මල්වතු පාර්ශ්වයෙන් පත්‍ර කලා සම්මාන ලැබූ සීසර් සුදුසිංහ | සිළුමිණ

මල්වතු පාර්ශ්වයෙන් පත්‍ර කලා සම්මාන ලැබූ සීසර් සුදුසිංහ

 ශ්‍රී ලංකාවේ බුදු දහම ඉන්දියාවේ මහරාජයාණගේ පුත් මිහිඳු හිමියන්ගෙන් ආරම්භ වූ අතර මිහින්තලාව බුදුදහම ප්‍රචලිත කිරීමේ ප්‍රථම කේන්ද්‍රස්ථානය විය. මෙවන් උරුමයක් ඇති බෞද්ධ ධර්ම ව්‍යාප්තිය නිදහසින් පසුව ස්වාධීනව සංවර්ධනයට පත් විය. ඩී.ආර්. විජයවර්ධන ලේක්හවුස් ආදී කර්තෘ තුමාගේ මඟ පෙන්වීම යටතේ මුලින් ම දිනමිණ හා සිළුමිණ ජාති හිතෛශී පුවත්පත් බවට ප්‍රචලිත වූයේය. පසුව ලේක්හවුස් අධිපතිත්වයට පත් රංජිත් විජයවර්ධන මැතිතුමා 1965 දී නව බෞද්ධ පුවත්පතක් ලෙස බුදුසරණ පුවත්පත ආරම්භ කිරීමට කටයුතු කළේය. ඒ අනුව එම වසරේ ජුනි 13 දින අභිනවයෙන් මුද්‍රණය කළ “බුදුසරණ” සතර පොහෝදා පුවත්පතෙහි ප්‍රථම පිටපත මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පූජා කරනු ලැබීය.

ප්‍රථමයෙන් ම බුදුසරණ කර්තෘත්වය දැරුවේ පියසේන නිශ්ශංක මැතිතුමාය. පසුව පීටර් විජේසිංහ, දයා සිරිවර්ධන, ප්‍රේමසිරි අබේසිංහ, රුවන් අරත්තනගේ, චන්ද්‍රසේන රණවීර, නෙල්සන් එස්. පෙරේරා යන පුවත්පත් වේදීහු බුදුසරණ කර්තෘවරු ලෙස උදාර කාර්ය භාරය මෙහෙයවූහ.

ශ්‍රී ලංකාව තුළ පසළොස්වක, අවඅටවක, අමාවක සහ පුරඅටවක පොහෝ දිනවල නිකුත් කරන එකම බෞද්ධ පුවත්පත බුදුසරණයි.

පුවත්පත් අලෙවි ඉතිහාසයේ වෙසක් පෝදා දිනෙක නිකුත් කරනු ලැබූ බුදුසරණ ලක්ෂ 51/2 ක් අලෙවි විය. මෙය සිරිලක පුවත්පත් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන අලෙවි වාර්තාවකි.

බුදුසරණ හිටපු කර්තෘවරු සමඟ එය විශිෂ්ට තත්ත්වයට ගෙන ඒමට වත්මන් බුදුසරණ උපදේශන කර්තෘ සීසර් සුදුසිංහ මහතා ප්‍රබල කැපවීමක් දැරීය. ඔහු උපත ලැබු‍වේ කඹුරුපිටියේය. කේ.පී. නෝනාහාමි මවට හා විශ්‍රාමික රජයේ නිලධාරියකු වූ එච්. සුදුසිංහ දෙමාපියන්ට දාව උපන් එතුමෝ කහගල කනිටු විදුහලෙන්, මාතර මහා මන්තින්ද පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වී බෞද්ධ ශිෂ්ටාචාරය, සිංහල හා සමාජ විද්‍යාව හදාරා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය. මා හට ඔහු විශ්ව විද්‍යාලයේදී ශිෂ්‍යයකු ලෙස හමුවූ අතර බුදුදහම සම්බන්ධ ලිපි ලේඛන ශිෂ්‍ය අවධියේ සිට ම රචනා කරනු ලැබීය. 1993 දි දිනමිණ කර්තෘ මණ්ඩලයට එක්වූ සීසර් මහතා 1995 සිට එතුමා බුදුසරණ පත්‍රයේ කර්තෘ මණ්ඩලයට එක්විය. ඔහු මේ වන විට වර්ෂ 22 ක් බෞද්ධ ධර්ම සන්නිවේදන කාර්යයෙහි යෙදුණේය. සීසර් මහතා බුදුසරණ කර්තෘ බවට පත්වූයේ 2011 දීය.

ඔහු ආසියානු රටවල් රැසක සංචාරය ‍කොට විහාර විහාරස්ථාන ගැන බුදුසරණට ලිපි ලේඛන සපයා ඇත. 2007 සිට ලේක්හවුස් බෞද්ධ සංගමයේ සභාපති ලෙස අගනා සේවාවක් ඉටු කර ඇත. රෝහණ පාර්ශ්වයේ හා අමරපුර නිකායන් මඟින් ඔහු වෙත සම්මාන පිරිනමා තිබේ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අභිනන්දන සම්මානය ද, බෞද්ධ මාධ්‍ය ජාලය මඟින් ‘ප්‍රසාදිනි සේවා’ ඇගැයුම් සම්මානය ද පිළිගන්වා ඇත.

ඓතිහාසික සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ගෞරවාදරයට පත් සම්මාන ලාභි ස්වල්ප දෙනා අතරට සීසර් සුදුසිංහ මහතා ද එක් වී ඇත. ඒ ඔහු බෞද්ධ ධර්මඥානය ප්‍රවර්ධනය කරනු ලැබූ අගනා සේවාව සඳහාය.

ඒ අනුව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අති පූජ්‍ය අනු නාහිමිපාණන් වහන්සේලා ඇතුළු රාජපූජිත වින්සද් වර්ගික කාරක මහා සංඝ සභාවේ සම්මුතියෙන් “බෞද්ධ පත්‍ර කලා විශාරද” ගෞරව නාම සන්නස පත්‍රය ඓතිහාසික මල්වතු මහා විහාරස්ථ උපෝෂථාගාරයෙහිදි සීසර් සුදුසිංහ මහතා වෙත ප්‍රදාන කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් මස 08 දිනය.

බෞද්ධ ජනතාවට ප්‍රයෝජනවත් අයුරින් බුදුසරණ පුවත්පත සකස් කළ සීසර් සුදුසිංහ මහතා උපහාරයට ලක්වීම සතුටට කරුණකි. ශ්‍රී ලාංකික ජනතාව සදාචාර සම්පන්න යහපත් ජනතාවක් කිරීට ඔහු විසින් ගත් උත්සාහය ප්‍රසංශනීයයි. එතුමාගේ ඉදිරි කටයුතු සාර්ථකවේවායි පතමි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාහිත්‍ය සූරි දයා එදිරිසිංහ
සේයාරුව - ගාමිණි රණසිංහ

Comments