ඔබේ පැනයට අපෙන් පිළිතුරු | සිළුමිණ

ඔබේ පැනයට අපෙන් පිළිතුරු

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවනි. ඔබේ රැකියා ස්ථානයේ ඔබ මුහුණපාන පෞද්ගලික හෝ පොදු ගැටලු පිළිබඳව අප වෙත ලියා එවන්න.

ඔබේ අනන්‍යතාව සුරකින අතර තහවුරු කළ හැකි නිවැරදි තොරතුරු පමණක් ලියා එවන්න. ඔබගේ ගැටලු පෞරුෂ සංවර්ධන උපදේශිකා වජිරා අමා දිසානායක මහත්මිය වෙත යොමු කර සහනදායී පිළිතුරු ලබා දීමට අපි සූදානම්. ඔබේ ගැටලු මෙම කූපනය සමඟ අමුණා පහත ලිපිනයට යොමු කරන්න.

සංස්කාරිකා,

දියත දිනන කත,

සිළුමිණ, ලේක්හවුස්,

කොළඹ 10

ප්‍රශ්නය:- බද්දේගම - ජය සමරා

මම දැනට පෞද්ගලික බැංකුවක සේවය කරනවා. මෙයට පෙර වෙනත් ආයතන කීපයක සේවය කරලා තියෙනවා. මම විවාහකයි. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මගේ සැමියා රැකියාව කරන්නේ ඉතා දුර බැහැර ප්‍රදේශයක. ඔහු නිවසට එන්නේ මසකට එක් වතාවක් හෝ දීර්ඝ නිවාඩුවක් තිබුණහොත් මසකට දෙවතාවක් විතරයි. මගේ සැමියාගේ මවුපියන්ට කාමර 4 ක විශාල නිවසක් තියෙනවා. එය නගරය ආසන්නයෙ තිබෙන නිසා එම නිවස කුලියට දී ඔවුන් විශාල ආදායමක් උපයනවා. ඒ අතර මගේ දරුවන්ගේ පහසුව සඳහා අපි නගරය ළඟම කුඩා නිවසක් කුලියට අරගෙන ඉන්නවා. ඒ නිවසේ තියෙන්නේ කාමර දෙකක් පමණයි. මගේ දියණිය වැඩි විය පත් කෙනෙක්. සැමියා නිවසට ආවහම අපි සිවු දෙනාම නිදා ගන්නේ එකම කාමරයේ එකම ඇ‍ඳේ. මට සැමියාට ළං වන්නටත් ඔහුට කතා කරන්නටත් අවශ්‍යයයි. නමුත් මට ඒ කිසිවකට ඉඩක් නැහැ. එක දවසක් දරුවන් පාසල් ගිය පසු මමත් නිවාඩු දාලා නගරයේ කාමර කුලියට දෙන තැනකට ගියා. ඒ මීට මාස හතරකට කලින්. මම කිසිදාක එහෙම තැනකට ගිහින් නැහැ. හැමෝම මගේ දිහා බැලුවා කියලා මට හිතෙනවා. මම හරිම ලැජ්ජාවෙන් එදා ඒ නවාතැනෙන් ආවේ. මට සැමියාගේ දෙමවුපියන් පෙන්නන්න බැහැ. දැන් මට ගොඩක් තරහා යනවා. දරුවන් දෙදෙනාටත් නිතරම සැර කරනවා. මම තනි වෙලා වගේ දැනෙනවා. සිය දිවි හානි කරගන්නත් හිතෙනවා. අනේ මා ගැන අනුකම්පා කරන්න.

පිළිතුර

විවාහයක පැවැත්මට ශාරීරික සබඳතා ඉතාම අත්‍යවශ්‍ය සාධකයක්. එය ඉතා ප්‍රබල මානුෂික අවශ්‍යතාවයක්. මෙම සම්බන්ධතාවය යහපත්, ප්‍රීතිමත් සහ සාර්ථක වූ විට තමයි විවාහය සුරලොවක් වන්නේ. මෙම සම්බන්ධතාවය යහපත් නොවන‍්නේ නම් විවාහය නීරස වනවා පමණක් නොවෙයි. අපායක් බවට පත් වෙනවා. මම නම් හිතන්නේ දැනටත් ඔබ ප්‍රමාද වැඩියි. ඉතා ඉක්මනින් ඉඩකඩ සහිත නිවසක් සොයා ගන්න. ඔබට සහ සැමියාට පමණක් පාවිච්චියට කාමරයක් සහ පිරිසුදු පරිසරයක් සකස් කර ගන්න. සැමියා නොමැති විට ඔබට ඔබේ දියණියගේ කාමරයේ නිදා ගන්නට හෝ ඇයව ඔබගේ කාමරයට කැඳවා ගන්නට පුළුවන්. දරුවන් හදන්නට සහ ඔවුන් උස් මහත් කරන්නට දෙමවුපියන් අධික වෙහෙසක් ගන්නවා තමයි. නමුත් ඔවුන් පරිණත වන විට දරුවන්ව අත අරින්නට හා ඔවුන්ට ඔවුන්ගේ ම ජීවිතයක් සොයා යෑමට ඉඩ දීම දෙමවුපියන්ගේ යුතුකමක්.

සැමියාගේ හෝ බිරිඳගේ දෙමවුපියන් නිසා වෙන්වන සහ බිඳුන පවුල් බොහෝමයි. ඔබ ඉන්න තත්ත්වය මට තේරෙනවා. ඔබ තවමත් මේ ගැන සැමියා සමඟ කථා නොකළ බව ඔබ කියා තියෙනවා. එය නම් තවත් පමා කළ යුතු නැහැ.

ඔබගේ ආර්ථික තත්ත්වයටත් මෙයින් තද බලපෑමක් ඇති වන බව පේනවා. මෙය තවදුරටත් කතා නොකර සිටිය යුතු තත්ත්වයක් නෙමෙයි.

කරුණාකාර නැන්දා මාමා සහ සැමියා සමඟ මේ ගැන කථා කරන්න. මා දන්නවා අපේ සංස්කෘතිය අනුව මේ වගේ කාරණා එළිපිට කතා කරන්න බැරි බව. එහෙත් සාකච්ඡා කර විසඳුමක් ලබා ගන්න.

 අමා

Comments