මත් වතුරක දුක් ගින්දර අපට කියා පාසල් සිසුන් හය දෙනකුම මුහුදෙ ගියා | Page 2 | සිළුමිණ

මත් වතුරක දුක් ගින්දර අපට කියා පාසල් සිසුන් හය දෙනකුම මුහුදෙ ගියා

 භද්‍ර යෞවනය මිණිදැදිරිව විකසිත වන මොහොතේ බොහෝ තරුණයන් දඟකාරය; හිතුවක්කාරය. ඒත් හැම විට ම එය සත්‍ය වන්නක් ද නොවේ. මනා පෞරුෂයකින් චමත්කාරයකින් විනීතව කල් ගෙවන යෞවනයෝ ඕනෑ තරම් සිටිති.

අද තරුණ පරපුරට මත් වතුර නැතිවම බැරිය. අඩුම තරමේ බුලත් කොළයක් දෙකට නවා දුම්කොළ තදින් ගෙන වෙනත් විස අඩුම කුඩුම ද සමඟ ද රංචු ගැසී ගිල දමන තරුණයෝ අද එමට සිටිති. ‘මාවා’, ‘බාබුල්’ හෝ ‘හිටන්’ යන නම්වලින් හඳුන්වන මේ දේවල්වලට වැඩියෙන්ම ඇබ්බැහි වී ඇත්තේ අපේ පාසල් දරුවන් වීම ජාතියේම අභාග්‍යයකි.

මත්පැන් බී තෙප්පමකින් මුහුදේ රවුමක් යන්නට ගොස් මරු වැලඳගත් පාසල් සිසුන් හය දෙනාගේ කතාව ආසන්නතම උදාහරණයයි. මේ දරුවන් සියලුම දෙනා මෙවර අපොස (සාමාන්‍ය පෙළ) විභාගයට උත්තර පත්‍ර ලියූ සිසුන් වීම තවත් ශෝචනීයය. යාපනයේ අවට පදිංචි සිසුන් හත් දෙනෙකු මෙසේ තෙප්පමකින් විනෝදයට මුහුදු ගිය අතර මින් හය දෙනෙකු මියගිය අතර එක් අයෙකුගේ ජීවිතය බේරී ඇතැයි පොලීසිය කියයි.

කයිට්ස් පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ධර්මදාස මහතා මෙසේ කීය.

“මේ දරුවන් විභාගය ලියලා අනතුරුව කොහෙද යන්නෙ? කවුරුන් ද? ආශ්‍රය කරන්නෙ. මේ වගේ දේවල් පිළිබඳ මාපියන් සොයා බලනවා අඩුයි. ඒකයි මේ වගේ කනගාටුදායක දේවල් වෙන්නෙ. මෙතැනදී අපේ පරීක්ෂණ අනුව පෙනෙනවා ළමයින් 9 දෙනෙක් විතරක් නොවේ, 18 දෙනෙක් හමුවෙලා ඉස්සෙල්ලම මත් වතුර බීලා තියෙනවා. පස්සෙ මේ අය අතරින් 7 දෙනෙක් කතා වෙලා තියෙනවා තෙප්පමකින් මුහුදේ රවුමක් යන්න. බීලා පිස්සු කෙළිමින් යන විට ඒ තෙප්පම මුහුද මැදදී පෙරළුණා.

මේ ළමයින්ගෙන් එකම ළමයයි බේරුණේ. ඔහුගේ හා මත් වතුර සාදයට සහභාගි වූ අනෙක් දරුවන්ගේ කටඋත්තර අනුව අපට දැනගන්නට ලැබුණා මේ දරුවන්ගේ දෙන්නෙක්ගෙ උපන් දින මේ මරණ සිදුවූදා ඒ කියන්නෙ 28 දා යෙදී තිබුණු බව. බේරිලා තියෙන ළමයා මුහුදේ පිහිනමින් හිටපු නිසා බේරාගන්ඩ උදවු කළ කට්ටියට හැකි වුණා එයාව බේරාගන්න. එයාගෙත් උපන් දිනේ එදා. අනෙත් උපන් දිනේ හිමිකාරයා දැන් මළවුන් අතර. මේවා මාපියන්ගේ නොසැලකිල්ලෙන් සිදුවන්නෙ.”

අපොස උසස් පෙළ විභාගය දරුවන්ට මහා කඩුල්ලකි. සරසවි පිවිසුම් පෙළ විභාගය නිසා ඇතැම් දරුවෝ නිදි වරා මේ විභාගය සඳහා වෙහෙස වෙති. විභාග උත්තර පත්‍ර ලිවීමෙන් පසු එම ආතතියෙන් නිදහස් වීමට මේ දරුවන් එලෙස කටයුතු කරන්නේදැයි අප විමසා බැලිය යුතුය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා මහතා මෙම සිදුවීම ගැන අපූරු විග්‍රහයක් කරයි.

