන්වලට ගොදුරුව ඇත්තේ අපේ රට පමණක් ම නොවේ. ලෝකය පුරා ම තත්ත්වය එය ය. අමෙරිකාව ද දැඩි සුළං හා ගංවතුර තත්ත්වයෙන් පීඩා විඳියි. ඒ රටවල ද වගා හානි එමට ය. ඒත් ඔවුනට ණය බරක් නැතැයි කෙනෙකු කියන්නට පුළුවන. ණය බරක් වී නම් ණය බේරා ගැනීම සඳහා ජීවත්වීම මනුස්සකමකි. ඉන් පැන යාම නුසුදුසු යැයි මා කියන්නේ කිරියාගේ ගුණරත්නට අගෞරවය පිණිස නොවේ.

අනෙක් අතට ගංවතුර, සුළිසුළඟ, නියඟය, මහ වැසි අපට ආවේ අද ඊයෙක නොවේ. මෙවන් තත්ත්වයන්වලදි රටට බත සපයන ගොවීන් බේරා ගැනීමට ජාතියක් වශයෙන් අප සතු හැකියාව මදි ය.

ඔවුනට ලැබෙන වගා ණය හෝ වෙනත් ණය එවැනි අවස්ථාවලදී කප්පාදු කිරීමේ ක්‍ර‍මවේදයක් හෝ ඔවුන් සුරක්ෂිත කිරීමේ සැබෑ ක්‍රමවේදයක් තවමත් අප තුළ නැතැයි මට සිතේ. එසේ තිබුණා නම් සමහර විට කිරියාගේ ගුණරත්න නම් අවංක ගොවි මහතා තවමත් අප අතරය.

(විශේෂ ප්‍රණාමය: තොරතුරු ලබාගැනීමට උදවු කළ හබරණ පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පී.පී.එෆ්. රත්නායක මහතාට)

උපාලි සමරසිංහ
සේයාරූ - කේ.කේ. ආරියදාස සීගිරිය සමූහ

Comments