“මේක ප්‍රාථමික සමූහවල ක්‍රියාකාරිත්වය පෙන්වන අවස්ථාවක්. ඔවුන් අතර එකට තීරණ ගැනීම හා කුළුපගතාව වැඩියි. එම අධිෂ්ඨාන නරක අතට හිටියොත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මෙය ඍණාත්මක වගේම ධනාත්මකව සිදුවෙන්න පුළුවන්. මේ දරුවන් කාලයක් තිස්සේ කණ්ඩායමක් වශයෙන් මත්වතුර ගත්තා වෙන්ඩ හොඳටම ඉඩකඩ තියෙනවා. අලුත් දේ කරන්න, හිතුවක්කාර සිතිවිලි අනුව වැඩ කරන්න. විශේෂයෙන් කැපී පෙනෙන්න ත්‍රාසජනක දේ කරන්න මේ වයසේ කට්ටිය හිතනවා. ඒ සඳහා දඩමීමා කරගත්තේ තමන්ගේම උපන් දින එහෙමත් නැත්නම් විභාග අවසන් වීම්වල සතුට වගේ දේ.

මේ අය බීමත්කමත් එක්ක තෙප්පමට ගොඩ වන්නේ. හෝල් වගේ සමාජ මානව විද්‍යාඥයන් මේ වගේ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය හොඳට විග්‍රහ කරලා තියෙනවා. තෙප්පම ඒ වගේ පිරිසකට බීමත්ව යන්ට පුළුවන් දෙයක් නොවෙයි. ඒක අනාරක්ෂිතයි.

ඔවුන් ළඟ තිබෙන එකට තීරණ ගැනීම, ඒකාබද්ධතාව, කැපී පෙනීමේ අවශ්‍යතාව ත්‍රාසජනක දේ කිරීමේ ඕනෑකම වගේ දේ අවසානයේදී මේ තරුණ ජීවිත විනාශයට පත් කළා. මේ දරුවන් මේ වයසේදී හිතුවක්කාර නිසා මාපිය වැඩිහිටි, ගුරුවරුන්ගේ උපදේශන පිළිගන්නවා අඩු වුණත් මාපියන් උපදෙස් දීමෙන් ඈත්වන්න හොඳ නෑ. බිම පෙරැළි පෙරැළි අවසානයේ ඇඬුවාට වැඩක් නෑ. දරුවන් යන්නෙ කොහෙද? කාත් එක්ක ද ඉන්නෙ? මොනවාද කරන්නෙ. මේවා ගැන මාපියන් සොයා බලන්න ඕනැ. නැත්නම් මෙවැනි ඛේදවාචක වෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා... එතුමා වැඩිදුරටත් පැවැසීය.

තල් රුප්පාව යට කඳුළු ගංගා නැවතී ගොස් වැඩි කාලයක් ගත වී නැත්තේය. එහෙත් යාපනයේ දරුවන්ගේ අනාගතය පැහැබර හෙට දවසකට ඔසවා තබන්නට බැරි වී ඇත්තේ ඇයි? මත්ද්‍රව්‍ය යාපනය ද වසාගෙන ඇති නිසාය. මත් වතුර සංස්කෘතිය පාසල් හරහා ගලා යාම නවතින්නෙ කවදා ද?

කයිට්ස් පොලීසියේ තොරතුරු ගවේෂණය අනුව තෙප්පමේ ගමන් කළ සිසුන් හත්දෙනා නල්ලූර් හා කොකුවිල් ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

28 දා තරමක් මත් වතුර බීමෙන් පසු ඔවුහු මණ්ඩතිව් සිරතැම් ජැටිය ආසන්නයට ආහ. එහි ධීවර කටයුතු සඳහා යොදා ගන්නා තෙප්පම දුටු සිසුවෝ විනෝදයට එහි රවුමක් යන්නට කතිකා කැර ගත්හ. මොවුන් මෙසේ මුහුදු ගියේ මණ්ඩතිව් දූපත ආසන්නයේ ඇති මුහුදු කළපුවේය.

ගත වූයේ ස්වල්ප වේලාවක් පමණි. කළපුව මැදදී තෙප්පම පෙරැළී ගියේ සිසුවන්ගේ විලාප මැද්දේය. ඔවුහු එතෙක් ගී ගයමින් ගමන් කළහ. තෙප්පම පෙරැළී යාමෙන් වතුරට වැටුණු සිසුන්ගේ විලාපය මුහුදු රැල්ලෙන් යට විය. සිද්ධිය සැලවීමෙන් පසු පරික්ෂණයට පැමිණි පොලීසියට තරුණ මළසිරුරු පහක් හමු විය.

පිරිස බේරා ගැනීමට ධීවර කණ්ඩායමක් කටයුතු කැර තිබුණත් ඒ වන විටත් තරුණයන් මියගොස් සිටි අතර එක් සිසුවෙක් රළ අතර පොර බදමින් පිහිනා යමින් සිටියේය.

ධීවරයෝ ඔහු බේරා ගැනීමට සමත් වූහ. ඒ මළසිරුරු අතර ද එක් සිසුවකුගේ සිරුර හොයා ගත්තේ බොහෝ සවස් වීමෙන් පසුය.

මත්වතුර හා හිතුවක්කාරකම නිසා අකාලයේ පරව ගිය මේ තරුණ සිසු ජීවිත අපට කියා දෙන පාඩම කුමක් ද?

යෞවනය අපට උදාවන්නේ ජීවිතයේ චමත්කාරය විඳීමට මිස එය අකාලයේ වනසා ගන්නට නොවන බවය.

උපාලි සමරසිංහ

Comments